ලංකා ඉතිහාසයේ දරුණුතම පාරිසරික සංහාරයන් සිදුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමයේය. ‘ගම සමග පිළිසඳර’ නම් අසාර්ථක වැඩසටහන සමගින් ඈත ගම්දනව් කරා ගිය ඔහු අවට වන ලැහැබ්, රක්ෂිත මෙන්ම අභය භූමිද සිය දේශපාලන සහචරයන්ට සිත්සේ අපයෝජනය කරන්නට ඉඩ දුන්නේය. ලෝක උරුම සිංහරාජය දෙබෑ කරමින් මාර්ගයක් ඉදිකරන්නට මුල්වූ ඔහු මෙරට වැදගත්ම අලි මංකඩක් ලෙස ගැනෙන දහයියාගල අභය භූමිය මහ දහවල් කොල්ල කන්නට දුන්නේ ‘සර් කියන දේ සර්කියුලර් තමයි’ යැයි නොමඟ යවන සුළු තර්කයක් රාජ්‍ය සේවකයන් හමුවේ තබමිනි. ඔහුගේ එකී විකාරරූපී හැසිරීම නිසා ජනාධිපතිවරණය පුරා ගෝඨාභය වෙනුවෙන් ‘කඩේ ගිය’ වියත් මග සංවිධානයට සමාජ මාධ්‍ය පරිශීලකයෝ ‘කියත් මග’ ලෙස හඳුන්වන්නට වූහ. ලංකාවේ වනාන්තර වනසමින් ක්‍රියාත්මක වූ ගම සමග පිළිසඳර වැඩසටහන ජනාධිපතිවරයාට පාරට බහින්නට බැරි තැනට නැඟ ආ ජනතා විරෝධය හමුවේ නතර නොවන්නට අද වන විට මෙරට වන ආවරණය මුළු බිම් ප්‍රමාණයෙන් 10%කට ආසන්න වන තරමට අඩු වීමට ඉඩ තිබිණි. ගම සමග පිළිසඳර නම් වන සංහාරය නතර වුවද ගෝඨාභය රාජපක්ෂ සිය පාලන කාලයේ කළ ඇතැම් අමනෝඥ වැඩ නිසා මෙරට ශේෂව පවතින සීමිත වන සම්පත් ප්‍රමාණයට අදටද එල්ලවන තර්ජනය සුළුපටු නොවේ.
ශ්‍රී ලංකාවේ වන සංහාරයන් වළක්වන්නට මෙරට ක්‍රියාත්මකව තිබූ ඇතැම් නීතිරීති වනාන්තර රැකගන්නට කැපවී සිටි වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට ගෙන ආවේ සැබෑ ශක්තියකි. එවැනි නීති සහ රාජකාරිය අකුරටම ඉටුකරන නිලධාරීන් නිසා දේශපාලන හෙංචයියලාට සිත් සේ වන බිම් කොල්ලකන්නට බැරි විය. එහෙයින් බලයට පත්වූ වහාම රාජපක්ෂවරු කළේ මෙරට ඉඩම් හෙක්ටයාර 694,100ක් වෙනත් වනාන්තර ලෙස නම් කරමින් ඊට රැකවරණ සැලසූ 5/2001 චක්‍රලේඛය අහෝසි කර දැමීමය. 5/2001 චක්‍රලේඛය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ එකී ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට පත්කරනු ලැබීය. ඉන් අනතුරුව සංවර්ධන අවශ්‍යතා ඉදිරියට දමා ඉතා පහසුවෙන් ඒවා කොල්ලකන්නට විය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ සිය ධුරය හැරදමා ගොස් සිටියද එකී අදූරදර්ශී තීරණයේ බලපෑම් දැකගත හැකිය. මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව ඇති පානම සීක්‍රට් පොයින්ට් වන බිම කොල්ලකෑමද වන සංරක්ෂක සතුව තිබූ අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තක්කඩි තීන්දුවේ ප්‍රතිඵලයකි.
සීක්‍රට් පොයින්ට් යනු පානම වෙරළ තීරයේ පානකල කළපුව අසල පිහිටි සංවේදී පාරිසරික කලාපයකි. පානකල කළපුව, සාගරය සහ එක්වන්නේ මෙකී සීක්‍රට් පොයින්ට් සමීපයෙනි. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම ප්‍රදේශය වෙරළාසන්න වනාන්තර ප්‍රදේශයක් ලෙස ඇතැමුන් හැඳින්වුවද මෙය මිශ්‍ර පාරිසරික ලක්ෂණ සහිත කලාපයකි. වෙරළාසන්න වනාන්තර සහ පානකල කළපුව ආසන්නව පිහිටි කඩොලාන වනාන්තර පද්ධතිය සහ සමීපව පිහිටි වැලි වැටි නිසා මේ ප්‍රදේශය සුවිශේෂ පාරිසරික අනන්‍යතාවන් රැසක් පෙන්වයි. ජෛව විද්‍යාත්මකව ගත්තද මේ ප්‍රදේශය සැලකිය යුතු පක්ෂි විවිධත්වයක් පෙන්වන අතර සංක්‍රමණ සමයේදී එය කැපීපෙනෙන ලෙස වර්ධනය වෙයි. කබල්ලෑවන්, ඉත්තෑවන් වැනි සතුන්ගේ සිට අලි ඇතුන් දක්වා පුළුල් පරාසයක විහිදුණු ක්ෂීරපායී විවිධත්වයකින් යුතු පාරිසරික පද්ධතියක් ලෙස සීක්‍රට් පොයින්ට් දැක්විය හැකිය. උභයජීවී සහ මත්ස්‍ය විවිධත්වය අතින්ද සීක්‍රට් පොයින්ට් අවට සුවිශේෂ ලක්ෂණ පෙන්වයි. පානකල කළපුව අවට ඇති කඩොලාන පරිසරයද ඉහළ විවිධත්වයක් දරන අතර එම ප්‍රදේශය ශාක සහ ජෛව විවිධත්වයට දක්වනුයේ අනුපමේය දායකත්වයකි.
සීක්‍රට් පොයින්ට් යාබද ප්‍රදේශයේ ජලජ පරිසරයද සුවිශේෂ අනන්‍යතාවන් සහිතය. දුර්ලභ කොළ කැස්බෑවන් ඇතුළු කැස්බෑ විශේෂ රැසක් පානම ප්‍රදේශයේ වෙරළට බිජුලෑම සඳහා පැමිණෙන බව වාර්තා වේ. ඊට අමතරව පානකල කළපුවේද සැලකිය යුතු මත්ස්‍ය සහ අපෘෂ්ටවංශික විවිධත්වයක් වාර්තා වෙයි. කිඹුලන්, ඉබ්බන් ඇතූළු උරග විශේෂ ගණනාවක්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. සුවිශේෂ අනුවර්තනයන් සහිත වෙරළාසන්න ශාක පද්ධතිවලින් මෙම ප්‍රදේශය සමන්විත වන අතර එය ඉහළ පක්ෂි විවිධත්වයක් වාර්තා වීමට හේතුව ලෙස පරිසරවේදීහු හඳුන්වති. වෙන් වෙන්ව අධ්‍යයනය කර නැතත් කළපු සහ කිවුල් දිය අශ්‍රිත පරිසරයේ ජෛව විවිධත්වය අතිමහත්ය. සමස්ත පානම ප්‍රදේශය ඉලක්ක කර ලෝක සංරක්ෂක සංගමය විසින් 2007 වසරේ කරන ලද පාරිසරික ඇගයීම් වාර්තාවේ ප්‍රදේශයේ ශාක සහ ජෛව විවිධත්වයන් පිළිබඳ සවිස්තරව දක්වා තිබිණි.
මේසා සංවේදී පාරිසරික කලාපයක් වන සීක්‍රට් පොයින්ට් අවට වනාන්තර කලාපයේ අක්කර 8කට ආසන්න ප්‍රමණයක් පුද්ගලයන් දෙදෙනකුට 30 වසරක කාලයකට බදු දීමට ඉඩම් කොමසාරිස්වරයා කටයුතු කර තිබීම පුදුමසහගත ක්‍රියාවකි. මිල කළ නොහැකි පාරිසරික සම්පතක් වන මෙම බිම් ප්‍රදේශය එලෙස බදු දී ඇත්තේ හර්බට් ප්‍රියන්ත ලියනගේ සහ රෙන්ගසාමි ක්‍රිෂ්ණවේනි යන පුද්ගලයන්ටය. ඉඩම බදුගත් පුද්ගලයන් දැනටමත් එහි වැටවල් ඉදිකර ගස් කපා දමා සැලකියයුතු විනාශයක් සිදුකර ඇත. මෙකී ක්‍රියාවන් මෙන්ම මෙම ඉඩම් බදුදීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් වන අතර එය අධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගයක් නොතකා කටයුතු කිරීමක්ද වෙයි.
ඒ පිළිබඳ අදහස් දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී හේමන්ත විතානගේ පවසනුයේ මෙම ඉඩම් බදු දීමේදී ඉඩම් කොමසාරිස් විසින් අධිකරණයේ ඒ වන විට පැවැති වෙනත් රජයේ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයෙන් ඉවත් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්වකරුවන් කිහිපදෙනකු විසින් පවරා තිබූ CAWRT 502/21 නඩුවේදී ලබාදී තිබුණු වාරණ නියෝගය නොසලකා හැර ඇති අතර එය අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවයි.
