රඹුක්කන නගරයේ පළමුවෙන්ම ඉදිකළ “සිනමා ශාලාව” නොහොත් එදා සාමාන්‍ය මිනිසුන්ගේ කට වහරේ හැටියට “බයිස්කෝප් මඩුව” සේම තරුණ පක්‍ෂයේ හැටියට “බයිස්කෝප් හෝල්” එක “රිජනට්” නම් වූවේය. එය ඉදිකළේ මට මතක හැටියට එක්දහස් නවසිය පනස් දෙකේ තරමේ දීය. ඉදිකරනු ලැබුවේ ස්වාහීඩ් (ඉස්මායිල්) නමැති එවක නගරයේ සිටි ධනවත් මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විසිනි.(Sri Lanka Latest News)
එම සිනමා ශාලාවේ පළමුවෙන්ම ප්‍රදර්ශනය කළ චිත්‍රපටය “කැලෑහඳ”ය. මා බැලූ පළමු චිත්‍රපටයත්, පළමු සිංහල චිත්‍රපටයත් යන දෙකම ඒකය. ඒ චිත්තර පටිය (අපේ භාෂාවෙන්) ඒ හෝල් එකේ පෙන්වූ පළමු දවසේ පළමු දර්ශනයට එහි රඟපෑ ප්‍රධාන නළු නිළියෝ කීපදෙනකුත් පැමිණ උන්හයි මහත් “හාවක් හූවක්” තිබිණි.
රුක්මණී දේවි, එඩී ජයමාන්න සහ ස්ටැන්ලි පෙරේරා (පසු කලෙක දැනගත් පරිදි) එසේ ආවෝ (පැමිණි අය)ය. එදා හෝල් එකට කිට්ටු වෙන්ඩවත් බැරි තරමට සෙනඟක් සිටියේලු.
අප ගියේ දෙවැනි දවසේය. අම්මා, තාත්තා, පුංචි අම්මා (මවගේ නැඟණි) සහ මංය. තාත්තා මං (මා) වඩාගෙන ගියේය. (මගේ වයස අවුරුදු හතරක් පහක් තරම්ය) චිත්‍රපටයේ මට මතක මිනිහකු වැල් (සංගිලි) පාලමක් උඩින් යන හැටිත් පසුව මිනිහෙක් ගැහැනියක උස්සාගෙන යන හැටිත්ය. ඒ වැල් පාලමෙන් ගියේ අන්දො සීයා (එඩී ජයමාන්න) බවත් තරුණයකු විසින් උස්සාගෙන යන ලද්දී නාලිනී (රුක්මණී දේවි) බවත් තරුණයා (ජෝන් ජයපාල) ස්ටැන්ලි පෙරේරා බවත් පසු කලෙක දැනගත්තෙමි.
චිත්‍රපටයේ ඒ දර්ශන දෙක පමණක් මතක ඇත්තේ මට තාත්තාගේ ඔඩොක්කුවේම නින්ද ගොස් තිබුණු නිසාය. කැලෑහඳේ සම්පූර්ණ කතාව මා දැනගත්තේ වයස අවුරුදු දහයේ දී පමණ සාහිත්‍ය සූරී ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ කැලෑහඳ නවකතාව කියවීමෙන් පසුවය.
ඒ යුගයේ ඔහුගේ නවකතා බොහොමයක් චිත්‍රපටගත කෙරුණේය. හිඟන කොල්ලා, ඩිංගිරි මැණිකා, රදළ පිළිරුව, දෙයියන්නෙ රටේ ඉන් සමහරකි. මට ඒ කාලයේ නොතේරුම්කම නිසා හඳපාන හිතට ඇල්ලුවේ නැත. එහෙත් ඊට ටික කලකට පසුව ආ “මාතලන්” ටොප්ස්ය. කඩුපයිට්ය. බත් කන විට මතක් වුවොත් හිස්මොල්ලේ යන තරම් විහිළුය. දිලිසෙන බබළන ඇඳුම් ඇඳගෙන නටන වේගෙට දෙකට කැඩී විසිවෙතැයි යන තරම් හිතෙන නැට්ටුක්කාරියන්ය.
අනික් අතට අද පවා මතක් වෙන ජාතියේ සින්දුය. “හනිකයමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා, දෙන්නං මගෙ මැණිකා ගෙදර ගිහිං පැණි වරකා” ආදියයි. මට හොඳටම හිතට ඇල්ලුවේ අර නැට්ටුක් කාරියන් දෙදෙනකු නට නටා කී සින්දුවය. එයිනුත් පද කීපයකි. ඒ කාලේ සින්දු කියන්න කප් ගසා සිටියෝ කේ.රාණි, යමුනා රාණි, ජික්කිය. මට හොඳට කටපාඩම් හිටියේ අර ටි්‍රබලෙන් ඩබලක් විසින් කියන ලද “හඳ ගලවාලා දෙනව කියාලා අප රවටා – තරුණා යැයි ගැලවීලා” යැයි එකියක් කියන කොට අනිත් බඩ්ඩ “උන්ගෙන් ගැලවෙනු ඥානෙන්” යැයි නටමින් කී එකය.
ඒ හඳ ගලවන කතාව එදාට පමණක් නොව මෙදාටත් ටොප්ය. ටොප්ය කීවේ මෙදා වෙන දේවල්වල හැටියටය. එපමණක් නොව මේ යන ගමනේ හැටියටය. අපේ රටේ මතු මත්තට පමණක් නොව හඳ පමණක් නොව ඉරහඳ යන දෙකම පවතිනතාක් කාලයක් වියහැකි දේ නිසාය. (ඒ උනාට අපේ ලොක්කා නම් කියන්නේ 2048 වන විට ඔක්කොම ෂේප් බවය. ඒ නිසා හඳ ගලවාලා පදය සර්වකාලීනව භාවිත කෙරෙන පදේකි. (කොයි කවුරුත් උදේ හවස සිහිපත් කළාටද කාරි (අවැඩක්) නැත.
තාත්තාගේ ඔක්කේ (ඔඩොක්කුවේ) පටන් දැන් ඉහනිකට පැහෙන තාක්ම (මගේ වයස අසූවට ආසන්නය) මට පමණක් නොව මේ රටේ එතෙක් මෙතෙක් උන් හැමෝටම පාහේ අහං ඉන්නට සිද්ද වුණේ ඔය කතන්දරේය. හඳ ගලවා දෙන්ඩ හදන කතාවය.
ඕක ටිකක් අමතක කරන්ඩ හැදුවත් හෙට අනිද්දා මැතිවරණයක් පැවත්වෙන බවට එහෙං මෙහෙං අහන්නට ලැබෙන අල්ල පනල්ලේ අපේ මහතැන (අනේ උන්නාන්සෙට ඇස්වහක්, කටවහක්, හෝවහක් කිසිදු අතුරු ආන්තරාවක් නොවී අපට කරන සත්කාරවලට දෙවියෝම බලාගනිත්වා (රැකදෙත්වා). ඔය පදේ පලිප්පුවේ දමා (රිදී රත්තරං පොලිෂ් කිරීම) අහන්නට දුන්නේය.
ඒ පහුගිය දොහේ පාර්ලිමේන්තු පොජ්ජට මංගච්චලා රාජ ආසෙන් කතාව දේසනා කරන විටය. (ජේසුස්වාමි දරුවන්ගේ කන්ද උඩ දේසනාව මොන දේසනාවක්ද? බාංකො – බලහංකො – හරමානිසෝ) උන්නාන්සෙ ඒකෙදි කීවෙ හිස්වැසුමද? කෙස් වැසුමද? නැහ්නං, අත්වැසුමද? තියෙන අයට මේ උත්සව සමයෙ හාල් කිලෝ විස්සක්ද කොහෙද දෙන බවය. (අනේ මයෙ අප්පා බුදුන් දැක නිවන් දකින්නම ඕනෑය. දුවන එකාගෙන් අහවල් එකත් හොඳයි කියන්නේ ඕකටය) කවුරු හරි මොකක් හෝ හොඳ වැඩක් කරන විට අපේ ගමේ නොන්නොහාමි ආච්චි කීවේම ඔය ආසිරිවාද පදේමය)
පුරාණේ (අතීතයේ) සිට ඇහෙන ඔය පුරාණේ (කතාව) මහාමංත්‍රී තරගයක් (ජේ.ආර්. ලොක්කාගේ වචනය) කිට්ටු වෙන කාලෙක කොයි පැත්තේ වේදිකාවකිනුත් අහන්නට ලැබෙන්නේ ඔය හඳ ගලවලා දෙන කතන්දරේමය. (මැතිවරණයක් නැහ් නැහ් ගෑවත් ඔය කතා පොජ්ජෙන් එහෙම එකක් ඇතිබව පේනවාය). තොපට කන්ඩ දෙඤ්ඤං” කියන බනේමය.
දළදා මාලිගාවට ගොඩවෙන තැන දෙපැත්තේ පොකුණුවල වැඩවසන ගල් ඉබි වහන්සේලා මනුස්සයකුගේ අඩි හඬ ඇසුණු හැටියේම (කෑමට විලඳ ටිකක් දායි යන හැඟීමෙන්) බෙල්ල කටුව ඇතුළෙන් පුළුවං තරම් එළියට දිගු කර කර (බෙල්ල) උස්සා බලන්නහේ (බලන්නාසේ – පාත රට වචනයක්) අපේ උන්නැහේලාත් සද්දෙ ආවෙ කොයි පැත්තටද ඒ පැත්තට පණ එපා කියා දුවන්නෝය. ඇයි නොමිලේ කන්ඩ දෙනව කීවොත් අපේ කට්ටිය හබකකින් (සතුන් මරාගැනීමට පැරැන්නන් ඇටවූ මරඋගුලක්) වුවත් රිංගන්න දස්සයෝය.
අපේ අයියලාගේ කෑම ගැන ඕනෑ තරං අටුවා, ටීකා ටිප්පණි, ගැටපද එමටය. “සිංහලයා මෝඩයා කැවුං කන්න යෝධයා” එකකි. “තෙල්කෑල්ල (ඌරුමස්) කාල ගං කෑල්ල ගියත් මොකෝ”ය. එහි අදහස ඌරුමස් සමග බත් පෙට්ටියක් උයාගෙන (දැකුම් පෙකුම්) ගොස් දී ඉල්ලූ විට ඉඩං කෑල්ලක් ලබාගත හැකි බව කියන කතාවය.
අපේ දේශපාලන ගොයියලා ඉල්ලුමට අනුව සැපයුමට බොහොම දස්සයෝය. වැල යන පැත්තට මැස්ස ගහන්නෝය. නිදහසෙන් පස්සේ අපේ උන්නැහේලා මැස්ස ගැහුවේ එහෙමය. මැස්ස විතරක් නොව මැස්සට පටිත් ගැහුයෝය. නොමිලේ කන්න හාල් දුන්න නිසා ඩඩ්ලි සේනානායක මහත්තයා ගැන පැරැන්නන් අදත් පවසන්නේ ‘බත් දුන් පියා බුදුවේවා’ යනුවෙනි.
මේ කතාව බලයට එන්නට වේදිකාවේ දුන් පොරොන්දු හාල් ගැනය. එක්කෙනකුට සතියකට හාල් සේරු දෙකක්ය. දෙකම නොමිලේ හාල්ය. ඒ මුලින්ය. පසුව එකක් නොමිලේය. අනික සත විසිපහකටය. විසිපහ හැත්තෑ දෙකට නැග්ග විට රටේ හර්තාල් ඇතිවිය. නවදෙනෙක් මියගියහ. ඩඩ්ලි අගමැතිකම එපා කියා ගෙදර ගියේය. මේ අපේ හාල් කතාවය. දෙයියන්නෙ හාල් කැවිච්චි කතාවය.
මට මතක හැටියට එක්දහස් නවසිය තිස්පහ පමණේදී ලංකාවේ සමස්ත ජනගහනය හතළිස් ලක්‍ෂයකට ආසන්න කාලයේ සිට ඉදිරියට ආ හාල් කතාවය. ඔය හතළිස් ලක්‍ෂයකට ආසන්න ජනකායට කෑමට හාල් ටික ගෙනාවේත් පිටරටින්ය. බුරුමයෙන්ය. අපට හාල් නැතත් ඕනෑපදං “රොටී” තිබුණේය. ඒ පාන්පිටි රොටී නොව රබර් රොටීය.
ඔය කාලයේ දෙවැනි ලෝක යුද්ධය දරුණු වූවේය. නැව් ගමනාගමනය අඩාළ විය. බුරුමයටත් හාල් නැතිවිය. අපට නැත්තටම නැතිවිය. පෙරදිග ධාන්‍යාගාරයේ මිනිස්සුන්ට බත් වෙනුවට “බජිරි” (අශ්ව කෑම) කන්නට සිදුවිය. ගංවල මිනිස්සු අලබතල, කොස් දෙල් හෝ කෑවෝය. ඒත් කොළඹ අයට “හුප්පේ”ය.
ඒ සමයේ යටිතල පහසුකම් සැපයීමේ ප්‍රධානියා වශයෙන් රාජකාරි කෙළේ සර් ඔලිවර් ගුණතිලකය. ඒ නිසා සර්ව සාධාරණව මිනිසුන්ට හාල් බෙදාදීමට කූපන් පොතක් (සලාක) නිකුත් කළේය. ඒ එක් අයකුට එක අවුරුද්දකට එක පොතක් බැගිනි. ඒකෙන් සතියකට එක බැගින් කපාගැනීමට පුංචි කූපනයක් තිබුණේය. සමූපේ (විවිධ සේවා සමූපකාර සමිති සංගමය. අතීතයේ සමාගම කඩේය. දෙවැනුව කූපං කඩේ. තුන්වැනිව සමූපෙ විය) මැනිජර් උන්නැහේ ඉන් එකක් කපාගෙන හාල් සේරු දෙකක් දුන්නේය. බුරුමෙන් සල්ලිවලට ගෙනා හාල් සේරුවක් (ඒ කාලේ සේරු මිස කිලෝ නැත) සත පහක හෝ හයක හෝ සහන මිලකට දී රජය පාඩු වින්දේය.
දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට ආර්ථික දුෂ්කරතා ඇති වූ විට බුරුමයටත් හාල් හිඟවිය. ඒ නිසා අපට ද හාල් නැතිවිය. කන්නත් නැතිවිය. ඒ කාලයේ මුදල් ඇමැති ජේ.ආර්. ලොක්කාය. ඔළුව උඩ තියාන හිටියේ ඇමෙරිකාවය. ඒ නිසා (ඇමෙරිකන් ගැතිකම) සමසමාජකාරයන් (ඇන්.ඇම්.ලා) ඔහුට පටබැඳ තිබූ නම “යැංකි ඩිකී”ය.
බුරුමෙන් හාල් ගන්න දිදී සිටි රොටී (රබර්) ටික ඇමෙරිකාවට දෙන්න යැංකි ඩිකී උන්නැහේ කතා කළ විට උන් ඒ ටික ඉල්ලුවේ තුට්ටු දෙකටය. ළාඋළු කෑ පුංචි මහත්තයකු සේ යැංකි ඩිකී අයියා පල්ලං බැස්සේය. ඔය අතරේ අපේ ආර්.ජී. සේනානායක උන්නැහේ චීනා සමග පොඩි කයියක් දමා අපේ රොටී ටික චිනාට දෙන්නටත් ඒ වෙනුවට ඒ ගොයියාගෙන් හාල් ගන්නටත් සෙට්ල්මන්ට් එකකට ඇවිත් හාල් ගෙනාවේය.
චීනෙත් එක්ක ගැහුව රබර් – හාල් ගිවිසුම ලෙසින් වේදිකා දෙදෙරෙව්වේ ඔන්න ඔය කියන ආර්.ජී. ගහපු ගේම ගැනය.
චීනා එදත් කට්ටයාය. ඒකා හාල් එව්වේය. ඒ ඇත්තම හාල් නොව “කෘත්‍රිම” හාල්ය. ඉටි වර්ගයකින් හැදූ ඒවාය. හංවඩු ගසා තිබුණේ “මල්කෝරා” නමිනි. සේරුව සමූපෙන් සත විසිපහකි. ඒ හාල් සෝදා ළිපේ තබා හැළිය රත්වෙන කල හාල් ටික තලපයක් මෙන් එකට ගුළිවෙයි. මෙලෝ යකෙකුටවත් කන්න බැරිය. බතටත් නැත. කිරිබතටත් නැත. එමෙන්ම කැඳටත් නැත. කන්න නැති නිසා බැරිම තැන කෑවෝය. කෑවාට පසු බඩ “බුකුබුකු” ගගා පැහෙන්නට පටන් ගත්තේය. ඊළඟට වැසිකිළි පෝලිමය.
“චීනගෙ මල් කෝරා කෑවොත් චීන බුකුබුකු” යැයි සමසමජකාරයෝ කෑගහන්නට වූහ.
ඔය නමසිය පනස් එකේ දෙකේ තරමේ දීය. ඇමෙරිකාව උදව් කරතැයි (අපේ බඩ්ඩ ජනාධිපති වූ හැටියේම ඩොලර් බිලියන හතරක ණයක් ලැබෙනවා කී සේ) පුරසාරම් දොඩමින් සිටි යැංකි ඩිකී (ජේ.ආර්) අයියා නන්නත්තාර කරමින් ආර්.ජී. චීනෙන් හාල් ගෙනැවිත් ක්‍රෙඩිට් එක ගැනීම නිසා ජේ.ආර්. ලොක්කා හිටියේ සිදත් සඟරාවේ සඳහන් සහකටමැන සපුන් (බෙල්ලේ වටිනා මැණිකක් ඇති නාගයකු) මෙන් දෙන්නම් බැටේ යන අන්දමටය. ඒ නිසා ඔහු සත විසිපහකට තිබූ හාල් සේරුව සත හැත්තෑ දෙක දක්වා හීන් සැරේ වැඩි කෙළේය.
ඒ කාලයේ විරුද්ධ පක්‍ෂයේ නායකයා වූයේ සමසමාජ පක්‍ෂයේ ඇන්.ඇම්. පෙරේරාය. ඔහු වර්ජන කප්පිත්තාය. (බණ්ඩාරනායක මැතිනිය පසු කලෙක කීවේ මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම්. කියාය) ඔය වෙලාවේ හාල් මිල වැඩිකිරීම ඇන්.ඇම්.ට ඉහටත් උඩිංය. ඇන්.ඇම්. එතෙක් කළ වර්ජන (Strike) වෙනුවට ඔය අවස්ථාවේ හර්තාලයක් ආරම්භ කෙළේය. මිනිස්සු පාරවල් මැද යකා නැටුවෝය. කඩවල් වැසුවෝය. දිනය හරියටම 1953 අගෝස්තු දොළොස් වැනිදාය. (1983 කළු ජූලිය වගේමය)
හර්තාල්කාරයන් මට්ටු කරන්නට වෙඩි තබන්නට වූහ. පිටකොටුවේ, කිරුළපනේ, දොම්පේ ඇතුළු ස්ථාන ගණනාවක කෙරුණු වෙඩි තැබීමෙන් 9 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.
ඔය අපේ බත්පතේ කතාවය. කෑමේ කතාවය. හාල් ඇටේ කතාවය.
ඔය හාල් කතාව ඇදි ඇදී ඉදිරියට ගියේය. සෑම අය වැයකින්ම කියැවුණේ සංවර්ධනයක් ගැන නොව සහන දීමක් ගැනමය. කන බනේමය. ඇති හැකි එකාටත් නැති බැරි එකාටත් සමෝසුවේ හාල් දුන්නේය. පාලකයෝ වැල යන අතට මැස්ස ගසා නිකං කන්නදී ඡන්දය ලබාගත්හ. බලය ඉල්ලූහ. බත්ගොට්ටෝ බිහිවූහ.
1965 දී බලයට පත් යූ.ඇන්.පී.ය ඇති හැකි අයට කූපන් පොත් රජයට පරිත්‍යාග කරන ලෙසට රටට කීවේය. එම පක්‍ෂයේ ප්‍රධාන කථිකයකු වූ සමාජ සේවා ඇමැති අශෝක කරුණාරත්න මහතා 1970 මැතිවරණ වේදිකාවේ ඇසුවේ “නොමිලේ හාල් දෙන්න පුළුවන් නං නොදෙන බූරුවා මොකාද?” යන්නය. එහෙත් සිරිමාවෝ මැතිනිය හඳෙන් හරි ගෙනැවිත් නොමිලේ හාල් දෙන බව කීවාය.
එවර මැතිවරණෙන් යූ.ඇන්.පී.ය ආසන අටකට බැස ඩඩ්ලි ගෙදර ගියේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තුනෙන් දෙකක බලයක් ලබා පාර්ලිමේන්තු ගියාය.
‘අපෙ අම්මා කියනවනං පිදුරු වුණත් අපි කන්නං’ කියමින් පාක්‍ෂිකයෝ පෙළපාළි ගියෝය. මැතිනිය හාල් සේරු දෙකෙන් එකක් මුදලටදී අනික නිකං දුන්නාය. මැතිවරණෙන් ඇය ගෙදර ගියාය.
“දෝතින් කන්නයි දෙක දෙක කන්නයි අතට ඡන්දෙ දුන්නේ
දෙක කෝ, දෙක කෝ, දෙක කෝ දෙක කෝ දෙකකෝ
දෙක කෝ දෙක කෝ…ඕ..ඕ.” කොල්ලො පෙළපාළි ගියෝය.
ජේ.ආර්. 1977 දී මැතිවරණ වේදිකාවේ ධාන්‍ය රාත්තල් අටක් දෙන බවට පොරොන්දු වූවේය. මිනිස්සු ධාන්‍ය ඇට අටක් බවට හරවා ගත්හ. පොරොන්දුව පාන් පිටිවලට මාරු විය. කෝ යකෝ ඇට යැයි විරුද්ධ පාක්‍ෂිකයෝ අසන්නට වූහ.
ඔය ටික කීවේ අපේ රටේ මේ දක්වා ක්‍රියාත්මක වූයේ සංවර්ධන අයවැයකට වඩා බත් පිඟාන පෙන්වා ඡන්දෙ බාගැනීමේ සංවර්ධනයකට ගිය බව කීමටය. හඳ ගලවාලා දෙන බව කියන කතාවලට මිනිසුන් කැමැති බව කීමටය.

චන්ද්‍රසේන මාරසිංහ










