අදිසි බලවේගයක් පිටුපස ඉන්නවාද?
මෙච්චර අවදානමක් ගත්තේ ඇයි?
සේනාධීරගේ කරුණාරත්න නමැති ලාංකිකයෙක් පසුගිය 13 වැනිදා දහවල් 12.50ට කත්මන්ඩු සිට කොළඹ බලා එන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඹඛ 182 යානයට කත්මන්ඩු අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගොඩවුණේය. කිසිම කලබලයක් නොපෙන්වූ වියළි දෑසක් සහිත මෙම පුද්ගලයා සම්බන්ධව කිසිවකුගේ විශේෂ අවධානයක් යොමුවූයේ නැත. ඔහු යානයේ 198 ආසනයේ ඉඳගෙන ගැඹුරු කල්පනාවකින් යුතුව එමින් සිටියේය.(Sri Lanka Latest News)
කත්මන්ඩු සිට කොළඹ බලා එන ගමන මගීන් විශේෂයෙන්ම ආකර්ෂණය කරන්නකි. සෑහෙන කාලයක් යානය පියාසර කරන්නේ හිමාලය කඳු වැටිය මතිනි. එහෙත් ඒ අසිරිය බැලීමට තරම් වූ අවශ්‍යතාවක් මේ පුද්ගලයාට නොතිබුණු බව පෙනුණි. ඔහු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණියේය.
එහෙත් ගුවන් තොටුපළින් පිටවීමට පෙර ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් සේනාධීරගේ කරුණාරත්න අත්අඩංගුවට ගනු ලැබුවේය. ඒ, නිසැක බුද්ධි තොරතුරු මත පදනම්වය. එලෙස පැමිණ තිබුණේ මේ රට භීතියට පත් කරමින් තවමත් අපරාධ, මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන මේ රටේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි. ඔහු ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවය.
සංජීව එලෙස කටුනායකදී පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳ පුවත විශ්වාස කළ නොහැකි තරම් එකක් විය. මීට දින කිහිපයකට පෙර මෙරට මධ්‍ය මහා උත්කර්ෂයෙන් වාර්තා කළේ ගනේමුලේ සංජීව සහ ඔහුගේ හිතවත් තවත් පාතාල නායකයෙක් වූ ගොත අසංක සමග නේපාල – ඉන්දියා මායිම අසලදී අත්අඩංගුවට ගත් බවය. ඒ ආරංචියෙන් වඩාත්ම පිනා ගියේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයන්ය.
පසුගිය අගෝස්තු 25 අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන කණ්ඩායමක් සංජීවගේ මාකිලංගමුව නිවෙසට වෙඩි තැබුවේය. නිවෙසේ කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බව පොලිසිය කීවේය. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සංජීවගේ බිරිය දියණිය ඇතුළු ඥාතීන් පිරිසක් නිවෙසේ රැඳී සිට ඇත. ටී 56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර තිබිණි. අත්අඩංගුවට පත්වූ බව කී සංජීව හිටිවනම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට පත්වන්නේ මේ පසුබිමේය.
මේ වන විටත් සංජීව රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත. ඔහු මෙරටට පැමිණි ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රය සම්බන්ධ බරපතළ කාරණා ටිකක් එළියට ඇවිත් තිබේ. එය නිකුත් කර ඇත්තේ 2022.10.01 දිනයේය. මෙම බලපත්‍රය යොදාගනිමින් කවරෙක් හෝ අගෝස්තු 30 වැනිදා ඉන්දියාවට ගොස් ඇත. අනතුරුව එම තැනැත්තා සැප්තැම්බර් මස 04 වැනිදා ඉන්දියාවෙන් කත්මන්ඩු නුවර වෙත පැමිණ තිබේ. විශේෂත්වය වන්නේ සැප්තැම්බර් 07 වැනිදා ඔහු කත්මන්ඩු නුවරින් පිටවී ඇති බව පෙනෙන්ට තිබීමය.
මාකඳුරේ මධුෂ් මෙන්ම කොස්ගොඩ සුජීද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් වැඩගත්තේය. ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වූයේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය. දැන් මධුෂ් එලොව ගොස්ය. සුජී රට හැරදා ගොස්ය. එදා සිට එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගණයේ සාමාජිකයන්ගෙන් වැඩ ගත් එකම පාතාල කල්ලි නායකයා ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ය. ඒ බව කීවේ අප නොව මේ රටේ බුද්ධි අංශයය.
සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීව යනු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ පුද්ගලයෙකි. ඒත් සංජීව අධ්‍යාපනයට ආයුබෝවන් කියා පාතාලය තෝරාගත්තේය.
