බොහෝ විට රටක් කියලා කියන්නේ මිනිස්සු හරියට ආදරේ කරන තැනක්. තමන්ගේ අම්මා තමන්ගේ ආගම ජාතිය, තමන්ගේ රට කියන මේ සංකල්පය මුළු ලෝකය පුරාම ඉතා ඉහළින් සලකන දෙයක්. බොහෝ විදේශිකයෝ එහෙමයි.(Sri Lanka Latest News)
ඒ වගේම ඉන්දියානුවොත් එහෙමයි. හැබැයි සමහර රටවල් තියෙනවා මිනිස්සු උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ රටෙන් පැනගන්න. හරියට ගිලෙන නැවක් වගේ. ගිලෙන නැවකින් මිනිස්සු හදන්නේ ඉක්මනට පැනගන්න. හේතුව මිනිස්සු දන්නවා නැව ගිලෙනවා කියලා. නැව ගිලුනම හානි වෙනවා. සමහර විට ජීවිත හානි පවා වෙන්න පුළුවන්.
මේ වගේ තත්ත්වයක් යටතේ තියෙන රටක් ගැනයි මේ කියන්න හදන්නේ. මිනිස්සු හදන්නේ ඒ රටෙන් පැනගන්න. මොනවා හරි කරලා පැනගන්න. හොර බොරු වංචා මොනවා හරි දෙයක් කරලා පැනගන්න. ඇත්තටම ඒකෙ වරදක් අපට කියන්න බෑ. මිනිස්සු හදන්නේ ජීවිතේ බේරගන්න පැනලා යන්න. පරිස්සමට ජීවත් වෙන්න පැනලා යන්න. හුස්මක් කටක් ගන්න පැනලා යන්න. නැත්නම් කන්න බොන්න නැතුව මැරිලා යන්න වෙනවා කියන එක ඒ මිනිස්සු දන්නවා.
මම ඉස්සෙල්ලා කියපු ගිලෙන නැව වගේ. ඒ රට මොකක්ද දන්නවද? ඒ රටට කියන්නේ ශ්‍රී ලංකාව කියලා. ඒ රට තියෙන්නේ ඉන්දියන් සාගරය මැද. ඒක ලස්සන දූපතක්. හැඩය ගත්තාම අඹ ගෙඩියක් වගේ. සම්පත් හැම දෙයක්ම ඒ රටේ තියෙනවා. ඒත් අදූරදර්ශී පාලකයන් විසින් මේ රට විනාශ කරලා. දැන් අත්හැරලා දාලා යන්න හැම දේම මිනිස්සුන්ට ලෑස්ති කරගන්න වෙලා. තව එකක් තියෙනවා.
මිනිස්සු දේශපාලකයන්ට චෝදනා කළාට 100%ක් වැරැදි දේශපාලකයොම නෙවෙයි. දේශපාලකයන්ටත් වඩා වැරැදි ඒ දේශපාලකයන්ව පත්කරපු මෝඩ මිනිස්සු. අද පාරක යනකොට මොනවා හරි දෙයක් කරන්න ගන්නකොට, කඩේකට පොළකට, සල්පිලකට සහභාගි වෙච්ච වෙලාවක හැමෝටම තේරෙන දෙයක් තමයි අපේ රටේ මිනිස්සු කොච්චර නරකද කියන එක. මේ නරක මිනිස්සු අතින් පත්වෙන්නේ හොඳ පාලකයෝ නෙවෙයි.
තමන්ව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන මිනිහා තමන් වගේම මිනිහෙක් විය යුතුයි කියලා ගොඩක් අය හිතනවා ඇති. ඒ නිසා වෙන්න ඇති නරක පාලකයෝ මෙතෙක් කල් පාර්ලිමේන්තු ගියේ. මෙතෙක් කල් මේ රට පාලනය කරන්න තෝරගත්තේ.
කොහොම වුණත් ඇයි මේ කතාව කියන්න ලෑස්ති වුණේ? මේ කතාව කියන්න ලෑස්ති වුණේ වේයන්ගොඩ ඉස්කෝලෙක විදුහල්පතිවරයෙක් ඊයේ පෙරේදා කියලා තිබුණු කතාවක්. එතුමා එක්තරා රැස්වීමදී කියනවා ‘අද වෙද්දී අපේ පාසලේ දරුවෝ 27 දෙනෙක් මේ රට අතහැරලා ගිහිල්ලා’ කියලා. සාමාන්‍යයෙන් ඉස්කෝලෙක ළමයි 27ක් ඉස්කෝලෙට නොඑන තරමට එකපාරටම අයින් වෙලා ගියපු එක අවස්ථාවක් මගේ ජීවිතේ අත්දැකීමක් විදියට තියෙනවා.
ඒක 27කට වඩා වැඩියි කියලයි මට මතක තියෙන්නේ. ඊට ආසන්නතම සිදුවීම තමයි අරණායක සාමසර කන්දේ නායයෑම. නායයෑමෙන් පස්සේ ආසන්නතම පාසලේ දරුවෝ විශාල ප්‍රමාණයක් ඒ පාසලට අහිමි වෙලා තිබුණා. මේ විදියට දරුවන් අහිමි වී යෑමේ වෙනත් අවස්ථා ගැන අදසක් නෑ. සමහර විට සුනාමියෙන් එහෙම වෙන්න ඇති. හැබැයි ඒ කිසිම ස්වභාවික ව්‍යසනයක් නැතිව අපේ රටේ දරුවෝ අපිට අහිමි වෙලා ගිහිල්ලා.
27 දෙනෙක් කියලා කියන්නේ පොඩි ගානක් නෙවෙයි. තවදුරටත් මේ විදියට ගණන් හැදුවේ නැති ඉලක්කම්වලින් කතා නොකරපු තැන් කොච්චර තියෙනවද? ඒ ගොඩක් තැන්වල දරුවෝ මේ රට අතහැරලා ගිහිල්ලා. එහෙම නැත්නම් අතහැරලා යන්න සැලසුම් හදනවා. යා යුතුයි කියලා හිතනවා.
අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ වෛද්‍යවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් මේ රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. ඉංජිනේරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා ඉවරයි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් රට අතහැරලා යනවා සහ යෑමට නියමිතයි. ඊට අමතරව සාමාන්‍ය වෘත්තිකයෝ, සාමාන්‍ය පුද්ගලයෝ තමන්ගේ තනතුරුවලින්, රාජකාරිවලින් නිවාඩු ලබාගෙන මේ රට අතහැරලා යනවා.
ඒ යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙවෙයි. ඒක තමයි තියෙන විශේෂත්වය. දැන් ඇයි මිනිස්සු මේ රට අතහැරලා යන්නේ. මිනිස්සු අපේ රට අතහැරලා යන්නේ ඇයි කියන ප්‍රශ්නයට ශාස්ත්‍රීයව උත්තර දෙන්න මම නොදන්නවා වුණත්, මගේ පැත්තෙන් බලලා මේ විදියට කියන්න පුළුවන්.
මම මේ රට අතහැරලා දාලා යන්න සැලසුම් හදපු මනුස්සයෙක් නෙවෙයි. කවදාවත් එහෙම දෙයක් තුන් හිතකවත් තිබුණු කෙනකුත් නෙවෙයි. මිනිස්සුන්ගේ තිබුණු තිරිසන් ගති දැක්කට පස්සේ මේ රට අහැරලා දාලා යනවා ඇර වෙන දෙයක් කරන්න බෑ කියලා හිතපු මනුස්සයෙක් මම. අනෙක තමයි අපේ කෙනෙක් ලෙඩ වුණාම ඒ මනුස්සයට බේතක් හේතක් ගන්න තැනක් නැත්නම්, සැත්කමක් කරන්න විදියක් නැත්නම්, රටේ බේත් ටික නෑ කියලා විශ්වාසයෙන්ම අපි දන්නවා නම්, රටේ රෝහල්වල රෝගීන් මියයන බව අපිට පේනවා නම් මොනවද කරන්නේ? අපිට ලෙඩ නොවී ඉන්න බෑ. එහෙනම් ලෙඩ වෙලා, ඒ ලෙඩේට බේතක් ගන්න පුළුවන් රටක් හොයාගෙන යනවා හැර වෙන කරන්න දේකුත් නෑ.
මූලික පහසුකම් ටිකවත් හරියට හොයාගන්න බැරි රටක ජීවත් වෙන එක කොච්චර අසීරුද කියලා අපට දැනෙනවා. ඒ නිසා තමයි මිනිස්සු මේ රට අතහැරලා යන්නේ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිව ගියා විතරයි තාමත් ඒවා හිතේ තියෙනවා. ගෑස් මිල වැඩිවෙන්න සතියක විතර ඉඳලා කඩේ ගෑස් නෑ. තෙල් වැඩි වේවි යැයි අදහසින් 31 වැනිදා වෙද්දී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වලින් 90%ක තෙල් නෑ. ඒවා වහලා දාලා. ආණ්ඩුව මොන උප්පරවැට්ටි යෙදුවත් සාර්ථක වෙන්නේ නෑ.
වැහි නැතුව සතියක් ගියපු ගමන් විදුලි බලය උත්පාදනය කරගන්න අපේ රටට තාමත් බෑ. වැහි නැතිව සති දෙකක් ගියපු ගමන් ගොවියාගේ කුඹුරුවලට වතුර ටික දෙන්න සැලසුමක් නෑ. එහෙම රටක ජීවත් වෙන්න අපට පුළුවන්ද? එළවළු මිල සතියෙන් දෙගුණ වෙනවා. හාල් මිල සතියෙන් දෙගුණ වෙනවා. පාන් පිටි, බේකරි නිෂ්පාදනවල මිල තීරණය කරන්නේ කවුද කියලා අපි දන්නේ නෑ. බිත්තර මිල එහෙට මෙහෙට වෙන වේගය ඉවසගන්න බැරුව ගොඩක් සිල්ලර වෙළෙන්දෝ බිත්තර විකුණන්නේ නෑ. ඉතින් එහෙම රටක ජීවත් වෙන්න පුළුවන්ද? ඒ නිසා තමයි මිනිස්සු කදමලු බැඳගෙන මේ රට අතහැරලා යන්නේ.
ඒ, සැප විඳින්න නෙවෙයි. සුරංගනා ලෝකවලට යන්න නෙවෙයි. කරන්න වෙන දෙයක් නැති නිසා. ජීවත් වෙන්න ඕනෙ නිසා. මැරෙන්නෙ නැතිව ඉන්න ඕනෙ. බේත්හේත් ගන්න ඕනෙ. ඉතාම විශ්වාසවන්ත සාක්ෂි තියෙනවා. දරුවන්ට බේත් ටික ගන්න ඕනෙ හින්දා මේ රට අතහැරලා දාපු මිනිස්සුන්ගේ කතන්දර තියෙනවා. ඒ නිසයි මිනුවන්ගොඩ ඉස්කෝලේ විදුහල්පතිතුමාගේ කතාව වැදගත් වෙන්නේ.
ජීවන පහන් තිළිණ










