පියදාස මරා දැමුවේ ඇයි?
රැකල ඉඳලා සීමන්ට වෙඩි තිබ්බෙ ඇයි?
‘මරුවා සමඟ වාසේ’ කියලා පපුවෙ කොටා ගත්තෙ ඇයි?
ඇය ඩී.ආර්. රන්මැණිකාය. ඇතැම් විට එනමින් ඔබ ඇය නොහඳුනනවා ඇත. එහෙත් මරුසිරාගේ බිරිය වූ රන්මැණිකා යැයි කී විට ඔබට ඇය මතකයට එනු ඇත. පසුගිය කාලයේ ඇය පිළිබඳ යළි මතකයට ආවේ බෝගම්බර බන්ධනාගාරය මහජනතාවට නැරඹීම සඳහා විවෘත කළ අවස්ථාවේය. සිරගෙදර නැරඹීමට පැමිණි ඇය, තම සැමියා වූ දෙද්දුව ජයතුංගගේ සිරිපාල රඳවා සිටි සිරමැදිරිය හා ඔහු එල්ලා මරා දැමුණු එල්ලුම් ගස අබියස මහ හඬින් හඬා වැටුණාය.(Sri Lanka Latest News)
ජීවිතයේ අනේකවිධ දුක් අනුභව කළ රන්මැණිකා තරුණ වියේ සිටම අත්වින්දේ දුක පමණි. 2020 අගෝස්තු 02 වැනි ඉරුදින ඇය සියලු දුකින් මිදී සැනසුම් ඉසව්වකට යන්නට ගියාය. මින් වසර කිහිපයකට ඉහත මට ඇය හමුවූයේ අනුරාධපුර සාලියපුර ගම්මානයේ පිහිටි ඇයගේ කුඩා නිවෙසේදීය. ඉතා අබලන් වූ එම නිවෙසේ බිත්ති සියල්ල පුපුරා ඉරිතලා ගොසිණි.
ඇගේ එක් දියණියක හා ඇගේ දරුවන් සමග රන්මැණිකා එහි ජීවත් වූවාය. ඇය යැපුණේ එම දියණිය ඇඳුම් මසා උපයන සුළු මුදලකිනි. දරුණු වකුගඩු රෝගයකින් ද, පෙණහලු ආබාධයකින් හා දියවැඩියාව වැනි රෝග රැසකින් ද පෙළුණු ඇයගේ එකම ඉල්ලීම වූයේ තම නිවෙස කඩා වැටෙන්නට පෙර සාදාගැනීමට උපකාරයක් කරන ලෙසය.
රන්මැණිකාගේ මවුපියෝ හේවාහැට ගොඩමුන්න ප්‍රදේශයේ ගොවිතැනින් ජීවිකාව කරගත් පවුලකි. ළමා වියේදී අනුරාධපුරයට ඇයට එන්නට සිදුවූයේ මවුපියන් ගමේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයේ පදිංචියට පැමිණි බැවිනි.
ඇගේ පවුලේ සාමාජිකයන් 11 දෙනෙකි. බාල වියේදීම දීග යන්නට සිදු වූ ඇය විවාහ වූයේ ගුණපාල නමැති තරුණයකු සමගිනි. 1970 ජනවාරි 30දා සර්පයකු දෂ්ට කිරීමෙන් ඔහු මරණයට පත්වන විට රන්මැණිකාගේ වයස අවුරුදු 18කි. ඒ වන විට ඇය දරුවන් සිවුදෙනකුගේ මවක වූ අතර පස්වැන්නා ද කුසයෙහි වැඩෙමින් සිටියේය.
එවක ළාබාල තරුණියක වූ රන්මැණිකා දරුවන් පෝෂණය කරනු පිණිස ගල් වැඩපළක ගල් කැඩුවාය. කුලී වැඩ කළාය. පිහිටට කිසිවකු නොවූ හෙයින් සියලු දුක් වේදනා තනිවම විඳගත්තාය.
ගුණපාලගේ පියාගේ වෘත්තිය වූයේ කසිප්පු පෙරීමය. පියාගෙන් කසිප්පු පෙරීම ඉගෙන ගත් රන්මැණිකා දරුවන් පස්දෙනා පෝෂණය කිරීම සඳහා කසිප්පු පෙරන්නට වූවාය. එවක එම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම පැවැතියේ ගුණපාලගේ වැඩිමහල් සහෝදරයා වූ සීමන් අප්පු අතය.
සිරිපාල සමග ඇය ගෙවූයේ කෙටි කාලයක් වුවද එම අතීතය මියයන තෙක්ම ඇයට සදානුස්මරණීය විය. සිරිපාල පන්නිපිටිය ප්‍රදේශයේ උපන් තරුණයෙකි. නාහෙට නාහන එකකු වූ සිරිපාල දිනක් තම සොහොයුරකුගෙන් පහර කෑමෙන් ඇති වූ කෝපය පිටකර ගත්තේ වත්තේ තිබූ විශාල ගසක් තම නිවෙස මතට කපාදමා නිවෙස පොළොවට සමතලා කිරීමෙනි. පසුව ඔහු අනුරාධපුරයට පලාගියේය.
සිරිපාලගේ පියා වූ දාවිත් අප්පුහාමි අනුරාධපුරයේ වැඩිහිටි නිවාසයක භාරකරු ලෙස සේවය කළ හෙයින් සිරිපාල ඔහු සමග නතර විය. ඒ වන විට අවුරුදු 16ක තරුණයකු ඔහු තැන තැන කුලී වැඩ කරමින් ජීවිකාව සලසා ගත්තේය. ඔහුට අනුරාධපුරයේදී අපූරු මිතුරන් පිරිසක් හමුවිය. ඔවුන්ගෙන් ගැටකැපීමේ කලාව මනාව ප්‍රගුණ කළ සිරිපාල අති දක්ෂ ගැටකපන්නෙක් බවට පත්විය.
පික්පොකට් ගැසීම නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසිණි. එහෙයින් සිරිපාල මත්පැනටද පුරුදු විය. සැමදා සවස් යාමයේ සීමන් අප්පුගේ කසිප්පු වාඩියට යන ඔහු තම මිතුරු පිරිස සමග මත්පැනින් සප්පායම් විය. රන්මැණිකා මත්පැන් බෝතල දෙක තුනක් පෙරා එය විකුණා ලද මුදලින් තම දිවි රැකගත්තාය. රූප සුන්දරියක නොවුවද ඉතා පියකරු තරුණියක වූ තම සොහොයුරාගේ බිරිය තම අනියම් බිරිය කර ගැනීමට සීමන් අප්පුට අවශ්‍ය විය.
එහෙත් ඔහුගේ ඉල්ලීමට එකඟ නොවූ හෙයින් සීමන් අප්පුගේ විවිධ අතවරවලට ලක්වන්නට ඇයට සිදුවිය. සිරිපාලගේ හොඳම මිතුරා වූයේ ලයනල් නමැත්තෙකි. ඔහු මත්පැන් බීවේ රන්මැණිකාගේ නිවෙසිනි. ලයනල් සමග දිනක් සිරිපාල ද එහි පැමිණියේය. සීමන්ගෙන් රන්මැණිකාට හිරිහැර වන බව මේ වන විට සිරිපාල දැන සිටියේය.
රන්මැණිකාගේ නිවෙසේ කුඩා කාමරයක් විය. සැමියා මියයෑමෙන් පසු කිසිවකු එය පරිහරණය නොකළ හෙයින් එය වසාදමා තිබිණි. සිරිපාල එම කාමරයේ නවාතැන් ගත්තේය. මඳ කලක් ගතවන විට සිරිපාල හා රන්මැණිකා අතර ප්‍රේමයක් හටගත්තේය. ඒ වන විටත් 20 හැවිරිදි වියේ පසු වූ රන්මැණිකා මේ උස කෙට්ටු තරුණයාට පෙම් කරන්නට විය. එවක සිරිපාලගේ වයස 18කි. දෙදෙනාම එක්ව මත්පැන් ව්‍යාපාරය පවත්වාගෙන යන්නට වූහ.
සීමන් අප්පුගේ මත්පැන්වලට වඩා රන්මැණිකාගේ මත්පැන්වලට වැඩි ඉල්ලුමක් තිබුණේ ඒවායේ තත්ත්වය ඉහළ මට්ටමක පැවැති හෙයිනි. මෙය සීමන් තදින් කෝපගැන්වූ අතර කෙදිනක හෝ රන්මැණිකාගෙන් පළිගන්නා බව ඔහු කීවේය. සිරිපාල ඇය සමග සිටි හෙයින් ඔහුට එය පහසුවෙන් කළ නොහැකි විය.
සිරිපාලට ආරි නමින් මිතුරෙක් විය. දිනක් ඔහුත් සිරිපාලත් අනුරාධපුර දුම්රිය ස්ථානය දෙසට ගමන් කරමින් සිටියහ. රේල් ගේට්ටුව අසල එක්තරා පුද්ගලයකු පච්ච කොටමින් සිටිනු දෙදෙනාට දැකගත හැකි විය.
ආරි පච්ච කොටන්නා ලවා තම මුහුණ දෙපස කුරුල්ලන් දෙදෙනකු පච්ච කොටා ගත්තේය. එතැන් සිට ඔහු ‘කුරුලු ආරි’ විය. සිරිපාලද තම ළය මත පච්චයක් කොටා ගත්තේය. එය ‘මරුවා සමග වාසේ’ යන්නයි. ඔහුට ‘මරු සිරා’ යන අන්වර්ථ නාමය එක් වූයේ එම වැකිය නිසාය.
පියදාස නමැති පුද්ගලයෙක් සාලියපුර කුඩා සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන ගියේය. එහි ඔහු හොර මත්පැන් ජාවාරමද කරගෙන ගියේය. දිනක් ඔහු තම කසිප්පු බූලියක් සොරකම් කළ බවට චෝදනා කොට තවත් පිරිසක් සමග පැමිණ සිරිපාලට පහර දෙන්නට විය. එහිදී සිරිපාල ඔහුට වෙඩිතබා මරාදැමීය. ඒ මරුසිරාගේ පළමු ගොදුර විය.
සීමන් සිරිපාල මරාදැමීමට වෙල්ලියා නම් පුද්ගලයකුට රුපියල් පනහක කොන්ත්‍රාත්තුවක් දුන්නේය. සීමන්ගෙන් නොමිලයේ කසිප්පු බිව්වද වෙල්ලියාට සිරිපාල කෙරෙහි ඇල්මක් තිබිණි. එහෙයින් සීමන් තමන්ට කොන්ත්‍රාත්තුවක් දුන් බව ඔහු සිරිපාලට කීවේය. සීමන් රාත්‍රියට නිවෙසේ සිටින්නට බිය වූයේ ඔහුට සතුරන් රැසක් සිටි හෙයිනි. එහෙයින් ඔහු රාත්‍රිය ගත කළේ තම වත්තේ වූ විශාල ගසක තනා තිබූ පැලකය. සීමන් පැලට යෑමට නිවෙසින් පිටවන තෙක් බලා සිටි සිරිපාල ඔහුට වෙඩි තබා මරාදමා හලාවතට පැන ගියේය. එහෙත් ඔහුට වැඩි කලක් සැඟවී සිටින්නට නොහැකි විය. ටික දිනකින්ම ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. සිරිපාලට සිරගෙදර ජීවිතය ඉතා කටුක විය. ඔහු සිරගෙදරින් පලා ගියේය.
තෙප්පංකුලම වනාන්තරයේ සැඟවී සිටි සිරිපාලට බත්මුල් බැඳගෙන දිනපතා සැතපුම් 5ක් පමණ දුරක් කැලයේ ඇවිද යන්නට රන්මැණිකාට සිදුවූවාය. කිසිවකු දුන් ඔත්තුවකින් සිරිපාල යළි අත්අඩංගුවට පත් විය. ඔහු තම මිතුරු ලයනල් සමග අනුරාධපුරයේ සිට කොළඹ යන්නට ගිය විටෙක පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබිණි.
සිරිපාල තුන්වරක් සිරගෙදරින් පලා ගියේය. අවසන් වරට පැන ගියේ සිරකරුවන් 37 දෙනකු සමග බන්ධනාගාර වෑන් රථයකිනි. ඒ වන විට රන්මැණිකාට ඔහුට දාව දියණියක සිටියාය. බන්ධනාගාරයෙන් පලාගිය සිරිපාල දියණිය බලන්නට නිවෙසට ආවේය. මහත් ස්නේහයකින් බිලිඳිය වඩාගත් ඔහු ඇය ළයට තුරුලු කරගෙන බොහෝ වේලා ඇඬුවේය.
‘දුවට නමක් දැම්මද?’ ඔහු රන්මැණිකාගෙන් ඇසූ විට, ‘තාම නැහැ, මහත්තයාම කියන්න නමක්’ ඇය කීවාය. එහෙනං මැණිකෙ මාව මතක් වෙන්නත් එක්ක සිරානි කියලා දාන්න ඔහු ඇයට කීවේය.
(මේ වන විට සිරානි අගනුවරට ආසන්න ප්‍රදේශයක ජීවත් වන්නීය. තම පියා පිළිබඳ කිසිවක් ප්‍රකාශ කරන්නට තමා අකැමැති යැයිද තමා පිළිබඳ කිසිවකුට නොකියන ලෙසටද ඇය රන්මැණිකාට කියා තිබුණාය. ඇය තමා බලන්නට නොපැමිණෙන බවද රන්මැණිකා මා සමග කීවාය.)
මහත් වේදනාවෙන් නිවෙසින් නික්ම ගිය සිරිපාල අනුරාධපුර නගරයට ජලය සපයන ජල ටැංකිය මතට නැංගේය. එයට පිට දී වාඩි වූ ඔහු තම පපුවට වෙඩිතබා ගත්තේය. එහෙත් ඔහු මියගියේ නැත. සුවය ලැබීමෙන් පසු යළි බන්ධනාගාරයට යන්නට ඔහුට සිදුවිය. අනුරාධපුර, යාපනය, වැලිකඩ සහ බෝගම්බර යන බන්ධනාගාරයන්හි රඳවා සිටි සිරිපාල එල්ලා මරාදැමුණේ බෝගම්බර සිරගෙදරදීය.
‘1975 මාර්තු 01 දා මට බන්ධනාගාරයෙන් ලිපියක් ලැබුණා. ඒකෙ තිබුණේ අප්‍රේල් 05 දා සිරිපාල එල්ලා මරනවා කියලා. මට සලාකෙට ලැබුණු සීනි රාත්තල් දෙක විකුණලා රුපියල් 20ක් හොයාගෙන මම බෝගම්බර හිරගෙදරට ගියා. දෙවැනිදා ඉඳන් හතර වැනිදා වෙනකං මම හිරගෙදර ගේට්ටුව ගාව තමයි හිටියේ. දවසට දෙපාර ගානෙ මං එයාව බලන්න ගියා. එයා හැමතිස්සෙම මගේ හිත හැදුවා. අප්‍රේල් 04 වැනිදා තමයි මං එයාව අන්තිම සැරේට දැක්කේ. මට එයාගේ මිනියවත් දකින්න ලැබුණෙ නැහැ. බන්ධනාගාරෙන් කිව්වා කැමැති නං මිනිය ගමට ගෙනියන්න පුළුවන් කියලා. නිදාගන්න පැදුරක් කොට්ටයක්වත් නොතිබ්බ මං කොහොමද මිනිය ගේන්නේ මහත්තයෝ…?’ යැයි එදා ඇය මගෙන් ඇසූ හැටි මතකයට නැඟේ.
සිරිපාලගේ මරණින් පසු රන්මැණිකාට අයත්ව තිබූ අක්කර එකහමාරක ඉඩම ද සීමන්ගේ පවුලේ සාමාජිකයෝ උදුරා ගත්හ. ඇයට කුඩා දරුවන් සමග දිවි ගෙවන්නට සිදුවූයේ ගසක් යටය. පසුව කුඩා නිවෙසක් අටවාගත්තාය.
රන්මැණිකාගේ මිදුලේ විශාල ගණදෙවි රුවක් තිබිණි. එයට මල් මාලාවක් පලඳවා තිබූ අතර ඒ අසල පොල් ගෙඩියක් හා අඩක් දැවුණු කපුරු පෙත්තක් විය. දිනපතා පුල්ලෙයාර් දෙවියන්ගේ රුව අබියස පූජා පවත්වා ඇය දෙවියන්ගෙන් යැද්දේ සැනසීමකි. එහෙත් මුළු ජීවිත කාලය පුරාම ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුළු පුල්ලෙයාර් දෙවියන්ට පෙනුණේ නැත. ජීවිත කාලය පුරා කඳුළ පමණක් උරුම කරගත් මේ ගැහැනිය 2020 අගෝස්තු 04 වැනිදා සාලියපුර පොදු සුසාන භූමියේදී එම කටුක දිවියට සමු දුන්නාය. සීමන්, පියදාස, සිරිපාල මෙන්ම රන්මැණිකාද අද මළවුන් අතරය.
අමරනාත් ජයතිලක ‘සිරිපාල හා රන්මැණිකා’ නමිනුත්, ටයිටස් තොටවත්ත ‘මරුවා සමග වාසේ’ නමිනුත් චිත්‍රපට දෙකක් නිර්මාණ කරන ලද්දේ සිරිපාලගේ හා ඇයගේ ඛේදවාචකය ඇසුරිනි.
ධර්මසිරි ගමගේ මහතා 1970 දශකයේ ඇගේ ජීවිත කතාව පොතකට ගොනු කළේය. තම කතාවට කිසියම් මුල්‍යමය ආධාරයක් ලැබුණේ ඔහුගෙන් හා ඔහුගේ පුත්‍රයාගෙන් පමණක් යැයි ඇය මට කීවාය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා










