පාකිස්තානයේ ජනතාව ඒකාධිපතියන්ට දුන්නු පණිවුඩය…
‘ලෝක දේශපාලනයේ මෙවැනි සිද්ධීන් ඇතිවෙලා තිබෙන්නේ ඉතා අල්පයක් පමණයි. දීර්ඝ සිර දඬුවමකට යටත්ව සිරගතව සිටින දේශපාලනික ප්‍රධාන පෙළේ නායකයකු සිරගෙදර තුළ සිටියදීම මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අතිශයින්ම දුර්ලභ සිදුවීමක්. එවැනි සිරගත නායකයන් සිර දඬුවම් නිමා කර සාමාන්‍ය සමාජයට පැමිණි පසුව නැවත දේශපාලනයේ නිරත වෙලා මැතිවරණයක් දිනාගත් සිදුවීම් නම් බහුල වශයෙන් තිබෙනවා.(Sri Lanka Latest News)
අඩු තරමේ අවුරුදු 27ක් සිර දඬුවම් විඳපු ලෝක ප්‍රකට නායකයකු වන දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාටවත් මෙහෙම ජයග්‍රහණයක් ලැබී නැහැ. ඔහු දීර්ඝ සිරදඬුවම් නිමකර සමාජයට පැමිණ වසර 04කට පසුවයි දකුණු අප්‍රිකාවේ ජනාධිපති වුණේ. මුළුමහත් ලෝකයෙන්ම මෙවැනි සිදුවීම් හතරකට පහකට වඩා වාර්තා වී නැහැ. එහෙයින් පාකිස්තානයෙන් පසුගියදා වාර්තා වුණු මෙම සිදුවීම ලෝක වාර්තාවක් වී ඉතිහාසයට එකතු වෙනවා. හිටපු අගමැති ඉම්රාන් ඛාන් මෙසේ සිරගෙදර සිටියදීම මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉතා අගය කළ යුතු, ඒ වගේම ගරුත්වයකට ලක්විය යුතු සුවිශේෂ සිදුවීමක් වෙනවා…’
කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මෙම වගතුග කියා සිටින්නේ කවරකු විසින්ද? අපට මෙම කතාව ඇසුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් ලොව තිබෙන ප්‍රකට පුවත්පතක් වන ඇමෙරිකාවේ ‘ද වොෂින්ටන් පෝස්ට්’ (The Washington Post) පුවත්පතට අදාළ කර්තෘ වාක්‍යය හරහා මෙම විශ්ලේෂණය සිදුකර තිබිණි. කර්තෘ වාක්‍ය සටහන ලියා තබන්නේ එම පුවත්පතට අදාළ ප්‍රධාන කර්තෘවරයා විසිනි. එහෙයින් එම විශ්ලේෂණය පිළිගත් ප්‍රකාශනයක් වෙයි.
මෙම ලොව පිළිගත් ප්‍රකට පුවත්පතේ ප්‍රධාන කතුවරයා මෙලෙස මෙම සටහන ලියා තබන්නේ එක් සුවිශේෂ විෂයකට අදාළවය. එනම් මෙයට දින කිහිපයකට පෙර නිමාවට පත්වුණු පාකිස්තානයේ මහ මැතිවරණයට අදාළව ඔහු එම සටහන තබයි. දැනට දීර්ඝ සිර දඬුවමකට යටත්ව සිරගත කර තිබෙන පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන ‘ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (Tehreek-e-Insaf) පක්ෂය විසින් පසුගියදා පැවැති මහ මැතිවරණයේ බහුතර ආසන සංඛ්‍යාව දිනාගැනීම මෙම සුවිශේෂ සිදුවීම විය. ඉහත ප්‍රකට පුවත්පත තවදුරටත් තම කතුවැකියෙන් මෙසේ කියා සිටියි.
‘මෙවර පාකිස්තාන මහ මැතිවරණයෙන් මෙලෙස හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාව දිනාගැනීම දේශපාලන ලෝකය උඩුයටිකුරු කිරීමක්. මෙයින් පෙනී යන්නේ ලෝක දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙන ඉතා දුර්ලභ සිදුවීමක්. තවද මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇත්තේ ඒකාධිපතියන් සෑම විටම ජයග්‍රහණය නොකරන බවයි. යම් රටක දේශපාලන නායකයකුට බන්ධනාගාරයක සිරගත වීමකින් පසුව එය තුළ සිට මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අතිශය දුෂ්කර කාර්යයක්.
එසේ වන්නේ එවිට එම දේශපාලන නායකයාගේ දේශපාලනික ක්‍රියාවලිය තදබල අඩාළ තත්ත්වයකට පත්වන නිසායි. එහෙත් මෙහිදී එවැන්නක් සිදුවෙලා නැහැ. එරට හමුදා පාලකයන් විසින් ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේදී සිරගත කළේ ඔහු මහ මැතිවරණයේදී දේශපාලනයට පැමිණීම වැළැක්වීමටයි. එහෙත් ඉම්රාන් ඛාන් සිරගෙය තුළ සිටියදීම යම් ක්‍රියාකලාපයන් හරහා තම අනුගාමිකයන් දිරිමත් කළා. පසුගියදා ‘කෘත්‍රිම බුද්ධිය’ භාවිත කරමින් පවා අන්තර්ජාලය හරහා දේශපාලන ප්‍රචාර වැඩපිළිවෙළක් දියත් කළා. මේ තත්ත්වය යටතේ ඔහුගේ අනුගාමිකයන් තුළ දැඩි උද්දීපනයක් ඇතිවී තිබුණා. මේ නිසා ජනතාවාදී නායකයකු වන ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමට හමුදා පාලකයන් ගත් උත්සාහය මුළුමනින්ම ව්‍යර්ථ වී තිබෙනවා.
එම සෙන්පතියන්ගේ ආධිපත්‍යය දශක ගණනාවකින් නොදුටු තරමටම අභියෝගයට ලක්වෙලා තියෙනවා. මර්දනයේ සීමාවන් ගැන දැඩි මතක් කර දීමක්ද මෙයින් පෙන්නුම් කරනවා. ඉම්රාන් ඛාන්ට ලබාදී තිබුණු පෙර සිර දඬුවමට අමතරව ඔහුට මැතිවරණයට දින දෙකකට පෙර තවත් අලුත් සිරදඬුවමක්ද නියම කර තිබුණා. පාකිස්තානයේ වසර 76ක ඉතිහාසය තුළ හමුදා පාලකයන් තමන්ට අවශ්‍ය විදියට බලතල භාවිත කරනවා.
පසුගියදා මහ මැතිවරණයේදීත් ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද කරමින් යම් ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීම් ගැනත් වාර්තා වී තිබෙනවා. එනම් හමුදා පාලකයන්ට වාසි වන ආකාරයට එවැනි ක්‍රියා සිදුවුණා කියලා. ජනතාව එයට එරෙහිව දැන් උද්ඝෝෂණ කරනවා. දේශපාලනයේ මිලිටරි මැදිහත්වීම් හරහා යම් රටකට දිගුකාලීන ස්ථාවරත්වයක් ඇතිවන්නේ කලාතුරකිනි. මේ නිසා ඉම්රාන් ඛාන් යනු ජනතාවාදී නායකයකු ලෙස ජනතාව පිළිගෙන තිබෙනවා…’
මේ ආකාරයට පසුගියදා නිමාවට පත්වූ 2024 පාකිස්තාන මහ මැතිවරණයට අදාළව එම විශ්ලේෂණය සිදුකර තිබිණි. පාකිස්තාන මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණයේ නිල අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර තිබිණි. එනම් එහිදී හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණයට මුහුණ දුන් අතර, එම කණ්ඩායම ආසන 102ක් ලබාගනිමින් ප්‍රමුඛ ස්ථානයෙහි සිටියි. ආසන 73ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේද හිටපු අගමැතිවරයකු වූ නවාස් ෂෙරීෆ්ගේ පක්ෂයයි.
එයට අමතරව ආසන 54ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ හිටපු අගමැතිනියක වන ඝාතනයට ලක්වූ බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන බිලවාල් භූතෝ සර්දාරිගේ පක්ෂයටය. ඉන් අනතුරුව අනෙකුත් විවිධ පක්ෂ විසින් ආසන 50ක පමණ ප්‍රමාණයක් දිනාගෙන ඇත. මේ ආකාරයට මහ මැතිවරණයේදී විවිධ පක්ෂ විසින් ජයග්‍රහණයන් ලබා තිබුණත් කිසිදු පක්ෂයකට නව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීමට නොහැකි විය. පාකිස්තාන ජාතික සභාවට දැනට ආසන 336ක ප්‍රමාණයක් ඇත.
මෙම ප්‍රමාණයෙන් තනි පක්ෂයකට රජයක් පිහිටුවීමට නම් ආසන 168ක ප්‍රමාණයක් ලබා සිටිය යුතුය. එහෙත් මෙහිදී කිසිදු පක්ෂයක් එවැනි බහුතරයක් දිනාගෙන නැත. එහෙයින් ඉදිරියේදී යම් පක්ෂ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවබෝධතාවකට පැමිණ එකතුවී රජයක් පිහිටුවාගත යුතුය. මෙහිදී එකක් පෙනී යන්නේ බහුතර ජන මතය ලැබී ඇත්තේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට බවය. පාකිස්තාන ජාතික සභාවට ආසන 336ක් අයත් වුවත්, එය මැතිවරරණ කොට්ඨාස වශයෙන් ගත් කල කොට්ඨාස 266ක් වෙයි.
ලෝකයේ සිටින විවිධ ජන නායකයන් අතරින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සුවිශේෂ භූමිකාවක නිරතව සිටින දේශපාලකයකු ලෙස සැලකිය හැකිය. දැනට දශක ගණනාවක සිට පාකිස්තානයේ රාජ්‍ය බලය මෙහෙයවනු ලබන්නේ එරට යුද හමුදා නායකයන් විසිනි. එහෙත් ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවක් පෙන්වීම උදෙසා එරට තුළ මැතිවරණය කිහිපයක්ද පැවැත්වෙයි. එසේම එම මැතිවරණයන් මගින් අගමැතිවරයකු ප්‍රධාන කරගත් පාර්ලිමේන්තුවක්ද, කැබිනට් මණ්ඩලයක්ද බිහිවෙයි.
2022 වසරේදී ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ දූෂණ වංචා චෝදනා මතය. පාකිස්තානයේ වත්මන් හමුදා රාජ්‍ය පාලනය සහ ඉම්රාන් ඛාන් අතර පවතින්නේ අතිශය දැඩි වෛරයකි. එහෙයින් පාලක හමුදා රජය විසින් බොහෝ අවස්ථාවලදී ඉම්රාන් ඛාන් විවිධ තාඩන පීඩනවලට ලක්කරමින් ඔහුගෙන් පළිගැනීම සිදුකළේය. ඉම්රාන් ඛාන් වෙත මේ වනවිට විශාල ජන පවුරක් නිර්මාණය වී තිබීම නිසා රජය නිරන්තරයෙන්ම සිටින්නේ දැඩි ද්වේශයකිනි.
දෙවතාවක් පමණ ඔහු සිර භාරයට ගෙන නිදහස් කර තිබුණද පසුගිය 2023 වසරේදී ඔහු දීර්ඝ සිර දඬුවමකට යටත් කර සිරගත කෙරිණි. ඒ අනුව ඔහුට දෙවතාවක් තුළදී නියම කර ඇති සිර දඬුවම වසර 14ක එකකි. මේ වන විට ඔහු ගෙවමින් සිටින්නේ එම සිර දඬුවමේ පළමු වසරයි. ඔහුට අමතරව ඔහුගේ බිරියටද මේ වන විට සිර දඬුවම් ලබාදී ඇත. ඇය ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරිය වන අතර, ඇය ඉම්රාන් අමැති ධුරයේ සිටියදී ඔහු සමග විවාහ වී ඇත්තේ පළමු සැමියාගෙන් නීත්‍යනුකූලව ඉවත් නොවී යැයි පැවැසෙයි. මෙය ඉස්ලාමික විවාහ නීතියට අදාළ වූ සිදුවීමක් ලෙස සැලකෙන අතර, තෙවැනි බිරිය දැනට 49 වැනි වියෙහි පසුවන්නීය. ඉම්රාන් ඛාන් 71 වැනි වියේ පසුවෙයි.
