සතියේ ලොකුම හෙළිදරව්ව…
වරාය හා ගුවන්සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.(Sri Lanka Latest News)
පසුගිය 22 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කියා සිටියේ වරාය තුළ මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ වංචා හා දූෂණ රාශියක් සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කළ බව කී අමාත්‍යවරයා, මාසයක් ඇතුළත මෙම තත්ත්වය නිවැරදි නොවන්නේ නම් තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවද දැනුම් දී සිටියේය.
එම මාධ්‍ය හමුවේදී ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස් පහත පළවේ.
මම පසුගිය සැප්තැම්බර් මාසෙ තමයි ජනාධිපතිතුමා විසින් මේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා විදියට පත් කළේ. මේ වෙනකොට මාස 11ක පමණ කාලයක් ගතවෙනවා මේ අමාත්‍යාංශය මට ලැබිලා. අමාත්‍යාංශය ලැබුණු දිනයේ ඉඳලා අපි විවිධ අවස්ථාවලදී උත්සාහ කළා මේ අමාත්‍යාංශය රටට වගකිව යුතු, රටට විශාල ආදායමක් ලබාදෙන අමාත්‍යාංශයක් බවට පත්කරන්න. රාජ්‍ය ඇමැතිවරයාගේ සහයෝගය ලබාගැනීම ඇමැතිවරයාගේ වගකීමක් හා යුතුකමක්.
මොකද, දොඩංගොඩ තනියම බදාගත්තා වගේ තනියම කරන්න අමාරුයි. ඒ නිසා විවිධ අවස්ථාවල අපි ආයෝජකයෝ ගෙනල්ලා වැඩකටයුතු ආරම්භ කළා. ඒවටත් විටින් විට බාධා ආවා. නිලධාරීන් කටයුතු කරන්නේ ඇමැතිවරයා කියන විදියට මිසක් රාජ්‍ය ඇමැතිවරයා ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. මේක කණ්ඩායමක් හැටියට එකතු වෙලා තමයි මේකෙ සියලු දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි වෘත්තීය සමිති සමග විවිධ අවස්ථාවල සාකච්ඡා කළා.
ඒ අය අපට ඒ අයගේ ප්‍රශ්න කිව්වා. අඩු ගානේ ඒවා නිරාකරණය කරන්නවත් නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නෑ කිව්වා. අවුරුදු 15, 20 කල් ඉකුත් වෙච්ච නිලධාරීන්ව තියාගෙන තමයි තාමත් මේගොල්ලෝ වවාගෙන කන්නේ. ඒ නිසා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මම මේ මාධ්‍ය ප්‍රකාශය කරන්නේ.
මේ ආයතනයේ මේ මාස 11 ඇතුළත ලක්ෂ 80ක් ගෙවන්න තියෙනවා. මම හිතන්නේ තාමත් ඒක ගෙවලා නෑ. අද මේ රටේ ආර්ථික තත්ත්වය බලනකොට ලොකු පසුබෑමකට ලක්වෙලා තියෙනවා රට. මෙවැනි අවස්ථාවක මම කිව්වා අපිට පොඩි ස්ථානයක් ලබාදෙන්න, අමාත්‍යාංශය යටතේ කියලා. මගේ කාර්යාලය ඩබ්ලිව්.ටී.සී. එකේ මෙතැන දාලා මේ වෙනකොට ලක්ෂ 80ක් ගෙවන්න තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයට මම ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා මේ කාර්යාලය වෙන තැනකට ලබාදෙන්න කියලා. මොකද රටේ තියෙන තත්ත්වයත් එක්ක එච්චර මුදලක් වැය කරලා මම කැමැති නෑ ඉන්න. නමුත් තාමත් ඒකට තැනක් ලැබුණේ නෑ. ඉඩකඩ පහසුකම් නෑ කියනවා. නමුත් ඕනෙ තරම් ඉඩ තියෙනවා. ඉඩ තියෙන තැන්වලට වෙන වෙන නිලධාරීන් දාගෙන තියෙනවා.
