බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නොහොත් සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජිවිතේ’ නමැති පුද්ගලයකු පසුගිය සතියේ කළුබෝවිල රෝහලේදී මරණයට පත්වූ බව වාර්තා විය. ඔහුගේ සිරුර භාරගන්නට කිසිවකු මුලදී ආවේ නැත. නමුත් පසුව නැගණිය හා සොයුරා රෝහලට පැමිණ තිබිණි. ඔහු ගැන ඔවුන් පවසන්නේ වෙනස්ම කතාවකි. ඔහු බොරුවක් කළ බවකි. ශ්‍රී ලංකාවේ පළවූ නවකතා, චිත්‍රපටවලටද විෂය වූ ඔහුගේ කතාව කාලයක් සමාජ මාධ්‍ය තුළද ආන්දෝලනයක් ඇති කළේය.
තම නැගණිය මැරූ සමූහ දූෂකයකු මරා බන්ධනාගාරයට ගිය ඔහු සිරගෙදරින් හතරපස් වතාවක් පැනගොස් නැගණියට හදි කළ සියල්ලන් මරාදැමූ ආකාරයත්, එල්ලා මරන්නට නියම වී මිනිත්තු කීපයකට පෙර එකල රාජ්‍ය නායකයාගේ අණින් ජීවිතය රැකුණු ආකාරයත්, තමා ගැන සිතා තම මවගේ ළය පැලී මියගිය ආකාරයත්, ඔහු ඉතා ප්‍රබන්ධාත්මකව මාධ්‍ය වෙත කියූ අතර හිරගෙදර යකඩයා අනුකරණය කරමින් තමන්ගේ පපුවේ ‘හිතුමතේ ජීවිතේ’ නමින් පච්චයක් කොටා වීරත්වයක්ද ආරෝපණය කර පෙන්වූයේය.
මෙම පුද්ගලයා වසර 43කට වඩා හිරගෙදර සිට පසුව ජනපති සමාව ලැබ 2018 නිදහස්ව පිටව යන්නේ මේ අපූරු කතාවද කියමිනි. මිනීමැරුම් පහක් හයක් කර ඇති අයකුට මේ ආකාර ජනපති සමාවක් ලැබීම ඒ කාලයේ එම කතා පළකළ මාධ්‍ය ප්‍රශ්න කරන්නේ නැති අතර ඔහු කියන අනෙක් කතා සත්‍ය ලෙසම සිදුවීද යන්න ප්‍රශ්න කර තිබුණේද නැත.
නමුත් හිතුමතේ ජීවිතේගේ නැගණිය ජීවතුන් අතර සිටින්නකු වූවාසේම ඇය තමන්ව දූෂණයට ලක්වූ කතාව ප්‍රබන්ධයක් බව කියන්නීය. තමන්ගේ මව මොහු නිසා ළය පැලී මියගිය කතාවද ප්‍රතික්ෂේප කරන්නීය. සොරකමක් නිසා හිරේ ගිය සුමතිපාල හිරේදී ව්‍යාජ වීරත්වයක් මවාපාමින් කතාවක් ගොතා තිබූ අතර ඒ ගැන කිසිදු හෙවිල්ලක් නොකළ ඇතැම් මාධ්‍ය එම කතාව විසුරුවා හැර ඒ මගින් ඔහු වීරයකු බවට පත් කළේය.
ඒ, ‘හිතුමතේ ජීවිතේ’ නමින් ප්‍රසිද්ධව සිටි බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නැමැත්තා ඉකුත් 13 වැනිදා ජීවිතක්ෂයට පත් වී පසුව කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය භාරගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැතිව සිටි නමුත් අවසානයේ ඔහුගේ දේහය භාරගැනීමට රෝහලට පැමිණියේ අතවරයට ලක්ව ඝාතනය වූ බවට ‘හිතුමතේ ජීවිතේ’ මාධ්‍ය ඉදිරියේ කී ඔහුගේ එකම නැගණියත් සහ බාල සහෝදරයාත්ය.
‘හිතුමතේ ජීවිතේ’ නමින් පෙනීසිටි සුමතිපාලගේ නැගණිය චන්ද්‍රානි මෙසේ පවසා තිබිණ.
‘හිතුමතේ ජීවිතේගේ එකම නංගි මමයි. එයා මාධ්‍යවලට, පත්තරවලට ගිහින් අර විදියේ බොරුවක් කියද්දි මමයි, මගෙ පොඩි අයියයි ඒ මාධ්‍යවලටයි පත්තර කන්තෝරුවලටයි ගිහින් කිව්වා මේවා ප්‍රචාරය කරන්න එපා, එයා බොරු කියන්නේ කියලා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැති තැන අල්ලලා දාලා නිකම් හිටියා. පොතක් ගහනවා කියලා ආරංචි වුණාම එයාලටත් මම කිව්වා මම ඉදිරිපත් වෙනවා කියලා. ඒත් එයාලා ඒ පොතත් ගැහුවා. චිත්‍රපටයක් කරනවා කියලා ආරංචි වුණාම එයාලටත් කතා කළා. මම උපන්නේ වාද්දුව මොරොන්තුඩුවේ. දංකොටුවේ පදිංචියට එද්දී මට වයස අවුරුදු 7යි. අයියා ගැන මට ලොකු මතකයක් නැහැ. මට මතක අම්මයි තාත්තයි අනිත් අයියලා දෙන්නයි. ඒත් මට මතකයි එක පාරක් මම අම්මත් එක්ක ගියා මීගමුවේ බන්ධනාගාරයට. එතකොට එයා ඇවිත් අපිත් එක්ක කතා කළා මට මතකයි. එයා අවුරුදු හතළිස් ගාණක ඉඳන් හිරේ කියනවා. ඒවා සේරම බොරු. එයා කියන දේවල් ඇත්ත ද නැත්ත ද කියලා පොලිසිවලට, බන්ධනාගාරවලට ගිහින් බලන්න පුළුවන්.
ඒත් එයා හිරේ හිටිය ද කියලවත් හොයලා බලන්න කිසි කෙනෙක් උනන්දු වුණේ නැහැ. අපි බොරු කියනවා කියලයි කිව්වේ. මේකෙන් අපි ගොඩක් අපහසුතාවට පත්වුණා. දන්න අඳුනන අය කෝල් කරලා කියනවා අන්න අර පත්තරේ, අර වැඩසටහනේ යනව කියලා. ඒක අපිට ලොකු කරදරයක් වුණා. අම්මා මැරුණේ හිරගෙදරදී පපුව පැළිලා කියලත් කියලා තිබුණා. ඒකත් බොරුවක්. අම්මගේ මරණ ගෙදරට එයා ඇවිත් ගියා. එයා ඒ කාලේ කොහේ ඉන්නවද කියලවත් අපි දන්නෙ නැහැ. කවුරු හරි අම්මගේ මරණේ ගැන කියලා ආරංචියට වෙන්නැති එන්න ඇත්තේ…’
ඉකුත් 16 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු පාරින්ද කොටුගොඩ විසින් ‘හිතුමතේ ජීවිතේ’ගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. ඒ සඳහාද සොයුරිය චන්ද්‍රානි පෙරේරා (56) හා සොයුරා ආනන්ද පෙරේරා (64) සාක්ෂි ලබාදුණි. සොයුරා මෙසේ කීය.
‘අපේ අම්මා තාත්තා වුණේ බටුගහගේ දොන් මාටින් පෙරේරා සහ තුඩුවගේ දොන් සෝමවතී. අපේ පවුලේ දරුවන් සිවු දෙනෙක් හිටියා. පුතුන් තිදෙනකු සහ එක් දියණියක්. හිතුමතේ ජීවිතේ නැතිනම් සුමතිපාල පුතුන් තිදෙනාගෙන් දෙවැනි පුතා.
කුඩා වියේ සිටම ඉතා හිතුවක්කාරී චරිතයක්. පාසල් ගියේ නැහැ. පවුලෙන් පමණක් නොව නිවෙසින් ද පිටවී ජීවත් වුණා. විවාහ වුණෙත් නැහැ. එයා නංගි දූෂණය කරපු පිරිසක් මරාදැමූ බව කියලා තිබුණේ. ඒත් අපි දන්නා තරමින් නම් ඔහු කවදාවත් ඒ වගේ මනුෂ්‍ය ඝාතන කරලා නෑ. ඔහුගේ එකම නංගි මරාදැමූ බව කිව්වත් ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මේ අතරෙදී තමයි මගේ බිරිය දැකලා තිබුණේ අයියා කළුබෝවිල රෝහලේදී මියගිය පුවත. අපි රෝහලට ගියේ ඒක දැකලා. එහිදී අපි අයියාගේ දේහය ඔහුගේ බව හඳුනා ගන්න පුළුවන් වුණා….’
සොයුරිය චන්ද්‍රානි මරණ පරීක්ෂණයේදී මෙසේ කීවාය.
‘අයියා කුඩා කාලේ ඉඳලම හරිම හිතුවක්කාරයි. ගෙදරින් තරහ වෙලා පාසල් යන කාලේ සිටම ගෙදරින් පිටවෙලයි හිටියේ. තාත්තා අවස්ථා කිහිපයකදීම නිවෙසට රැගෙන ආවත් ඔහු නිවෙසේ රැඳී හිටියේ නැහැ. ඒත් අවස්ථා කිහිපයකදී විටින් විට නිවෙසට පැමිණ අපි සමග කතාබස් කොට නැවත පිටව ගියා. ඒ අතරතුර තමයි හිතුමතේ ජීවිතේ නමින් ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කියලා තිබුණේ. ඔහු පවසන පරිදි මිනීමැරුම් කිසිවක් අපි දන්නා තරමින් කරලා නැහැ. හැබැයි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නම් ඔහු සිරගතව සිටි බව අපට දැනගන්න ලැබුණා.
ඒ කොහොම වුණත් ඔහුගේ එකම නැගණිය ඝාතනය කළ බව පැවසුවද එවැන්නක් සිදුවී නැහැ. ඔහුට සිටි එකම නැගණිය මමයි. අයියා මාධ්‍යවලට කළ ප්‍රකාශ මාධ්‍යවල පළවුණු මුල් කාලෙම අපි ඒ ගැන පැමිණිලි කළා, මේවා අසත්‍යයි කියලා. නමුත් අපේ පැමිණිලිවලට සාධාරණයක් වුණේ නැහැ. මාධ්‍යවල පළවුණු ඒවා නිසා අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවුණා. අපි රැකියාවල් කරපු අය, අපිට දරුවෝ ඉන්නවා. අපි රටට මුහුණ දෙන්න ඕනේ. අපි හැමෝටම ලොකු ලැජ්ජාවක් වුණේ. අපි එච්චරම අසරණ තත්ත්වයකට පත්වුණා.
අපි මේ ගැන පුවත්පත් මණ්ඩලේටත් පැමිණිලි කළා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැහැ. ඔයාලගෙම අයියනේ ඒවා කියන්නේ, ඒ හින්දා අපිට මුකුත් කරන්න බැහැ කිව්වා. අපේ අම්මා, තාත්තගේ නම් පවා ඒ ලිපිවල තිබුණා. ඒ ගැන අපිට හරි වේදනාවක් තියෙන්නේ. මේ රටේ පුරවැසියො විදිහට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? සමහර මාධ්‍ය අපේ පවුලම පණ පිටින් වළලලා දැම්මා වගේ වැඩක් කළේ. දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ. තවත් මේ ගැන කතා කරන්නවත් අපි කැමැති නැහැ. අපිට දැන්වත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න…’
මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පෙණහලුවල ඇතිවූ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, පාරින්ද කොටුගොඩ නිගමනය කළේය.
ඔහුගේ සහෝදරයාත් සහෝදරියත් ඔහුගේ අවසන් කටයුතු ඉටුකිරීම සඳහා තමන්ට හැකි අයුරින් දායකත්වය දක්වා තිබිණි.
අන්තර්ජාලය ඇසුරෙණි