මාස 2ක ලක්ෂ 8ක ලයිට් බිල ගෙව්වේ ජනතා බදු මුදලින්…
නගරාධිපතිකමත් නැතුව තවමත් නිල නිවෙසේ…
20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන්නේ පිලිපීනයේ මාකෝස්ය. ඔහුගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් විය. මාකෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස්ය. ඇයට බොහෝ දෙනා කීවේ ‘යකඩ සමනලිය’ කියලාය.(Sri Lanka Latest News)
‘අපේ රටේ උන් ලස්සනට කැමැතියි. මං තරුවක් වෙලා ලස්සනට හිටියොත්, හිඟන රටවැසියෝ උන්ගෙ මුඩුක්කුවල ඉඳන් බලලා සතුටු වෙයි. මිනිස්සුන්ට සතුට ගේන එක මොනතරම් හොඳද, ඔය සමහරුන්ගේ චෝදනා වැරදියි. සත්තකින්ම මට සපත්තු කුට්ටම් තුන්දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක්දාස් හැටක් පමණයි. කොහොම වුණත් දිනුවත් පැරදුණත්, ඡන්දෙන් පස්සෙ අපි සාප්පු සවාරි යනවා…’
මාකෝස්ගේ බිරිඳ වරක් එහෙම කීවාය. රාජ්‍ය නායකයකු සහ බිරිඳ එක්වී සිදුකළ විශාලතම සොරකම එසේත් නැතිනම් මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටින්නේ ද මාකෝස් සහ ඉමෙල්ඩාය.
ප්‍රංශ විප්ලවය සමයේ රාජ්‍ය පාලනය කළ දෙවැනි ලුවී රජුගේ බිරිය මාරි ඇන්ටිනෙට් වරක් ජනතාවට කිව්වේ ‘පාන් නැත්තම් කේක් කාපල්ලා’ කියලාය.
වැලේරියා මෙසලිනා රෝමානු යුගයේ විසූ රැජිනක්ය. ඇය ගෙවාදමා ඇත්තේ අතිශයින් කාමභෝගී ජීවිතයකි. ලිංගිකත්වය ක්‍රීඩාවක් බවට හරවාගත් තැනැත්තියක් බවට ද ඇය අප්‍රකටය. රාත්‍රී කාලයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති මෙසලීනා රැජින එහි සේවය සඳහා ඉහළ පැලැන්තියේ කාන්තාවන්ද සහභාගි කරගෙන සාද දමා තිබේ. රැජිනකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නොහැකි නිසාම ඔවුන්ද ඇගේ ක්‍රියාවන් සියල්ලකටම ඉඩ දී ඇත.
ඉහත කතා තුනම අතුරු කතාය. සමහර විට ඒ කතා තුනම මේ කතාවට අදාළ නැත. එහෙත් අපේ රටේ ඉතිහාසය පරික්ෂා කර බලන විට දූෂිත රැජිණියන් පාලනය කළ අවස්ථා සහ රටේ සම්පත් අවභාවිත කළ අවස්ථා ඉතිහාසය ද ඉතිහාසයෙන් සොයාගත හැක.
අපේ රට දශක ගණනාවක් තිස්සේ දූෂණය, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, අල්ලස, මර්දනය යන ආදී සියල්ලෙන් බැට කන ලද රටකි. දිනෙන් දින දුප්පත්කම වර්ධනය වන, උද්ධමනය අහස උසට නගින, සාමාන්‍ය ජනතාවට ජීවත් වෙනවා තබා ජීවත් වන්නට හිතන්නටවත් බැරි රටක් බවට පත්වී අවසන්ය.
එහෙත් සමහර පාලකයෝ ඇස්පනාපිටම සොරකම් කරති. හාංකවිසියක්වත් නැතිව බලය අයුතු ලෙස පාවිච්චි කරති.
මේ වන විට රටේ තිබෙන පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා අවසන්ය. ඒ කියන්නේ අදාළ තනතුරුවලට හිමි සියලු වරප්‍රසාද මේ වන විට ඔවුන්ට අහිමිය. එහෙත්, එම නීතිය බලනොපාන චරිතයක් ලංකාවේ සිටී.
ඒ, කොළඹ නගරාධිපතිනියයි.
කොළඹ හිටපු නගාරාධිපතිනය වන රෝසි සේනානායකට නගරාධිපති නිල නිවෙසින් බැහැර වන ලෙස කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ලිපියක් මගින් දැනුම්දීම කර ඇතත් ඇය තවමත් ඉන් ඉවත් වී නැති බව වාර්තා වෙයි. නගරාධිපති නිල නිවෙස හා ඉන්වෙන්ටි්‍රගත භාණ්ඩ භාරදෙන ලෙසත් නිල නිවෙස භාරදෙන අවස්ථාව වන තුරු පරිහරණය කළ විදුලි බිල, ජල බිල, දුරකතන බිල හා පියෝ ටීවී බිල පියවන ලෙසත් මින් දැනුම් දී තිබේ. ඒවා දැන් නිසි පරිදි තවමත් සිදුවී නැති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු මාසයෙදී පළාත් පාලන ආයතන විසුරුවා හැරීමත් සමග නගරාධිපතිනියගේ තනතුර අහෝසි වූ අතර ඒ සමගම ඇගේ සියලු වරප්‍රසාදද අහෝසි විය. නමුත් රෝසි සේනානායක තවත් වැඩිපුර මාසයක් නගරාධිපති නිල නිවෙසේ රැඳී සිටීමට අවසර ලබාදෙන මෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් අප්‍රේල් 16 වැනිදා වන තෙක් ඇයට නිල නිවෙසේ රැඳී සිටීමට ආණ්ඩුකාරවරයාගේ අවසර හිමිවී තිබේ. මේ වන විට එකී වැඩිපුර ලබාදුන් කාලය නිමාවී ඇති බැවින් රෝසිට නිල නිවෙසින් ඉවත්වන ලෙස නාගරික කොමසාරිස්වරිය මෙසේ දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝසි තවත් මාස දෙකක කාලයක් තමන්ට නිල නිවෙසේ රැඳී සිටීමට අවසර ලබාදෙන මෙන් පසුගිය සතියේ ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා ඇති බවයි. රෝසි මේ වන විටත් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂිකාවක් බැවින් ඇය මෙසේ නිල නිවෙසේ රැඳී සිටීම පොදු දේපළ අවභාවිත කිරීමක් බව නගර සභාවට සම්බන්ධ ඇතැම් අංශවලින් විරෝධයක් එල්ල වී තිබේ. මෙකී පිරිස පවසන්නේ රෝසි වැඩිපුර රැඳී සිටි කාලය ඇතුළත ලක්ෂ හතර හමාරකට අධික ලයිට්, වතුර හා දුරකතන බිලක් එකතු වී ඇති බවයි.
හිටපු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවෙසේ මාස 2ක විදුලි බිල ලක්ෂ 8 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
එම මුදල නොපියවා තිබියදී නගර සභාවට ලැබී ඇති උපදෙස් මත එම ලක්ෂ 8කට අධික මුදල නගර සභාව විසින් ජනතා බදු මුදලින් පියවා ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට කොළඹ නගර සභාව ඇත්තේ විසුරුවා හැර කොමසාරිස් පාලනයට යටත් කොටය. මේ අතර තමන්ට නගරාධිපති නිල නිවෙස තවත් සති 2ක කාලයක් රැඳී සිටීමට ඉඩ දෙන ලෙස ඉල්ලා කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2022 වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයකුටයි. එය රු. 14,854කි. වාහන පෝලිමක වාහනයක් නතර කරනවාට ඒ වටා පෙළගැසෙන යාචකයන් දිනෙන් දින වැඩිවෙමින් සිටී.
කොළඹ මහනගර සභාව යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ විශාලතම නගර සභාව මෙන්ම වැඩියෙන්ම ආදායම් ලබන නගර සභාව කෙසේ වෙතත් විශාලතම ආදායමක් සහිත නගර සභාවයි. කොළඹ නාගරික වැසියන්ගෙන් දුගී දුප්පත් ජනතාවද විශාල වශයෙන් සිටින නමුත් කිසිදා ඔවුන්ගේ ජීවිතවලට එළියක් නොදකින්නේ ඇයිදැයි යන්න මේ වන විට අනාවරණ වී තිබේ.
විගණකාධිපතිගේ වාර්තාවට අනුව රථවාහන ගාල් කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සිදුව ඇති මූල්‍ය වංචාව තුළ කොළඹ මහනගර සභාවට අහිමිව ඇති ආදායම මිලියන 5,251ක් වන අතර තවත් මිලියන 569ක් හිඟවද පවතී.
ඒ අතර නාගරික මන්ත්‍රීවරුන් වංචනික ලෙස වාහන ගාල් කිරීමේ ස්ථාන වෙන් කර තිබෙන අතර ඒවා තම හිතවතුන්ට ලබාදී තිබේ. එවැනි ස්ථානවල ඔවුන්ගේ කාර්යාල නැති බවද විගණකාධිපති විසින් අනාවරණ කරගෙන තිබේ.
ඊට අමතරව කොළඹ 12 පැරඩයිස් පෙදෙසේ ලොන්ඩරි රැකියාවේ නියුතු දිළිඳු පවුල් සඳහා ඉදිකළ ලොන්ඩරි නිවාස නගරාධිපති සහ සභාව විසින් හිමිකරුවන්ට ලබා නොදීම, පැරඩයිස් නිවාස සංකීර්ණයේ නිවාස 64ක් ඉදිකිරීම සඳහා නිවාස 22 ක් කඩා ඉවත්කර තිබුණත් වසර 7ක් පුරා එම නිවාස අහිමි වූ ජනතාවට ලබා නොදෙමින් වෙනත් පවුල් 22ක් පදිංචි කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබීම, රිචර්ඩ්සන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගම සමග ඇති කරගත් මාර්ග විදුලි ආලෝක පිළිබඳ ගිවිසුම තුළින් මිලියන ගණනාවක් අදාළ සමාගමට ලැබෙන ලෙස ගිවිසුම්ගතව තිබීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගිවිසුම් තුළින්ද සභාවට පාඩු සිදුවන ලෙස කටයුතු කර තිබීම, සභාවට අයත් දේපළක අනවසර ගොඩනැගිල්ලක් ඉදිකර සුප්‍රීම් මල් ශාලාව වෙත දීමට කනත්ත බාරකරු කටයුතු කිරීම, ආදී වංචා දූෂණ රැසක් කොළඹ මහනගර සභාව තුළ සිදුව තිබේ.
ජනතාවගේ ජීවිත සුඛිතමුදිත කිරීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට බලය අයථා ලෙස පාවිච්චි කරමින් මෙලෙස දූෂිත කටයුතුවල යෙදීමට ඉඩ දීමම වරදකි.
කොළඹ පුරපතිකම කියන්නේ හරියට කොළඹ ජනාධිපති වගේය. අතිවිශාල බලතල ප්‍රමාණයක් වගේම අති විශාල සැපසම්පත් තොගයක් ද ඒ තනතුර වටා වෙළී පවතී. කොළඹ නගර සභාවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 17ක් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ලක්ෂ 05කට අධික ජනතාවක් කොළඹ මහනගර සභා සීමාවේ දිවි ගෙවන අතර තවත් ලක්ෂ 5ක පමණ පිරිසක් විවිධ ප්‍රදේශවල සිට දිනපතා කොළඹට පැමිණෙති.
ඒ අනුව මිලියනයකට අධික පිරිසකට අවශ්‍ය සේවා සැපයීම කොළඹ මහ නගර සභාව සතු ප්‍රධාන වගකීමකි. කොළඹ යනු නගරාධිපති සහ සභා ආණ්ඩු ක්‍රමය සහිත වරලත් නගරයකි. කොළඹ නගරාධිපති සහ මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගනු ලබන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙනි. කොළඹ මහ නගර සභාව (CMC) ශ්‍රී ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනය වන අතර දකුණු ආසියාවේ පැරණිතම පළාත් පාලන ආයතනයන්ගෙන් ද එකකි.
කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධුරයට වැටප්, දීමනා, නිල වාහන ඇතුළු වරප්‍රසාද රැසක් හිමි වෙයි. නගරාධිපතිවරයාට නගර සභාව මගින් නිල නිවෙසක්ද පිරිනමනු ලබයි. කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක කොළඹ නගරාධිපති නිල නිවෙස පිහිටා ඇත. මහජන දේපළක් වන මෙහි වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප සමග සඳහන් කළේය. නිදන කාමර, සාකච්ඡා ශාලා, උද්‍යාන මෙන්ම වෙනම කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද ඊට ඇතුළත්ය.
වතාවක් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු රාජ්‍ය ඇමැතිවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය දැක බලාගැනීමට යාපනයේ පිහිටි ඇයගේ නිවෙසට ගිය අවස්ථාවට රෝසි සේනානායක මහත්මියද සහභාගි වී සිටියාය. කොළඹ පුරපතිනිය එම අවස්ථාවට සහභාගි වූයේ කෙසේදැයි බොහෝ දෙනකුට පැන නැඟුණු ප්‍රශ්නයක් විය. සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ මහජන මුදල් වැය කරමින් ආණ්ඩු – විපක්ෂ මන්ත්‍රීවරු සමග යාපනයේ ප්‍රදේශයට ගිය විනෝද චාරිකාවක් අතරතුර මහේෂ්වරන් මහත්මියගේ ආරාධනාවකට අනුව ඇගේ නිවෙසට ගිය බවට ඒ දිනවල ආරංචි පළවිය. එහෙත්, සේනානායක මහත්මියගේ මෙම යාපනය සංචාරය පිළිබඳව බොහෝ තොරතුරු පසුව හෙළිදරව් විය. කොළඹ මහනගර සභාවේ බදු ගෙවන්නන්ගේ බදු මුදල් රු. ලක්ෂ 35කට වැඩි මුදලක් වියදම් කරමින් ගිය එම සවාරියට කොළඹ මහනගර සභාවේ ආණ්ඩු – විපක්ෂ මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් එම සවාරියට සහභාගි වූහ.
මෙවැනි සවාරියකට හේතු වූ කරුණුද කොළඹ පුරපතිනිය යාපනයේදී මාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබිණි.
‘යාපනය පුස්තකාලයට පොත් 400ක් කොළඹ පුස්තකාලයෙන් ලබාදෙන්න කටයුතු කළා. ඊට අමතරව අපි සුහද ක්‍රීඩාවක යෙදෙන්න ක්‍රිකට් මැච් එකක් ගහනවා….’
මෙසේ මෙම සංචාරය සඳහා රු. ලක්ෂ 35කට වැඩි මුදලක් වැයකර තිබිණි.
මේ වනවිට වාර්තා වෙමින් තිබෙන්නේ රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක ධුරයක් ලැබෙන්නට යන බවය.
ජනතාවට සේවය කරන්නට දැන් නගරාධිපති ධුරය නැති හෙයින් ඇය ජනාධිපති උපදේශක තනතුර ලබාගෙන බොහෝ වැඩ කරනු ඇත.
පුබුදු උදයංග










