අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෙක්ව විශ්වවිද්‍යාලයකට යවන්නේ දහසක් සිහින බලාපොරොත්තු ඇතිවයි. බොහෝ වෙලාවට ඒ අම්මා තාත්තා දහසක් දුක් විඳලා හරිහම්බ කරගත්තු මුදල් තමයි දරුවන්ගේ විශ්වවිiාල අධ්‍යාපනයට යොදවන්නේ. ඒ තරම් දුක් විඳලා කැපකිරීම් කරලා දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදෙන්න මවුපියන් ඔවුන්ව විශ්වවිද්‍යාලයට යැවුවත්, විශ්වවිද්‍යාලය තුළදී ඇතැම් දරුවන්ට අත්වෙන අනුවේදනීය ඉරණම ගැන නම් ඉතාමත් කනගාටුයි. (Sri Lanka Latest News)
කැලණිය සරසවියේ සිසුවෙක් උන් හිටිගමන් ජීවිතයෙන් සමුගත්තේ කාටත් සිතාගත නොහැකි ආකාරයටයි. ඔහු ජීවිතයෙන් සමුගෙන තිබුණේ අසනීප තත්ත්වය උස්සන්න වීම හේතුවෙන් බවයි වාර්තා වුණේ. එම සරසවියේ සමාජීය විද්‍යාපීඨයේ භූගෝල අධ්‍යයන අංශයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නම් සිසුවා පසුගිය 24 වැනිදා මෙලෙස මියගොස් ඇත්තේ කන්නංගර නේවාසිකාගාරය තුළදීයි.
සිසුවාගේ අසනීප තත්ත්වය පිළිබඳ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට දුරකතනයෙන් දැනුම් දුන්නත් ඔවුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සිසුවා ජීවිතයෙන් සමුගත් බවටයි ඔහුගේ සහෝදර සිසුන් චෝදනා කර සිටියේ. ඔවුන් පවසා සිටියේ අසනීප වී සිටි සිසුවා කඩිනමින් රෝහල්ගත කිරීමට ගිලන් රථයක් ලබාදුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බවයි. සිය සහෝදර සිසුවාගේ හදිසි මරණයෙන් කම්පනයට පත් මිතුරන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකර සිටියා.
‘රෑ10ට විතර ලක්මාල්ට අමාරු වෙලා අපේ කොල්ලො ටික හොස්පිටල් එකට ගෙනිච්චා. ඒ ගෙනියද්දිත් නැතිවෙලා.’
විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයද විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විරෝධතාවක නිරතව සිටි අතර, එහිදී ඔවුන් ප්‍රදර්ශනය කළ විරෝධතා පුවරුවල ‘ආණ්ඩුවේ උවමනාව මත පරිපාලනයේ නින්දිත ක්‍රියාවලිය හෙළා දකිමු – නේවාසිකාගාරවල සිසුන් මියයයි. පරිපාලනය මර නින්දේ’ යනුවෙන් සඳහන් කර තිබුණා.
කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය තිස්සපුර සිරිසුමේධ හිමියන් මෙම මරණය සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.
‘එයාට මීමැස්මොරේ තිබ්බා. මීමැස්මොරේ වැඩිවෙලා කාමරේ හිටපු ළමයි පරිපාලනයට කියන්න කෝල් කරද්දී, මේ පරිපාලනයේ අලුතින් පත්වෙලා ඉන්නවා ‘ශිෂ්‍ය කටයුතු’ කියලා කෙනෙක්. ෆෝන් එකක්වත් උත්තර දෙන්නේ නැතුව තමයි පරිපාලනයේ මැදිහත්වීම් කෙරෙන්නේ. ළමයෙක් මැරෙන්න යන වෙලාවේ වාහනයක් එවන්න කිව්වාම වාහනයක් එව්වේ නැහැ. විනාඩි 10ක් 15ක් කලින් ළමයාව එක්කන් ආවා නම් ජීවිතය පවත්වාගෙන යන්න තිබුණා. අධ්‍යාපන පොදු සාධන ගැටලු විසඳන්න කියලා අපි අවුරුදු ගානක් තිස්සේ ඉල්ලුවා. පරිපාලනය මේ ශිෂ්‍යයන්ගේ ගැටලු ගණන් ගන්නේ නැතිව අත්තනෝමතිකව කටයුතු කළා. පවතින රජයට ඕනේ විදියට තමයි වැඩකටයුතු කරන්නේ. ශිෂ්‍යයෙක් ලෙඩ වුණාම ත්‍රීවීල් එකක දාගෙන මග දුරක් යනකොට තමයි වාහනයක් එව්වේ. හොස්පිට්ල් එකට අරන් යද්දී මේ ළමයා ජීවතුන් අතර නැහැ. දොස්තර කිව්වේ විනාඩි 10ක් 15 අතර වේලාසන ගෙනාවා නම් බේරගන්න තිබුණා කියලා. ශිෂ්‍යයෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුණේ පරිපාලනයේ වැරැද්ද නිසා. ළමයින්ට ෆෑන් නැහැ, හොස්ටල් නැහැ කියද්දී එයාලා කියන්නේ ප්‍රතිපාදන හම්බවෙන්නේ නැහැ, මුදල් නැහැ කියන කාරණය. අවුරුදු 20ක සිට සරසවියට ගිලන් රථයක් ඉල්ලනවා ඒත් තවමත් ලබාදුන්නේ නැහැ. අපි ශිෂ්‍ය සංගමයක් විදියට සිසුන්ට අසාධාරණක් වෙන්න ඉඩ තියන්නේ නැහැ…’
ලක්මාල්ගේ මව සිය ආදරණීය පුත්‍රයාගේ වියෝව දරාගැනීමට නොහැකිව හඬාවැටුණේ මෙලෙසයි.
‘විභාගය ළඟයි වැඩ ටික කරගන්න ඕනේ කියලා තමයි පුතා ගෙදරින් ගියේ. අම්මා 4 වැනි අවුරුද්ද නේ, අප්‍රේල් මාසෙන් ඉවරයිනේ කියලා කිව්වා යන්න ඉස්සෙල්ලා. හැමදාම රෑට කතාකරලා අම්මේ මොනාද කරන්නේ කියලා අහනවා. 24 වැනිදාත් කතාකරලා ඇහුවා අම්මේ මට උදේට කතාකරන්න කියලා. හැමදාම මම උදේ පාන්දර 5ට එයාට කැම්පස් යන්න නැගිට්ටවන්න කතාකරනවා…’
ලක්මාල්ගේ පියා සිය ආදරණීය පුත්‍රයාගේ වියෝව පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
‘අපි මේ දරුවාව හදාගත්තේ ගොවිතැන් කරලා දුක් මහන්සියෙන්. කුලී වැඩ කරලා ලොකු මහත් කරලා අපි දරුවා විශ්වවිද්‍යාලයට යැව්වා. මට ඉන්නේ දරුවෝ දෙන්නයි. බාල පුතා තමයි විශ්වවිද්‍යාලයේ ගියේ. අන්තිමට අපිට දරුවා නැතිවුණා. හිතාගන්න බැහැ මොනවද වුණේ කියලා…’
නිරෝෂණ ලක්මාල් සිසුවාගේ වියෝවට පාලනාධිකාරිය වගකිව යුතු බවට චෝදනා කළ මහා ශිෂ්‍ය සංගමයට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති නිලන්ති ද සිල්වා මහත්මිය පිළිතුරු ලබාදී තිබුණා. හදිසියේ රෝගී වූ දරුවා රෝහල්ගත කිරීමට යම් ප්‍රමාදයක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බවයි ඇය පවසා තිබුණේ.
මේ අතරවාරයේ කැලණිය සරසවියේම ඉගෙනුම ලබමින් සිටි තවත් සිසුවියක්ද හදිසියේම ජීවිතයෙන් සමුගෙන තිබුණා. එලෙස මියගොස් තිබුණේ මානව ශාස්ත්‍ර පීඨයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ ගිරාඳුරුකෝට්ටේ දිවුල පැලැස්සේ පදිංචිව සිටි ලක්මිණී දිසානායකය.
උදරාබාධයක් හේතුවෙන් පීඩාවට පත්ව සිට ඇති ඇය ඒ බව පසුගිය 19 වැනිදා සිය යෙහෙළියන් කිහිප දෙනෙකුට පවසා තිබෙනවා. ඒ අනුව ඇය කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇය ශල්‍යකර්මයකට ලක්කළ යුතු බවයි. අනතුරුව ඇය රාගම මහ රෝහලට යොමුකර සැත්කම සිදුකර ඇති අතර, පසුගිය 21 වැනිදා එන්නතක් ලබාදීමෙන් අනතුරුව ඇය මරණයට පත්ව තිබුණා.
මෙලෙස මියගිය සිසුවා සහ සිසුවිය දුෂ්කර පළාත්වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට පැමිණි දරුවන්ය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබුණේ තම අනාගතය යහපත් කරගැනීමයි. නමුත් ඒ සිහින බලාපොරොත්තු එක මොහොතකින් බොඳව ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ සොයන්න මොන තරම් කමිටු පත්කළත්, ඒවායින් මොන තීන්දු තීරණ ලැබුණත් මේ වන විට ඔවුන් ජීවිතයෙන් සමුගෙන ගොස් අවසානය.
අනාගතයේදී හෝ විශ්වවිද්‍යාල සිසු දරුවන්ට මෙවැනි කනගාටුදායක ඉරණමක් අත් නොවන්නට කටයුතු කිරීම පාලනාධිකාරියේ වගකීමකි. දරුවෙක් හදිසියේ අසනීප වුණොත් ඔහුව රෝහල්ගත කරන්න ගිලන් රථයක් තිබීම අත්‍යාවශ්‍යම කරුණක්. නමුත් එවැනි පහසුකම් ඇත්තේ විශ්වවිද්‍යාලවලින් කීයෙන් කීයකටද?
අහිංසක මවුපියන්ගේ දූදරුවන් දහසකුත් එකක් ප්‍රශ්න මැද්දේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න ඇවිත් මේ විදියට නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගෙන යෑම මොන තරම් කනගාටුවට කරුණක්ද? ඉදිරියේදීවත් එවැනි කනගාටුදායක ඉරණමක් අපේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අත් නොවන ආකාරයට කටයුතු කරන්න අධ්‍යාපන බලධාරීන් මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කරමු.
නිලන්ති රේණුකා