වරාය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට අපි දැනුවත්ව අනවශ්‍ය විදියට දීමනා ගෙවීම් කරනවා. ඒක රටේ තත්ත්වයත් එක්ක හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම වරාය ලේකම් කාර්යාලය අප්‍රේල් මාසයේ ඉඳලා තැන් දෙකකට මාරු කරලා තියෙනවා. ඒ හරහා විශාල රජයේ මුදලක් අවභාවිත වෙනවා. ඒ වගේම වටිනා ලියකියවිලි වගේ දේවල් අස්ථානගත වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරන්න ඕනෙ කියලා අපි දැනුවත් කරලා තියෙනවා.
ඊට අමතරව, අවුරුදු 15ක් විතර එකම තැන ඉන්න නිලධාරීන් ඉන්නවා. ගණකාධිකාරී වගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. ස්ථාන මාරුවීම් වෙන්නේ නෑ. එකම තැන ඉන්නකොට තමයි මේ හොරකම් සියල්ලම සිදුවෙන්නේ. වරාය හා ගුවන් සේවා කියන එකේ වරාය කියන කෑල්ල නම් අන්ත දූෂිතයි කියන එක රාජ්‍ය ඇමැතිවරයා විදියට මම වගකීමෙන් කියනවා. තව ඉස්සරහට සියලු සාක්ෂි සමග කරුණු ඉදිරිපත් කරන්න මම සූදානම්. මොකද අපි ජනතා ඡන්දයෙන් පත්වෙලා ජනතාවට සේවය කරන්න බලාපොරොත්තුවෙන් ආවා මිසක් මේ රටේ මුදල් නාස්ති කරන්න ගසාකන්න ආවා නෙවෙයි. ඉතිහාසයේ කවදාවත් වෙච්ච නැති විදියට තානාපතිවරු පවා පැමිණිලි කරලා තියෙනවා රටේ ප්‍රශ්න වෙලා තියෙනවා, කොමිෂන් ඉල්ලුවා කියලා.
අපිට විතරක් නෙවෙයි තව ගොඩක් තරුණ ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු ඉන්නවා. ඒ අයටත් ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ තරම්ම ප්‍රශ්නයක් නෑ. මොකද කොහෙන් වැඩක් කරන්න ගියත් මොකක්වත් වැඩක් කරන්න දෙන්නෙ නෑ. ඉතින් මේ තත්ත්වය තුළ මේ අමාත්‍යාංශයේ ඇමැති ධුරය දරනවට වැඩිය හොඳයි මේ තනතුරෙන් ඉවත් වෙලා මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න එක. මොකද මම විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයා විදියට ඉන්නකොට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්කම ලැබුණා. ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා හැටියට හිටියා. ඒ කාලේ වැඩ කළා. මීට කලින් මහවැලියේ හිටියා. හැබැයි ඒත් ඉතින් මේ තත්ත්වෙම තමයි උදාවුණේ. ප්‍රශ්න ගණනාවක් තිබුණත් වැඩකරන්න පුළුවන් අමාත්‍යාංශ ලැබුණා.
මෙතැන එහා පැත්තේ ඉන්නවා දිලුම් අමුණුගම ඇමැතිතුමා. එතුමාට වැඩකරන්න හැකියාව තියෙනවා. තව ඒ වගේ ඇමැතිවරු ගණනාවක් ඉන්නවා. ඒ අයත් යම් කිසි රාජකාරියක් ගැසට් කළා නම්, ඒ කොටස හරි කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මට ගැසට් කරලා තියෙනවා ඔලුවිල් වරාය. අද ඒක ඔපරේට් වෙන්නේ නෑ වහලා දාලා. පලාලි ගුවන් තොටුපළ මේ දක්වා වැඩපිළිවෙළක් නෑ. කේ.කේ.එස්.වලට ඉන්වෙස්ටර් කෙනෙක් නැතුව වැඩ නැවතිලා තියෙනවා.
අපි කේ.කේ.එස්.වලට ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන ඇවිල්ලා කතා කරනකොට ඒවටත් බකට් එක දානවා සමහර අවස්ථාවලදී. නිලධාරීන් හරහා තමයි ඒක නවත්තන්නේ. හැබැයි නිලධාරීන් හරහා නැවැත්තුවට ඒක ක්‍රියාත්මක කරන්නේ ඉහළ තැනකින්. ඒ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ඉදිරියේදී කොහෙට යයිද කියන එක හිතාගන්න බෑ.