රජයේ වෙනත් වනාන්තර අන්සතු කිරීම සඳහා වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් විසින් පළකළ 1/2020 චක්‍රලේඛයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පාර්ශ්වයන් කිහිපයක් එක්ව අභියාචනාධිකරණයේ ගොනු කරන ලද CAWRT 502/21 නඩුව මත අධිකරණය විසින් 2022.03.21 දින තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කර එයින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වෙනත් රජයේ ඉඩම්වල පාලනය ලබාදීම එම නඩුවේ විනිශ්චය ලබාදෙන තුරු වාරණය කරන ලදී. ඉන් අනතුරුව 2022.08.03 වැනි දින මෙම චක්‍රලේඛය ප්‍රතිශෝධනය කරමින් ලිපියක් නිකුත් කිරීමට, රජයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එකඟ විය. අවසන එම නඩුකරය පැමිණිල්ලේ වාසියට තීන්දු වූ අතර 5/2001 චක්‍රලේඛය අහෝසි කරමින් ගෙන ආ ආන්දෝලනාත්මක 1/2020 දරන චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය එකඟ විය. ඒ අනුව කිසිදු වනාන්තර ඉඩමක් වන සංරක්ෂකගේ භාරයෙන් පවරා නොගැනීමටත්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්ගේ අංක MWFC/1/2020 සහ 2020.11.04 දිනැති චක්‍රලේඛය මගින් හඳුන්වා දී ඇති ක්‍රමවේදය සංරක්ෂිත වනයක්, රක්ෂිත වනයක්, ගම්බද වනයක් හෝ වෙනත් රජයේ වනාන්තරයකට අදාළ කර නොගන්නා බවටත් රජය පොරොන්දු වී ඇත.
එහෙත් ඉඩම් කොමසාරිස්වරයා මේ ආකාරයෙන් බදුදී ඇති සීක්‍රට් පොයින්ට් නම් ඉඩම මින් පෙර රජයේ වන සංරක්ෂකවරයා භාරයේ පැවති එකක් වන අතර එය බැසිල් රාජපක්ෂගේ දැඩි බලපෑම මත ගෝඨාභය රාජපක්ෂ රජය විසින් 5/2001 නිෂේධනය කරමින් ගෙන ආ 1/2020 චක්‍රලේඛය මගින් කොල්ලකන ලද වටිනා ඉඩමකි. වනාන්තර ඉඩම් පවරා නොගන්නා බවට රජය පොරොන්දුවක් දී තිබියදී මෙම ඉඩම බදුදීමට ඉඩම් කොමසාරිස්වරයාට කිසිම බලයක් නැත. ඊට අමතරව මෙම බදුදීම කරමින් ඉඩම් කොමසාරිස්වරයා විසින් 2022.06.10 දින අංක 2284 දරන ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අධිකරණය විසින් 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ පාර්ශ්වකරුවන් ගොනුකළ නඩුවට අදාළව නිකුත් කළ වාරණය බලාත්මකව පවතිද්දීය. මේ සියලු කරුණු සැලකීමෙදී මෙම ඉඩමේ සැබෑ බදු ලැබුම්කරුවන් හර්බට් ප්‍රියන්ත ලියනගේ සහ රෙන්ගසාමි ක්‍රිෂ්ණවේනි නොවන බව අපට වටහාගත හැකිය.
සීක්‍රට් පොයින්ට් බදුදීම පිටුපස ඉන්නේ අම්පාර ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතනයක නායකයෙක් සහ ආණ්ඩුවේ ප්‍රකට අමාත්‍යවරයෙක් බවට චෝදනා එල්ලවී තිබේ. මේ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයෙක් සමග නිතර ආරවුල් සාදාගත්තකු ලෙස ප්‍රකටය. මේ දෙදෙනාගේ වුවමනාවට සීක්‍රට් පොයින්ට් වන බිම කොල්ලකෑමට නීති විරෝධී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජයේ නිලධාරියකු වූ ඉඩම් කොමසාරිස්වරයා ඉදිරිපත් වීම පුදුමසහගතය. මේ මහා ඉඩම් කොල්ලයට එරෙහිව පරිසර සංවිධාන, ප්‍රදේශවාසීන් සහ පූජ්‍ය ප්‍රසාදීන්වහසේලා දැන් සිටම එක පෙරමුණක සිට සටන් අරඹා ඇත. එහෙයින් අප්‍රකාශිතව පානම වෙරළේ කරන්නට ගිය මේ මහා ඉඩම් කොල්ලය මේ වන විට රටේම අවධානයට ලක්ව අවසානය. මොන බලවතා යට සිටියත් මේ ගනුදෙනුව අත්හිටුවීමට වහා පියවර ගත යුතුය. නොඑසේ නම් මේ වැරැදි ආදර්ශයෙන් උත්තේජනය වන ජාවාරම්කරුවන් සහ තක්කඩි දේශපාලනඥයන් ආකර්ෂණීය නැඟෙනහිර වෙරළ මිනිස් ක්‍රියාකාරකම්වලින් පුරවා මහා විනශයක් කරනු ඒකාන්තය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










