ශ්‍රී ලංකාවේ අලි ඇත්තු ගැන දන්න නොදන්න බොහෝ තොරතුරු අපි පසුගිය සතියේ කැලෑ කොලමෙන් කතා කළා. ඒ වගේම අලි ඇතුන් ගැන තවත් තොරතුරු මේ සතියේ කතා කරන බවටත් අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කරන්න තමයි මේ හදන්නේ.
වයස අවුරුදු 15/17 කාලය තමයි අලියකුගේ ගැටවර විය විදියට සැලකෙන්නේ. ඒ කාලෙදි තමයි උන් තමන්ට සහකාරියක් හොයාගන්න පෙලඹෙන්නේ. සාමාන්‍යයෙන් ඇතින්නකගේ ගැබ්බර කාලය මාස 22/24ක් පමණ වනවා. මේ සුන්දර, විශේෂ සත්ව කොට්ඨාසය අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්න එක තමයි අද වෙද්දී අපි මුහුණ දීල ඉන්න ලොකුම ගැටලුව. අලි මිනිස් ගැටුම තමයි අලි පරපුරේ පැවැත්මට එල්ල වෙලා තියෙන ප්‍රධානම තර්ජනය. අලි මිනිස් ගැටුම හින්දා අලි සම්පත විතරක් නෙවෙයි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකුත් අපිට අහිමි වෙලා තියෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව මුහුණ දෙන විශාලම ගැටලුව මෙන්ම විසඳා ගත නොහැකි ගැටලුව බවටත් අද වෙද්දී අලි මිනිස් ගැටුම පත් වෙලා තියෙනවා.
විවිධ හේතු හින්දා පසුගිය වසරේදී පමණක් ස්වාභාවික නොවන අලි මරණ 350කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අවිධිමත් සංවර්ධනය. ලංකාවේ අලි පරපුර රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ උපදෙස් බොහොමයක් බලධාරීන්ට ලබා දෙන්න ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක්ම කටයුතු කරලා තියෙනවා. ඒ අය වසර ගණනාවක් පුරා ස්වේච්ඡාවෙන් සිදු කළ පරීක්ෂණ ඇසුරෙන් අලි පරපුර රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුවලට සහ බලධාරීන්ට ලබා දීලා තිබුණත්, ඒවා ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් වෙලා තියෙනවා.
ඒ වගේම අලි පරපුර රැක ගැනීම සඳහා ඉදිරිපත් කරන යෝජනා වචනයට පමණක් සීමා වීමත් මේ ප්‍රශ්නයට හේතුවක්. ඒකට හොඳම උදාහණය තමයි හම්බන්තොට අලි කළමනාකරණ ව්‍යාපෘතිය. ඒක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණු හින්දා අද වෙද්දී හම්බන්තොට අධිවේගී මාර්ගයටත් අලි ඇතුන් පිවිසෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
ඊට අමතරව දඹුල්ල සහ සේරුවාවිල වැනි ප්‍රදේශවල සිදු කෙරෙන කැළිකසළ බැහැර කිරීමත් අලි ඇතුනගේ ජීවිතවලට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. අලියා කියන්නේ කෑමට කෑදර සත්වයෙක්. ඒ හින්දා දඹුල්ල සහ සේරුවාවිල වැනි ප්‍රදේශවල කැළිකසළ සමඟ බැහැර කරන එළවළු, පලතුරු ආහාරයට ගන්න ඒ අය ගොඩක් ආසයි. ඒත් ඒ ආහාර එක්ක විශාල පොලිතින් ප්‍රමාණයක් ඒ දැවැන්ත ශරීරයට ඇතුළු වෙනවා. ඒ හරහා විශාල අලි ඇතුන් ප්‍රමාණයක් අකාලයේ මියයනවා. ඒක බොහොම කනගාටුදායක කාරණයක්. මේ ගැන ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය පරිපාලකයන් නිසි පියවර ගන්නවා නම් ඒක ගොඩක් වටින දෙයක් බවත් සඳහන් කළ යුතුයි.

ලංකාවේ මේ වෙද්දී අනාථ වුණු සහ තුවාල වුණු අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා යම් ආකාරයක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නේ. පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලවේ ඇත් අතුරු සෙවණේ ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශ්නයක් නැති වුණත්, මෑතකදී හොරොව්පතානේ පිහිටුවන ලද අලි පුනරුත්ථාපන කඳවුර ගැන නම් පරිසරයට, වනසතුන්ට ආදරය කරන කෙනෙක් විදියට සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද ඒක තනිකරම සිර කඳවුරක් විදියටයි සකස් වෙලා තියෙන්නේ. හොරොව්වතානේ අලි පුනරුත්ථාපන කඳවුර වෙත රැගෙන ගිය ගල්ගමුවේ ඇතෙක් දෙවරක්ම එයින් පැන ආව හැටි අපට මතකයි. තුවාල වුණු හෝ අනාථ වුණු ඇතෙක් පවා සිරවෙලා ජීවත් වෙන්න කිසිම කැමැත්තක් නැති බව අපි ඒ හරහා තේරුම් ගත යුතුයි.
මේ දැවැන්තයන් අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා ඉතිරි කර ගැනීමට නම් බලධාරීන් කඩිනම් පියවර ගත යුතු වෙනවා.
පසුගිය වසරේ මියගිය අලි ප්‍රමාණය සලකා බැලුවම ලංකාවේ වන අලි පරපුර වසර කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වඳ වෙලා යෑමේ පැහැදිලි අවදානමක් පේන්න තියෙනවා.
මේ අවදානම හොඳින් තේරුම් ගත්ත අලි ඇතුන්ට ආදරය කරන ඡායාරූප ශිල්පීන් විසින් කලා වැව වනජීවී කලාපයේ ජීවත්වන සියලුම අලි ඇතුන්ගේ ජීව දත්ත ඇතුළත් පොතක් වනජීවී දෙපාර්තමේන්තුවේ කලා වැව කාර්යාලයට ලබා දීලා තියෙනවා.
කාවන්තිස්ස ඇතා සහ තවත් අලියෙකු හොරොව්පතාන අලි ගාලට අල්ලා ගෙන යන්න සැලසුම් කිරීම තමයි අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් වාර්තා වුණු ආසන්නතම උදාහරණය. වන සතුන්ගේ වාස භූමි අහිමි කොට ඔවුන්ව හිර කිරීම වෙනුවට ඒ වාස භූමි ආරක්ෂා කර වන සතුන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සකස් කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක වගකීම විය යුතු බවයි අපේ අදහස.
දළදා පෙරහැරේ කරඬුව ගෙන යන ඇතාට නමස්කාර කරන ජනතාවම හක්ක පටස් වැනි ක්‍රම උපයෝගී කරගෙන අලි ඇතුන්ට මරණීය තුවාළ සිදු කිරීම ඉතාම ඛේදනීය තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ගොඩනැගීම ඉතාම වැදගත්. ඇත් දළ ජාවාරම, අලි පැටවුන් ජාවාරම සහ ගජමුතු ජාවාරම ගැනද නීති රීති දැනට වඩා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වග බලා ගත යුතුයි. වන අලි කළමනාකරණය විදිමත් සහ විද්‍යානුකූලව සිදු විය යුතුයි. එසේ නොවන තරමට අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුම් සෙවීම මෙන්ම මේ දැවැන්ත සත්ව කොට්ඨාසය අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කර ගැනීමත් ලෙහෙසි පහසු දෙයක් නොවන බවත් සඳහන් කළ යුතුයි.
සමන් හල්ලොලුව










