පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී එළඹෙන 24 වැනි බදාදා දින පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කිරීමට ඒ මහතාට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව මීට පෙර එකගතාව පළ කොට තිබුණද මේ වනවිට එම අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
පාකිස්තාන අගමැතිවරයාගේ ලංකා සංචාරය ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිත අතර පාකිස්තානය පාර්ශ්වයෙන් මීට පෙර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණේ අගමැතිවරයාට ලංකා පාර්ලිමේන්තුවේ දේශනයක් සිදු කිරීමට අවශ්‍ය බවකි.
ඒ අනුව ඉකුත් සතියේ සදුදා (08) විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
එහිදී අගමැතිවරයාද පාකිස්තාන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වීමට අවස්ථාව ලබා දීමට එකගතාව පළ කොට තිබිණ.
ඒ අනුව 09 වැනි අගහරුවාදා පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී තිබුණේ 24 වැනි දින ඒ සදහා ඉඩ ලබා දිය හැකි බවකි.
පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාකිස්ථාන අගමැතිවරයාගේ පාර්ලිමේන්තු ගමන පිළිබද වෙනම සාකච්ජාවක් පැවැති අතර එහිදී තේ පැන් සංග්‍රහය පිළිබදවත්, කොරෝනා තත්ත්වය මත පාර්ලිමේන්තුවට ගෙන්වන තානාපතිවරුන්, අමුත්තන් පවා සීමාසහිත කිරීමට සම්බන්ධයෙනුත් සාකච්ජා කර තිබිණ.
කෙසේවෙතත් ඉකුත් සදුදා (08) පැවැති රැස්වීමකදී ආණ්ඩුවේ බලධාරීන් තීන්දු කොට ඇත්තේ අගහරුවාදා (09) දිනයේදී පාකිස්තාන අගමැතිවරයාගේ පාර්ලිමේන්තු ගමන පිළිබදව වැඩිදුරටත් සාකච්ජා කිරීමටය.
නමුත් පසුව සභානායක කාර්යාලයෙන් දැනුම් දීමක් කොට ඇත්තේ එම සාකච්ජාව 12 වැනි සිකුරාදා දින දක්වා කල් ගිය බවකි.
එහෙත් සිකුරාදා (12) දිනද එම සාකච්ජාව පැවැත්වී තිබුණේ නැත.
ඒ අනුව දැනගන්නට ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් මත පාකිස්තාන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කතාවක් සිදුකිරීමට අවස්ථාව ලබා නොදීමට ආණ්ඩුව නිල නොවන ආකාරයේ තීන්දුවක් ගෙන ඇති බවකි.
රාජ්‍ය රහස් තීරය ඉකුත් ඉරිදා (14) දින ඉම්රාන්ගේ පාර්ලිමේන්තු කතාවට අගමැතිවරයා අනුමැතිය ලබා දුන් ආකාරය අප වාර්තා කළේ මෙසේය.
‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය.
සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවේ දේශන පැවැත්වීම සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් පමණක් සම්ප්‍රදායට අනුව යමින් එම අවස්ථාව සලසා දීම සාමාන්‍ය සම්ප්‍රදායය. ඉකුත් වතාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිත් ලංකා පාර්ලිමේන්තුව ඇමතුයේද ඒ අනුව යමිනි. ඉම්රාන් මෙසේ පාර්ලිමේන්තුවේ කතාවක් ඉල්ලා සිටීමට පියවර ගත්තේ ඒ නිසාවෙන්දැයි කියන්න දන්නේ නැත.
මහින්ද ඉම්රාන්ට කතාව දෙයි
කෙසේ වෙතත් ඉන්දියාව සමග මේ දිනවල මතුව ඇති අර්බුදය හේතුවෙන් දිනේෂ්ගේ මතය වී තිබුණේ පාකිස්තාන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කතාවක් ලබා නොදිය යුතුයි යැයි කියාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳුදා දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊට කලින් දිනේෂ් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් තම මතය දැනුම්දී සිටීමට පියවර ගත්තේය. නමුත් මහින්ද කියා සිටියේ ඒ ආකාරයට කතාවක් ඉල්ලුවහොත් එය ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, එම නිසා ඉම්රාන්ටද එම අවස්ථාව ලබාදිය යුතු බවත්ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී පෙබරවාරි 24 වැනි දින ඉම්රාන්ට ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ඉඩ සලසා දීමට තීන්දු විය.










