ඉංග්‍රීසි පාලන සමයේ අවසාන කාර්තුව උදාවන විට ලංකාවේ දේශපාලන පක්ෂ ආරම්භ වීම සිදුවෙමින් තිබිණි. පළමුව ලංකා සමසමාජ පක්ෂය පළමු දේශපාලන පක්ෂය බවට පත්විය. ඉන් කෙටි කලකට පසු ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය කාලාන්තරයක් මුළුල්ලේ මෙරට බලවත්ම දේශපාලන ප්‍රවාහය බවට පත්ව තිබිණි. එයින් කැඩී වෙන්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ බලවත්ම දේශපාලන ව්‍යාපාරය බවට පත්වූ අතර 2015 දක්වාම එම දේශපාලන පක්ෂ දෙක ලංකාවේ බල හුවමාරුවේ කේන්ද්‍රස්ථාන දෙක බවට පත්ව තිබිණි. නමුත් 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පසුව සිදුවූ දේශපාලන අලකලංචිය හේතුකොට ගෙන අලුත් දේශපාලන ප්‍රවාහයක් ලෙස පොදුජන පෙරමුණ බිහිවිය. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක ලෙස වෙන් වෙමිනි. එහිම අනික් පැත්ත සිදුවෙමින් එක්සත් ජාතික පක්ෂයද තීරණාත්මක ලෙස බිඳීගොස් සමගි ජන බලවේගය බිහිවිණි.
පොදුජන පෙරමුණ බිහිකොට වසර දෙකක් වැනි කාලයක් තුළ රටේ පාලන බලය ලබාගත් අතර සමගි ජන බලවේගය රටේ තීරණාත්මකම දේශපාලන ප්‍රවාහය බවට පත්වූයේ ඉතාම කෙටි කලක් තුළ ප්‍රධාන විපක්ෂය බවට පත්වෙමිනි.
පසුගියදා සමගි ජන බලවේගය සමරනු ලැබූයේ එහි තුන්වැනි සංවත්සරයයි. ලංකාවේ එදා මෙදාතුර දේශපාලන පක්ෂයක් පවත්වනු ලැබූ දැවැන්තම මහා සම්මේලනය පැවැත්වීමේ ඓතිහාසික වාර්තාව සමගි ජන බලවේගය පසුගියදා උරුම කරගත්තේ 30,000කට වැඩි ජනකායක් කොළඹට කැඳවමිනි.
සාමාන්‍යයෙන් පක්ෂයක සම්මේලනය උදෙසා පැමිණෙන්නේ ආරාධනය ලැබූ තෝරාගත් කොටසක් පමණි.
‘සමගි ජන බලවේගය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ දේශපාලන පක්ෂය. ඒ පක්ෂය ගන්න තීන්දු තීරණ මොනවද කියන එක රටේ ජනතාව දැනගන්න ඕනෙ. ඒ නිසා අපිත් විවෘතවම ජනතාවට ආරාධනා කරමු…’ සම්මේලනය ආරම්භ කිරීමට සති දෙකකට පමණ පෙර විපක්ෂ නායක සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට එහෙම පැවසීය.
‘ඔව් ඒක හොඳයි, හෝල් එකක් ඇතුළෙ කොටුවෙලා පක්ෂයේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න ක්‍රමය අපි වෙනස් කරන්න ඕනෙ. අපි මේක රටේ පොදු මහජනතාව එක්ක සමරමුල…’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අදහස වූයේ ද එයයි.
ඒ අනුව පසුගිය සතියේ එකොළොස් වැනිදාට සම්මේලනය පැවැත්වීමට ඔවුහු තීන්දු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් සම්බන්ධව සංවිධාන කටයුතු සඳහා කණ්ඩායමක් පත් කළහ.
මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම සකස් කළ අතර එහි ප්‍රචාරක යාන්ත්‍රණයේ වැඩි බරක් පැටවුණේ නලින් බණ්ඩාර සහ මරික්කාර්ටය. නලින් බණ්ඩාර පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී වන අතර මරික්කාර් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකය. එනිසා ඔවුන්ට මෙහි වැඩි වගකීමක් පැවරී තිබිණි. පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක එම වැඩසටහන සඳහා ජාතික වශයෙන් මැදිහත් විය. මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර සියලු කටයුතු සංවිධාන කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.
