ඒක ලෙහෙසි පහසු “ගේම්” එකක් නෙවෙයි…
ප්‍රසිද්ධියට පත් බොහෝ මිනිසුන් ගැන සැඟවුණු රසවත් කතා වාගෙම සාමාන්‍යයෙන් කවුරුත් වාගේ නොදන්න කතාද ඕනෑ තරම් තිබේ. මිනිසුන් ගැන විතරක් නෙමේය. යම් සිද්ධාන්තයක් ගැන වුවද නොදත් කතා සේම අසන්නට වටින කතාද ඒ අතර වේ.(Sri Lanka Latest News)
ලොව මවිතයට පත්කළ පුදුම කිහිපය අතර එකක් වූ ඉන්දියාවේ ටජ්මහලද එවැනි සිද්ධාන්තයන් අතර එකකි. ලංකාවේද එහෙම සැඟවුණු කදිම යටගියාවක් සහිත යම් සිද්ධාන්තයක් නැතැයි කියන්නට බැරිය. ටජ්මහල මෙන් පුදුම කිහිපය අතරට එක්වුණේ නැති වුවද ෆන් එකක් ගන්නට හෝ නිවාඩුවක් ඇති වෙලාවක කට්ටියක් එකතු වූ තැනක හෝ ස්ථානයක කයියකට කියන්නට වටින අපේම රටේ කතාබහට ලක්විය යුතු එක් කතන්දරයක් වන්නේ ‘ඛෙත්තාරාම’ ස්ටේඩියම් එක වටා ගෙතුණු අපූරු යටගියාවය.
ඛෙත්තාරාම ස්ටේඩියම් එක ගැන කියැවෙන යටගියාව මොකක්ද? ඒක ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වුණු ස්ටේඩියම් එකක්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නැතිව ගියාට පස්සේ ඛෙත්තාරාම කියන නම වෙනුවට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කියන නමින් ඒක ප්‍රචලිත වුණා. එච්චරයි. තව මොනවද ඒ ගැන කියැවෙන්න තියෙන හැංගිච්ච කතා?
කවුරුන් හරි එහෙම අහන්නත් පුළුවන්. එහෙම ඇහුවට ඒක වරද්දකුත් නෙවෙයි. ඒත් ඛෙත්තාරාම ස්ටේඩියම් එක හා බැඳුණු හුඟාක් දෙනා අදටත් දන්නේ නැති රහට අහන්න පුළුවන් අතීත කතන්දරයක් තියෙනවා. අමතක නැතුව ඇති. මේ ගැන කෙටි සටහනක් පසුගිය ‘මව්රට’ පත්තරේක ලියැවුණා. එතැනදී අවසානෙට කියැවුණු තව තව නොදත් තොරතුරු සහ සිදුවීම් එක්ක ආයෙම ඛෙත්තාරාම ස්ටේඩියම් එක ගැන ලියන්න ‘මව්රට’ බලාපොරොත්තු වෙනවා කියලා අන්න ඒ වෑයමටයි දැන් මේ සූදානම.
පුංචි වෙලාවක් අරන් මොහොතක උපකල්පනයකට යන්න පුළුවන්ද?
යන්න සූදානම් වෙන්නේ ඛෙත්තාරාමේ මැච් එකක් බලන්නයි. ඔන්න දැන් මෙය කියවන ඔයාලා ඛෙත්තාරාම ස්ටේඩියම් එක මැද්දට ක්‍රිකටර්ස්ලා එනතුරු බලාගෙන ඉන්නවා. තණ නිල්ල එක හිස් තැනක් නැතිව එක මට්ටමට නීට් එකට සකසලා තියෙනවා. රෑ වෙලා කියලා දැනෙන්නෙවත් නැති තරමට ආලෝකය හැම තැනකම. බඩගින්නක්, තිබහක් දැනුණොත් කන්න බොන්න දේ ගන්න පුළුවන් පහසුකම් අඩි ගණනක දුරින් තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔස්ටේ්‍රලියාවේ පර්ත් ස්ටේඩියම් එකට සමාන කරන්න පුළුවන් කොලිටිය සමාන ස්ටේඩියම් එකක අපි ඔයාලා මේ ඉන්නේ.
