සිව්දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව්වැනි සංවත්සරයට සමගාමීව ආසන සම්මේලන මාලවේ දෙවන අදියර දිවයින පුරා හෙට (16) ආරම්භ වීමට නියමිතය.
මෙම ආසන සම්මේලන මාලවේ පළමු අදියර දෙසැම්බර් මස 19 සහ 20 යන දිනවලදි දිවයිනේ මැතිවරණ කොට්ඨාශ 32 ක පවත්වන ලදි. ප්‍රධාන පක්ෂ නියෝජිත සම්මේලනයට අමතරව කාන්තා, තරුණ ඇතුළු අනෙකුත් අනුබද්ධ සංවිධානවල සම්මේලන ද 61 ක් මීට සමගාමිව පැවැත්වින.
රට තුළ පැවති වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතර වන සංවත්සරයේ සමගාමීව උත්සව සියල්ල දින නියමයක් නොමැතිව කල් දැමීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබු අතර ඒ අනුව, සංවිධානය කර තිබු ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන සහ සමස්ත ලංකා සම්මේලන ඇතුළු සියලු උත්සව කටයුතු තාවකාලිකව අත්හිටු වීමට පක්ෂය තීරණය කළේය.
රට තුළ සියලු අංශයන්හි කටයුතු සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මූලික කර ගනිමින් පැවැත්වීම මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව, සෞඛ්‍ය නිතිරිති දැඩිව අනුගමනය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අධික්ෂණයට යටත්ව පක්ෂ සංවිධාන කටයුතු ඉදිරියට ගෙන යාම ආරම්භ කර ඇත.
මැතිවරණ ආසන කේන්ද්‍ර කර ගනිමින් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සම්මේලන මාලාව සංවිධානය කර ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන්ගේ දායකත්වයෙන් සාමාජිකත්ව සහභාගිත්වයෙන් මෙම සම්මේලන මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව යන ආසනවල සම්මේලන පැවැත්වීමට නියමිතය. මහරගම සම්මේලනය ජනවාරි මස 16 වන දා උදෑසන 10.00 ට සහ දෙහිවල සම්මේලනය සවස 3.30 ට පැවැත්වීමට නියමිත අතර 17 වනදා රත්මලාන ආසන සම්මේලනය උදෑසන 10.00 ට සහ මොරටුව ආසන සම්මේලනය සවස 3.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එසේම මධ්‍යම පාළාත නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය, කොත්මලේ ආසනවල සම්මේලන ජනවාරි මස 17 වන දා පැවැත්වීමට නියමිත අතර, මස්කෙළිය ආසන සම්මේලනය උදෑසන 10.00 ට ද කොත්මලේ ආසන සම්මේලනය සවස 2.00ට ද පැවැත්වීමට නියමිතය. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආසන සම්මේලන රැසක් දෙසැම්බර් මස සාර්ථකව අවසන් කර ඇත.
දකුණු පළාත නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාතර, අකුරැස්ස, දෙනියාය යන ආසනවල සම්මේලන පැවැත්වීමට නියමිත අතර, ජනවාරි මස 16 වනදා වැලිගම ආසන සම්මේලනය උදෑසන 10.00 ට ද මාතර ආසන සම්මේලනය සවස 3.30 ට ද පැවැත්වෙන අතර 17 වනදා අකුරැස්ස ආසන සම්මේලනය උදෑසන 10.00ට ද දෙනියාය ආසන සම්මේනලය සවස 3.30 ට ද පැවැත්වීමට නියමිතය.
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල ආසනවල සම්මේලන පැවැත්වෙන අතර, ජනවාරි මස 16 වනදා ගලිගමුව ආසන සම්මේලනය උදෑසන 10.00 ට සහ 17 වනදා මාවනැල්ල ආසන සම්මේලනය උදෑසන 10.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවන් සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය නායකයින් ඇතුළු නියෝජිතයින් සහභාගිවීමට නියමිත අතර සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන්ට අනුව සියලු කටයුතු සංවිධානය කරන ලෙස ද පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධායක මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.