මම විශේෂයෙන් මතක් කරනවා මේ රටට ආයෝජකයෝ ගෙන්වන්න පුළුවන්. විශාල සංවර්ධනයක් කරන්න පුළුවන් ආයෝජකයෝ රටට එන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ එනවට වැඩිය ඉක්මනට ආපහු හැරිලා යනවා. මොකද ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සැලසීමට, ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු කරද්දීම අනවශ්‍ය විදියට ඒගොල්ලන්ට බලපෑම් කරනවා, ඒගොල්ලන්ගෙන් යම් ගතමනාවක් ලබාගන්න. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඒ ආයතන තුළ ඉන්න ප්‍රධානීන්. මම දන්නවා පහුගිය දවස්වල කොළඹ වරායෙ අක්කර 13ක් දුන්නා. ඒක අන්ඩර් වැලිව් කරලා දීලා තියෙන්නේ.
ඉතින් අපෙන් වැඩක් ගන්න ඕනෙ. එහෙම නැතුව අපරාධයක් මේ කරන්නේ. මම වගේ තවත් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු ඉන්නවා. ඒ අයට වැඩක් කරන්න අවස්ථාව ලබාදෙන්න ඕනෙ. බැරිම තැන තමයි මම මේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ. ඇයි රාජ්‍ය ඇමැතිකම ගැසට් කරලා ලබාදුන්නට පස්සේ ඒ කාර්යභාරයවත් ඉෂ්ට කරන්න නොදෙන්නේ? අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.
මම ජනාධිපති කාර්යාලයත් දැනුවත් කළා. කිහිප අවස්ථාවකදීම කිව්වා අපට වැඩ කරන්න අවස්ථාව දෙන්නේ නෑ, නිකන් ඉඳලා රජයේ මුදල් නාස්ති කරන්න මම කැමැති නෑ, ඔබතුමා හොයලා බලලා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න, නැත්නම් මම ඉල්ලා අස්වෙනවා කියලා. ඇමැතිවරයා උපදෙස් දෙනකොට නිලධාරීන් වැඩකරන්නෙ නෑ. ඒක තමයි වෙන්නේ.
ශ්‍රී ලන්කන් එකේ, එයාර්පෝට් එකේ, වරායේ හෙට අනින්දා පුරප්පාඩුවලට බඳවාගන්න කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලන්කන් එකේ බඳවාගැනීම්වලදී ලපයක් තියෙනවම් බෑ, දතක් පොඩ්ඩක් කැඩිලා තියෙනවා නම් බෑ, ලපයක් තියෙනවා නම් බෑ කියලා තියෙනවා. හොඳ පෙනුම තියෙන්න ඕනෙලු ගන්නකොට.
එතකොට මීට කලින් ගත්ත අය ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ වැඩ කරනවා. අපි ඕනෙ තරම් දැකලා තියෙනවා සමහරු ඉන්නවා කැලැල් තියෙන, මූණවල් බලන්න බැරි අය. ඉතින් මේකෙ නීතිය වෙනස් වෙන්නේ කොහොමද? මේ රැකියා ලබාදීමේදී ඔක්කෝගෙන්ම අයැදුම් පත්‍ර අරගෙන අන්තිමේදී ලකුණු කපනවා. ඒක වෙනම වැඩපිළිවෙළක් යන්නේ. විභාගයක් පවත්වලා ඒකට ලකුණු අඩුයි කියලා ඕනෙ අය විතරක් දාගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
පහුගිය කාලේ වරායේ මුළුතැන්ගෙය අලුත්වැඩියා කරන්න ගියා. රුපියල් ලක්ෂ 80ක් විතර ඒකට වැය වෙනවා කිව්වා. ඒක පැත්තකට දාලා වවාගෙන කෑම නිසා දැන් මුළුතැන්ගෙයක් අලුතෙන්ම ඉදිකරන්න තීරණය කරලා. මේ වගේ දේවල් ඇතුළේ ගොඩක් සිදුවෙනවා. වරාය දැන් එන්න එන්නම විනාශ වේගන යනවා. ඇතුළේ දැන් සම්පූර්ණයෙන්ම හොර ගුහාවක් බවට පත්වෙලා. මහ තැන මෙහෙම කරනවා නම් ඉතින් යට ඉන්න අය කොහොම කළත් මොකද කියන තැනට පත්වෙලා.
මම එකපාරටම මේ නිලධාරීන් තරහා කරගන්න කැමැති නෑ. තව පොඩි කාලයක් බලනවා මම වැඩක් කරගෙන යන්න. නැති වුණොත් මේකෙ ඇමැතිවරයත් එක්ක ගනුදෙනු කරන සියලු නිලධාරීන්ගේ තොරතුරු, කරපු සියලු දේවල් මම හෙළිකරනවා ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී. මා ගාව ඒ සියල්ලම තියෙනවා. මම එක පාරට ගහන්නෙ නෑ. ක්‍රමක්‍රමයෙන් යන්නේ. පොඩ්ඩක් ඉන්නකො. තව මාසයක් ඇතුළත මම දෙන්නම්.
මාධ්‍යවේදියා
දැන් ඒ ප්‍රශ්න විසඳුවොත් ඔබතුමා හෙළිදරව් කරන්නේ නැද්ද?
සියලු තොරතුරු මම අනිවාර්යෙන් ලබාදෙනවා. විසඳුවත් නැතත් මම ඒක හෙළිකරනවා. මොකද මෙහෙම ගමනක් යන්න බෑ මේ රටේ. නිහඬ වෙලා ඉන්න බෑ හැමදාම. ඇමැතිවරයා කියලා දෙකට නැවෙන්න පුළුවන්කමක් නෑ.
එතුමා ජපානයෙන් මුදල් ගත්තා කියන සැකය ඔබතුමාට තියෙනවා නේද?
මට ලැබෙන ආරංචිත් එක්ක ඒක වෙන්න පුළුවන්.
ඔබතුමා ඒ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා. එතකොට ඔබතුමාටත් සැකයක් තියෙනවද ඔහු මුදල් ගත්තා කියන කාරණාව සම්බන්ධයෙන්?
යම් කිසි සැකයක් මතුවෙලා තියෙනවා. හොරා හොරාමයි. මොන තනතුරේ හිටියත්. මම ජනාධිපතිතුමාට මතක් කළා දෙපාරක් විතර. ජනාධිපති ලේකම්තුමාටත් මතක් කළා. පොඩි ගැටලුවක් තියෙනවා රටේ වත්මන් තත්ත්වයත් එක්ක අමාත්‍ය ධුර එකක් විතරක් වෙනස්කරන්න පුළුවන්කමක් නෑ. වෙනස් කරනවා නම් සියලු අමාත්‍යාංශ වෙනස් කරන්න ඕනෙ කියන එක තමයි එතැනින් කිව්වේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න කිව්වා. දැන් අවුරුද්දකටත් වැඩියි. ජනාධිපතිතුමා යම් ක්‍රියාමාර්ගයක් ගනී. මොකද රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ගණනාවක් තියෙනවා. අපි දේශපාලනය කරලා මෙතැනට ආවේ මිනිස්සුන්ගෙන් දොස් අහන්න නෙවෙයි. ඒ සේවය කරන්න බැරි නම් ඇත්තෙන්ම මෙතැන ඉඳලා වැඩක් නෑ. මම අවුරුදු 21ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට නොකඩවා ඉඳලා තියෙනවා. රාජ්‍ය ඇමැතිවරයෙක් නියෝජ්‍ය ඇමැතිවරයෙක් හැටියටත් අවුරුදු 12ක් ඉඳලත් තාමත් වැඩක් කරන්න බැරි නම් මේ තනතුරෙන් වැඩක් නෑ.
ඔබතුමා දේශපාලනය ගැන කලකිරිලද ඉන්නේ?
ඇත්තෙන්ම කලකිරිලා. මේ ආණ්ඩුව හින්දා නෙවෙයි. දේශපාලනය ගැන කලකිරිලා ඉන්නේ. ප්‍රධාන කලකිරීම තමයි කාලකණ්ණි අරගලය. ඒ අරගලය හින්දා තමයි මේ රට වැටුණේ. ඉන්නවා සහෝදරයෝ කණ්ඩායමක් මේ රටේ නැති අරගලයක් මවාපාලා, නැති අර්බුදයක් මවාපාලා හරියට පීක් එක අල්ලලා දුන්නා වැඩේ. දීලා ගෝඨාභය මහත්තයා යැව්වා.
චානක ලියනගේ