සම්මේලන මෙහෙයුම් කමිටුව ඇතැම් දිනවල දවසකට දෙතුන් වතාව රැස්විය. ඒ බොහෝ රැස්වීම්වලට පක්ෂ නායක සජිත්ගේ ද සහභාගිත්වය සිදුවනු දැකිය හැකි විය. ආසන මට්ටමේ සිටින සියලු සංවිධායකවරුන්ට ද වගකීම් පැවරීමට මහලේකම්වරයා කටයුතු කළේය. සමගි ජන බලවේගය අභිනව කාර්යාලයේ සිට බොහෝ සංවිධාන කටයුතු සිදුවූ අතර ඊට පරිබාහිර බොහෝ තැන්වලදී රැස්වෙමින් ද ප්‍රචාරක කමිටුව මීට අදාළ කටයුතු සංවිධානය කරනු ලැබීය.
‘පෙරළියට මඟ හදන කරළියට ගොඩවන්න’ සම්මේලනයේ තේමාව බවට තෝරා ගත්හ.
‘අපි නිකම්ම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි විපක්ෂයේ ඉඳගෙන රටට වැඩ කරපු දේශපාලන පක්ෂයක්. මේ සම්මේලනයේදී සම්මේලනයේදී අන්න ඒ කාරණාවත් රටට පණිවුඩයක් විදිහට යන්න ඕන…’
සජිත් සංවිධායකයන්ට උපදෙස් දුන්නේය.
ලංකාවේ හෝ ලෝකයේ කිසිම විපක්ෂයක් සමාජ සත්කාර කළ ඉතිහාසයක් හමුවන්නේ නැත. එහෙත් සමගි ජන බලවේගය ඒ ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම වෙනස්කොට තිබේ. බලය ලබාගැනීම පමණක්ම අරමුණු කරගනිමින් සහමුලින්ම විවේචනශීලී දේශපාලනයක යෙදෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වඩා වෙනස් ලෙස සමගි ජන බලවේගය කටයුතු කොට තිබේ.
රටට එරෙහිව ආණ්ඩුව ගන්නා සියලු කටයුතුවල දී කොන්දේසි විරහිතව ආණ්ඩුවට දැඩි සේ ප්‍රහාර එල්ල කරන සමගි ජන බලවේගය අනෙක් අතින් රටට අගයක් එකතු කරන කටයුත්තද නොපිරිහෙළා ඉටුකරන්නේය.
සමගි ජන බලවේගය බිහිවන්නේ සම්ප්‍රදායක දේශපාලන පක්ෂවල සම්ප්‍රදායික රටාව වෙනස් කරමින් නවීනත්වය අගය කරමින්ය.
රාජපක්ෂ ආණ්ඩුව වැරදි මාවත තෝරා ගනිමින් ජනතාව පීඩාවට පත්කරන විට සැබෑ විපක්ෂයක භූමිකාව ඉටුකරමින් සමගි ජන බලවේගය මුලින්ම මහ පාරේ වීදි සටන් ආරම්භ කළේය. ආන්දෝලනාත්මක ජන අරගලය ආරම්භ වීමට අවශ්‍ය කරන පළමු වෙඩිමුරය තැබුවේ සමගි ජන බලවේගයය.
ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ආක්‍රමණය කරමින් ජනතා බලය මොන තරම් ශක්තිමත් ද යන්න ප්‍රදර්ශනය කළේ සමගි ජන බලවේගයය. දින 5ක් අඛණ්ඩව නුවර සිට මහනුවරට ආණ්ඩුවට එරෙහිව පාගමනක් පැමිණෙමින් ජන සටනට පණ පොවනු ලැබුවේ සමගි ජන බලවේගයය.
ආණ්ඩුව ජනතාවට එරෙහිව ගන්නා ලබන ක්‍රියාමාර්ගවලදී කොන්දේසි විරහිතව ජනතාවගේ පැත්තේ සිටගනිමින් කටයුතු කළේ සමගි ජන බලවේගයය. බොහෝ දේශපාලන පක්ෂ පුරවැසි අරගලය පාවාදෙද්දී සහ ඊට එරෙහි වෙද්දී මුල සිටම සමගි ජන බලවේගය පුරවැසි අරගලය සමග එක පෙළට හිටගත්තේය. එක් අතකින් එලෙස කටයුතු කරද්දී අනෙක් අතින් රටට අගයක් දෙන කටයුතු රැසකටම සමගි ජන බලවේගය නායකත්වය දුන්නේය.
කොරෝනා ව්‍යසනය එන්නට පෙරාතුව එහි අනතුර රටට මුලින්ම කීවේ විපක්ෂ නායක සජිත්ය.
රෝහල් පද්ධතිය තුළ තිබුණු බරපතළ අඩුපාඩුකම් පිළිබඳ මුල සිටම අනතුරු ඇගවීම් කළ සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් තමන්ට හැකි පමණින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට කටයුතු කළේය.
‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහන ආරම්භ කරන්නේ ඒ අනුවය. මිනිස්සුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය සහතික කිරීම අරමුණු කරගනිමින් ඔවුන් විසින් ආරම්භ කළ එම වැඩසටහන අද වන විට රෝහල් පනස්තුනක් දක්වා ව්‍යාප්ත කොට තිබේ.
රටේ දුෂ්කර රෝහල් 53ට රු 160,266,900 වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කොට ඇත. එදා මෙදාතුර ලෝක ඉතිහාසයේ වත් විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙවන් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා නැත.
එයින් නොනැවතුණු විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය මේ රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන උපකරණ පරිත්‍යාග කිරීමේ ප්‍රමුඛ කටයුත්තක් ආරම්භ කරනු ලැබීය.
ඔන්ලයින් අධ්‍යාපනය හදාරන දුවා දරුවන් සැතපුම් ගණනක් පයින් ගොස් ගස් උඩට නැග සිග්නල් සොයන සමයක සක්වල හරහා පාසල් 22ට රුපියල් 17,881.650ක පරිගණක උපකරණ සහ සුහුරු පන්ති කාමර ගොඩනගා ඇත. මෙය විපක්ෂයේ පක්ෂයක් තබා ආණ්ඩුවක්වත් නොකරන තරමේ දැවැන්ත වැඩ කොටසකි.
මේ රටේ පාසල් දරුවන් සෞඛ්‍ය සම්පන්න පිරිසක් සහ නිරෝගී දරු පරපුරක් බවට පත්කිරීම සමගි ජන බලවේගයේ ඒකායන අරමුණයි. විශේෂයෙන්ම පාසල්වල දරුවන් විවිධ තරග වැනි කටයුතුවලට යෑමේදී ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාව අවබෝධ කරගනිමින් ඊට ශක්තියක් වනු පිණිස දිවයිනේ පාසල් 42ට බස්රථ 42ක් පරිත්‍යාග කොට ඇත්තේ රු. 199,200,000ක වියදමක් දරමිනි. වසර දෙකහමාරක සමගි ජන බලවේගයේ විපක්ෂයේ භූමිකාව දෙස හැරී බැලූ විට නිදහසින් පසු මෙරට කිසිදු විපක්ෂයක් නොකළ තරමේ අද්විතීය මෙහෙවරක් මේ කෙටි කාලය තුළ ඉටුකොට ඇත.
හැටනව ලක්ෂයක ඡන්දය ගෙන වසර දෙක හමාරකින් රට බංකොලොත් කොට ගෙදර ගිය ආණ්ඩුවක් ඇති රටක වසර දෙකහමාරක් තුළ සමගි ජන බලවේගය තනිව කළ මෙහෙවර අසාමාන්‍යය. අදහාගත නොහැකි තරම්ය.
සම්ප්‍රදායික සම්මේලනයක් වෙනුවට නූතන දේශපාලන පක්ෂයක හැඩරුව නිර්මාණය වන අන්දමේ සම්මේලනයක් පැවැත්වීමට සමගි ජන බලවේගයම තීන්දු කළේ ඒ නිසාය.
‘අපි සම්මේලන භූමියට පෙළපාළි දෙකකින් එන්න සැලසුම් කරල තියෙනවා. ඒකට හේතුව මේ වෙනකොටත් අපිට ආරංචි වෙලා තියෙනවා එන ජනතාව විශාලයි කියලා.’ මරික්කාර් කීවේය.
‘ආරංචි වෙන විදිහට ගෝල්ෆේස් වහන්න පුළුවන් තරමින් සෙනඟක් එන්න බලාගෙන ඉන්නවා. අපිට ලැබිලා තියෙන්නේ කැම්බල් එක. එනිසා විශාල පිරිසක් විතරක් නෙවෙයි ලොකු තදබදයක් ඇති වෙන්නත් පුළුවන්. හොඳම දේ තමා රැස්වීම ක්‍රමානුකූලව යන අතරේ පෙළපාළි දෙකෙන් ජනතාව කැම්බල්වලට එන එක….’ එහෙම කිව්වේ මුජිබර්ය.
සංවිධායකයන් ඇත්ත වශයෙන්ම අනපේක්ෂිත ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ පැමිණෙන ජනකාය වැඩි බව වාර්තා වීමත් එක්කය.
‘කැම්බල් එකේ ඉඩ මදි කියන්නේ එළිය අතුරු සිදුරු නැතිව පිරෙනවා. හැම සංවිධායකයන්ටම වගකීම දෙන්න තමන්ගේ කණ්ඩායම හරියට පාලනය කරගන්න කියලා…’ මහලේකම් රංජිත් උපදෙස් දුන්නේය.
සම්මේලනය පැවැත්වීමට සැලසුම් කොට තිබුණේ සවස දෙකටය.
ලංකාවේ හතර දිග් භාගයෙන් එන අතිවිශාල ජනකාය හේතුකොට ගෙන සංවිධායකයන් වහාම තීන්දු කළේ පෙළපාළි දෙකකින් කැම්බල් වෙත පැමිණෙන්නටය. එක් පෙළපාළියක් බොරැල්ලෙන් ද,අනෙක් පෙළපාලිය දෙමටගොඩින් ද ආරම්භ විය.
‘දැනටම 25000කට වැඩි සෙනඟක් ඇවිත් ඉන්නවා. මේ සෙනගට කැම්බල් එක හැරෙන්නවත් මදි. එනිසා පෙළපාළි දෙක කැම්බල්වලට එනකං රැස්වීම ආරම්භ කරමු…’ ගයන්ත කරුණාතිලක කීවේය.
‘මගේ අවුරුදු පහළොවක දේශපාලන ජීවිතයට මේ වගේ සෙනඟක් සම්මේලනයකට එනවා දැකලා නෑ….’ හර්ෂ ද සිල්වා කීවේය.
ක්‍රමානුකූලව එක දිගට ජන ගඟක් පැමිණෙමින් සිටියහ. මීට සමගාමීව කැම්බල් පිටිය ඇතුළත සුවිශේෂී මෙහෙයුමක් ද සිදුවෙමින් තිබිණි.
එතෙක් මෙතෙක් දේශපාලන පක්ෂයක සම්මේලනයක් උදෙසා ඉදිවූ දැවැන්තම වේදිකාව ඉදිකොට තිබුණේ මෙවර සමගි ජන බලවේගය සම්මේලනයටය. 6,000කට වැඩි පුටු වේදිකාව ඉදිරිපිට පනවා තිබූ අතර දහවල් එක හමාර වන විට ඒ පුටු සියල්ල පිරී ඉතිරී ගොස් අවසන්ය. නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ මෙහෙයුම් පද්ධතියක් එහි ක්‍රියාත්මක වූ අතර පැමිණෙන ජනකාය ගණනය කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් සකසා තිබීම විශේෂ විය. ප්‍රධාන වේදිකාවට අමතරව දැවැන්ත පුළුල් තිර කිහිපයක්ම ඉදිකොට තිබිණි.
මාධ්‍යවල පහසුව උදෙසා සම්පූර්ණ සම්මේලනයම සජීව විකාශයක් ලෙස දෙනවාට අමතරව විපක්ෂ නායක මාධ්‍ය අංශයේ සහ සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයේ ඒකාබද්ධව මෙහෙයුමක් සිදුකොට තිබිණි. ඒ අනුව, සම්මේලනයේ සිදුවන සියලු දෑවල වීඩියෝ සහ සටහන් ඒ මොහොතේම මාධ්‍යයට මුදාහරින්නට මරික්කාර් කටයුතු යොදා තිබිණි. එය ඒ ආකාරයෙන්ම සිදුවිය.
ඊට ආසන්න දිනවල පැවැති මහා වර්ෂාව හේතුකොටගෙන කැම්බල් පිටිය මඩ වගුරක සිරි ගෙන තිබිණි. ඒ හේතුකොට ගෙන ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීම පවා අපහසු මට්ටමක පැවතුණි. එහෙත්, ඒ කිසිවක් මායිම් නොකර ජනතාව කැම්බල් පිටියට පැමිණියහ. දහවල් දෙකට ආරම්භ කිරීමට නියමිතව තිබූ සම්මේලනය ආරම්භ කිරීමට සිදුවූයේ තුන හමාරටය.
සජිත් සෙනඟ අතර සිරවූ හැටි
විපක්ෂ නායක සජිත් සම්මේලන භූමියට පැමිණීමට නියමිතව තිබුණේ ප්‍රධාන ගේට්ටුවට එපිටින් පිහිටි ස්ථානයකිනි. රැලියට සහභාගි වීමට පැමිණි සජිත්ට ඔහුගේ ආරක්ෂකයන් මෙන්ම සංවිධායකයන් ද කියා සිටියේ ක්‍රීඩාංගණය ඉදිරිපිට අතිවිශාල සෙනඟක් සිටීම හේතුවෙන් ඇතුළු වීම පහසු නොවන බවය. ඒ අනුව සජිත් සිය කණ්ඩායමට උපදෙස් දුන්නේ පිටත සිටින ජනතාවට ආචාර කොට ඇතුළට යමු යැයි කියාය.
‘එළියේ ඉන්න බොහෝ දෙනකුට ඇතුළට එන්න වෙන්නේ නෑ. නමුත් ඒ අය දුරබැහැර ගෙවාගෙන ආවේ. අඩු තරමේ ඒ අයට ස්තුති කරලාවත් ඇතුළට යන්න ඕන…’ සජිත් කීවේය.
කෙසේ වෙතත් ආරක්ෂකයන්ගෙන් ඊට අවසර නොලැබිණි. එහෙත් සජිත් කැම්බල් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී සිය වාහනයෙන් බිමට බැස ජනතාව අතරට ගියේය. පැමිණ සිටි දසදහස් ගණනක ජනතාව උද්‍යෝගයෙන් ඔල්වරසන් දෙමින් සිය නායකයා පිළිගත්හ. එම පරිශ්‍රයෙන් ක්‍රීඩාංගණය ඇතුළට ඒමට විපක්ෂ නායක සජිත්ට බොහෝ වේලා ගතවිය. ක්‍රීඩාංගණය තුළට පැමිණ සජිත්ට දැකගත හැකිවූයේ අතුරු අතුරු සිදුරු නැතිව පිරී ඉතිරීගිය දැවැන්ත ජන ගඟකි. පැමිණ සිටි ජනතාවගෙන් සම්මේලනය අමතන්නට වේදිකාවට ගොඩවූ සජිත්ට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.
මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික නායකයන් විශාල පිරිසක් ද එම ස්ථානයේ රැඳී සිටි අතර විපක්ෂය නියෝජනය කරන ඩලස් කණ්ඩායමේ පිරිසක් ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. සමගි ජන සන්ධානයේ නායකයන් රැසක් ද ඊට පැමිණ සිටි අතර දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක්ද වූහ.
සම්මේලන න්‍යාය පත්‍රය ප්‍රකාරව නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේ කටයුත්ත සිදුවූ අතර මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් 2023 වසරේ සමගි ජන බලවේගය නායකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කරනු ලැබීය. පැමිණ සිටි දසදහස් ගණන් පාක්ෂිකයින් අත්පොළසන් දෙමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබීය.
පක්ෂ නායකයාට අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් කටයුතු කිරීමේ ඉඩප්‍රස්ථාවට තිත තබමින් සමගි ජන බලවේගය පක්ෂ ව්‍යවස්ථාව එහි නායකයා සිදුකරනු ලබන සියලු පත්කිරීමක්ම කළමනාකරණ කමිටුවේ නිර්දේශයන්ට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියන්ට යටත් කර ඇත. බහුතර මතයට සවන්දීමේ න්‍යායක් සමගි පක්ෂ ව්‍යවස්ථාව පුරාම දක්නට ලැබේ. එය සමගි ජන බලවේගය මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ද යන්න පිළිබඳ කදිම උදාහරණයකි.
සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර, සභාපතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා තේරී පත්වූ අතර ඒ නම් යෝජනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනි.
ඉන් අනතුරුව විපක්ෂ නායක සම්මේලනය අමතනු ලැබීය.
‘හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම අපේ පක්ෂය ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලියාපදිංචිය ලබලා, ඉන් පසුව මාස කීපයක් ඇතුළත මහ මැතිවරණයකට මුහුණ දීලා අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ නොලැබූ ජයග්‍රහණයක් සමගි ජන බලවේගය 2020 මහමැතිවරණයේදී අගෝස්තු මාසෙදි අපි ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතරක්, ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයක් ඡන්ද. සියයට 23.9ක ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගත්තැයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නේ ඉතාමත්ම අභිමානයෙන් සහ සතුටෙන්. මේ මොහොත වනවිට ආදරණීය මිත්‍රවරුනේ ‘උනුත් එකයි, මුනුත් එකයි’ කියන කණ්ඩායම් අද දැවැන්ත කුමන්ත්‍රණයක නියැළිලා සිටිනවා සමගි ජන බලවේගය විනාශ කරන්න. විශේෂයෙන්ම නිවට, ප්‍රතිගාමී, බලවේග සතර අතේ සමගි ජන බලවේගයට විරුද්ධව කුමන්ත්‍රණය කරන මේ මොහොතේ මම එකක් කියන්නේ කැමතියි. රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස ජීවතුන් අතර සිටින කල් සමගි ජන බලවේගයට කිසිම කෙනකුට අත තියන්න දෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
මිත්‍රවරුනි, මම ඒ නිවටයන්ට අභියෝගයක් කරනවා. පුළුවන් නම් සමගි ජන බලවේගය විනාශ කරන්න. පුළුවන් නම් සමගි ජන බලවේගය පරාජය කරන්න. ඒකට හොඳම තැන මන්දිරවල ඉඳගෙන කරන කුමන්ත්‍රණ නෙවෙයි. මහපාරට බහින්න, වීදියට බහින්න. මාවතට බහින්න. මහපාරට බැහැලා මහපොළොවට පය ගහලා රටේ ජනතාවත් එක්ක පුළුවන් නම් එක්කහු වෙලා සමගි ජන බලවේගය පරාජය කරන්න….’ සජිත් කීවේය.
සමගි ජන බලවේගයේ සම්මේලනය පැවැත්වීමට පෙර සිටම ඇතැම් බොහෝ පාර්ශ්ව ඊට අභියෝග කරමින් සිටිනු දැකිය හැකි විය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඇතැමුන් පවසා සිටියේ ‘සම්මේලනය කරල බලමුකෝ’ වැනි කතාය.
සම්මේලනයට දිනකට පෙර ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු කියා සිටියේ ‘ඔය සම්මේලනය කරන්න මම ඉඩ දෙන්නේ නෑ’ කියන වහසිබස්ය. තවත් දේශපාලන පක්ෂයක් සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී තිබුණේ සජබ සම්මේලනයේ සජීවී විකාශයට ගොස් හැකි තරම් ප්‍රහාර එල්ල කරන ලෙසය.
හැබැයි ඒ සියල්ල ව්‍යර්ථ කරමින් තිස් දහසකට අධික ජනකායක් ඉදිරිපිට සමගි ජන බලවේගය සිය තුන්වැනි සංවත්සරය පවත්වා අවසන් කළේය. එය එතෙක් මෙතෙක් දේශපාලන පක්ෂයක් සිය පාක්ෂිකයන් විවෘතවම ගෙන්වා කරනු ලැබූ දැවැන්තම සම්මේලනය බවට ඉතිහාසගතවී හමාරය.
ටි්‍රක්සි ජයවර්ධන










