මෙරට වගාකළ හැකි කිසිදු බෝගයක් විදේශයෙන් ගෙන්වීමේ අදහසක් රජයට නැතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා පළාත් සභාවල දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු ඇතුළු පළාත් සභාවල සියලුම ලේකම්වරුන් සමඟ අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීය.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල යටතේ, සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව, ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව වශයෙන් කමිටු පත්කොට ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත මෙම කමිටු ඉදිරි අයවැයට පෙර දිස්ත්‍රික්ක මට්ටමින් පලාත් සභා ආයතන නිලධාරීන් හමුවී ජනගැටලු අධ්‍යනය කිරීමට නියමිත අතර එම කමිටු ක්‍රියාත්මක වීමේදී පලාත් සභාවල දායකත්වය උපරිමයෙන් බලාපොරොත්තු වන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ගෘහ ආර්ථිකය නගාසිටුවීම යටතේ ගෙවතු වගාව මෙන්ම සත්ව පාලනය, ජලජීවි වගාව, ගෘහස්ථ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ආදිය කෙරෙහිත් අවදානය යොමු කිරීම වැදගත් වන අතර මෙහිදී ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙයි.
කොරෝනා උවදුරට මුලු ලොවම මුහුණ දී සිටින අවස්ථාවක දේශීය ගොවිතැන හා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම මගින් දේශීය ගොවියාට මෙන්ම නිෂ්පාදකයාටත් සාධාරණ මිලක් ලබා දෙන අතරේ පාරිභෝගිකයින්ටද සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ අවකාශය සැලසීමේ හැකියාව පවතියි.
ඒ සඳහා දේශීය ගොවියා සහ නිෂ්පාදකයා දිරිගැන්විය යුතුව ඇත. දේශීය ගොවියා සහ නිෂ්පාදකයින් දිරි ගැන්වීම සඳහා මෙරට අපනයන ව්‍යාපාරිකයින් සහ පුද්ගලික අංශයේ දායකත්වය ලබා දීමට එකඟ වී ඇතැයිද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේය.
මෙම අරමුණු සාක්ෂාත් කර ගනිමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී වැව් ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රදේශය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය බෙදා හැරීම, පොහොර සහනාධාරය බෙදා හැරීම ආදී සියලු කටයුතුවලට පළාත්සභාවල සහාය රජය අපේක්ෂා කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මහජන නියෝජිතයින්ගෙන් තොරව වසර ගණනාවක් තිස්සේ පළාත් සභා ක්‍රියාත්මක වන මෙවැනි අවස්ථාවක මහජන අවශ්‍යතා හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබා දීමේ වගකීම ඇත්තේ පළාත් ආණඩුකාරවරුන්ට, ලේකම්වරුන්ට සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
කොරෝනා උවදුර පවතින අවස්ථාවේ සෞඛ්‍ය අංශ මෙන්ම කැපවී කටයුතු කරමින් ජනතාවට සහන ලබාදීම සඳහා වෙහෙසෙන පළාත් සභා නිලධාරීන්ද මෙහිදී අගය කළ බැසිල් රාජපක්ෂ මහතා සෑම නිවසක් ඉදිරිපිටම මැටි භාජනයක කහ පැළයක් සිටුවීමට ජනතාව උනන්දු කරවන ලෙසද විශේෂ ඉල්ලීමක් කලේය.
විෂබීජ නාශකයක් ලෙස යොදා ගන්නා කහ ශාකය නිවෙස් ඉදිරිපිට රෝපනය කිරීම මගින් නිවෙසට ආරක්ෂාවක් හිමිවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පෙන්වා දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීම සුදුසු වන බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙම වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කෙරෙන අතර ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන් සඳහා රජයේ නිලධාරීන් කාර්යක්ෂම සහභාගි කරවා ගැනීමට මෙමඟින් අපේක්ෂා කෙරෙයි.