නිකමට විහිළුවට එක තත්පරයකටවත් හිතන්න පුළුවන්ද අවුරුදු ගණනට කලින් නිකන්ම නිකන් හොඳම ගඳගහන මඩ වගුරක් මෙතැන තිබුණාය කියලා. අවුරුදු ගණනක්ය කිව්වේ ඈත අතීතයේ රජ කාලෙට එකතු වෙච්ච වසර සිය ගණනක අතීතයක් එතැන නැහැ. හරියට ටක්කෙටම කියනවා නම් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අවසානය වන තුරුම ඛෙත්තාරාම ස්ටේඩියම් එක හැදෙන්නෙ කලින් මේ වටපිටාව තිබුණේ හැතැප්ම ගණනක් ඈතට වුණත් දුගඳ හමන ජරාම ජරා නරා වළක් විදියටයි. මඩ වගුර අවට පැල්පත් කිහිපයක් තිබුණා. කුඩා ආවාස ගෙයක් තිබුණා. යන්න එන්න මාර්ගයක් නැති ඒ පවුල් කිහිපයෙහි මිනිස්සු අඩු වැඩිය ගේන්නයි වෙනත් වුවමනා එපාකම්වලටයි ආවේ ගියේ ඕලන්ද ඇළ හරහා ආව ගිය ඔරුවකින්.
එතකොට ආගම් භේදයක් නැතිව ඕනෑම කෙනකුගේ හිත නිවන ඛෙත්තාරාම විහාරය?
ඛෙත්තාරාම විහාරය වෙනුවට තමයි එක හාමුදුරුනමක් පමණක් වාසය කරපු කුඩා ආවාස ගෙයක් එතැන තිබුණේ.
හිතලා බලන්නකො ටිකක් පුදුමයි නේද?
ඒ පුදුමය ඇතුළේ තියෙන්නේ හොඳ අපූරු කතන්දරයක්. සිත් අලවන තාලේ සිදුවීම් සම්භාරයක්. කුඩා ආවාස ගෙයක් අලංකාර විහාරයක් කරපු ගඳ ගහන නරා වළක් තරම් ජරාජීර්ණ වූ මඩ වගුරක් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයක් කරපු ඒ කතන්දරය සමහර විට අරාබි නිසොල්ලාසයේ එන කතාවක් වගේ ආකර්ෂණීයයි. මේ කතාව කලකට ඉහත මාධ්‍යවල පළවුණු අවස්ථා තිබුණා.
දොරමඬලාව වැඩසටහනේදිත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රවීණ ඉංජිනේරු මහත්තයෙක් ඒ ගැන කතා කරලත් තිබුණා. කොහොමවත් දන්න නොදන්න හැමෝටම ඒ කතන්දරය ආයෙම කියන්නයි මේ හදන්නේ. මේ කතාව මෙහෙම කියන්න හේතු දෙකක් තියෙනවා. පළමු හේතුව ලංකාවේ මිනිස්සු ක්‍රිකට්වලට තියෙන පිස්සුව. ඒ පිස්සුවේදීත් තරුණ තරුණියන් පිරිස වැඩි වශයෙන් ඉන්නවා. තරුණ පිරිස මේ මඩ වගුරේ කතාව බොහෝ විට කොහොමත් දන්නෙ නැහැ. දෙවැනි හේතුව මඩ වගුරක් මේ තරම් මනහර තෝතැන්නක් කරපු කතාව ඛෙත්තාරාමය ඇහෙන් දකින, මැච් එකක ආතල් එක ගන්න කට්ටිය දැනගන්නම ඕනෑ කියලා හිතුණ එකයි.
ඉහත උපකල්පනයෙන් බැහැරව අපි දැන් වසර ගණනක් ඈත අතීතයකට හෙමින් හෙමින් යනවා. ඒ, එක්දහස් නවසිය පනස් දෙක අවුරුද්දට. හරියටම සිනමා පටයක් බලන් ඉන්නවා වගේ. ඒ සිනමා පටයෙහි ළමු රූපරාමුවේ ඉන්නේ සැහැල්ලුවට සරමකිනුයි, කමිසයකිනුයි සැරසුණු දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය. ඕලන්ද ඇළ හරහා ඔරුවකින් පැමිණි එතුමා ඒ අද්දර පිහිටි දුගඳ හමන විශාල වගුරු බිමක් දිහා බලාගෙන උන්නේය.
