ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ විසින් රචිත ‘අඳුරු කරළියේ සොඳුරු දිවාකර’ කෘතිය එළිදැක්වීම හා අගැයුම් උළෙල ජූනි 28 වැනිදා සවස 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත් වේ. මෙහි ප්‍රධාන දෙසුම මහැදුරු සුනිල් ආරියරත්නයන්ගෙනි. මෙහිදී උපාලි රංගාලෝක නිර්මාණයෙන් දායක වූ වේදිකා නාට්‍ය ගීත හා ගෘහස්ථ ප්‍රසංග ගීත නවරත්න ගමගේ සංගීතවේදියාණන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරේ. සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටිගෙනි. මෙම ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි.
භරතමුණි පඬිවරයා සඳහන් කළ නාට්‍යයකට ප්‍රවේශ වීමේදී අත්‍යාවශ්‍ය වූ අභිනයන් සතරේ ආහාර්ය අභිනයට අයත් ආලෝකකරණය ගැන ලිවීම මේ ලිපියේ අරමුණ නොවේ. එම අභිනයන් ගැන පාසල් නාට්‍ය පෙළ පොත්වල මෙන්ම විවිධ ලේඛකයන් ලියූ නාට්‍ය ග්‍රන්ථවල ඕනෑවටත් වඩා සඳහන්ව ඇත. මාගේ මේ සටහන ලිඛිතව ලියා ඇති ආහාර්ය අභිනයට අයත් ආලෝකකරණය පොතපතට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව වේදිකාව මත ස්ථාපිත කළ සොඳුරු මිනිසකු ගැනය. ඔහු මට මුණගැසෙන්නේ මට අවුරුදු 17දීය. ඒ, ධම්ම ජාගොඩගේ ‘සකලජන’ වේදිකා නාට්‍යයෙනි.
එතැන දී උපාලි අත්තනායක, ටි්රලීෂියා ගුණවර්ධන, ග්‍රැන්විල් රොඞ්රිගූ, විල්සන් ගුණරත්න ආදී දුර්ලභ ගණයේ රංගන දැකිය හැකි රංගධරයන් මෙන්ම මේ ලිපියේ සොඳුරු කතානායකයා වන උපාලි වීරසිංහ මහතාද මට හමුවිය. ‘සකලජන’ නාට්‍යයේ පළමු දර්ශනයේ විශේෂත්වය වූයේ හතරැස් වේදිකාවේ නොව, කෞතුකාගාරයේ (කටුගේ) එළිමහන් රංග පීඨයක එය රඟදැක්වීමය. එහි රඟපෑම කෙසේ වෙතත් ආලෝකකරණය ලේසි පහසු දෙයක් නොවීය.
මේ සොඳුරු මිනිසා මහින්ද ඩයස් නම් වූ ආලෝකකරණයේ පතාක යෝධයා ඉදිරියේ ලිලිපුට්ටකු නොවී ඔහුගේ උපදෙස් මත උරෙන් උර ගැටී අපට රඟපෑම සඳහා ඉතා විචිත්‍රවත් එළියක් නාට්‍යයට ලබාදුන්නේය. ඔහු දෙස කුඩා මා බලා සිටියේ විමසිල්ලෙනි. ඔහු වැඩිපුර ඉන්නේ හිස පහත් කරගෙනය. එහෙත් ඒ පහත් වූ හිස මොන තරම් බරදැයි මට වැටහුණේ නාට්‍ය වේදිකාගත වී අවසන් වූවායින් පසුවය.
උපාලි අයියාට වේදිකාව මතදී හමු නොවූ රංගධරයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් මෙන්ම නාට්‍යයකට අදාළ ඕනෑම චරිතයක් ඇත්නම් ඔහු ඊයේ ඉපදුණු අයෙක් විය යුතුමය. ඔහු හීන් නූලෙන් කියනා එක වචනයක් අපගේ වචන දහසකටත් වඩා වටිනේය. ඔහුට එය සරච්චන්ද්‍රයන් මෙන්ම අමරදේවයන් සමීපව ඇසුරු කිරීමෙන් ලද දායාදයක් බව මාගේ පෞද්ගලික විශ්වාසයය.
සොඳුරු අහිංසක මිනිසකු ලෙස මම පාරම් බෑවත් ඔහු කියනා තරම් අහිංසක ද නොවේ. මන්ද ඔහු කලාකරුවන්ට, කලාකරුවන්ම දෙන ලණුවලින් බේරාගන්නා නිසාය. එහි එක් අවස්ථාවක් වන්නේ අමරදේවයන්ට දුන් ලණුවකින් එතුමන් බේරා ගැනීමය. අමරදේවයන්ගේ ඒකපුද්ගල ගීත ප්‍රසංගය වූ ‘ශ්‍රවණ රමණී’ පස්සර දී වේදිකාගත විය. ප්‍රසංගය අවසානයේ සංවිධායකගෙන් ලැබුණු ආහාරවේල බල්ලෙකුට කටේ තියන්න බැරිය.
‘මගදී කඬේක නවත්තන්න, රොටියක්වත් කාලා යං’ ඒ වචන අමරදේවයන්ගෙනි. ඒ අනුව බසය හාලිඇළ ප්‍රදේශයේ හෝටලයක නැවැත්වීය. හෝටලයට ඇතුළු වන විටම ශබ්දවාහිනී තුළින් ශ්‍රවණය වූයේ වේග රිද්මයේ ගීතය. අසා සිටිය හැකි වේග රිද්ම ගීත ඇතත් මෙයින් ජනිත වන්නේ බල්ලෙකුටවත් අසා සිටිය හැකි ගීත නොවේ.
අමරදේවයන් අපේ සොඳුරු මිනිසා අමතා, ‘අරක පොඞ්ඩක් අඩුකරන්න කියනවද?’ යනුවෙන් කීවේය. ඒ අනුව උපාලි අයියා මුදලාලි අසලට ගොස් රේඩියෝවේ හඬ අඩු කරන්නැයි කීවේය. රේඩියෝවේ හඬ අඩුවිය. ප්‍රවීණ තබ්ලා වාදක, අප අතරින් වියෝ වූ විජේරත්න රණතුංග, මුදලාලිට ළංවී කුටු කුටු ගෑවේය. ඔහු මුදලාලිට කියා තිබුණේ මෙවැන්නකි. ‘අමරදේව මහත්තයා දන්නවනේ, එයා තමයි ඔය කෑම කන්නේ. එයා ඔය යන සිංදුවට හරි කැමැතියි. තව ටිකක් ශබ්දය වැඩි කරන්න බැරිද?’
මුදලාලි සතුටින් පිනාගොස් රේඩියෝවේ හඬ වැඩි කළේය. එක්වරම අමරදේවයන් ඔළුව ඔසවා මුදලාලි දෙස බලා උපාලි අයියාට මෙසේ පැවැසීය.
‘උපාලි අර මනුස්සයගෙන් අහන්න අපි කෑම කනවට අකැමැතිද කියලා?’
ඒ වචන ඇසෙත්ම විජේරත්න රණතුංග බිම බලාගෙන සිනාවූයේ ඇයි දැයි අමරදේවයන්ට එදා හාංකවිසියක්වත් නොතේරිණි. අනෙක් අය ලණුවලින් බේරාගත්ත ද උපාලි අයියා ලණුවලට හසුවූ අවස්ථා ද නැතුවාම නොවේ. දිනක් මධ්‍යම රාත්‍රියක උපාලි අයියාට දුරකතන ඇමැතුමක් ලැබිණි.
‘මේ ලයිට් උපාලි අයියද, ලයිට් වගයක් දාගන්න ඕනෑ’ යැයි දුරකතනයේ අනෙක් පසින් කියැවිණි.
‘කියන්න මල්ලි, කොහෙද නාට්‍ය තියෙන්නේ. ලුම්බිණිද? එල්ෆින්ස්ටන්ද? ටවර්ද? තැන අනුව තමයි මල්ලි මම ලයිට් දාන්නේ. නාට්‍යයේ පිටපත ඉස්සෙල්ලා ගෙනැත් දෙන්න’ යැයි උපාලි අයියා පිළිතුරු දුන්නේ නිදිමතේය.
‘මේ වැඬේට පිටපත් අවශ්‍ය නෑ, ලැඩර් එකකුයි (ඉණිමඟක්) ලයිට් එකකුයි තිබ්බම ඇති’ යැයි අනෙක් පසින් කියැවිණි. ඒ පිළිතුරත් සමග උපාලි අයියාගේ නිදිමත බිඳිණි.
‘එක ලයිට් එකක් කොහෙ දාන්නද?’ යැයි විමසූ විට අනෙක් පසින් උත්තර දුන්නේ, ‘පානදුර පාලම ළඟ තියෙන ලයිට් කණුවේ දාන්න’ යනුවෙනි.
උපාලි අයියාට එයින් වෙසමුණියා ආරූඪ වුවත් කිසිත් නොකියා රිසිවරය තැබීය.
ජනක් ප්‍රේමලාල්ගේ ‘රාජකපුරු’ නාට්‍යයේ මාතර දර්ශනයක් අවසන් කර කණ්ඩායම ආපසු එන විටදී ‘උපාලි අයියා බයිට් කරමු’ කියා එම ඇමැතුම දුන්නේ අජිත් ලොකුගේ නෙවෙයි කියා මට කීවේ ජනක් ප්‍රේමලාල්ය.
1966 සිට මේ දක්වා වේදිකාවට ආලෝකය දුන් උපාලි වීරසිංහයන් ගැන මම දිවයින පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කරද්දී ලියූ ‘කරළියේ රසකතා’ ලිපි පෙළට සටහනක් තැබීමි. එහිදී මම ඔහුගෙන් මෝඩ ප්‍රශ්නයක් ඇසුවෙමි.
‘උපාලි අයියේ, මේ වෙනකොට සම්මාන කීයක් හම්බ වෙලා තියෙනවද?’
‘අනේ එහෙම ඇගයීමේ සම්මාන නම් මට ලැබිලා නැහැ. අඩු ගානේ මං ගැන පත්තරේක ලිපියක්වත් ලිව්වේ ඔයා විතරයි.’
ඔහුගේ එවදන ඇසූ සැණින් මා ඇස් කෙවෙනි අග කඳුළක් පිරුණේ ඇයිදැයි අදටත් මට නොවැටහේ.
උපාලි අයියේ, ‘පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ’ යන වචන මම ඔනෑවටත් වඩා අසා ඇත. ඔබ ළඟින්ම ඇසුරු කළ කලාකරුවන් කොතෙකුත් ඔබ ඇසුරෙන් මිදී ඈත සොඳුරු ලොවකට පියඹා යන්නට ඇති. ඒ දහම කාටත් පොදුය. බුදු දහමට අනුව ඔබට ද මට ද එය උරුම වන දහමකි.
උපාලි අයියේ, ඔබ ජීවතුන් අතර සිටිනා විටෙකදී මට මෙය ලිවීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි. මා වැනි දරුවන් දහස් ගණනකට ආලෝකය ලබාදුන් ආනුභාවයෙන් ඔබ කිසි දිනෙක අඳුර දකින්නකු නොවේ. ඔබ හැරෙන හැරෙන අත දකින්නේ විචිත්‍රවත් ආලෝකයයි. සුන්දර දසුනුයි, සුන්දර ස්ථානයි. මා එසේ පවසන්නේ ඇයි දැයි ඔබ මගෙන් ඇසුවොත් මම ඔබට එකවරම මෙසේ පවසමි.
සිතුල්පව්වේ, මිහින්තලේ ආලෝක පූජාව හා සමාන වටිනා ආලෝක පූජාවක් ඔබ විසින් කර ඇත. ඒ, අඳුරේ අතපත ගෑ දහස් ගණන් කලාකරුවන්ට ආලෝකය ලබාදුන්නේ ඔබ නිසයි.
ලයිට් උපාලි අයියේ, ඔබට දීර්ඝායු වේවා…
මේ,
ඔබෙන් ආලෝකය ලබා ලොවක් දිනූ පුතෙක්,
කුමාර තිරිමාදුර
උපාලි වේදිකා ආලෝකකරණයෙන් දායක වූ නිර්මාණ අතරින් කිහිපයක්
★ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර –
මනමේ, සිංහබාහු, ලෝහමංහ, මහාසාර, පේමතෝ ජායතී සෝකෝ, බව කඩතුරාව, පබාවතී
★ හෙන්රි ජයසේන –
හුණුවටයේ කතාව, කුවේණි, අපට පුතේ මගක් නැතේ, තවත් උදෑසනක්
★ ගුණසේන ගලප්පත්ති –
මූදු පුත්තු, සඳකිඳුරු, ලියතඹරා
★ සුගතපාල ද සිල්වා –
තට්ටු ගෙවල්, දුන්න දුනුගමුවේ, බෝඩිංකාරයෝ, මරාසාද්
★ ආර්. ආර්. සමරකෝන් –
කැලණි පාලම, ලෙඩක් නැති ලෙඩෙක්, ජේලර් උන්නැහේ, අහසින් වැටුණු මිනිස්සු
★ ලූෂන් බුලත්සිංහල –
රතුහැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති
★ ජනක් ප්‍රේමලාල් –
රාජකපුරු, අබුද්දස්ස කෝලම, රජගහේ නාඩගම, ආඬි හතයි කැඳ හැළියයි
★ විජය නන්දසිරි –
කුස පබාවතී, වෘෂභ රාජ, හාරත රැජින, ශ්‍රී ගජබා
★ දයානන්ද ගුණවර්ධන
නරිබෑනා, බක්මහ අකුණු, ගජමන් පුවත
★ ශ්‍රියන්ත මෙන්ඩිස් –
ගැබ්බර මිනිසා, පාදඩ අසපුව
★ සරත් කුලාංග –
දෙයියොත් දන්නෙ නෑ
★ චිත්‍රසේන – වජිරා –
නල දමයන්ති, කරදිය, නෘතාංජලී
★ පණ්ඩිත් අමරදේව –
අමර ගීසර, ශ්‍රවණ ආරාධනා, ශ්‍රවණ රමණී
★ නන්දා මාලිනී –
සත්‍යයේ ගීතය, පවන, රුවැති ළඳක්
★ වික්ටර් රත්නායක –
‘ස’ ප්‍රසංගය
★ මහාචාර්ය සනත් නන්දසිරි –
ස්වර්ණ කුණ්ඩල
★ එච්. ආර්. ජෝතිපාල –
ජෝති රාත්‍රිය
★ ලතා වල්පොල –
ලතා රාත්‍රිය
★ ගුණදාස කපුගේ –
කම්පන
★ සුනිල් එදිරිසිංහ –
සඳකඩ පහණ
★ ටී.එම්. ජයරත්න –
සොඳුරු අතීතය
★ මාලනී බුලත්සිංහල –
ගී සිසිල, මාද ඔබම විය
★ දයාරත්න රණතුංග / අමරා රණතුංග –
උදුම්බරා