ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. අපට දැන් අහන්නට දකින්නට ලැබෙන්නේ අනුවේදනීය පුවත්. මේ කතාවත් සමාජයේ එක් පැතිකඩක එක් දුක් ගැනවිල්ලක් විතරයි. මෙවැනි කතා අපේ රටේ නිවෙස් තුළ අනන්තවත් ඇති. මේ නිසා දැවෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක හදවත්. දරුවන්ගේ ලෝකය තනා දෙන්න වෙහෙසෙන තාත්තලා මේ ලෝකේ අනන්තවත් ඉන්නවා. තාත්තෙක් තම දරුවන්ට හැම මොහොතේම ආදරය දෙන්නේ සඟවලා. දරුවෙක් ඉපදෙනකොට අම්මා කෙනකුට තාත්තා කෙනකුට දැනෙන සතුට පල දරන්නට නම් ඔවුන් තම දරුවන් වෙනුවෙන් නිසියාකාරව යුතුකම් ඉෂ්ට සිද්ධ කළ යුතුයි. නමුත් එලෙස යුතුකම් ඉෂ්ට කරන්නට අපොහොසත් වුණාම මවුපියන් පත්වන්නේ දැඩි අසරණභාවයකටයි.
මවුපියවරුන්ගේ හද කම්පාකරවන අනුවේදනීය සිදුවීමක් පසුගිය දවසක වාර්තා වුණේ අලුත්ගම ප්‍රදේශයෙන්. තම සිඟිති දරුවා කුසගින්න දරාගන්න බැරිව හඬාවැටෙන විට ඒ තාත්තාට එය බලා සිටින්නට බැරි වුණා. ඒ වෙලාවට හොඳ නරක නෙවෙයි තාත්තාට දැනෙන්නේ, දරුවාගේ බඩගින්න නිවන්නේ කොහොමද කියන එකයි. දරුවාට කිරි ටිකක් හොයාගන්නේ කොහොමද කියමින් ඔහු දහස් වරක් සිතන්නට ඇති. කිරිපිටිවල මිල ගණන් අහස උසට ගිහින්. කිරිපිටි ගන්න මුදලුත් නැහැ. නමුත් කරන්නට කිසිවක් නැහැ. මේ තාත්තා නිවෙසින් පිටවුණේ කෙසේ හෝ දරුවාට කිරි පිටි පැකට්ටුවක් රැගෙන එන බව තමන්ටම කියාගනිමින්.
පසුගිය 16 වැනිදා ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් වෙත ගිය මේ තාත්තා එහි තිබූ රුපියල් 3,100ක් පමණ වටිනා කිරිපිටි ටින් එකක් සොරාගෙන තමන් ඇඳ සිටි කමිසය තුළ එය සඟවා ගත්තේ ගෙදර අඬන දරුවාගේ කුසගින්න නිවාලන්නට වෙනත් කළ හැකි දෙයක් නොමැති තැනයි. කෙසේ වෙතත් වෙළෙඳසලේ සේවිකාවක් එය දැක ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 30 හැවිරිදි ධීවරයෙක්. තමන් සිදුකළ වරද පිළිබඳ ඔහු හඬා වැටෙමින් පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුණේ මේ ආකාරයටයි.
‘මගේ දරුවාට අවුරුද්දයි මාස අටයි. දරුවා අඬනවා බලා ඉන්න බැරිකමට පිටි ටින් එක සොරාගත්තා…’
මේ අඬන පුංචි නොදරුවා දන්නේ නැහැ අම්මාට තාත්තාට කිරි ගෙනත් දෙන්න වත්කමක් නැහැ කියන වග. මෙවැනි දරුවන්ගේ අඳෝනාව මේ රටේ බලධාරීන්ට දැනෙන්නේවත් ඇහෙන්නේවත් නැහැ. ඔවුන් දන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න විතරයි. ඒ කිරි දරුවාගේ දුක දැනුණේ අම්මාට තාත්තාට විතරද කියලයි සමාජයෙන් අහන්න තියෙන්නේ? අද මහ මඟ පාර අයින්වල ඉස්කෝලේ යන්න බැරිව කුණු බාල්දි අවුස්සමින් කොයිතරම් අසරණ දරුවන් ඉන්නවාද? මේ තත්ත්වය හරිම ඛේදනීයයි. මෙලෙස වීදිවල ඉන්න දරුවන් අකුරක් ඉගෙනගන්නේ නැතුව අනාගතයේ සල්ලාලයන් මංකොල්ලකරුවන් බවට පත්වෙනවා. කවුද මේ දේට වග කියන්න ඕනේ? රටේ පවතින අධි උද්ධමනය නිසා මිනිසුන් හෙම්බත් වෙලා ඉන්නේ. දරාගැනීමේ ශක්තිය හීන වෙලා. තාත්තෙක් කවදාවත් දරුවකුට කියන්නේ නෑ මට උඹට කන්න දෙන්න බැහැ, උඹව පෝෂණය කරන්න බැහැ කියලා. මේ වචන කවදාවත් තාත්තකුගෙන් අහන්න ලැබෙන්නේ නැහැ.
තාත්තාගේ ආදරය කියන්නේ මේ ලෝකේ ඇති සුන්දරතම හැඟීමක්. මෙයට දුප්පත් පොහොසත්කම බලපාන්නේ නැහැ. පියෙකුගේ ආදරය දරුවන්ට සීමාවක් නැහැ. තමන් නොකා නොබී හරි දරුවන්ගේ කුස පුරවන්නයි ඔහුට ඕනේ වුණේ. මේ පියාත් දරුවාගේ බඩගින්න ගැන දහස් වරක් කල්පනා කරන්නට ඇති. දහස් වරක් හිතින් අඬන්නට ඇති. කරකියා ගන්නට දෙයක් නැතිවෙන්න ඇති.
අම්මා කෙනෙකු පෝෂණයෙන් ඉහළ නම් කවදාකවත් තම දරුවාට දෙන්නට තම ළයේ කිරි නොමැති වන්නේ නැහැ. දරුවාට දෙන්නට තරම් කිරි එරෙන්නේ නැත්තේ ඇයට නිසි පෝෂණීය ආහාර වේලක් නොලැබෙන නිසයි.
මවුකිරි කියන්නේ දරුවකුගේ අයිතියක්. නමුත් කිරි දෙන්න තරම් පෝෂණයක් අම්මාට නැත්නම් ඇය පත්වෙන්නේ දැඩි අසරණභාවයකටයි. අම්මා කෙනකුගේ හිතේ සතුටක් තිබුණහොත් පමණයි පෝෂණයක් පවතින්නේ. සමාජයේ අඩු ආදායම්ලාභී පවුල්වල බිලිඳු දරුවන්ටවත් රජයෙන් සහනයක් නැත්නම් ඔවුන් අසරණ වීම පුදුමයට කරුණක් නොවෙයි.
අම්මා කෙනකු තාත්තා කෙනකු දරුවකු බිහිකරන්න කරන කැපකිරීම දන්නේ කිරිකැටියන් සිටින මවුපියන් විතරද? ඇයි අපේ රටේ බලධාරීන්ට මේවා පේන්නේ නැත්තේ? මේ අම්මාට තාත්තාට තම දරුවා කුසගින්නේ අඬනකොට බත් කටක්වත් කන්න නොසිතෙන්නට ඇති.
හැම අම්මෙක් තාත්තෙක්ම තම දිවි දෙවැනි කොට දරුවන්ට රැකවරණය පෝෂණය සලසා දෙනවා. ඒ අම්මලා තාත්තලාගේ හැටි. දරුවෙක් තුළ කරුණාව සහ ප්‍රඥාව යන දෙකම එක ලෙස පැවැතිය යුතුයි. ඒත් ඇතැම් දරුවන් තම මවුපියන්ව අනාගතයේ වැඩිහිටි නිවාසවලට යොමු කරනවා. සමහර දරුවන් මවුපියන්ට සලකන්නේ ඉඩකඩම් ලියාගන්නා තුරු පමණයි. මවුපියන් තමන්ව පෝෂණය කළේ කොහොමද කියලා එක දශමයක්වත් ඒ දරුවන්ට හිතෙන්නේ නැහැ.
මෙලෙස දහදුක් විඳලා දරුවො හැදුවත් මවුපියන්ට නොසලකන දරුවන් ඕනෑ තරම් අද සමාජයේ දැකගන්න ලැබෙනවා. මේ විදියට දුක් විඳලා හැදුව දරුවෝ මවුපියන්ගේ දුක් වේදනා තේරුම් ගත්තා නම් අද සමාජයේ වැඩිහිටි නිවාස ඇතිවෙන එකක් නැහැ. අම්මෙක් තාත්තෙක් තම දරුවන්ව ආරක්ෂා කරන්නේ තමන්ගේ පණ වගේ. එවැනි මවුවරුන්ට පියවරුන්ට බුදුවරයකුට වගේ සැලකීම සෑම දරුවකුගේම යුතුකමක්. එලෙස මවුපිය උපස්ථානය උපරිම අයුරින් සිදුකරන බොහෝ දරුවන් අපේ සමාජයේ අනන්තවත් සිටිනවා. ඔවුන් ඒ සිදුකරන උපස්ථානය මහා පින්කමක්. මවුපිය උපස්ථානය යනු මේ ලෝකයේ ඉහළම සැප ලැබිය හැකි පුණ්‍යකර්මයක් බව බුදුරජාණන්වහන්සේ පවා දේශනා කළේ ඒ නිසාමයි.

නිලන්ති රේණුකා










