උන් එහෙම තමයි හාමුදුරුවනේ… ඒ වුණාට රටේ මිනිස්සු එහෙම නෑ…
දේශපාලකයන් යනු ලෝකයේ සිටින අරුම පුදුම සත්ව කොට්ඨාසයකි. මොවුන් සැබැවින්ම සාමාන්‍ය මිනිස් ගහනයට අයත් වුවද දේශපාලනය තුළදී ඔවුන් අයත් වන්නේ අතිශයින්ම වෙනස් වූ මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙසටය. ලෝකයේ විවිධ රටවල විවිධාකාරයේ දේශපාලනික නායකයෝ සිටිති.(Sri Lanka Latest News)
මේ දේශපාලකයන් සාමාන්‍ය ජනයා අතර සිටීමේදී අපට ඔවුන් නිරන්තරයෙන්ම පෙනීයන්නේ පොදු මිනිසාට ඉහළින් ඇති වේදිකාවක් මතදී ඔවුන් ජීවිතය ගතකරමින් සිටින ආකාරයයි. ඒ කෙසේ වුවද මෙලෙස ලෝකය පුරා සිටින දේශපාලනික නායකයෝ එකිනෙකාට එකිනෙකෙකේ වෙනස් වෙති. සමහර පිරිස් ජනතාවට ඉහළින් වැජඹෙන්නට හදන හැටි දක්නට හැකි වුවත් තවත් සමහර පිරිස් ජනතාව සමගම එකට සිටිමින් තම දේශපාලන මෙහෙවර ඉටුකරන ආකාරයද දක්නට හැකිය.
පොදු ජනතාව සමග මහ පාරේ ඇවිද ගිය දේශපාලකයන් මෙන්ම සාමාන්‍ය මෝටර් රථ, දුම්රිය, බස්රිය සහ පාපැදිවලින් ගමන් කළ දේශපාලකයන් ගැනද අපට කරුණු අසන්නට ලැබී ඇත. එසේම සමහර ධනවත් රටවල සිටින අතිසුඛෝපභෝගී ජීවිත ගතකරන දේශපාලකයන් ගැනද අසන්නට ලැබී ඇත. මහා සුපිරි මාලිගා, ලිමොසින් මෝටර් රථ, ජෙට් ගුවන් යානා, සුපිරි යොට් යාත්‍රා භාවිත කරන දේශපාලන නායකයන්ද දක්නට හැකිය.
එසේ නම් මෙවැනි විවිධාකාරයේ දේශපාලකයන් අතරින් අපගේ ශ්‍රී ලංකාවේ ඇත්තේ කුමන ආකාරයකට අයත් දේශපාලකයන්ද? ශ්‍රී ලංකාවේ බහුතරයක් සිටින්නේ පොදු ජනතාවගේ කරපිටින් බලයට පැමිණ, ජනතාවගේ පසුපසට පයින් ගසා එළවා දමන දේශපාලකයන්ය. ඉන් පසු බලයේ සිටින විටදී රාජයෝග සොයමින් තවත් දේශපාලනයේ මුදුන් පෙත්තටම නැගීමට වලිකන දේශපාලකයන්ය. එසේම අනේක විදියේ ආගමික යාතුකර්ම කරමින්, දෙවියන්ට බාරහාර කරමින් තව තවත් බලයම ඉල්ලා සිටින පිරිස්ය.
පිරිත් නූල් වෙනුවට පිරිත් කඹ බඳින මේ දේශපාලකයන් තමන්ගේ විරුද්ධ දේශපාලකයන්ට එරෙහිව පොල් ගසති. මිරිස් අඹරති. තවත් දේශපාලකයන් පිරිසක් ඉන්දියාවේ මහා හින්දු දෙවොල් වන්දනාමාන කරති. බාරහාර වෙති. එසේම වර්තමානයේ අපගේ රටේ දේශපාලකයන්ගේ අරුම පුදුම ක්‍රමවේදය නම් මෙරට රාජ්‍ය ව්‍යවස්ථාව පවා අතිශය නින්දිත ලෙස උල්ලංඝනය කරමින් තම බලය පතුරුවා ගැනීමට දරන පහත් උත්සාහයයි. මෙලෙස වත්මන් රාජ්‍ය පාලකයෝ ජනතා මර්දනය පවා දැඩි ලෙස සිදුකරමින් එම ක්‍රමවේදය සිදුකරමින් සිටියි. එසේම තමන්ට අවශ්‍ය බලයේ වටපිටාවද සියලු විරෝධතාවන් මර්දනය කරමින් සකසා ගනිති.
ලෝකයේ සිටින දේශපාලකයන් අතරින් මෙසේ අරුම පුදුම ක්‍රමවේදයන් අනුගමනය කරන අපගේ රටේ දේශපාලකයන් ගැන එසේ ලියා තැබුවේ ඇයි? එසේ සිදුකරන්නට හේතු වූයේ මෙයට දින කිහිපයකට ඉහතදී මෙරටදී සිදුවූ එක්තරා අපූරු කතාවක් හේතුවෙනි. එනම් පසුගියදා කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම සුවිශේෂ කතාව සිදුවී තිබිණි. ලෝකයේ බොහෝ දේශ දේශාන්තරවලදී මහත් ප්‍රකට නාමයක් හිමිකරගෙන ඇති බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් සම්බන්ධයෙන් මෙම කතාව එළිපෙහෙළි වී තිබිණි. මෙම බෞද්ධ භික්ෂුව නම් අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ය.
අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් යනු ලොව පුරා බොහෝ විචිත්‍ර අයුරින් බෞද්ධ ධර්මය ප්‍රචාරය කරමින් සිටින ලොව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බෞද්ධ භික්ෂුන්වහන්සේ නමකි. උන්වහන්සේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වීම සඳහාය. පසුගිය 2023 මැයි මාසයේ 20 සිට 30 දින දක්වා පුරා දින 10ක් මෙම ධර්ම දේශනා වැඩසටහන ශ්‍රී ලංකාවේ නගර කිහිපයකදී පැවැත්විණි. මෙයට පෙරද උන්වහන්සේ මෙරටට වැඩම කරවා ඇති අතර, මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන ඉහත වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. ලෝකයේ බොහෝ සැදැහැවත් ජනතාවට ඉතා සමීප ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස සැලකෙන අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් බොහෝ ලෝක පූජිත තත්ත්වයට පත්ව සිටින හිමිනමකි. බොහෝ විට උන්වහන්සේගේ ධර්ම දේශනා වැඩසටහන් සඳහා දහස් ගණනින් සැදැහැවතුන් සහභාගි වෙති.

මෙම සුවිශේෂ බෞද්ධ භික්ෂුන්වහන්සේට එසේ නම් පසුගියදා සිදුවූ අකරතැබ්බය කුමක්ද? ඉහත ප්‍රකාශ කළ ධර්ම දේශනා වැඩසටහන නිමවී නැවත විදේශගත වීම සඳහා අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත. එහිදී උන්වහන්සේට ගුවන් තොටුපළේ ඇති ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදිය. කෙසේ හෝ ඒ අනුව උන්වහන්සේ තම විදේශගත වීම සඳහා නිසි වේලාවට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. එහෙත් හදිසියේම උන්වහන්සේට දැකගැනීමට හැකි වූයේ ප්‍රභූ පර්යන්තයේ සිටින ආයුධ සන්නද්ධ හමුදා නිලධාරීන්ය.
එහිදී ආරංචි වූයේ එම අවස්ථාවේදී අගමැති දිනේෂ් ගුණවර්ධන විදේශගත වීම සඳහා එහි පැමිණෙන බවය. ඒ අතරම දැනගන්නට ලැබුණු අනෙක් පුවත වූයේ වරාය හා ගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාද එම අවස්ථාවේදීම විදේශගත වීමට පැමිණෙන බවය. අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියෝ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව හරහා ඔස්ටේ්‍රලියාවට යෑමට නියමිතව තිබිණි. මෙම සිදුවීම ඇතිවී තිබෙන්නේ පසුගිය මැයි 30 වැනිදා අලුයම් කාලයේදීය. තමන්ගේ ගමනට අදාළ ලෙස උන්වහන්සේ එහි වැඩම කරවා ගුවන් යානයට නගින තෙක් නියමිත ප්‍රභූ පර්යන්තයෙ රැඳී සිට ඇත. මේ ආසන්න වේලාවකදීම අගමැතිවරයාත්, නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාත් ප්‍රභූ පර්යන්තය වෙත පැමිණ සිටියේ විදේශගත වීම උදෙසාය.
මෙහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රමඛ පිරිස තායිලන්තයේ පැවැත්වෙන සුමුළුවක් සඳහා පිටත්ව ගොස් ඇත. ඉන් පසුව නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ පිරිස විදේශගත වීමට සැරසිණි. එහිදී අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් සහ නිමල් සිරිපාල ද සිල්වාට පහසුකම් සැලසීම සඳහා කාර්යභාර නිලධාරියකු පත්කර තිබිණි. නිමල් සිරිපාල ද සිල්වා යනු වරාය හා ගුවන් සේවා භාර ඇමැතිවරයායි. මෙහිදී අගමැතිවරයා ප්‍රධාන පිරිස තම තායිලන්ත ගමනාන්තය වෙත වේලාසනින් පිටව ගොස් තිබිණි. ඉන පසුව කාර්යභාර නිලධාරියා විසින් දිගින් දිගටම නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ පිරිසට ගමනාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නට විය.
එහිදී අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ගමනාන්තය ගැන මෙම පත්කළ කාර්යභාර නිලධාරියා නොසලකා හැර ඇත. ඔහු දිගින් දිගටම භික්ෂුන්වහන්සේ අමතක කර දමමින් ඇමැතිවරයාට සේවය සලසා ඇත. ඒ අනුව අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ගැන සොයා බැලීමට සහ නියමිත ගුවන් යානය කරා රැගෙන යෑමට මේ පුද්ගලයා අමතක කර ඇත. මේ තත්ත්වය යටතේදී අවසානයේදී බ්‍රහ්මවංසෝ හිමියන්ට නියමිත වේලාවට පිටත් වන ගුවන් යානය මඟහැරී තිබිණි. මෙය තවත් අර්බුදකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර අවසානයේදී උන්වහන්සේට පැය 12කට අධික කාලයක් ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයේ රැඳී සිටීමට සිදුව ඇත. උන්වහනසේට සිදුවූ මෙම අකරතැබ්බය ගැන උන්වහන්සේ විසින්ම කරුණු ප්‍රකාශ කර තිබුණේ මෙසේය.
‘මම පසුගියදා ශ්‍රී ලංකාවේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් රැසකට සහභාගි වෙලා නැවත කොළඹ ගුවන් තොටුපළට පැමිණි විට සිදුවූ ඇබැද්දිය ගැන ඔබ සමහර විට අසන්නට ඇති කියලා හිතනවා. මම නැවත ඔස්ටේ්‍රලියාවට එන්න ගුවන් තොටුපළට පැමිණි විට මට එහිදී වී.අයි.පී. වරප්‍රසාද ලබාදී තිබුණා. ඒ වෙලාවෙ පර්යන්තය මැෂින් තුවක්කු ගත්තු ආරක්ෂකයන්ගෙන් පිරිලා තිබුණා. කෙනකුට ඇවිදින්නටවත් බැරි තරමට. අගමැතිතුමා තායිලන්තයේ උත්සවයකට යන නිසා එසේ ආරක්ෂකයන් සිටියා කියලා දැනගත්තා. මම එම පර්යන්තයට පැමිණ අදාළ ගුවන් ගමනෙ පිරිවිතර සම්පූර්ණ කරලා බෝඩිං පාස් ලබාගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට හරි වෙලාව ආවා.
මම එතැන සිටින නිලධාරීන්ට මේ පිළිබඳ දැන්වූවා. ඔවුන් මට කිව්වා සියලු කටයුතු හරියට සිද්ධ වෙයි, හාමුදුරුවන කලබල නොවී ඉන්න කියලා. නමුත් මට තේරුණා ගුවන් යානය නික්ම යෑමට වෙලාව හරි කියලා. ඒවෙලාවෙ එක සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා. අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වෙනවාත් සමගම එම පිවිසුම් පාලම ගුවන් යානයෙන් පිටතට ඉවත් කරගත්තා. දැන් කරන්න දෙයක් නැහැ. මා සමග ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් යානයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට ගුවන් යානය මඟහැරීම ගැන එයා කෑගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ.
මම අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දුන්නා. කෙසේ හෝ පසුව නියමිත වේලාවට පැය 12කට විතර පස්සේ තමයි ඔස්ටේ්‍රලියාවට යෑමට ගුවන් යානයක් ලැබුණේ. පසුව ආරංචි වුණා මේ සිදුවීම ගැන ලංකාවේ ජනාධිපතිවරයා විසින් පරීක්ෂණයක් කරන්න නියෝග කරලා තියෙනවා කියලා. පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරැදීම් සිදුනොවීමටයි මුලින්ම කටයුතු කළ යුත්තේ…’
ලෝක පූජිත, එමෙන්ම ලොව පුරා සිටින සැදැහැවතුන් මිලියන ගණනාවකගේ මහත් ගෞරවාදරය සහ භක්තිය හිමිකර ගත් අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ සත්‍ය ජීවන වගතුග කුමක්ද? එය රසබර කතාන්දරයකි.
දැනට 71 වැනි වියෙහි පසුවන අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ ගිහි නාමය පීටර් බෙට්ස් වන අතර, ඔහු උප්පත්තියෙන් බි්‍රතාන්‍ය (එංගලන්ත) ජාතිකයෙකි. උන්වහන්සේ අජින බ්‍රහ්ම් යන කෙටි පැවැදි නාමයකින්ද හඳුන්වති. ගිහියකු ලෙස සිටියදී උන්වහන්සේ එංගලන්තයේ පිහිටා තිබෙන ලොව අතිශය කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් න්‍යායාත්මක භෞතික විද්‍යාව (Theoretical physics) පිළිබඳ උපාධියක් හිමි කරගත්තේය. ඉන් පසුව ඔහු එංගලන්තයේ ඩෙවොන්හි ගණිත ගුරුවරයකු ලෙස කටයුතු කළ අතර, පසුව ජීවිතයේ යම් යම් සිදුවීම් සිදුවීම් මත තායිලන්තයට පැමිණ බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදිභාවය ලබාගත්තේය.
උන්වහන්සේ තමන්ගේ පැවිද්ද ලබාගත්තේ ලොව අතිශය ප්‍රකට එමෙන්ම බෞද්ධ විනය මහත් ඉහළින් අගය කළ තායිලන්තයේ වනවාසී ආශ්‍රම නායක ස්වාමින්වහන්සේ නමක වන අජින් චා බෝධිඤාණ මහ තෙරුන් වහන්සේ යටතේය. වයස අවුරුදු 23ක් වන විටදී උන්වහන්සේ අජාන් චා නායක හිමියන් යටතේ පවත්වාගෙන ගිය තායිලන්තයේ වට් නොන් පා පොන්ග් වන සෙනසුනේදී පැවිදිභාවය ලබාගත්හ. ඉන් පසුව වසර 09ක් පුරා උන්වහන්සේ එහි ධර්මය ප්‍රගුණ කළ අතර, පසුව නැවත බාහිරට වැඩම කර ධර්ම ප්‍රචාර කටයුතු සිදුකළහ. අද ලොව පුරා උන්වහන්සේ මහත් ගෞරවනීය පිළිගැනීමට පාත්‍ර වී සිටින්නේ මෙවැනි වටපිටාවකදීය. අද උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන බෞද්ධ ආශ්‍රම, විහාරස්ථාන තුනක් එංගලන්තයේ, ඔස්ටේ්‍රලියාවේ සහ සිංගප්පූරුවේද පිහිටා ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ










