ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුවද, ලෝකය හමුවේ ගෞරවයට පාත්‍ර වූ දැවැන්තයන් බිහි කළ රටකි. අඟහරු ග්‍රහයා මත ජීවය සොයන දැවැන්ත ව්‍යාපෘතියක තාක්ෂණික ප්‍රධානියකු ලෙස ක්‍රියාකරන ශ්‍රී ලාංකිකයකු පාඨක ඔබ වෙත හඳුන්වා දීමට අපට අවස්ථාවක් උදාවිය. ඔහු ඉන්ද්‍රජිත් මහිලාල් ද සිල්වාය. දේශීය මාධ්‍ය හරහා ඔහුගේ කාර්යභාරය අනාවරණ කරන සහ ඔහු සමග සාකච්ඡාවක නිරත වන පළමු අවස්ථාව මෙය විය හැකිය.(Sri Lanka Latest News)
අඟහරු ලෝකයේ ජීවය පිළිබඳ පර්යේෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන රොබෝ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන Exomars නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස ඔහු ක්‍රියා කරයි. ඔහුට පැවරී ඇති වගකීම වන්නේ, Exomars රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීමයි.
‘මම මේ ව්‍යාපෘතියේ AIT (Assembly, Integration & Test) ප්‍රධාන කාර්මික ඉන්ජිනේරු ශිල්පියා විදිහට කටයුතු කරනවා. එක්සොමාර්ස් රෝවරය එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම සහ පරීක්ෂා කිරීම මට පැවරිලා තියෙනවා,…’ මහිලාල් ද සිල්වා පැවසීය.
මහිලාල් ද සිල්වා පැමිණි ගමනේ මුල් පියවර
1976 වසරේ උපත ලැබූ මහිලාල්, පාසල් තුනකදී සිය ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය හැදෑරීය. පිළිවෙළින් එම පාසල් වූයේ, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලයි.
‘මගේ පාසල් කාලය මගේ වෘත්තීය සහ අධ්‍යාපනික සාර්ථකත්වයේ පිළිබිඹුවක් කියලා කියන්න පුළුවන්. මම අධ්‍යාපනය ලැබුවා වගේම, 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු විදිහට කටයුතු කළා. ඒ වගේම, මගේ අම්මායි තාත්තායි මේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපෑවා. ඔවුන් තමයි මට කියලා දුන්නේ, ජීවිතයට දර්ශනයක් තියාගන්න අවශ්‍යයි කියන එක සහ තමන් ගැන විශ්වාස කරන්න කියන එක…’ මහිලාල් ද සිල්වා මතකය අවදි කළේය.
වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වූයේ, 1999 වසරේදීය. ලන්ඩන්හි කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු කාර්මික ඉන්ජිනේරු ශිල්පය සම්බන්ධයෙන් උපාධියක් ලබාගත්තේය.
උපාධිය ලබාගැනීමෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ, ගුවන් යානා සැලසුම් ඉන්ජිනේරුවරයකු, ගුවන් යානා නිෂ්පාදන ඉන්ජිනේරුවරයකු සහ ගුවන් යානා නඩත්තු ඉන්ජිනේරුවරයෙකු ලෙසය.
‘ඊට පස්සේ මම චන්ද්‍රිකා නිෂ්පාදනය ගැන වැඩිදුර ඉගෙන ගත්තා. එක්සොමාර්ස් කණ්ඩායමට එකතු වෙන්න කලින්, මම බුධ ග්‍රහයා වෙත යවපු Bepicolombo අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉන්ජිනේරුවරයා ලෙස කටයුතු කළා. ඒක ගොඩක් සාර්ථක මෙහෙයුමක්…’ ඔහු පැවැසීය.
පසුව එයාර්බස් සමාගමට එක් වුණු ඔහු වසර 15කට අධික කාලයක් එහි සේවය කරමින් සිටි අතර, එක්සොමාර්ස් කණ්ඩායමට එක්ව ඇත්තේ, ඊට සමගාමීවය.
‘මම කුඩා කාලයේ ඉඳන්ම අභ්‍යවකාශයට, අභ්‍යවකාශ වස්තූන්වලට වගේම ඉන්ජිනේරු ශිල්පයටත් ගොඩක් ආසා කළා. ඒ නිසා මම ගුවන් යානාවල මූලිකාංග, නිෂ්පාදන ක්‍රියාවලිය වගේ කරුණු ගැන ලියැවුණු පොත් කියෙව්වා. ඒ වගේම, ග්‍රහලෝක, ජීවය ආදී දේවල් ගැනත් මම කරුණු හෙව්වා….’
Exomars රෝවරය
2020 වසරේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කර තිබූ Exomars රෝවර් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ අඟහරු ග්‍රහයා මත ජීවය ඇත්දැයි පරීක්ෂා කිරීමය. පසුව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා කල් ලබාගනිමින් 2022 වසරේදී අඟහරු වෙත යැවීමට තීරණය කෙරිණි. එය යුරෝපයෙන් අඟහරු වෙත යැවෙන පළමු රෝවරය වනු ඇත. එය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency) සහ රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos සමග ඒකාබද්ධව සිදුකිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාව සමග පැවැති එකඟතාව අහෝසි කිරීම නිසා රෝවරය යැවීමේ කටයුතු ප්‍රමාද වී ඇතැයි මහිලාල් ද සිල්වා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, රුසියාව වෙනුවට වෙනත් අභ්‍යවකාශ ඒජන්සියක් සමග ඒකාබද්ධ වීමට මේ වන විට තීරණය කර ඇති බවය. ඒ අනුව, එය ඉදිරියේදී අඟහරු වෙත යැවීමට සැලසුම් කෙරෙනු ඇත.
‘අඟහරු මත ජීවීන් ඉන්න බව විශ්වාසයි’
Exomars රෝවරය අඟහරු මතුපිට පෘෂ්ටයේ මීටර් 2ක් පමණ ගැඹුරට හාරා පස් සාම්පල ගැනීමට නියමිත අතර, එම පාංශු සාම්පලවල ජීවීන් හෝ ෆොසිල බවට පත්වූ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වේ ද යන්න පරීක්ෂා කිරීමට නියමිතය. එම පස් සාම්පල නාසා ආයතනයට අයත් Mars Organic Molecule Analyzer තුළින් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
‘දැනට කරල තියෙන පර්යේෂණ අනුව අඟහරු මත ජීවයට පැවැත්මක් තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. ඒක තහවුරු කරගන්න මේ ව්‍යාපෘතිය අතිශයින් වැදගත් වේවි. මේ ගැන අපි දැන් අවුරුදු 5ක විතර ඉඳන් පර්යේෂණ ගොඩක් කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම අපගේ එකම අරමුණයි,…’ මහිලාල් ද සිල්වා පැවැසීය.
අඟහරු මත ජනපදකරණය
අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරන පර්යේෂණ සඳහා ද දායක වීම මහිලාල්ගේ අරමුණ වී තිබේ.
‘මම දැනට අඟහරු මත ජීවය සොයන විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙක්. ඉදිරියේදී සිදුකිරීමට නියමිත ‘අඟහරු මත ජනපදකරණය’ වැනි ව්‍යාපෘතිවලටත් දායක වීම මගේ අරමුණක්.’
දරුවන්ට පණිවුඩයක්
ශ්‍රී ලංකාවේ දරුවන් තුළ කුඩා කාලයේ සිටම අභ්‍යවකාශය පිළිබඳ කුතුහලයක් ඇති කළ යුතුය යන්න මහිලාල් ද සිල්වාගේ අදහසයි. ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ දරුවන් තුළ එවන් කුතුහලයක් නිර්මාණය කිරීම සඳහා ඉදිරියේදී ව්‍යාපෘතියක් ආරම්භ කරන බවය.
‘දරුවන් තමන්ගේ හැකියාවන් තේරුම් ගන්න අතරම ජීවිතය සැලසුම් කිරීමට නිසි අධ්‍යාපනයක් ලැබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමන් කරන දේ ගැන සතුටු වෙනවා වගේම තමන්ගේ හැකියාවන් දියුණු කරගත යුතුයි. මගේ අත්දැකීම අනුව අවුරුදු 16 ඉඳන් 20 දක්වා කාලය අතිශයින් වැදගත්. ඒ අවුරුදු කිහිපය තුළ නාස්ති කරන්න කාලයක් නැති තරම්. දරුවන් යම් යම් දේවල් ගැන දැනගන්නවාට වඩා නිර්මාණශීලීත්වය ගැන අවධානය යොමුකළ යුතුයි…’ හෙතෙම කියා සිටියේය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