බොහෝ දේ කල්පනා කරමින් බොහෝ ඈතට සිතුවිලි අතර දුර ගමනක් ගිය එතුමා තමා අසල උන් පාක්ෂිකයන් සමගද ඒ සිතුවිලි බෙදාහදා ගත්තේය. වගුරු බිම ගොඩකර ගෙවල් හදන හැටි මිනිස්සුන්ව එහි පදිංචිකරුවන් කොට ඒ වහා වෙළෙඳසල්, වෛද්‍ය සායනයක්, තැපැල් කන්තෝරුවක්, පන්සලක් සහ එහා මෙහා යන්නට පාලමක් හදන හීනයක සහ සැලැස්මක නිමිත්ත ඒ බෙදාහදා ගැනීම තුළ තිබිණි.
එම නිමිත්ත තුළ එළිදක්වන්නට අවැසි දෙවැනි පියවර දියත් වූයේ එක්දහස් නවසිය පනස් තුනේදීය. එතැනදී එවක රණසිංහ ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසනයේ සංවිධායක ධුරය දැරුවේය. සැලැස්ම දියත් කරලීම සඳහා එතුමා එදා මුණගැසෙන්නට ආවේ මඩින් නැහැවුණු වගුරු බිමට ඔබ්බෙන් තිබූ ආවාස ගෙයි විසූ පූජ්‍ය මාලිම්බඩ රේවත හාමුදුරුවන්ය. රණසිංහ ප්‍රේමදාස තනිව රහසේ පැමිණි ඒ ගමනේදී වගුරු බිම ගැන තමා තුළ වූ සැලැස්ම ගැන එතුමා සමග කතාබහ කෙරුවේ කුඩා ආවාස ගෙයද විහාරස්ථානයක් කරන දයාබර පොරොන්දුව මතය.
හරියකට දානේ වේලක් දීගත නොහැකි දුගී පවුල් කිහිපයකට පන්සලකින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන, කුඩා ආවාස ගෙයක අබ ඇටේක තරම්වත් සැපයක් සම්පතක් නැතිව කල් ගෙවන තරුණ මාලිම්බඩ රේවත හාමුදුරුවන්ට මැදකොළඹ සංවිාධායකයා පැවසූ කතා සහ දුන් බලාපොරොත්තු දරාගන්නට බැරි විය. හිතත් මනසත් ව්‍යාකූල වූ තැන තම දෑසින් සන්තෝෂය වැඩිකමට කඩාවැටුණු කඳුළු උන්වහන්සේ පිසදැමුවේ තැනින් තැන අණ්ඩ දැමූ සිවුරේ කොනකින්ය. සමුගෙන යන වෙලාවේ හාමුදුරුවෝ රණසිංහ ප්‍රේමදාසට පිරිත් පැන් ඉස ආශීර්වාද කරද්දී එතුමාගේ සිතට මහා ශක්තියක් මෙන්ම සෙත් ශාන්තියක්ද දැනුණේය.
බොහෝ දේශපාලකයන් බොරු පොරොන්දු දී යන්නට ගියද, රණසිංහ ප්‍රේමදාස නම් දේශපාලකයා වසර කිහිපයකට පසුව අගමැති ධුරය ලැබුණු පසුව මාලිම්බඩ රේවත හාමුදුරුවන්ට එදා කීවා සේම ඕලන්ද ඇළ අද්දර ඉතා අලංකාර විහාරයක් ඉදිකොට දුන්නේ උන්වහන්සේගේද අවවාද අනුශාසනා සහ මඟපෙන්වීම මතය. ඒ, අවුරුදු තිස් ගණනකට පමණ පසුවය.
ඛෙත්තාරාම ස්ටේඩියම් එකේ කතාන්දරය මතුව එන්නේ එයට පසුවය. ඒ, එක්දහස් නවසිය අසූ පහේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා ඔස්ටේ්‍රලියාවේ සංචාරය සඳහා නික්ම යෑමත් සමගය. එහිදී පර්ත් ස්ටේඩියම් එකේ තිබුණු දිවා රාත්‍රී ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය වෙලාවේ ගොඩදැමූ අර වගුරු බිමෙහි ඉතිරි සැලැස්ම ගැන පුංචි ඉඟියක් ඔහුගේ හිත කොනක නළියෑවේය. පෙරළා හෙතෙම මවු බිමට ආවේ ඒ නළියන සිතුවිලි තුළ කිමිදෙමින්ය. හිතට යමක් කරන්න හිතුණොත් පසුබා නොයන හිතුවක්කාර ගති ස්වභාවයකින් හෙබි ප්‍රේමදාස අගමැතිවරයා එවක ප්‍රධාන නිලතල හෙබවූ ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානීන් එක්රැස් කොට දවස් ගණනක කතිකාවක් පැවැත්වූයේය.
‘අපිත් හදමු රෑටත් මැච් ගහන්න පුළුවන් පර්ත් එක වගේ ස්ටේඩියම් එකක්. ප්‍රතිපාදන හැම දේම දෙන්නම්. දවස් දෙසීයකට වඩා අඩු කාලයක් ඇතුළත වැඩේ අවසාන විය යුතුමයි…’
අගමැතිවරයා අණ දුන්නේය. ‘මේක කරන්න පුළුවන්ද ?’ කියා අසන ක්‍රියාපටිපාටියක් රණසිංහ ප්‍රේමදාස කියන නායකයා ළඟ නැති බව හොඳින්ම දන්නා නිසා ඉංජිනේරු පිරිසට තිබුණේ ‘යර්ස් සර්’ කියා උත්තර දී වැඩේ පටන් ගන්නට විතරය. එලෙස ‘යර්ස් සර්’ කිව්වා වාගෙම වගුරු බිම මත ඛෙත්තාරාම ස්ටේඩියම් එක හදන වැඩේට මුල්ගල තැබිණි. ඒ අතර අවට හිටපු පැල්පත්වාසීන් මඩ ගොහොරුවක් වුණත් තම තමන් උපන් පැල්පත් අහිමි වීමේ වේදනාවෙන් සහ කෝපයෙන් පරල වෙමින් සිටියහ.
කෝකටත් තෛලයෙහි කලාව දන්නා රණසිංහ ප්‍රේමදාස නම් ශූර නායකයා පැල්පත්වාසීන්ගේ හර්තාලය කලින්ම දැන සිටි නිසාම එයට අවැසි බෙහෙත් පත්තුව සකසමින් සිටියේය. ඒ සඳහා ඔහු ‘ජනසවිය’ කමිටුවේ හිටපු මැති ඇමැතිවරුන් වූ මිලින්ද මොරගොඩ, ජී.එල්. පීරිස්, මහාචාර්ය පොන්නම්බි රාජා යන අය සමග කතිකා කොට ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කළේය. ප්‍රොජෙක්ට් එකෙහි අරමුණ වූයේ ඛෙත්තාරාම ස්ටේඩියම් එක හැදුවාට පස්සේ ගම්වාසීන්ට එයින් ලැබෙන වාසි ගැන තේරුම් කර දීමය. මැච් ගහනකොට එයින් ලබාගත හැකි ස්වයං රැකියා වාසි ගැන පැල්පත්වාසීන්ට අවබෝධය ලබාදීමේ අදිටනින් එහි කටයුතු ආරම්භ විය.
හිතූ තරම් ලෙහෙසියට හර්තාලය නිම නොවුණද ඛෙත්තාරාමය හදන ඉලක්කයට තිත තැබීමේ කලාව රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන කලාවේ තිබුණේ නැත. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ තම අභිමතාර්ථය සඵල කරගන්නා මේ අභීත නායකයා ඛෙත්තාරාමයෙහි සියලු වැඩ නිමා කරන තැනට තම ඉංජිනේරු කණ්ඩායම දිරිගන්වමින් තිබිණි. ඇද පළුද්දකට තිබුණේ දවස් 200ට අඩුවෙන් ඛෙත්තාරාමයෙහි වැඩ නිමකර ගැනීමට බැරිව ඊට වැඩියෙන් තව දවස් 10ක් ඊට එකතු වී තිබීමය. මාසවලින් ගණන් බලනවා නම් මාස හයකින් වැඩ නිමකළ යුතු යැයි අගමැතිවරයා දුන් අණට තව මාසයක් එකතු කිරීමට සිදුවිය.
ඒ දවස් තිහද වචනය වෙනස් කර දුන්නේ විදුලි කුලුනුවල ආලෝකය මඳ වූ ගැටලුව නිසාය. රණසිංහ ප්‍රේමදාසට ඕනෑ වූයේ පර්ත් ස්ටේඩියම් එකට හරි හරියට සම කළ හැකි ස්ටේඩියම් එකක් ලංකාවේද තියෙනවා දකින්නටය. ඒ වැඩේ අහුකොන් හෝ අඩුපාඩු තිබීම ඔහුට රිසි නොවීය.
ඊළඟ ප්‍රශ්නය වූයේ ‘ඛෙත්තාරාම’ කියන නමය.
‘ඛෙත්තාරාම කියන නම නියමයි. අපි ඒක තීන්දු කරමු…’
අගමැතිවරයා කියන කොට පාක්ෂිකයෝ මඳක් අවුල් වූහ.
‘ඇයි මොකක්ද මේ අයගේ ප්‍රශ්නය..,?’
‘පොඩි නොගැළපීමක් තියෙනවා නේද සර්…? ඒක පන්සලක නමක්…?’
පාක්ෂිකයෝ යටහත් පහත්ව කීවෝය.
‘ඇයි ඒ පැත්තෙන් හිතන්නේ? ඛෙත්තාරාම කියලා නම තියන්න මම හිතුවේ වෙනස් ධනාත්මක පැත්තකින්. ඒක පන්සලකට නිගරු කරන කල්පනාවකින් නෙවෙයි.’
අගමැතිවරයා බොහොම සන්සුන්ව කීවේය. ඔහු තුළ වූයේ ඛෙත්තාරාම යනුවෙන් ස්ටේඩියම් එකට නම තැබූ විට ඛෙත්තාරාම පන්සල් භූමිය ගැනද ජාත්‍යන්තරයෙහි කතාබහට ලක්වෙතැයි යන හැඟීමය. ඒ හැඟීම මත රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමාගේ අදහස අනුවම එය ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය.
‘සත්තකින්ම මේ ක්‍රීඩාංගණය පර්ත් එකටත් වැඩිය හරිම අලංකාරයි. පර්ත් එකේ විදුලි ආලෝකය සපයන්නට අපට දවස් 365ක් ගියා. නමුත් ඔබ මේ රටේ ඉංජිනේරුවන් ලවා සියල්ල දවස් 210කින් නිම කළා.
ඛෙත්තාරාම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවයට ආරාධිතයකු විදියට ආව පර්ත් ක්‍රීඩාංගණය භාර නිලධාරියා ප්‍රේමදාස අගමැතිට කිව්වේ ඔහුගේ දෑත් සිය දෝතට තෙරපා ගනිමින්ය.
ඉතින්,
ගඳ ගහන වගුරු බිමක් බාධක මැද හෝ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වූයේ එහෙමය. ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතනයක් වඩාත් ක්‍රියාකාරීව මහා පරිමාණයේ වැඩකටයුත්තක් සඳහා යුහුසුළුව දිරිමත් කරවන්නේ කෙලෙසදැයි යන පාඩම එදා ප්‍රේමදාස අගමැතිවරයා ලොවට කියා දුන්නේය. අද ඔහු ජීවත්ව සිටියා නම් සැඳෑ සමය තුළ හෝ තමා කළ මහඟු මෙහෙවර ගැන කෙතරම් සතුටු වනු ඇද්ද? ඛෙත්තාරාමය යනු අද ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදරය. එලෙසම ඛෙත්තාරාමය අද රටට සල්ලි උපයා දෙන උල්පතකි. ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රීඩාංගණයකි.
නමුත් ප්‍රේමදාස අගමැතිවරයා බොහෝ දුර සිතමින් ‘ඛෙත්තාරාම’ යනුවෙන් තැබූ නාමය ඔහුගේ වියෝවෙන් පසු ‘ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ නමින් වෙනස් විය. ක්‍රීඩාංගණයට තැබුවේ ඒ සඳහා කැපවූ තම නාමය වුවද, ඛෙත්තාරාම නාමය වෙනස් කළ කාරණාවට ඔහු කිසිසේත්ම තුටු පහටු නොවන බව සහතික යැයි යන සිතුවිල්ල හරිද වැරැදිද කියන්නට දන්නේ නම් නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු