ගෙවී ගියේ එක්සත් ජාතික පක්ෂයට එකවර ප්‍රහාර දෙකක් එල්ල වූ අඳුරු සතියකි. ඉන් එක් ප්‍රහාරයක් එළියෙන් එල්ල වූ අතර, අනෙක් ප්‍රහාරය එල්ල වූයේ ඇතුළතිනි. පිටින් එල්ල වූ ප්‍රහාරයට ඇතුළේම සිටින මන්ත්‍රිවරයකු වූ රන්ජන් රාමනායක සම්බන්ධව සිටි අතර, ඔහුගේ නිල නිවෙසින් සොයාගත් පටිගත කරන ලද හඬපට ඇතුළත් සීඩී විශාල ප්‍රමාණයක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමෙන් එම පිටින් එල්ල වූ ප්‍රහාරයට මුහුණදීමට එජාපයට සිදුවිය. ඇතුළතින් ප්‍රහාරය එල්ල කළේ වෙන කවුරුවත් නොව සජිත් ප්‍රේමදාස කණ්ඩායමය. ඒ පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පැවැති ඉතා තීරණාත්මක මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය.
එජාපයට එකවර ප්‍රහාර 2ක්
මෙම රැස්වීම කෙතරම් උණුසුම් සහ ආන්දෝලනාත්මක එකක් වූවාද කියනවා නම් දෙපිරිස අතර සිදුවන්නට ගිය ගුටිබැට හුවමාරුවක් වැළකී ගියේ අනූනවයෙනි. දෙපැත්තෙන්ම නිකුත් වුණු කුණුහරුප වැළකින් රැස්වීම උණුසුම් වූ බවක්ද දැකගත හැකි විය. අවසානයේදී තීන්දු වූයේ ලබන බ්‍රහස්පතින්දා දිනයේදී නැවැත කණ්ඩායම් රැස්වීමක් තබා ඡන්දයක් තබා පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමටය.
මලික්ගේ ගෙදර මහ රෑ රැස්වීමක්
බ්‍රහස්පතින්දා දක්වා පැමිණි අර්බුදකාරී තැනට පක්ෂය තල්ලු වූයේ පැය 24කින් නොව ඉකුත් සතියේ සිකුරාදා (03දා) සිට පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය. එහි පළමු සාකච්ඡාව පැවැත්වුණේ මලික් සමරවික්‍රම මහතාගේ කොළඹ නිවෙසේදීය. 3 වැනිදා පළමු වරට පාර්ලිමේන්තු සැසිය විවෘත වූ දිනය බැවින් සියලුම මන්ත්‍රිවරුන් කොළඹට පැමිණ සිටීම නිසා මෙම හමුවට නොසිතූ මන්ත්‍රිවරුන් ප්‍රමාණයක් පැමිණ තිබීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව එහි හරියටම මන්ත්‍රිවරුන් 38 දෙනෙක් සිටියහ. සිය දිස්ත්‍රික්කවල පැවැති විශේෂ කටයුතු හේතුවෙන් තවත් මන්ත්‍රිවරුන් දහයක් පමණ කොළඹට පැමිණීමට නොහැකි වීම මත රැස්වීමට සහභාගි වීමට නොහැකි බවක්ද සජිත්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව මේ වන විට පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මූලිකවම මතුව ඇති කාරණාව පිළිබඳව පිරිස මලික්ගේ නිවෙසේදී දීර්ඝව සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකි විය. දැනට පාක්ෂිකයන්ට ස්තුති කරමින් සජිත් රට වටේ යෑම, එහිදී පාක්ෂිකයන්ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර, කරු නායකත්වය සඳහා පත්කළ යුතු බවට රනිල්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව මෙන්ම රනිල් විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් අතේ එවූ රහස් පණිවුඩ සම්බන්ධයෙන්ද පිරිස අතර දීර්ඝව සාකච්ඡා විය.
ඊට අමතරව සජිත්ගේ රට වටේ යෑම හරහා පක්ෂ නායකත්වයට එල්ලවන බලපෑම සම්බන්ධයෙනුත්, නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා කළහොත් ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත්, පක්ෂ නායකත්වය ලබාගැනීමට හැකි වුවහොත් එහිදී රට ඇතුළේ ගෙනයා යුතු වැඩපිළිවෙළ පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වූ ආකාරයක් දැකගත හැකි විය.
දුන්නේ නැත්නම් වෙනම යන්න දැඩි බලපෑම්
මෙහිදී සාකච්ඡාව අතර මැදදී රැස්ව සිටි මන්ත්‍රිවරුන් දැඩි ස්ථාවරයක සිටිමින් සජිත්ව සිය මතයට නම්මවා ගැනීමට පියවර ගත් ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
“දැන් අපිව රකින්න ඕනෙ ඔබතුමා. එහෙම නැත්නම් අපිව රකින්න කවුරුත් නෑ. ඒ නිසා තීන්දු ගනිද්දි හරි තීන්දුව ගන්න ඕනෙ. මොකද සටන පටන් ගනිද්දි හොඳින් හරි නරකින් හරි අපි මේ සටනෙ අවසානයට ගිහිල්ලා ඉලක්කයට යන්න වැඩ කරන්න ඕනෙ. අපි කොච්චර කළත් රනිල් පක්ෂ නායකත්වය දෙන්න සූදානම් නැත්නම් එන මහ ඡන්දෙදි වෙනම සන්ධානයක් හදලා ඒකට තරග කරන්න තීන්දුවක් ගමු. සජිත්ගේ නායකත්වය යටතේ අලුත් සන්ධානයක් හදලා තරග කළොත් යූ.ඇන්.පී.කාරයො ඉන්නෙ අපිත් එක්ක නිසා අපිට විශාල බලයක් ගන්න පුළුවන්…” යනුවෙන් මන්ත්‍රිවරුන් කියද්දී මුලින් සජිත් එතරම් කැමැත්තක් නොදැක්වුවද මන්ත්‍රිවරුන්ගේ දැඩි ස්ථාවරය හමුවේ පළමු වතාවට සජිත්ද ඔවුන්ට දැනුම්දී සිටියේ “ඔව්. එහෙම වුණොත් ඒ තීන්දුව ගන්න මම ලෑස්තියි…” යනුවෙනි.
රනිල්ට තීන්දුව දැනුම් දෙයි
මන්ත්‍රිවරුන්ගේ යෝජනාවට සජිත් එකඟතාවය පළකිරීමත් සමඟම සියලු දෙනාම කියා සිටියේ මෙය ඉතාමත් තීරණාත්මක තීන්දුවක් බැවින් වහාම පක්ෂ නායකයා වූ රනිල්ටද එය දැනුම්දීම අත්‍යවශ්‍ය යැයි කියාය. නමුත් එතැන සිට මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු නොදැන සිටි කාරණයක්ද එහි තිබිණ. ඒ, ඊට පෙර දින, එනම් සිකුරාදා දිනයේදී මලික්ගේ නිවෙසට රැස්ව සිටි සජිත් පාර්ශ්වයේ සුළු පිරිසක් ඒ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගෙන තිබූ ආකාරයය. එසේම සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේදී රනිල්ව මුණගැසුණු මලික් සහ කබීර් එම තීන්දුව දැනුම් දෙමින් සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳාගත යුතු බවත්, එසේ නොමැති නම් පක්ෂය කැඩෙන තැනට මෙම ප්‍රශ්නය තල්ලු වී යෑම වැළැක්විය නොහැකි බවත් රනිල්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මලික්ගේ නිවෙසේ ගත් මෙම තීන්දුව රනිල්ට දැනුම් දීමට කබීර්, සජිත්, තලතා, රන්ජිත්, මලික් යන පස්දෙනා රනිල්ගේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවෙසට යන විට එහි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙමින් තිබිණ. මෙහිදී සාකච්ඡාවට එක්වූ සජිත්ගේ පිල කෙළින්ම ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරග කිරීමට සජිත් කණ්ඩායම තීන්දු කළ පණිවුඩය දැනුම් නොදී විවිධ ආකාරයට එජාපය ඇතුළේ සිදුවිය යුතු වෙනස පිළිබඳව රනිල් සමඟ සාකච්ඡා කරන්නට වූහ. එමෙන්ම මන්ත්‍රිවරුන් අතර ඇති අදහස්ද මෙම පිරිස රනිල්ට දැනුම්දී සිටීමට පියවර ගත්හ. ඔවුන්ගේ මෙම ස්ථාවරයන් අනුව සජිත් පිල බරපතළ තීන්දුවක් ගෙන ඇති බව රනිල්ටද වැටහුණු බවක් පෙනෙන්නට තිබිණ. ඒ අනුව රනිල් තම ස්ථාවරය මෙහිදී මන්ත්‍රිවරුන්ට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
රනිල් දුන් උත්තරය
“දැන් අපිට නම් තුනක් ඇවිල්ල තියෙනවා ඉස්සරහට යන්න. මෙතැනදි අපි පක්ෂය කැඩෙන්නෙ නැති වෙන්න ඔක්කොම එක්ක එකමුතු වෙලා වැඩ කරන්න ඕනෙ. මගේ නමත් තියෙනවා. සජිත්ගෙ නමත් තියෙනවා. කරු ජයසූරියගෙ නමත් තියෙනවා. මම කියන්නෙ අපි තුන්දෙනාම එකතු වෙලා පක්ෂ යාන්ත්‍රණයක් හදාගෙන මහ ඡන්දෙට ඉදිරිපත් වෙන්න ඕනෙ කියලයි…” යනුවෙන් කියමින් රනිල් අනියම් ආකාරයකින් වෙනත් යෝජනා පිළිගත නොහැකි බවක් පෙන්වන ආකාරයක් දැකගන්නට තිබිණ.
රනිල්ගේ මේ ස්ථාවරයට කබීර් පමණක් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “ඔබතුමා මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් පක්ෂය කැඩෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි” යැයි කියාය. ඊට ප්‍රතිචාර නොදැක්වූ රනිල් නැවැතත් කියා සිටියේ තුන්දෙනාම එක්ව ඉදිරියට යෑම මේ ප්‍රශ්නය ඇති හොඳම විසඳුම කියාය.
චම්පිකත් වෙන අතක
කෙසේ වෙතත් මෙහිදී පක්ෂ නායකයන්ද අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ එජාපය වෙනසකට ලක් නොකොට මේ ආකාරයට ගියහොත් මහ ඡන්දයේදී ජයග්‍රහණය කිරීම ඉතා අසීරු යැයි කියාය. චම්පික මෙසේ ප්‍රකාශ කරද්දී හකීම් දෙස බැලූ රනිල් හකීම්ගේ අදහසද විමසා සිටින ආකාරයක් දැකගත හැකි විය. එහිදී හකීම් කියා සිටියේ මෙය අපේ ප්‍රශ්නයක් නොවන බවත්, අපේ පිට මෙම ප්‍රශ්නය පටවන්නේ නැතිව එජාපය ඇතුළේම එම ප්‍රශ්නය විසඳාගෙන අපට දැනුම් දෙන ලෙසත්ය. මේ අනුව එම සාකච්ඡාවද කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වන ආකාරයක් දැකගත හැකි විය.
සජිත් කැළණියෙන් එළියට එයි
කෙසේ වෙතත් රනිල් සමඟ පැවැත්වුණු මෙම සාකච්ඡාව දැනගෙන සිටි එජාපයේ මන්ත්‍රිවරුන් බොහෝ දෙනකු බලා සිටියේ ඉන් ලැබෙන ප්‍රතිඵලය දෙසය. ඒ අනුව ඔවුන් කබීර්ට, රන්ජිත්ට, තලතාට කතාකොට සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක්ද යන්න විමසා සිටි විට ඔවුන් කියා සිටියේ සාකච්ඡාව අසාර්ථක යැයි කියාය. රනිල් නායකත්වය භාරදීමට කිසිසේත්ම සූදානමක් නොමැති බවද එහිදී ඔවුහු මන්ත්‍රිවරුන්ට කියා සිටියහ. ඒ අනුව සෙනසුරාදා රාත්‍රී එක පමණ වන තෙක් මන්ත්‍රිවරුන් අතර සාකච්ඡා වූයේ ඊළඟට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙනි.
සජිත් පිලේ එම ප්‍රතිචාරය එළියට පැන්නේ ඉරිදා දිනයේ කැලණියේ පැවැති පාක්ෂිකයන්ට ස්තුති කිරීමේ උත්සවයකදීය. කැලණියේ සංවිධායක සරත් ෆොන්සේකා මහතා විසින් එම උත්සවය සංවිධානය කර තිබූ අතර ඊට විශාල පාක්ෂිකයන් පිරිසක්ද එක්ව සිටිනු දැකගත හැකි විය. එහිදී සජිත් පළමුවරට ප්‍රසිද්ධියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇතැම් පුද්ගලයන් පක්ෂයේ තනතුරු බදාගෙන සිටීමට කටයුතු කරන බවත්, එවැනි අයට එසේම ඉන්න කියා නව ගමනක් යෑමට තමන් ඇතුළු තම කණ්ඩායම තීන්දු කර ඇති බවත්ය. කෙසේ වෙතත් පක්ෂය කැඩෙන තීන්දුවක් නොගන්නා නමුත් නව සන්ධානයකින් එළැඹෙන මහ මැතිවරණයේදී තරග වැදී පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව එහිදී සජිත් ප්‍රසිද්ධියේම කියා සිටියේය.
රනිල් කරු හමුවෙන්න යයි
මේ අනුව රනිල්ට පක්ෂය ඇතුළෙන් එන පීඩනය එන්න එන්නම වැඩිවන ආකාරයක් සඳුදා වන විට දැනගන්නට ලැබිණ. ඒ අනුව සඳුදා දිනයේදී රනිල් වහාම කළේ නැවැත වතාවක් කතානායක කරු ජයසූරිය මහතා මුණගැසී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගැනීමය. මෙවර රනිල් කරුව මුණගැසුණේ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සැලැසුමක්ද අතේ තබාගෙනය. එම සැලැසුමට අනුව නායකත්ව මණ්ඩලයක් පත්කිරීමටත්, එහි ප්‍රධානියා වශයෙන් කරු ජයසූරිය මහතා පත්කිරීමටත්, ඊට අමතරව බිහිකිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වයද කරු ජයසූරියට ලබාදීමටත් යෝජනා කර තිබිණ. රනිල් සහ සජිත් යන දෙදෙනාම නායකත්ව මණ්ඩලයේ සිටින අතර, සජිත්ට විපක්ෂ නායකවරයා වශයෙන් සියලු බලතල ලබාදීමටද මෙමඟින් යෝජනා කර තිබිණ. මෙහිදී කරු තමන් පසුගිය කාලය පුරාම දැරූ ස්ථාවරය නැවැත වතාවක් රනිල්ට පැහැදිලි කිරීමට පියවර ගත්තේය. එහිදී කරු කියා සිටියේ සියලු දෙනාම එකඟ වන වෙනසකට තමන්ද එකඟ නමුත්, බලතල නොමැතිව නාමිකව තනතුරු ගැනීමට තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත්ය. එමෙන්ම නායකත්ව මණ්ඩලයක් යළි පිහිටුවන්නේ නම් එය ව්‍යවස්ථානුකූලව නව සංශෝධනයක් ඔස්සේ සිදුකළ යුතු බව පෙන්වා දුන් කරු එසේ වුවහොත් පමණක් නායකත්ව මණ්ඩලයේ ප්‍රධානත්වය දැරීමට තමන් සූදානම් බවද රනිල්ට දැනුම්දී සිටියේය.
වටේටම ගිය කෝල්
කෙසේ වෙතත් සෙනසුරාදා උදේ සිටම එජාපය ඇතුළේ ගිය කතාවෙන් කියැවුණේ පක්ෂය පවතින්නේ දෙකඩ වීමට ඔන්න මෙන්න යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනකු පක්ෂයේ මධ්‍යස්ථව සිටින ප්‍රබලයන් වූ කරු ජයසූරියටත්, රවි කරුණානායකටත් දුරකතන ඇමැතුම් ලබාදෙමින් කියන්නට වූයේ වහාම මෙම ප්‍රශ්නයට මැදිහත්ව කිසියම් විසඳුමක් කරා සියලු පාර්ශ්වයන් ගෙන ඒමට මැදිහත් වන ලෙසය. රවි තමන්ට කතා කළ සියලු දෙනාටම කියා සිටියේ තමන්ද පක්ෂය නොකැඩී ඉදිරියට යායුතු ස්ථාවරයේ සිටින බවත්, වහාම මේ සම්බන්ධයෙන් රනිල් සමඟ කතා කොට විසඳුමකට ඒමට කටයුතු කරන බවත්ය. එමෙන්ම කරු තමන්ට කතා කළ සියලු දෙනාටම දැනුම්දී සිටියේ තමන්ට තනතුර පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති නමුත්, වැඩ කිරීමට නම් ව්‍යවස්ථානුකූලවම බලතල ලැබිය යුතු යැයි කියාය. කෙසේ වෙතත් රවි ඇතුළු තවත් පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රනිල්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද එහිදී රනිල් ඔවුන්ට දැනුම් දී සිටියේ බ්‍රහස්පතින්දා සවස තුනට එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්කොට ඇති නිසා එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවසත් තීන්දුවක් ගත හැකි යැයි කියාය.
සිරිකොත උණුසුම් වූ හැටි
ඒ අනුව බ්‍රහස්පතින්දා සවස තුනට සිරිකොතේ පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මෑත කාලයේ පැවැති ඉතාම උණුසුම් සහ ආන්දෝලනාත්මකම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. ඊට හේතුව වන්නේ පැය හතරහමාරක තරම් දීර්ඝ කාලයක් මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමත්, ඇතැම් අවස්ථාවලදී පරුෂ වචන පවා දෙපැත්තට හුවමාරු වීමත්, එතැනින් නොනැවතී එක් අවස්ථාවක මන්ත්‍රිවරුන් අතර ගුටි කෙළියක් පවා මතුවන තැනට මෙම කණ්ඩායම් රැස්වීම උණුසුම් වූ ආකාරයක් දැකගන්නට ලැබීමත්ය. ඒ අනුව නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා යැයි කියමින් මෙම රැස්වීම ආරම්භ වුවත් එය අවසන් වූයේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොමැතිවමය.
දෙපැත්තම පෙර සූදානමින්
කෙසේ වෙතත් මෙම රැස්වීමට රනිල් – සජිත් දෙපාර්ශ්වයම මනා පෙර සූදානමකින් යුතුව ආයුධ අතේ තබාගෙන පැමිණ තිබූ ආකාරයක් රැස්වීම පුරාම දැකගත හැකි විය. රැස්වීම අතර තුරදී උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්, ඊට මුහුණදිය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම පෙර සූදානමක් තිබූ බවත් එහිදී පෙනෙන්නට තිබිණ. මෙහිදී රනිල් කරන්නට යන දේ පිළිබඳව අපට කලින්ම තොරතුරු වාර්තා වී තිබූ අතර අප එය රැස්වීම පැවැත්වීමට පැයකට ප්‍රථම අපි වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ පළ කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ රනිල් නාමමාත්‍රික නායකයා ලෙස තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටීමටත්, නායකත්ව මණ්ඩලයේ ප්‍රධානත්වය කරු ජයසූරිය මහතාට ලබාදීමටත්, සජිත්ට විපක්ෂ නායක ධුරයේ බලතල ලබාදීමටත් යෝජනා කිරීමට සූදානම් බවය. රනිල් මෙම යෝජනාව කිරීමට සූදානම්ව තිබුණේ පසුගිය දින කිහිපය පුරාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ගත් තීන්දුවක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව සවස තුනට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අප හෙළි කළ පරිදිම රනිල් තමන් සතුව ඇති යෝජනාව මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
රනිල් දුන් විසදුම මෙන්න
“මම සූදානම් ඉදිරියේදී පක්ෂයේ නාමමාත්‍රික නායකයා ලෙස කටයුතු කරන්න. ඒ වගේම සජිත්, කරු අපි ඔක්කොම එකට එකතු වෙලා පක්ෂය නොකැඩී ඉදිරියට යන සැලැස්මක් මම යෝජනා කරනවා. ඒ වගේම නායකත්ව මණ්ඩලයක් සකස් කරලා ඒකට සම්පූර්ණ බලතල දෙන්න මම ලෑස්තියි. ඒකෙ නායකත්වය කරු ජයසූරිය මැතිතුමාට දෙන්නත්, ඒ වගේම අලුතින් හදන සන්ධානයේ නායකත්වය එතුමට දෙන්නත් මම සූදානම්. ඒ වගේම සජිත්ට විපක්ෂ නායක ධුරයේ බලතල ඒ ආකාරයට ලබාදීමටත් මම කටයුතු කරනවා…” යනුවෙන් කියමින් රනිල් තම සැලැසුම ඉදිරිපත් කිරීමත් සමඟ විවිධ අදහස් ඉදිරිපත් වෙමින් උණුසුම් වූ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම මහා ගාලගෝට්ටියක් බවට පත්වුණේ නවීන් දිසානායක මහතා නැඟිට ඉදිරිපත් කළ මත දැක්වීමත් සමඟය. මෙහිදී රනිල් ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සකස් කර තිබූ ලේඛනයක් මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අතර, එහිදී සජිත්ව ඉලක්ක කරගෙන මෙම අදහස් ඉදිරිපත් කළ ආකාරයත් දැකගන්නට ලැබිණ.
නවීන්‌ගෙන් සජිත්ට ප්‍රහාරයක්?
“මෙවර ජනාධිපතිවරණයේදී අපි බලාපොරාත්තු වුණ ඡන්ද ප්‍රතිඵලය අපිට ආවෙ නෑ. සිංහල බෞද්ධ ඡන්ද පදනමත් අපිට ලැබුණෙ නෑ. අඩුම තරමෙ 1994 ජනාධිපතිවරණයෙදි මගේ අම්මා හම්බන්තොටින් ගත්ත ඡන්ද ප්‍රමාණයවත් මේ සැරේ අපිට හම්බන්තොටින් ගන්න හම්බුණේ නෑ…” යනුවෙන් කියමින් නවීන් දැවැන්ත ප්‍රහාරයක් සජිත්ව ඉලක්ක කරගෙන එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය. නමුත් නවීන්ට ඒ හැටි දුරක් මේ ප්‍රහාරය දියත් කරන්නට ලැබුණේ නැත. ඒ සජිත්ගේ කණ්ඩායමෙන් නවීන්ව ඉලක්ක කරගෙන කෙළින්ම දැවැන්ත ප්‍රහාරයක් ඉදිරිපත් වීම ආරම්භ වීම නිසාය. “පක්ෂය කඩාගෙන ගියා…”, “පක්ෂය දාලා ඇමැතිකම් අරගෙන මහින්ද ළඟට ගියා…”, “මහින්ද ළඟට ගිහින් ඇමැතිකම් අරගෙන යූ.ඇන්.පී.එක විනාශ කළා… දැන් මෙතැන ආයිමත් ඇවිල්ලා පක්ෂය වැටිච්ච හැටි කතා කරනවා…” යනුවෙන් කියමින් දිගට හරහට හතර වටෙන්ම නවීන්ට ප්‍රති ප්‍රහාර එල්ල වෙද්දී නවීන්ද ඊට උත්තර බඳින්නට පටන්ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
හරීන් පුටුව පෙරළගෙන නැගිටියි
එහිදී නවීන්ට එරෙහිව නැඟිට සිටියේ හරීන්ය. දෙදෙනා අතර සංවාදය උණුසුම් වෙද්දී එක්වරම හරීන් සිය පුටුවද පෙරළාගෙන නැඟිටිමින් අත පය දිගු කර නවීන්ට පහර දෙන්නට උත්සාහ කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී නවීන්ද සූදානම් වූයේ හරීන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමටය. නමුත් එම ගුටිකෙළිය නූලෙන් වැළකී ගියේ සජිතුත්, රනිලුත් දෙදෙනාම වහාම ඊට මැදිහත්ව දෙදෙනාව දෙපැත්තට කිරීමට කටයුතු කිරීම නිසාය.
දෙපැත්තම සටනට බසී
ඉන් අනතුරුව සජිත්ගේ පාර්ශ්වයෙන් රවින්ද්‍ර සමරවීර, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ යනාදීන් අදහස් දැක්වීමට කටයුතු කළ අතර, රනිල් තම පාර්ශ්වය වෙනුවෙන් අදහස් දක්වන ලෙසට මෙහිදී මන්ත්‍රිවරුන්ගේ නම් කියමින්ම කතා කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව වජිර අබේවර්ධන, අකිල විරාජ්, ආශු මාරසිංහ, රංගෙ බණ්ඩාර වැනි මන්ත්‍රිවරුන් රනිල්ගේ ස්ථාවරයට පක්ෂව අදහස් දක්වනු දැකගන්නට ලැබිණ. එම අදහස්වලට සජිත්ගේ පාර්ශ්වයෙන් සුජීව, මරික්කාර්, හරීන්, රංජිත්ගෙන් පිළිතුරු ඉදිරිපත් වන ආකාරයක්ද පෙනෙන්නට තිබිණ.
රනිල්ගේ මුහුණටම කියපු දේ
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙතුවක් කලක් දැකගන්නට නොලැබුණු පරිදි රනිල්ගේ අසුන ඉදිරිපිටටම පැමිණ මන්ත්‍රිවරුන් රනිල්ට එරෙහිව පරුෂ වචනයෙන් බැනවැදීමට කටයුතු කිරීමය. ඇතැම් මන්ත්‍රිවරුන් එහිදී “අවුරුදු 26ක් ඔය පුටුවෙ ඉඳගෙන ඡන්ද පැරැදි පැරැදි හිටිය ලැජ්ජ නැද්ද” යනුවෙන් රනිල්ගේ මුහුණටම අසන ආකාරයක් දැකගත හැකි විය. එහිදී පරුෂ වචනද, හූ හඬද එහෙ මෙහෙ වන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, රනිල් ඒ සියල්ලටම සුපුරුදු පරිදි අත කම්මුලේ තබාගෙන සිනාසෙමින් මුහුණදෙන ආකාරයක්ද දැකගන්නට තිබිණ.
රනිල් රට යයි: බ්‍රහස්පතින්දා නායකත්වයට ජන්දයක්
කෙසේ වෙතත් අවසානයේදී මෙම ගැටුම සහ අර්බුදය සමථයකට පත්කරගත යුතු නිසා මන්ත්‍රිවරුන් කියා සිටියේ මේ වන විට නිල වශයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය අහෝසි වී ඇති නිසා වහාම නැවැත වතාවක් මන්ත්‍රි කණ්ඩායම කැඳවා ඡන්දයක් පවත්වා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගතයුතු යැයි කියාය. සජිත්ද කියා සිටියේ මේ ප්‍රශ්නය තවදුරටත් දුරදිග නොයවා මන්ත්‍රි කණ්ඩායම තුළ විසඳාගත යුතු බවත්, එසේ ඡන්දයක් පවත්වා ඉන් ලැබෙන ප්‍රතිඵලයට සියලු දෙනාම හිස නැමිය යුතු බවත්ය. ඊට රනිල්ගේ විරෝධයක්ද පළවන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
“මම සෙනසුරාදා රට යනවා. ඒ ගිහිල්ල එන්නේ ඊළඟ බදාදා. ඒ යෝජනාවට මගේ විරුද්ධත්වයක් නෑ. අපි එහෙනම් ආයෙමත් මන්ත්‍රි කණ්ඩායම රැස්කරල ඡන්දයක් තියල බහුතර තීන්දුවට අනුව මේ ප්‍රශ්නය විසඳගමු. එහෙනම් ඊළඟ බ්‍රහස්පතින්දා දවසෙම රැස්වීම තියල ඡන්දය විමසන්න කටයුතු කරමු. දැන් මේ රැස්වීමත් පැය හතරහමාරක් විතර ගිය නිසා මට මහන්සියි. ඔබතුමන්ලටත් මහන්සි ඇති. ඒ හින්ද දැන් අපි මේක නවත්තමු….” යනුවෙන් කී රනිල් එම රැස්වීම අවසන් කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් සෙනසුරාදා දිනයේදී තමන් යන්නේ කොහේටද, එසේ ගොස් කරන්නේ කුමක්ද කියා කිසිදු වචනයක් එහිදී සඳහන් නොකිරීමටත් රනිල් පියවර ගත්තේය.
යන තැන රනිල් නොකිව්වේ ඇයි?
රනිල් එසේ සිය විදෙස් සංචාරය පිළිබඳව තොරතුරු සැඟවූවද අපට ඇති තොරතුරුවලට අනුව රනිල් සෙනසුරාදා දිනයේදී පිටත්ව යන්නේ සිංගප්පූරුවටය. එය පෞද්ගලික සංචාරයක් ලෙස සිදුකළද හිටි හැටියේම මෙසේ රනිල් කිසිවකුටත් දැනුම් නොදී සිංගප්පූරුව බලා යෑම පිළිබඳව පක්ෂයේ සියල්ලටම ඇත්තේ තරමක කුතුහලයකි. මන්ද යත් රනිල් මෙසේ විදෙස්ගතව සිටින දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ප්‍රධාන විදෙස් රාජ්‍යයන් තුනක දූත පිරිස් පැමිණීමට නියමිතව ඇති අතර, එසේ තිබියදී රනිල් මේ ආකාරයට විදෙස්ගත වීම එම විමතියට හේතුවී තිබේ. සාමාන්‍යයෙන් රනිල් සැලකෙන්නේ ජාත්‍යන්තර සබඳතාවලින් පරිපූර්ණ දේශපාලන චරිතයක් ලෙසය. විශේෂයෙන්ම ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ රනිල්ට බොහෝ සබඳතා ඇති බව කියැවේ. පසුගිය වසර විසි හය පුරාම රනිල් අගමැතිවරයා ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් මෙසේ විදෙස් දූත පිරිස් ලංකාවට පැමිණි පසු ඔවුන් සමඟ සිය හිතවත්කම් තවදුරටත් වර්ධනය කරගත් ආකාරයක් දැකගන්නට ලැබිණ.
සජිත්ගේ පළමු හමුවීම
නමුත් රනිල් ලංකාවේ නොමැති දවස් කිහිපය තුළ ලංකාවට ඇමෙරිකානු රජයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර ඇලිස් ජී. වෙල්ස් මහත්මියත්, චීන විදේශ ඇමැති වැන් හී මහතාත්, රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රොව් මහතාත් පැමිණීමට නියමිතය. ඒ අනුව මේ තිදෙනා ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් මුණගැසීමෙන් පසුව නිල වශයෙන් විපක්ෂ නායකවරයාද මුණගැසීමට නියමිත බව දැනගන්නට ඇත. ඒ අනුව සජිත් විපක්ෂ නායක ධුරය ලබාගැනීමෙන් පසු පළමු වරට නිල වශයෙන් මුණගැසීමට නියමිතව ඇත්තේ මෙම විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් තිදෙනාගෙන් එක් අයෙකි.
මහින්ද රනිල්ට කාමරයක් දෙයි
නායකත්ව අර්බුදයට අමතරව මේ දිනවල රනිල් පාර්ලිමේන්තුවේ කාමර අර්බුදයකටද මුහුණදී සිටින ආකාරයක් දැකගන්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙතුවක් කල් රනිල් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ තමන්ට නියමිත අගමැති කාර්යාලයේ හෝ විපක්ෂ නායක කාර්යාලයේය. නමුත් රනිල්ට මේ වන විට අගමැති ධුරයත්, විපක්ෂ නායක ධුරයත් යන දෙකම අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තුවේ සිටීමට සිදුව ඇත්තේ මන්ත්‍රිවරුන්ට ලබාදෙන කාමරයකය. නමුත් පසුගිය සතියේ කතානායක කරු ජයසූරිය මහතාට කතා කළ රනිල් තමන්ට විශේෂ කාමරයක් පාර්ලිමේන්තුවේ වෙන්කරන ලෙසට ඉල්ලීමක් කිරීමට කටයුතු කළේය. නමුත් එවැනි විශේෂයක් දැන් රනිල්ට කළ නොහැකි නිසා කතානායකවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කතා කොට රනිල්ගේ මෙම ඉල්ලීම ඔහුට දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් කියා සිටියේ තමන්ට අයත් විපක්ෂ නායක කාර්යාලයේ කොටසක් රනිල්ට ලබාදීමට තමන් සූදානම් යැයි කියාය. ඒ අනුව කතානායකවරයා එය රනිල්ට දැනුම් දුන්නත් සජිත්ගේ කාමරයේ කොටසක් ගැනීමට රනිල් කැමැත්තක් දැක්වූයේ නැත.
පසුව රනිල් කළේ මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කතා කොට තම ඉල්ලීම ඉදිරිපත් කිරීමය. රනිල්ගේ මෙම ඉල්ලීම අනුව මහින්දද පසුගිය සතියේ කතානායකවරයාට දුරකතන ඇමතුමක් ලබාදෙමින් රනිල්ගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහිදී කතානායකවරයා මහින්දගෙන් විමසා සිටියේ කුමන නිර්ණායකයක් යටතේ රනිල්ට කාමරයක් වෙන් කළ යුතුද යන්න කියාය. ඊට සිනාසෙමින් පිළිතුරු දුන් මහින්ද කියා සිටියේ “මට නම් හිටපු අගමැතිවරයා කියලා ඔය වගේ කිසිම කාමරයක් කවුරුත් දෙන්න කටයුතු කළේ නෑ. ඒ වුණාට අපි එතුමට හිටපු අගමැති කියලා ඒ කැටගරි එක යටතේ කැබිනට් ඇමැතිවරයකුට දෙන කාමරයක් දෙන්න බලමු. මොකද කොහොමත් අපිට දැන් කැබිනට් ඇමැතිවරු දාසයයිනෙ ඉන්නෙ. ඒ නිසා වැඩිපුර කැබිනට් ඇමැතිවරුන්ගෙ කාමර ඉතුරු වෙලා තියෙනවනෙ. ඒකෙන් එකක් අපේ රනිල්ට දෙමු” යනුවෙන් මහින්ද දැනුම්දීමෙන් අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තුවේ පළමු මහලේ පිහිටි කැබිනට් ඇමැතිවරයකුගේ කාමරයක් රනිල්ට වෙන් කිරීමට පියවර ගත්තේය. එහිදී රනිල්ට ලැබුණු කාමරය වූයේ ඔහුගේ සමීපතමයකු වූ වජිර අබේවර්ධන විසින් පාවිච්චි කළ එකය.
මේ අතර පසුගිය සතියේ රනිල් තවත් විශේෂ ඉල්ලීමක්ද මහින්දගෙන් කර තිබිණ. ඒ, තමන්ට හිටපු අගමැතිවරයා ලෙස කොළඹින් නිල නිවෙසක් ලබාදෙන ලෙසටය. සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරුන්ට කොළඹින් නිල නිවාසයක් ලබාදීම නීත්‍යානුකූල වුවද හිටපු අගමැතිවරුන්ට කොළඹින් නිවාස ලබාදීමේ සම්ප්‍රදායක් මෙතුවක් කල් තිබුණේ නැත. මේ නිසාම මහින්දට රනිල්ගේ ඉල්ලීම එක්වරම ඉටුකළ නොහැකි නිසා මේ වන විට මහින්ද තීන්දු කොට ඇත්තේ ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට රනිල්ට කොළඹින් නිල නිවෙසක් ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටය.
රන්ජන්ට යන එන මං නැති වෙයිද?
පසුගිය සතියේ රන්ජන්ගේ ගේ ඇතුළෙන් පත්තු වුණු දේශපාලන පරමාණු බෝම්බයේ දුම මේ වන විට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව, අධිකරණ, ක්‍රීඩා හා කලා වැනි සියලුම ක්ෂේත්‍රයන් වසාගෙන පැතිර ගොස් හමාරය. දිනෙන් දිනම රන්ජන් හා සංවාදයේ යෙදුණු දේශපාලනඥයන්, ප්‍රභූ පුද්ගලයන්, ක්‍රීඩකයක්, විනිසුරුවන්, පොලිස් නිලධාරීන්, නළු නිළියන්ගේ හඬපට අන්තර්ජාලයට එක්වීමත් සමඟ සියලුම ක්ෂේත්‍රවල සිටින රන්ජන් හා කතාබස් කරන සියලුම ප්‍රභූ පුද්ගලයන් මේ වන විට සිටින්නේ විශාල කැලඹීමකට පත්වය. ඊට හේතුවී ඇත්තේ ඊළඟ මොහොතේ තමන් රන්ජන් සමඟ කළ කතාබස්වල තොරතුරු අන්තර්ජාලයෙන් එළියට පැමිණෙනු ඇති බවට වූ අනියත බිය නිසාය. රන්ජන්ගේ මේ සීඩිපට නිසා මේ වන විට එජාපයේ නායකකාරකාදීන්ද බරපතළ අර්බුදයකට මුහුණදී සිටින අතර, බොහෝ දෙනකු සිටින්නේ රන්ජන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය යන ස්ථාවරයේය. ඒ, රන්ජන් සදාචාර විරෝධී ලෙස අදාළ සංවාද පටිගත කර ගබඩා කර තබාගත් බවට චෝදනා කරමින්ය.
කෙසේ වෙතත් රන්ජන් අත්අඩංගුවට ගැනුණු සෙනසුරාදා දිනයේ විපක්ෂ නායක සජිත් සිටියේ රට වටා යන ගමනේ තවත් එක් රැස්වීමකට සහභාගි වෙමිනි. මෙසේ රන්ජන්ව අත්අඩංගුවට ගත් බවටත්, අසභ්‍ය සීඩී තැටි තොගයක් රන්ජන්ගේ නිවෙසින් හමුවී ඇති බවටත් වාර්තා වීමත් සමඟ සජිත්ට හිතවත් මන්ත්‍රී කණ්ඩායමත්, නීතිඥ පිරිසකුත් සාකච්ඡාවක් පවත්වමින් රන්ජන්ව බැලීමට යා යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වූහ. අවසානයේදී තීන්දු වූයේ සජිත් රන්ජන්ව බැලීමට ගියද රන්ජන්ට එරෙහි චෝදනා මොනවාද යන්න හරි හැටි දැනගන්නා තෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකිරීමටය. මන්දයත් ඒ වන විටත් පොලිසිය විසින් බලපත්‍ර නොමැති පිස්තෝලයකට රන්ජන්ව අත්අඩංගුවට ගත් බවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණත් රන්ජන්ට එරෙහිව ඊට වඩා බරපතළ චෝදනාවක් එල්ල වීමට නියමිත බවට ඒ වන විටත් විවිධ පාර්ශ්වයන්ගෙන් සජිත්ට දැනගන්නට ලැබී තිබීමය. ඒ අනුව මාධ්‍යයද මඟහැර මෙම ගමන යායුතු වීම නිසා සජිත් රන්ජන්ව බැලීමට පොලිසියට ගියේ පාන්දර දෙකට පමණය. නමුත් මාධ්‍යවේදීන් ඒ වන විටත් මිරිහාන පොලිසිය අසල රැඳී සිටිමින් පුන පුනා සජිත්ගෙන් විමසා සිටියේ රන්ජන්ගේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙන්න යැයි කියාය. නමුත් ඒ සියලු දෙනාටම පැහැදිලිවම සජිත් කියා සිටියේ රන්ජන්ට එරෙහිව නඟා ඇති චෝදනා තවමත් හරිහැටි නොදන්නා නිසා මේ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කිව නොහැකි යැයි කියාය.
සජිත්ට අමතරව ඊට පසු දිනයේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද රන්ජන්ව බැලීමට පැමිණ තිබූ අතර, අන්තර්ජාලය ඔස්සේ හඬපට ප්‍රසිද්ධ වීමත් සමඟ මර්වින්ද කියා සිටියේ මෙවැනි සිදුවීමක් දන්නවා නම් තමන් කීයටවත් රන්ජන්ව බැලීමට යන්නේ නැතැයි කියාය. එමෙන්ම තත්ත්වය බරපතළ වීමත් සමඟ රන්ජන් බලන්නට පැමිණි එජාප මන්ත්‍රිවරුන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවැති අතර අවසානයේදී මෙම හඬපට නිකුත් වීමට එරෙහිව වාරණයක් ලබාගැනීමට රන්ජන් අධිකරණයට ගිය අවස්ථාවේ එම ස්ථානයේ ඔහු පමණක් සිටිනු දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය.
විජයදාසට වෙච්ච දෙයක්
විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධව ඇත්තේ කලින් කලට හීනෙන් නැඟිට්ටාක් මෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයකු ලෙසටය. පසුගිය කාලය පුරාම නිහඬව සිටි විජයදාස යළිත් වතාවක් එක්වරම කරළියට පිවිසුණේ 21 වැනි සහ 22 වැනි සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මෙහිදී විජයදාසගේ අරමුණ වී තිබුණේ 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගෙන් ඉවත්කොට අගමැතිවරයාට පවරා තිබූ ඇතැම් බලතල යළිත් වතාවක් ජනාධිපතිවරයා වෙත පැවරීමය.
කෙසේ වෙතත් විජයදාස මෙවැනි කටයුත්තකට අත ගසා තිබුණේ ජනාධිපතිවරයා පළමු වතාවට මාධ්‍ය ප්‍රධානීන් හමුවී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට කරනු ලැබූ ප්‍රකාශයෙන් අනතුරුවය. මේ නිසාම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ලැබුණා හා සමාන ප්‍රසිද්ධියක්ම විජයදාසගේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලටද ලැබී තිබිණ. මාධ්‍ය මේ සම්බන්ධයෙන් දක්වා තිබූ විශාල උනන්දුව නිසා බොහෝ දෙනා සිතා සිටියේ ආණ්ඩුව විජයදාස ලවා මෙම සංශෝධන රැගෙන විත් තිබූ බවකි.
ආණ්ඩුවේ යෝජනා නෙමෙයිලු
විජයදාසගේ මේ 21 වැනි සංශෝධනයෙන් කියැවුණේ ජනාධිපතිවරයාට ආරක්ෂාව ඇතුළු බලතළ යළිත් පවරා දිය යුතු යැයි කියාය. 22 වැනි සංශෝධනයෙන් කියැවුණේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා ගත යුතු 5% ප්‍රතිශතය 12.5% දක්වා ඉහළ දැමිය යුතු බවය. ඒ හරහා විජයදාසගේ අවශ්‍යතාව වී තිබුණේ සුළු පක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැළැක්වීමය. කෙසේ වෙතත් එජාපය ඇතුළු පක්ෂ කිහිපයක්ද, ආණ්ඩුව සමග සිටින සුලු පක්ෂද පළමු වටයේදීම විජයදාසගේ මෙම යෝජනාවට එරෙහිව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන පළමු වතාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලුම පුවත්පත් කර්තෘවරුන් අරලියගහ මන්දිරයට කැඳවීමට පියවර ගෙන තිබිණ. ඒ අවස්ථාවේදී ‘මව්රට’ පුවත්පත අගමැතිවරයාගෙන් කෙළින්ම ප්‍රශ්න කර සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත්, එය සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ අහෝසි කිරීමට පියවර ගන්නවාද යන්නත්ය. එහිදී මහින්ද ක්ෂණිකවම කියා සිටියේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනයක නිරතව සිටින බවකි. එම අධ්‍යයනයෙන් පසුව 19 සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව කී මහින්ද ඒ සම්බන්ධයෙන් විස්තර කිරීම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පැවරීමට පියවර ගත්තේය. ඒ අනුව ඩලස් විජයදාසගේ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරන ආකාරයක් දැකගත හැකි විය.
“1978 ව්‍යවස්ථාවේ 12.5%ට තිබ්බ ප්‍රතිශතය ප්‍රේමදාස ජනාධිපතිතුමා 5% කළාට පස්සෙ මේ වෙද්දි ඡන්ද හතක් තියල තියෙනවා. එයිනුත් අවස්ථා දෙකකදි විතරයි තනි පක්ෂයකට බහුතර බලයක් ලබාගන්න පුළුවන් වුණේ. ඒ 1988දීයි, 2010දීයි. 88 විශාල භීෂණයක් මැද්දෙ තමයි ප්‍රේමදාසට බහුතරයක් ගන්න පුළුවන් වුණේ. 2010 මහින්ද ජනාධිපතිතුමා විශාල යුද ජයග්‍රහණයක් එක්ක තමයි බහුතර බලය ලබාගත්තේ. 1994දි චන්ද්‍රිකා මැතිනියට විශාල රැල්ලක් තිබිලත් කුඩා පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි 113 බහුතරය හොයාගත්තෙ. ඒ නිසා මේ 5% විකෘතිය ගැන අපි සාකච්ඡා කරන්න ඕනෙ.” යනුවෙන් ඩලස් කියද්දී මහින්ද එක්වරම කියා සිටියේ “විජයදාසගේ යෝජනාව පෞද්ගලික යෝජනාවක්. ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි…” යැයි කියාය.
19ට වෙන දේ
ඉන් අනතුරුව ‘මව්රට’ අගමැතිවරයාගෙන් යළි විමසා සිටියේ 19ට එදා සියලු දෙනාම අත ඔසවා සහාය පළ කළද අද ඊට විරුද්ධ වන්නේ ඇයිදැයි කියාය. එහිදී මහින්ද කියා සිටියේ 19 වැනි සංශෝධනය සම්මත කරගන්නා විට තමා පාර්ලිමේන්තුවේවත් නොසිටි බවකි. ඩලස් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එදා හිටපු ජනාධිපතිවරයාගෙන් එල්ල වූ දැඩි බලපෑම් මධ්‍යයේ බොහෝ දෙනකුට ඊට අත එසවීමට සිදුවූවා යැයි කියාය. ශෙහාන් සේමසිංහ ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් ඊට අත එසවීමට හේතුවක් තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන බවට පොරොන්දු දෙමින් 19 වැනි සංශෝධනයට තම කණ්ඩායම එකඟ කරගත් නමුත් සියලු පොරොන්දු කඩකරමින් අවසානයේදී 20 වැනි සංශෝධනය ගෙන එමින් වැළකී සිටීමට හිටපු ජනාධිපතිවරයා පියවර ගත් බවත්ය.
ඉන් අනතුරුව ‘මව්රට’ යොමුකළ ඊළඟ ප්‍රශ්නය වූයේ මෙම සංශෝධන ගෙන එන්නේ මැතිවරණයට පෙරද, පසුද යන්නය. ඊට පිළිතුරු දෙමින් මහින්ද කියා සිටියේ “පස්සෙ ගේන්නෙ. මොකද අපිට දැන් බහුතරයක් නෑ. දැන් ගෙනාවොත් පරාද වෙනවා. එහෙම පරාද වෙලා ඡන්දවලට යන්න බෑනෙ. ඒක හින්ද ඡන්දෙන් පස්සෙ අපි ඒක ගැන කතා කරල තීන්දුවක් ගන්නවා…” යනුවෙනි.
MCC ගැන ගම්මන්පිල යළි කියයි
ඉන් අනතුරුව උදය ගම්මන්පිල මහතාද සාකච්ඡාවට එක්ව සිටි නිසා ‘මව්රට’ නැවැත ප්‍රශ්නයක් අසමින් විමසා සිටියේ ඉකුත් සමයේදී එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව කියා සිටියත් ගම්මන්පිල මහතා මේ වන විට එම ගිවිසුමෙන් 70%ක් හොඳ බව කියා සිටින නිසා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න කියාය. ‘මව්රට’ විමසූ එම ප්‍රශ්නයට සිනාසෙමින් පිළිතුරු දුන් මහින්ද කියා සිටියේ එම ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත්, එහි වාර්තාව ලැබෙන තෙක් ඉවසා සිටින ලෙසත්ය. එමෙන්ම ගම්මන්පිලද මේ සම්බන්ධයෙන් වූ තම ස්ථාවරය මෙහිදී පිරිසට පැහැදිලි කිරීමට කටයුතු කළේය.
“මං මේ කතාව ඡන්දෙන් පස්සෙ එක පාරක් කිව්වට ඡන්දෙට ඉස්සෙල්ල මාධ්‍යය කිහිපයකටම ඇවිල්ල මේ කතාව මම කිව්ව. ඕන්නම් හිරු සලකුණ වැඩසටහන අරගෙන බලන්න. මම එදත් කිව්වා ප්‍රවාහනය සම්බන්ධයෙන් මේ ගිවිසුමේ තියෙන 70%ක කොටස කිසිම ප්‍රශ්නයක් නෑ කියල. නමුත් ඉතිරි 30% තියෙන්නෙ ඉඩම් ප්‍රතිපත්තිය ගැන. ඒකෙ බරපතළ ප්‍රශ්න තියෙනවා. නමුත් මම ඡන්දෙන් පස්සෙ කියපු කොටස විතරක් අල්ලගෙන සමහර මාධ්‍ය මට එරෙහිව මතයක් ගොඩනඟන්න හැදුවා. හැබැයි මම අදටත් කියන්නෙ ඒ ගිවිසුමේ 70%ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි. අපි ඉදිරි 30% ගැන ඒ අයගෙන් ප්‍රශ්න කළාම ඒ අය කියන්නෙ ඒ 30%ට කැමැති නැත්නම් ඔක්කොම බෑ කියලයි. ඉතින් අපි ඒකට එකඟ නෑ” යන්න ගම්මන්පිලගේ ස්ථාවරය විය.
මහින්දත් රන්ජන්ට කතා කරලා
ඉන් අනතුරුව සාකච්ඡාවට ලක්වූයේ මේ දිනවල මහත් ආන්දෝලනාත්මක මාතෘකාව වූ රන්ජන්ගේ හඬපට සම්බන්ධයෙනි. “රන්ජන් එක්ක කරපු ඔබතුමාගේ දුරකතන සංවාදත් හෙට අනිද්දම එළියට එයි නේද?” යනුවෙන් කර්තෘවරුන් මහින්දගෙන් විමසද්දී මහින්ද ඊට සිනාසෙමින්ම දුන්නේ අපූරු පිළිතුරකි.
“අම්මෝ වාසනාවකට වගේ මම රන්ජන් එක්ක වැඩිය කතා කරල නෑ. වැඩිම වුණොත් ඕන්නම් උපන් දිනේට විෂ් කරන්න විතරක් කතා කරල ඇති. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ” යනුවෙන් මහින්ද කියද්දී පැමිණ සිටි සියලුම කර්තෘවරුන්ද බඩවල් අල්ලාගෙන සිනාසෙන ආකාරයක් දැකගත හැකි විය.
මේ අතර පසුගිය අඟහරුවාදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වුයේද රන්ජන්ගේ සීඩී තැටිවල උණුසුම රට ඇතුළේ ඉහළ යමින් පැවැති වාතාවරණයක් මැදය. ඒ වන විට මහින්දානන්ද සම්බන්ධයෙන් රනිල් හා රන්ජන් අතර සිදුව තිබූ වෙඩි තැබීමේ කතාබහක් නිසා අලුත්ගමගේ මන්ත්‍රි කණ්ඩායමෙන් එක්තරා අවසරයක් ඉල්ලනු දැකගත හැකි විය.
අලුත්ගමගේ පොලිසි යයි
“මේ සිද්ධියට රන්ජන් විතරක් නෙමෙයි රනිලුත් හවුල්. හිටපු ජනාධිපතිතුමත් මේකට සම්බන්ධයි. ඒ නිසා මට අවසර දෙන්න රනිල්ටයි, රන්ජන්ටයි එරෙහිව අල්ලස් කොමිසමටයි. සී.අයි.ඩී. එකටයි පැමිණිලි කරන්න…” යනුවෙන් මහින්දානන්ද කියද්දී ඊට මහින්දගේත්, මන්ත්‍රි කණ්ඩායමේත් අවසරය හිමිවිය.
