ටී 56 ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් හිමි වූ මාළිගාවත්තේ පිහිටි ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපතිව වැඩ විසූ ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති පොදු සමාවකින් නිදහස හිමිවීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ඇත්තේ දැඩි කථාබහකි.
අපේ මේ කථානායකයාණන් වන ඌවතැන්නේ සුමන හිමියන් ගැන සමාජය අද කථාබහ කරන්නේ ජීවිතාන්තය දක්වා උන්වහන්සේට අධිකරණයෙන් ලබාදුන් දඬුවම අහෝසි කරමින් ජනාධිපතිවරයාගෙන් ලද පොදු සමාව ගැන පමණි. ඒ උන්වහන්සේ ගැන රටම දන්නේ ගිනි අවි සන්තකයේ තබා ගැනීමක් හේතුවෙන් පොලීසියට හසුවී සිරදඬුවම් හිමිවූ භික්ෂුවක් ලෙස පමණක් වන බැවිනි. එම ගිනි අවි කාගේද? එම අවි උන්වහන්සේ සන්තකයේ තිබුණේ ඇයිදැයි කියා උන්වහන්සේට නිදහස ලැබීම ගැන විවිධ මත ප්‍රකාශකරන්නන් විමසීමක් කර තිබේදැයි ඇත්තේ ගැටලුවකි.
අදටත් රහස්
අවසන් යුද්ධය පැවැති සමයේදී රට වෙනුවෙන් උන්වහන්සේ සිය ජීවිත අවදානම පවා නොතකා කළ කැපවීම් බොහෝය. ඒවා අදටත් රහස්ය. තමන් වහන්සේව ගිනි අවි සමග පොලීසිය අත්අඩංගුවට ගන්නා විටත් ඊට පසුත් උන්වහන්සේ ඒ ගැන කෙළ බිඳක් බිම හෙළුවේ නැත. ඒ තමන් වහන්සේ හිරේ විලංගුවේ වැටුණත් ජාතික ආරක්ෂාව පාවා නොදෙන තීන්දුවක උන් වහන්සේ සිටි නිසා වන්නට පුළුවනි. අවි ආයුධ සමග අත්අඩංගුවට ගැනීම ගැන උන්වහන්සේ කීවේ එය දේශපාලන කුමන්ත්‍රණයක් බව පමණි. ඒ උන්වහන්සේව ගිනි අවි සමග අත්අඩංගුවට ගැනෙන්නේ 2010 ජනාධිපතිවරණයත් සමග වන බැවිනි. එම මැතිවරණයේදී උන්වහන්සේ දේශපාලනික වශයෙන් සිය සහයෝගය ලබාදුන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. ඊට පෙර උන්වහන්සේ උග්‍ර මහින්දවාදියෙක් විය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරන්නට පෙරමුණගත් භික්ෂූන් වහසේලා අතර ඌවතැන්නේ සුමන හිමියන්ගේ නමද තිබුණේ ඉදිරියෙනි. ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානයේ උන්වහන්සේ ඉහළ තනතුරක් පවා දැරුවෝය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට යුදමය විසඳුමකින් පිළිතුරු දිය යුතු යැයි මතයේ එල්බ සිටි භික්ෂුන් වහන්සේලා අතර සිටි ඌවතැන්නේ සුමන හිමියන් එල්.ටී.ටී.ඊ.යට යුදමය විසඳුම් ලබාදීමේ කටයුත්තේදී සක්‍රීය දායකත්වය ලබාදී තිබුණේ උතුරු – නැගෙනහිර පළාත්වලට පවා වැඩම කරමිනී.
වැටලීම සිදුවන්නේ 2010 වසරේ ජනවාරි 20 වෙනිදා
ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ ඌවතැන්නේ සුමන හිමියන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හිමිවීමට මුල් වන පොලිස් වැටලීම සිදුවන්නේ 2010 වසරේ ජනවාරි 20 වෙනිදාය. ඒ උන්වහන්සේ වැඩ වාසය කළ මාළිගාවත්තේ බෝධිරාජාරාම විහාරස්ථානය යම් ඉහළ නියෝගයකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පරීක්ෂාවකට ලක්වෙමිනි. විශේෂ කාර්ය බළකා සෙබලුන් එදා විහාරස්ථානයේ වැලි කැටයක් ගානේ පරීක්ෂාවට ලක්කරන්නේ තරුපටි පැළදි පොලිස් ලොක්කන්ගේද දෑස් ඉදිරියේය. අවසානයේදී ඌවතැන්නේ හිමි අත්අඩංගුවට ගැනීමේ පුවත මාධ්‍යට නිකුත් වන්නේ විහාරස්ථානයේ තිබී ටී 56 අවි දෙකක් අත්බෝම්බ 50ක් සහ පතොරම් 210ක්ද සොයා ගත්තේයැයි සඳහන් කරමිණි. ඊට අමතරව විහාරස්ථානයේ තිබී සොයා ගත්තේ යැයි කියා තවත් බොහෝ දේවල් ගැන තොරතුරු එළියට ආවේය. ඒවා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට තරම් නීතිය ඉදිරියේ කිසිසේත් වරදක් නොවන දෑය. එහෙත් ඒ දේවල් භික්ෂුවකට ළඟ තබා ගැනීම කොතරම් උචිතදැයි සමාජයේ යම් කථාබහක්ද එකල හටගත්තේය. එදා මාධ්‍යට ඒ දේවල් බලධාරීන් විසින් ලබාදුන්නේද ඒ නිසාය. ඒවා උපත් පාලනය හා සම්බන්ධය.
කරුණා අම්මානුත් පොට්ටුගෙන් හැංගිලා හිටියේ පන්සලේ
එදා විලංගු දමා පොලීසියට කුදලාගෙන යන විට පවා උන්වහන්සේ කීවේ එම ආයුධ විහාරස්ථානයට දමා තමන් වහන්සේගෙන් ආණ්ඩුව දේශපාලන පළිගැනීමක නිරතව සිටින බවකි. උන්වහන්සේ දිගින් දිගටම කියන්නට වූයේ සරත් ෆොන්සේකාට දේශපාලනික වශයෙන් තමන් වහන්සේ සහය දැක්වීම හේතුවෙන් මෙම පළිගැනීම සිදුවනවායැයි කියාය. එදා ගිනි අවි සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තේ උන්වහන්සේ පමණක් නොවේ. විහාරස්ථානයේ රැඳී සිටි දෙමළ ජාතිකයින් සිව් දෙනෙක් සහ මාවෙලතැන්නේ සුමේද නම් වූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත්තේය. දෙමළ ජාතිකයන්ගෙන් තිදෙනෙක්ම මඩකලපුවේ වැසියන්ය. සිව් වැන්නා හැටන් පැත්තේය. ඔහු වතුකරයේ දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ තොණ්ඩමාන්ගේ පාක්ෂිකයෙකි. මේ අයගෙන් වතුකරයේ දෙමළ ජාතිකයා නිදහස් වූ අතර නීතිපතිවරයා විසින් අවසානයේදී මහාධිකරණයේ නඩු පවරන්නේ ඌවතැන්නේ සුමන හිමි පළමු විත්තිකරුත්, මාවෙල තැන්නේ සුමේද හිමි දෙවැනි විත්තිකරුත්, මඩකලපුවේ වැසියන් තිදෙනා සෙසු විත්තිකරුවනුත් කරමිනි. ජී. බාලන්, කේ. තමිල් චෙල්වම් සහ සන්දීපන් සුබ්‍රමනියම් යන එම මඩකලපුවේ වැසියන් තිදෙනා එල්.ටී.ටී.ඊ.