අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ මෙරට ඉතිහාසයේ මෙතෙක් කල් සිදුවුණු දුර්ලභ සහ අපූරු පාරිසරික සිද්ධියක් ගැන. ඒ තමයි, ඇතුන් දෙදෙනකු මියගියාට පසුව එම සතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ස්මාරක ඉදිකරලා ගෞරව දැක්වීමේ සිද්ධියක්.
ගහට කොළට සතා සීපාවට සෙනෙහස ආදරය තියෙන සංවේදී මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා කියන එකට හොඳ උදාහරණයක් පසුගිය පෝය දවසේ උදේ ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව ඉස්මත්තෙදී සිද්ධ වුණා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ මියගිය සියඹලන්ගමුවේ ඇතා සහ ගල්ගමුවේ දළ පූට්ටුවා යන ඇතුන්ගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරූ දෙකක් ඉදිකර විවෘත කිරීම සිදුවූ අතර ඊට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.
තමන්ගේ හේනේ කුඹුරේ ඉපනැල්ලේ වගාවන් මෙම ඇතුන් විසින් අවස්ථා ගණනාවකදී විනාශ කර තිබුණද එම සතුන්ට කිසි දිනෙක වෛර නොකළ, කලාකාමී ගුරු මහත්මයෙක් විසින් මෙම අනුරූ නිර්මාණය කිරීම විශේෂත්වයක්. සතා සිවුපාවුන්ට අයිති බිම්කඩවල් ඇහිරීම, ජනවාසකරණය, අවිධිමත් සංවර්ධනය සහ මිනිසුන්ගේ සිත්පිත් නැති ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි ජාතික සම්පත් බඳු වන අලින් රටට දැයට අහිමි වීම සිදුවන බවයි එම නිර්මාණ ශිල්පියාගේ අදහස වුණේ. වන අලින් දෙදෙනකු වෙනුවෙන් එම සතුන් ගැවසුණු ප්‍රදේශයේම මෙවැනි අනුරූ නිර්මාණය කර, ඒ හරහා රටට, ජනතාවට සොබාදහමේ දායාදයන්ගේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගැනීම පැසසිය යුතු කරුණක්. මෙම මාහැඟි කාර්යයට මූලික අඩිතාලම දැමූ තිලක් සේමසිංහ මහතාටත්, එම නිර්මාණය බිහි කළ ජේ. රත්නායක ලලිත කලා ගුරු මහත්මාටත් පරිසර ලෝලීන් වන අප සැමගේ දයාබර ස්තුතිය නිරන්තරව හිමිවෙනවා.
තවත් නිර්මාණ ශිල්පීන් දෙදෙනකුගේ සහාය ඇතිව ජේ. රත්නායක ගරු මහත්මා විසින් වසර හතරකට ආසන්න දීර්ඝ කාලයක් මුළුල්ලේ මහත් වෙහෙසක් දරමින් මෙම ඇත් යුවලගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ නිර්මාණය කර ඇති අතර, මේ වන විට ඒවා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තිබෙනවා.
අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව ඒකරාශී වී සිදුකළ මෙම මාහැඟි සත්කාරයට රාජ්‍ය අනුග්‍රහය කෙසේ වෙතත් පරිසර ලෝලීන්ගේ නොමඳ අනුග්‍රහය හිමිවූ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඇත් දළ ජාවාරම්කරුවන් සහ දඩයක්කරුවන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකරන වන සතුන් දඩයම් කිරීම් ආදී නීති විරෝධී කටයුතුවලට එරෙහිව තමන් නිරන්තරව කටයුතු කරන බව ප්‍රදේශවාසීන් ලියුම්කරු සමග පවසා සිටියා. මෙවන් කනගාටුදායක ඉරණමක් මිහිතලය මත වෙසෙන කිසිදු සත්වයකුට අනාගතයේදී උරුම නොවේවා යන්න අප හැමගේ ප්‍රාර්ථනාවයි.
මේ වන විට අප රටේ ශේෂව සිටින සීමිත වන අලින් ප්‍රමාණය ආරක්ෂා කරගනිමින්, මතු පරපුරට දායාද කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකිරීම පරිසරයට ආදරය කරන ඔබ අප සියලු දෙනාගේ වගකීම බව අවසන් වශයෙන් සිහිපත් කරනවා.
සමන් හල්ලොලුව