මේ ආකාරයට ඉම්රාන් ඛාන්ගේ ජීවිතය විවිධ රසවත් සහ ආන්දෝලනාත්මක තොරතුරුවලින් පිරී ඇත. එසේ නම් සිර මැදිරියකට කොටුවී සිටින ඉම්රාන් ඛාන් මෙවර මහ මැතිවරණයෙන් මෙතරම් විශාල ජයග්‍රහණයක් ලැබුවේ කෙසේද? මෙම වටපිටාවේදී පසුගියදා අපට අසන්නට ලැබුණේ සුවිශේෂ වගතුගකි. එනම් ඉම්රාන් ඛාන් සිරගෙදර සිටිමින් ජාතිය ඇමතූ පුවතකි. සිරකරුවකුට එවැන්නක් කළ හැකිද? ජන නායකයකු වුවත් ඔහු සිරකරුවකු වෙයි.
සිරකරුවකු එවැන්නක් කිරීම බලවත් වරදකි. මෙම අපූරු සිදුවීම පසුගියදා හෙළිවූයේ සමාජය පුදුමයට පත්කරමිනි. එනම් මහ මැතිවරණයට දින කිහිපයකට පෙරදී ඉම්රාන් ඛාන් තමන්ගේ රූප පෙළක්ද සහිතව තමන්ගේ කටහඬින්ම ජාතිය ඇමතුවේය. මෙම දර්ශනවලින් අර්ථවත් වූයේ ඔහු සිරගෙදර සිටිමින් ජනතාව අමතන ආකාරයක්. ජනතාව පුදුමයට පත්ව මෙම ප්‍රකාශය අන්තර්ජාලය හරහා බලා සිටියේය. මෙය සත්‍යයක්ද? නැත. එවැන්නක් කිසිදු ආකාරයකින් සිදුවූයේ නැත.
මෙහිදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් තම කතාව සිදුකරන්නේ කිසිදු ආකාරයකින් සිරගෙදර පරිශ්‍රය තුළ සිටියදී නොවේ. එනම් එය සිදුකරන්නේ නූතන පරිගණක තාක්ෂණය ආධාර කරගනිමිනි. එනම් එහිදී PTI පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත. මෙහිදී පරිගණක විෂය තුළ සඳහන් වන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) නැමති තාක්ෂණය භාවිත කරමින් මෙම නිර්මාණය සිදුකර තිබිණි. එම තාක්ෂණයට අදාළව ක්ලෝනයක් (Clone) බිහිකිරීම තුළින් ඉම්රාන් ඛාන්ගේ සැබෑ හඬ නිර්මාණය කර ඇත.
එය කරන්නේ ඉම්රාන්ගේ සජීවී කටහඬ භාවිත කරමිනි. ඒ මගින් නව දේශපාලනික කතාවට හඬකැවීම සිදුකර ඇත. පරිගණක තාක්ෂණයේදී ක්ලෝනයක් යනුවෙන් අර්ථවත් වන්නේ සර්ව සම යමෙක් හෝ යමක් යන්න පැහැදිලි කිරීමයි. එනම් යම් සජීවී පුද්ගලයකුගේ හෝ යම් ද්‍රව්‍යයක හෝ කෘත්‍රිමව නිර්මාණය කෙරුණු සජීවී ප්‍රතිරූපයකි. ඒ ආකාරයට යට කී සිදුවීමේදීද ඉම්රාන් ඛාන්ගේ සජීවී කටහඬ සහ දසුන් භාවිත කරමින් මෙම කෘත්‍රිම බුද්ධි ක්ලෝනය (AI Clone) නිර්මාණය කර තිබිණි. මෙය කෙතරම් තාත්විකව සිදුකර තිබේද යනු එය සැබෑ ලෙසම ඉම්රාන් ඛාන් සිරගෙදර සිට සිදුකරනු ලබන ජනතා ප්‍රකාශයක් ලෙස සිතුණු අතර, එය සැබෑ ලෙසම ජනතාව තුළ දැඩි විශ්වාසයක් ඇතිකිරීමට සමත් විය.
මෙම නූතන තාක්ෂණය භාවිත කිරීම නිසා එම ක්‍රියාවලියට එරෙහිව කිසිදු ආකාරයකින් නීතිමය වශයෙන් හෝ කටයුතු කිරීමට නොහැකි විය. මෙවර පැවැති මැතිවරණයට පෙර මෙය සිදුකෙරුණු අතර, එහිදී පූර්ව ප්‍රචාරණයක් ලබාදී තිබුණේ ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ජාතිය අමතන බවටය. මෙම ජනතා ආමන්ත්‍රණය සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වූයේ මෙය අථත්‍ය රැලියක් (Virtual Rally) ලෙස පැවැත්වෙන බවටයි. අථත්‍ය රැලියක් යනු සයිබර් අවකාශය නොහොත් අන්තර්ජාලය හරහා පැවැත්වෙන ජන රැලියකි. මෙම සිදුවීම එරට ජනතාව මිලියන ගණනින් නරඹා සිටියේය.
මෙවැනි වටපිටාවකදී පසුගියදා මහ මැතිවරණයේ මූලික ජයග්‍රහණයත් සමග තවත් සුවිශේෂ සිදුවීමක්ද ඇතිවිය. එනම් මැතිවරණයෙන් පසුවද ඉම්රාන් ඛාන් ඉහත ආකාරයෙන්ම සිරගෙදර සිට ජනතාව ඇමතුවේය. තමන් කෙරෙහිත්, පක්ෂය කෙරෙහිත් විශ්වාසය තැබීම ගැන ඔහු ජනතාවට ප්‍රශංසා කරමින් ස්තුති කරමින් කතාව සිදුකළේය. එයද කෘත්‍රිම බුද්ධි ක්ලෝනයක් විය.
ප්‍රියන්ත හෙට්ටිගේ
ඉම්රාන් ඛාන් යනු දේශපාලනඥයෙක් බවට පත්වූ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුවකි. කාලයක් පුරා ඔහු පාකිස්තානයේ ජනතාව අතර මහා ක්‍රිකට් විරුවකු බවට පත්ව තිබිණි. එසේම පසු කාලයක් ගතවෙත්ම ඔහු දේශපාලනය තුළද මහා වීරයකු බවට පත්වන්නට ගත්තේය. තමන්ගේම නායකත්වය මත ඉම්රාන් ඛාන් දේශපාලන පක්ෂයක් බිහිකරගත් අතර, එය ඉතා කෙටි කාලයක් තුළ පාකිස්තානයේ ප්‍රකටත්වයට පත්විය. ඔහුගේ මෙම ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) නමැති පක්ෂය 1996 දී ආරම්භ කළත් එය ජනතාව අතර කැමැත්ත දිනාගත්තේ 2013 මහ මැතිවරණයේදීය. ඉන් පසුව ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය සුවිශාල ජනප්‍රියත්වයකට පත්කරමින් ඔහු 2018දී ‘නව පාකිස්තානයක්’ පිළිබඳ ජනතා දර්ශනයක් ඉදිරිපත් කරමින් පාකිස්තානයේ අනෙකුත් දේශපාලන පක්ෂ අභිබවා රටේ බලයට පත්විය.
ඒ අනුව ඉම්රාන් ඛාන් එරට අගමැති ධුරයට තේරී පත්විය. ජනතාව අතර ධනය බෙදී යන ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනය ගැන ඔහු නිතර කතා කළේය. ඉම්රාන් ඛාන් බලාපොරොත්තු වූයේ කුමන්ත්‍රණ සහ හමුදා පාලන ඉතිහාසයක් ඇති පාකිස්තානයේ වෙනත් කිසිදු අගමැතිවරයකු සම්පූර්ණ නොකළ පස් අවුරුදු ධුර කාලයක් දැරීමයි. එහෙත් එයට එරට හමුදා පරිපාලනය සහ එම නායකයන් ඉඩක් තැබුවේ නැත. අගමැති ධුරයේ වසර තුනහමාරක් ගතවත්ම විශ්වාසභංගයක් ගෙනැවිත් ඔහු අගමැති ධුරයෙන් නෙරපීය. ඔහුගේ පක්ෂයද තහනම් කළේය. විවිධ චෝදනා එල්ල කොට හිරේ දැමීය. එතැන් සිට මේ දක්වා ඉම්රාන් ඛාන් අර්බුද ගණනාවකට මුහුණ දෙමින් දේශපාලනික ක්‍රියාවලියේ නිරතව සිටියි.