පාතාල කටයුතු සඳහා මුල්ම ප්‍රවේශය ගන්නට පෙර සංජීවගේ බාල කාලය ගෙවුණේ වේයන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතවය. ඒ දවස්වල නයිවල හන්දියේ බෝගහට නුදුරින් ජිම් එකක් දමාගෙන එහිම නැවතී සිටි සංජීවගේ පළමු කොල්ලය වූයේ ඒ ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට ආසන්නයේදී බිස්කට් වෑන් එකක් කොල්ලකෑමය. ඒ අපරාධය සඳහා ඔහු මුල්ම වරට බන්ධනාගාරගත වුණේය.
මුල්ම සිරගෙදර ගමනින් පසු දැනහැඳුනුම්කම් සමග එළියට එන ගනේමුල්ලේ සංජීව පාතාලයේ අයියා කෙනකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ වනවිට මෙරට විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින් සංජීව කරළියට එන්නේය. අනතුරුව ඔහු ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි ‘පස් පොඩ්ඩා’ ගනේමුල්ලේ සංජීව සමග ‘පස් සෙල්ලම’ පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි. මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් ‘අජා’ය.
කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ ‘අජා’ය. පසුපස හඹාගොස් වෙඩිතැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත් සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස ගනේමුල්ලේ සංජීව විසින් තෝරාගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදීද වැඩගැනීම සඳහාය. ඉලක්කය සපුරන අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මගහැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරාදැමීමට සංජීව විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවෙනි.
ඔස්මන්ගේ ඉලක්කය කළු අජිත්ගෙන් ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජීව අතර ගැටුමක් ඇති වුණේය. වැරදීගිය කුරුමානම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් කළු අජිත්, පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ සුරේෂ්ගෙන් කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් කළු අජිත් ඝාතනය කර දැම්මේය. ඒ, හීනටියන සංඛ නමැත්තෙක් හරහාය.
චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියකටද ගනේමුල්ලේ සංජීව චෝදනා ලැබ සිටියේය.
බන්ධනාගාරයේ සිටි දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු චමින්දට වෙඩිතබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ අතර සිද්ධියට අදාළව සංජීව බන්ධනාගාර ගතවිය.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය ප්‍රතිසංවිධාන කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 24 වැනිදාය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරුවන් 12 දෙනා අවස්ථා කිහිපයකදී එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
2020 ජනවාරි මස 01 වැනිදා සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය පරීක්ෂා කරනු ලැබුවේය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බියට පත්වන මේ පුද්ගලයා තමා සතුව තිබූ බෑගය අත්හැර පලායන්නේය. බෑගය අවුස්සා බැලූ පොලිසියට පෙනීගියේ මේ පලාගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයකු වන ‘ආනන්ද රාසා’ නමැත්තා බවය.
වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසීනයක්, ජීව අත්බෝම්බ 4ක්, හිරු එළියෙන් ක්‍රියාකරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ නවීන ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් ද ආනන්ද රාසාගේ මල්ලේ තිබී පොලිසිය සොයාගත්තේය.
ඉන් පසු ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශයි. ඒ අනුව ඒ 9 මාර්ගයේ මූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හයදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් ‘ගුණා’, ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් ‘පොන්නම්බලම්’, ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් ‘සිදූ’, පූබාලසිංගම් සුරියබාලන් නොහොත් ‘සදන්’, තලෛසිංගම් කාන්දරූබන් නොහොත් ‘කාර්තික’ සහ උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වූහ. මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අටදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 ජනවාරි මස 02 වැනිදාය.
රාසලිංගම් සිවරාජ් නොහොත් ‘වීරා’ නොහොත් ‘කඩල් වීරන්’, කල්‍යාණ කුමාර් ශෂිකුමාර්, මනුජය ප්‍රමෝද්, කාවින්ද පතිරණ, මාලන් ඩෝසර් විජයසිරිවර්ධන, ඉන්ද්‍රජිත් රංගන කරුණානායක, හිමාල් හර්ෂණ, ප්‍රදීප් දේශප්‍රිය සහ ඇනස්ලි ප්‍රභාගර් ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් ‘වේන්ද්‍රන්’ නොහොත් ‘අප්පා’, වසන්ත ජූඩ් නිරෝෂන්, විජයන් සැලන් කුමාර් නොහොත් ‘සැලඩ්’ සහ ඝනපති කදිරවේලු නොහොත් ‘සාමි’ එම සැකකරුවෝ වෙති.
වේන්ද්‍රන් නොහොත් අප්පා යනු 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් කෙනෙකි. එමෙන්ම ඔහු යුද්ධය නිමවීමෙන් පසු යුද හමුදාවට භාර නොවී සැඟව සිටි අයෙකි. යුද හමුදාව ඔහු ‘අප්පා’ ලෙසින් හැඳින්වූ අතර නාවික හමුදාව ඔහු හඳුන්වන්නේ ‘නෙරන්ජන්’ නමිනි. මෙම තැනැත්තා ඔස්ටේ්‍රලියාවට අනවසරයෙන් සංක්‍රමණිකයන් පැටවීමේ ඡාවාරමක ද නිරතව සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබිණි. අප්පා මේ සිද්ධිවලට බන්ධනාගාරගතව සිටියදී දකුණේ පාතාලය සමග හාදකම් පැවැත්වීමට අවස්ථාව උදාවන අතර ගනේමුල්ලේ සංජීවගේ ආශ්‍රය ඔහුට ලැබුණේය.
‘ආනන්ද රාසා’ ළඟ තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්, ‘අප්පා’ විසින් කොළඹ ගෙනැවිත් පාතාලය වෙත මුදලට විකුණා ඇති බවට කෙළඹ අපරාධ කොට්ඨාසය කරුණු හෙළිකරගෙන තිබිණි.
‘වීරා’ නොහොත් ‘කඩල් වීරන්’ සහ ඊතනවත්ත අරච්චිගේ අමිල නුවන් නොහොත් ‘ගොත අසංක’ විසින් යතුරුපැදියකින් පැමිණ අංගොඩ කැලණිමුලේලේදී සුරංග කුමාර නොහොත් ‘රත්තරං’ වෙඩිතබා ඝාතනය කරන්නේ අප්පා කොළඹට විකිණූ පිස්තෝලයකිනි. ඒ, ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 05 වැනිදාය.
‘රත්තරං’ අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ අයකු වන අතර, ‘ගොත අසංක’ සහ ‘ගනේමුල්ලේ සංජීව’ රණාලේ සමයංගේ පාර්ශ්වයේ අය වූහ.
රත්තරන් ඇතුළු ස්වකීය සගයන් ඝාතනය කරන සමයංගෙන් පළිගැනීමට පාතාල මෙයෙහුමක් සැලසුම් විණි. ඒ, 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදාය. එදින සමයං ඝාතනය වන්නේ කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. එය, අංගොඩ ලොක්කාගේ වැඩකි. ඔහුට මධුෂ්ගෙන් සහයෝගය ලැබී තිබිණි.
ඝාතන සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරු වූ අංගොඩ ලොක්කා රටින් පැන්නේය. අමිල නුවන් නොහොත් ගොත අසංක, කටුගම්පලලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජීව කොළඹ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්විය. ඒ මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකක් ද සමගය.
ගනේමුල්ල සංජීව විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනකු මෙහෙයවමින් සිටියේය. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත්අඩංගුවට පත්වූයේය.
පසුගිය වකවානුව තුළ කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය සතුව තිබේ. සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස් පොඩ්ඩාගේ ඝාතනයේ පළිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනීමැරුම් ගණනාවක් සිදුවිය. සංජීවගේ ඉලක්ක වැරදී අසරණ තරුණයෙක් ද කෙහෙල්බද්දරදී මියගියේය.
මේ අතර පසුගිය අගෝස්තු 21 වැනිදා ඉන්දියානු තොරතුරු උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කළේ මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවුදෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ගනේමුල්ලේ සංජීව ඒ අතර සිටින බවත්ය. ඒ සමගම අගෝස්තු 25 අලුයම පිස්තෝලයකින් සහ ටී 56 ගිනි අවියකින් ඔහුගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල වුණේය.
ඔහුගේ සොයුරිය පැමිණිලි කර තිබුණේ පොලිසියේ යැයි කියාගන්නා කණ්ඩායම් නිවෙසට පැන ඉතා අනවශ්‍ය ලෙස තමන් පීඩාවට පත්කරන බවය. ඔවුන් එක් අවස්ථාවක නිවෙසේ ඇති භාණ්ඩ ද කොල්ලකාගෙන ගොස් ඇති බව ඇය ප්‍රකාශ කර තිබුණාය. කිසිම අපරාධකරුවෙක් නොගන්නා අවදානමක් රැගෙන සංජීව යළි රට තුළට ඇතුළු වන්නට ගොස් අත්අඩංගුවට පත්වන්නේ මේ පසුබිමේදීය.
විසඳාගත යුතු ගැටලු රාශියක් විසඳීමේ වගකීම මේ වනවිට විමර්ශන අංශ වෙත පැවරී ඇත. සංජීවගේ මේ ආගමනයේ හේතුව කුමක්ද? ඔහු මේ තරම් අවදානමක් ගන්නේ ඇයි? ඔහු පසුපස ඔහුව හසුරුවන බලවේගයක් තිබේද? තිබේ නම් ඒ බලවේගය කුමක් ද? මේ ප්‍රශ්නවලට උත්තර සොයාගත්තත් බොහෝ වෙලාවට ඒවා රටට හෙළි නොවී අපරාධත් අපරාධකරුත් සමගම වැළලී යන්නට පුළුවන. ලංකාවේ හැටි එහෙමය.
ලංකාසර වෙබ් අඩවියෙනි