යේ සිට කැඩී වෙන්වුණු කරුණා අම්මාන් පාර්ශවයේ සටන්කාමීන්ය. මේ අයට ඌවතැන්නේ සුමන හිමියන්ගෙන් ලැබී ඇත්තේ විහාරස්ථානයේ රැකවරණය පමණි. මේ අය පමණක් නොව, 2003 වසරේදී එල්.ටී.ටී.ඊ.යෙන් කැඩී වෙන්වූ කරුණා අම්මාන්ට සැඟව සිටින්නට පවා ඉඩක් ලැබී තිබී ඇත්තේ බෝධිරාජාරාමයේය. කරුණා අම්මාන්ව නැගෙනහිර සිට කොළඹට රැගෙන ඒමේ මෙහෙයුමේ සක්‍රීය දායකත්වයක් ලබාදී ඇති ඌව තැන්නේ සුමන හිමි සිය විහාරස්ථානයේ කරුණා සඟවා ගන්නේ එල්.ටී.ටී.ඊ.යේ පිස්තෝල කල්ලියෙන් රැක ගන්නටය. එදා කරුණාගේ ආරක්ෂාවට ඔහුගේ කණ්ඩායමක් පවා විහාරස්ථානයේ රහසිගතව රැඳී සිට ඇති අතර ඒ අය සිට ඇත්තේද සන්නද්ධවය. ඒ එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලියෙන් යම් ප්‍රහාරයක් එල්ලවුවහොත් ඊට මුහුණ දෙන්නටය. එදා කරුණා අම්මාගේගේ කල්ලියේ සාමාජිකයන්ගේ ගිනි අවි පවා තිබී ඇතැයි කියන්නේ බෝධිරාජාරාමයේය. බෝධිරාජාරාමය කේන්ද්‍රකරගනිමින් කරුණා අම්මාන්ගේ සටන්කාමීන් කොළඹ සහ ඒ තදාසන්න නගර ආශ්‍රිතව රැඳී සිටි පොට්ටුඅම්මාන්ගේ ටොසී බුද්ධි අංශ සාමාජිකයන්ටත්, එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි සාමාජිකයන්ටත් එරෙහිව කර ඇති රහස් මෙහෙයුම් ගණන ගැන දන්නෝ සිටින්නේද අතලොස්සක් පමණි. එදා එල්.ටී.ටී.ඊ.ය උතුරෙන් පසු බසින විට දකුණේ බෝම්බ පුපුරා නොයන්නේ එම මෙහෙයුම්වල තීව්‍රතාවය නිසාය.
මහින්දගෙන් කැඩී ෆොන්සේකා ළගට
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හිතෛෂීවන්තයෙක්ව සිටි ඌවතැන්නේ සුමන හිමි කණපිට ගසන්නේ සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමගිනි. අවි ආයුධ සමග අත්අඩංගුවට ගැනීමෙන් මාස කිහිපයක්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටි උන්වහන්සේගේ සුවදුක් විමසීමට එකල විපක්ෂයේ දේශපාලනඥයන් රැසක්ම පැමිණ තිබුණේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එකල සිටි ප්‍රබල ඇමතිවරයෙකුගේ සමීපතයෙක්ද උන්වහන්සේගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට ගොස් තිබුණේය. ඔහු පැමිණ ඇත්තේ උන්වහන්සේව නැවතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැත්තට නම්වා ගන්නටය. එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණේ උන්වහන්සේට ෆොන්සේකා වැහී සිටි බැවිනි.
මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස ලැබූ ඌවතැන්නේ සුමන හිමි නැවතත් දේශපාලනයට බැස්සේ සරත් ෆොන්සේකාගේ දේශපාලන අනුගාමිකයෙක් ලෙසිනි. උන්වහන්සේ සරත් ෆොන්සේකා නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක වෙමින් 2015 මහා මැතිවරණයට පවා අංක 06න් තරග කළහ. ඒ “රට පෙරට අපි එකට” යන ආදර්ශ පාඨය පෙරටුකරගෙනය.
ගිනි අවි සමග උන්වහන්සේ අත්අඩංගුවට පත්වීමත් සමග විවිධ චෝදනා මෙන්ම අපවාද පවා උන්වහන්සේට එල්ලවීමට ගත්තේය. ඒ අතර මාදම්පේ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදෙන බවට ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීමක්ද සම්බන්ධයෙන් 2011 වසරේදී උන්වහන්සේට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් පවා නිකුත් විය.
සංවිධාන රැසකට නායකත්වය
ඌවතැන්නේ සුමන හිමියෝ විවිධ සංවිධාන රැසකට නායකත්වය දුන්හ. පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත බෝධිරාජාරාම අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනම ක්‍රියාත්මක වන්නේ උන්වහන්සේගේ මෙහෙයැවීමෙනි. දේශමාමක ජාතික බලවේගය, ජංගම වෙළෙඳුන්ගේ ජාතික සංවිධානය, පදික වෙළෙඳුන්ගේ ජාතික සංවිධානය, ත්‍රී රෝද රථ කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානය, රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ ජාතික සංවිධානය, දිරිය කාන්තා ජාතික සංවිධානය ආදී සංවිධාන රැසක සභාපතිධුරය පවා දරන්නේ උන්වහන්සේය. මෙම සංවිධාන උන්වහන්සේ ගොඩ නගන්නේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිවය. ඒ නිසාම රාජපක්ෂ ආණ්ඩුවට හිතෛෂී ස්වයං රැකියා වෙළෙඳුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධූරය දැරූ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ සමග නිරත්තරයෙන් උන්වහන්සේ ගැටුම් ඇතිකර ගත්තේය. 2013 වසරේ උන්වහන්සේ නැවතත් පොලිස් අත්අඩංගුවට පත්වන්නේද මහින්ද කහඳගමගේට පහරදීමේ චෝදනාවකට ලක්වය. ඒ ඕල්කට් මාවතේ කඩ කාමර 104 ක් ගිනි ගැනීමට ලක්වීමක් සම්බන්ධයෙන් ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග යාමෙනි.
මාළිගාවත්තේ අවුරුදු 40ක්
ඌවතැන්නේ සුමන හිමි මාළිගාවත්තේ වැඩ වාසය කරන්නේ වසර තිස් පහක් හතළිහක් තිස්සේය. උන්වහන්සේට හොඳ කලක් උදා වන්නේ 2015 වසරේ යහපාලන ආණ්ඩුව බිහි වීමත් සමගිනි. ෆොන්සේකාගේ පක්ෂයෙන් මහා මැතිවරණයට තරග කර පරාජයට පත්වූවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කිරීම හේතුවෙන් උන්වහන්සේ දේශපාලනික වශයෙන් ශක්තිමත් වූහ. ප්‍රබල මැති ඇමතිවරුන් බෝධීරාජාරාම විහාරස්ථානයේ නිරත්තරයෙන් දකින්නට ලැබෙන්නේද එබැවිනි. එසේම උන්වහන්සේ ඇමතිවරුන් සමග රට වටා විවෘත කිරීම් සහ මුල්ගල් තැබීම්වලට පවා වැඩම කළහ. ඇතැම් විවෘත කිරීම්වලට උන්වහන්සේ ගමන්කර තිබුණේ ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර්වල නැගීය. අවසානයට උන්වහන්සේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් සමග ගුවනින් උත්සවයක් සදහා යන්නේ 2019 වසරේ මාර්තු 12 වෙනිදාය. ඒ බණ්ඩාරගම ඉදිකෙරන පුද්ගලික ආයතනයකට මුල්ගල් තැබීමකටය.