එමෙන්ම දැනට පොලිසිය සතුව ඇති රන්ජන්ගේ සීඩී තැටි 1032ක් සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට විමර්ශනය කළ යුතු බවද මන්ත්‍රිවරුන් එහිදී මහින්දගෙන් ඉල්ලා සිටි අතර ඊට මහින්දගේද එකඟතාව පළවනු දැකගන්නට ලැබිණ.
පොහොට්ටුවේ ප්‍රශ්න හදන අමරවීර
ඉන් අනතුරුව මන්ත්‍රි කණ්ඩායම තුළ අවධානය යොමු වූ තවත් විශේෂ කාරණාවක් වූයේ මහින්ද අමරවීර පසුගිය සතියේ සිදුකර තිබූ විශේෂ ප්‍රකාශයක් සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සිදුකර තිබූ ප්‍රකාශයකි. මෙහිදී අමරවීර මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ ජනාධිපතිවරයාට පොහොට්ටුවේම සමහර පාර්ශ්ව සහාය නොදක්වන නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට ලබාදෙනවා යැයි කියාය. මේ හරහා අමරවීර නොකියා කියා සිටියේ රාජපක්ෂලා අතර අර්බුදයක් මතුවී ඇති බවත්, එම අර්බුදයේදී ජනාධිපතිවරයාගේ සහායට ශ්‍රීලනිපය සිටින බවත්ය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෛත්‍රිපාලත්, දයාසිරිත් මේ සම්බන්ධවම තැන් තැන්වල රහස් සාකච්ඡා පවත්වමින් පොහොට්ටුව ඇතුළේ අර්බුද හටගන්නා තෙක් හීන්සීරුවේ කල් යල් බලමින් සිටිය යුතු බවට කර තිබූ ප්‍රකාශ අපි රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කිරීමට කටයුතු කළෙමු. එහිදී ඔවුන් සාකච්ඡා කර තිබුණේ මතුව තිබූ තත්ත්වය මත පොහොට්ටුව සලකුණ යටතේ මෛත්‍රිටද මහ මැතිවරණයේදී තරග වැදීමට සිදුවනු ඇති බවත්, එම නිසා කෙසේ හෝ ඊට විරෝධය පළ නොකොට පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අවස්ථාව එන තෙක් ඉවසීමෙන් සිටිය යුතු බවත්ය. නුදුරේදීම බරපතළ ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට මුහුණදීමට සිදුවනු ඇති බවත්, ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මත ගැටුම් මතු වනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී ඇති අතර, එවැනි විටෙක යළිත් මෛත්‍රිට ආණ්ඩුව ඇතුළේ හිස එසවිය හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. පසුගිය සතියේ අමරවීර කළ ප්‍රකාශය හරහාද එළියට පැන තිබුණේ මෛත්‍රීලාත්, දයාසිරිලාත් දරන ස්ථාවරයේම ඊළඟ කොටසය.
ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම තුළ අමරවීරගේ එම ප්‍රකාශය ගැඹුරින් සාකච්ඡාවට ලක්කෙරුණු අතර එහි සිටි සියලු දෙනාම පාහේ එම කතාව විවේචනය කරමින් අදහස් දැක්වීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. එමෙන්ම මහින්දද කියා සිටියේ තමන්ද අමරවීරගේ එම ප්‍රකාශය දුටු බවත්, පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බව තමන්ටද සිතුණු බවත්ය.
මහින්දටත් ගේම පැහැදිලි වෙයි
එහි තවත් එක් අමාත්‍යවරයෙක් කියා සිටියේ පසුගිය සතියේදී මෛත්‍රිපාල සිරිසේන මහතාද පොළොන්නරුවට ගොස් එවැනිම ආකාරයේ කතාවක් කර තිබූ බවත්, ඉකුත් සමයේ මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ ආරම්භ කර තිබූ ව්‍යාපෘති කිසිසේත්ම නොනවත්වා ඒවා දිගටම සිදුකරගෙන යන ලෙස එහිදී මෛත්‍රි දැනුම්දී තිබූ බවත්ය.
“මම දන්නවා එක එක්කෙනා තැන් තැන්වල කතා කරන දේවල්. ඒවයෙ ප්‍රතිඵල වෙන්න ඇති ඔය මහින්ද අමරවීරගෙ කටිනුත් එළියට ඇවිල්ල තියෙන්නෙ. මටත් හිතෙනව ඒක දැක්ක ගමන්ම අපි අතර ප්‍රශ්නයක් හදන්න මේ අයගෙ සැලැසුමක් තියෙනවා කියලා. හොඳයි අපි බලමුකො…” යන්න එහිදී මහින්ද දුන් උත්තරය විය.
දුමින්දට නිදහස ලැබෙයිද
මේ අතර පසුගිය බදාදා දිනයේදී ආණ්ඩුවේ තෝරාගත් පිරිසක් අතර අතිවිශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. එම සාකච්ඡාවේ මාතෘකාව වී තිබුණේ දැනට මරණීය දණ්ඩනය හිමිව ඇති දුමින්ද සිල්වා සහ තවත් නඩු කිහිපයකි. විශේෂයෙන්ම දැනට කරළියට පැමිණ ඇති රන්ජන්ගේ හඬ පට ඔස්සේ මතුව ඇති තොරතුරු , දුමින්දගේ සිරගත වීම, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, නඩුව විභාගයට ගත් ආකාරය, තීන්දු දුන් ආකාරය, දුමින්දගේ ජනප්‍රිය බව ආදිය සම්බන්ධයෙන් මෙහිදී මැති, ඇමැතිවරුන් දීර්ඝ ලෙස අදහස් දක්වා ඇති බවක් නිල නොවන වශයෙන් ආරංචිය. ඒ අනුව අවසානයේදී නිශාන්ත සිල්වලා, ශානි අබේසේකරලා දුමින්දගේ නඩුවේ විමර්ශන කටයුතු මෙහෙයවූ ආකාරය සම්බන්ධයෙන් රටේ ප්‍රකට ස්වාමීන් වහන්සේ සමඟත්, ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කොට එම පරීක්ෂණවල ඇත්ත තත්ත්වය ඒ පිරිසට ඉදිරිපත් කිරීමටත් මෙම මැති, ඇමැතිවරුන් තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද විරෝධයක් පලව නැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ගතහැකි ඉහළම ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටද මෙහිදී වැඩිදුරටත් තීන්දු වී ඇති බවක්ද එම නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම සිදුවීම ඉකුත් බදාදා (01දා) සිදුව ඇති අතර, රන්ජන්ගේ ආන්දෝලනාත්මක හඬපට නිකුත් වූයේ ඉකුත් සෙනසුරාදා (04දා) දිනය. ඒ අනුව බදාදා වන විටම මෙවැනි හඬ පට කිහිපයක් නිකුත් වීමට නියමිත බවක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි මැති, ඇමැතිවරුන් දැන සිටියාද යන්න තහවුරු කිරීමට අප සතුව කරුණු නැතත් මේ සමාජ ජාලවල සැරිසරමින් පවතින්නේ පොලිසිය විසින් නිකුත් නොකළ හඬ පට බව දැනගන්නට ඇත. ඒ අනුව මෙම හඬපට කලින් කාගේ හෝ ප්‍රබලයකුගේ අතට ගොස් පසුව එය සැලැසුම් සහගතව එළියට දැමුවාද යන්න ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඒ කෙසේ වුවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර පැවැති සාකච්ඡාවේදී දුමින්දව එළැඹෙන මහ මැතිවරණයට පෙර එළියට දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නිල නොවන ආකාරයේ අදහස් හුවමාරු වූ බවක්ද දැනගන්නට ඇත.
කපිල පුංචිමාන්නගේ