යහපාලන ආණ්ඩුව සමයේදී උන්වහන්සේ රජයේ විවිධ ව්‍යාපෘති සඳහාද සම්බන්ධව සිටියහ. උන්වහන්සේගේ මුහුණ යහපාලන ආණ්ඩුවේ බොහෝ තැන්වල දකින්නට ලැබුණහ. ඈත ගම්වල ජනජීවිත නගා සිටුවීමේ වැඩ සටහන්වලටද උන්වහන්සේ එකල සම්බන්ධව සිටියහ. මහින්ද කහඳගමලාගේ සංවිධාන වෙනුවට උන්වහන්සේගේ සංවිධානවලට තැනක් ලැබෙන්නටද ගත්තේය. උන්වහන්සේ වටා පදික වෙළෙඳුන් ස්වයං රැකියාවල නියුක්තිකයන් ත්‍රී රෝද රථ රියදුරන් ආදී සුළු ජනයා එක්රොක්වන්නට ගත්තේය. මෑතකදී ඝාතනය වූ ත්‍රී රෝද රථ සංගම් නායකයෙක් වූ සුනිල් ජයවර්ධන ද සිටියේ උන්වහන්සේ සමගිනි. යහපාලන ආණ්ඩුව පැවැති සමයේදී දේශපාලනික හයිහත්තියෙන් සිවිල් බලයක් ගොඩ නගාගෙන සිටි ඌවතැන්නේ සුමන හිමිගේ බලය බිඳෙන්නේ නැවතත් රාජපක්ෂ ආණ්ඩුවක් මෙරට බිහිවීමත් සමගිනි. මාළිගාවත්තේ බෝධිරාජාරාමයට නැවතත් උන්වහන්සේ මුළු ගැන්වෙන විට එතෙක් කාලයක් කොළඹ මහාධිකරණයේ ඇදෙමින් තිබුණු ගිනි අවි නඩුවද ඉක්මන් වන්නට විය. ඒ වන විට ඌවතැන්නේ සුමන හිමි හැරුණු කොට සෙසු විත්තිකරුවන් සියලුදෙනාම සිටින්නේ අධිකරණයෙන් නිදොස්කොට නිදහස් කරමිනි. ඒ ඔවුන්ට එරෙහිව නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා විසින් 2018 වසරේ ජුනි 24 වෙනිදා අධිකරණයට කර තිබුණු දැනුම්දීමකට අනුවය. ඒ ආකාරයට තමන් වහන්සේටත් යම් දිනක නිදහස හිමිවනු ඇතැයි ඇතැම් විට ඌවතැන්නේ සුමන හිමි බලා සිටින්නටද ඇත. එහෙත් සිදුවන්නේ ඉකුත් වසරේ ජුනි 01 වෙනිදා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් උන්වහන්සේට එරෙහිව විභාග වූ නඩුතීන්දුව ප්‍රකාශයට පත්කරමින් උන්වහන්සේව ජීවිතාන්තය දක්වා සිරගෙදරට යැවීමය. ඒ ටී 56 ගිනි අවි දෙකක් ළඟ තබා ගත් බව අධිකරණයේදී උන්වහන්සේට එරෙහි නඩුව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවීම නිසාය. එදා උන්වහන්සේව අත්අඩංගුවට ගන්නේ ටී 56 ගිනි අවි දෙකට අමතරව අත්බෝම්බ සහ පතොරම් විශාල ප්‍රමාණයක්ද සමගිනි. එහෙත් අධිකරණයේදී සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවී ඇතැයි කියැවෙන්නේ ටී 56 අවි දෙක සම්බන්ධයෙනි. ඒ අනුව ටී 56 අවි දෙකක් සන්තකයේ තබා ගැනීමට ජීවිතාන්තය දක්වා ඌවතැන්නේ සුමන හිමි බන්ධනාගරගත වන්නේ එම ගිනි අවි පිටුපස ඇති සැබෑ කතාව සඟවාගෙනය. ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිය උන්වහන්සේට මාස හතක් වැනි කෙටි කාලයක් තුළ මේ ආකාරයෙන් ජනාධිපති සමාවක් ලැබීමට පවා මුල්වන්නට ඇත්තේද ඒ සැඟවුණු සෑබෑ කථාව නිසාම විය හැකිය.










