ගාන ඩබල්වෙයි-දිනුම එහෙමමයි-කමිෂන් වෙනසක් නෑ…
ඔන්න ලොතරැයියක් ඇදෙන්න යන්නේ. මේක අපේ ගම්වල නිතර පාවිච්චි කරන වචනයක්. ලොතරැයියක් ඇදෙනවා, ස්වීප් එකක් ඇදෙනවා. මේවා මිනිස්සු පාවිච්චි කරන්නේ උත්ප්‍රාසයෙන්.(Sri Lanka Latest News)
ඒ කියන්නේ හොඳටම වැඩේ අප්සෙට් වෙච්ච වෙලාවට ‘මට මාර ලොතරැයියක්නෙ බං ඇදුණේ’ ‘මට මාර ස්වීප් එකක් නෙ බං ඇදුණේ’ ‘අපට ඇදෙන්නේ ඔහොම ස්වීප් තමයි’ වගේ කතන්දර කියනවා. දැන් මේ වතාවේ ඔන්න ස්වීප් එකට ස්වීප් එක ඇදිලා. නැත්නම්, ලොතරැයියට ලොතරැයිය ඇදිලා. ඒක වෙන්නෙ කොහොමද? ඒක තමයි රුපියල් 20ට තිබුණු ස්වීප් එක දැන් ඩබල් වෙලා. දැන් ඒක රුපියල් 40යි. එකක් ගන්න වෙන්නේ දෙකක් ගත්ත ගානට. දෙකක් ගත්ත ගානට එකක් අරගත්තම තෑග්ග ඩබල්ද? නෑ. තෑග්ග ඩබල් වෙලත් නෑ. තෑග්ග ඒකමයි.
එතකොට ලොතරැයි විකුණන අයගේ කමිෂන් එක? මේකෙ ගණන් හිලව් ඇතුව අපි ලියන්න යන්නේ නෑ. නමුත් කමිෂන් එකක් තියෙනවනේ. මේ කමිෂන් එක දළ වශයෙන් ලොතරැයියේ මිලට ප්‍රතිශතයක් විදියට තමයි සඳහන් වෙලා තිබුණේ ඉස්සර. හැබැයි පස්සේ මේකත් නතර වුණා. දැන් අද වෙද්දී ලොතරැයියෙ මිල ඩබල් වුණාට ලොතරැයි අලෙවිකරුවන්ට ලැබෙන ගාන ඩබල් වෙලා නෑ. වැඩි වෙලා නෑ.
ඉතින් මෙහෙම වුණාම මිනිස්සු ලොතරැයි ගනීද? මිනිස්සු ලොතරැයිවලට තියෙන සම්බන්ධතාව මොකක් වෙයිද? ඒ ගැන දැන් ලොකු කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි මේ ගැන එහෙන් මෙහෙන් හොයලා බලපුවාම ලොතරැයි අලෙවිකරුවන් බොහෝ දෙනෙක් කියන්නේ ආයෙත් ලොතරැයි අලෙවි කිරීම වෙනදා වගේ කරන්න බැරි වෙයි කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ලොතරැයි අලෙවි කරන්න ගියාම ඒවායින් ලැබෙන ලාභය ගැන බොහෝ දුරට ඉස්සරහට හිතන්න වෙනවා කියලා.
ඒ වගේම මිනිස්සු ලොතරැයි ගනීද කියන එකත් අද වෙද්දී ප්‍රශ්නයක් බවට පත්වෙමින් යනවා. හේතුව තමයි මිනිස්සු රුපියල් 20, 30 ලාභය හුඟක් හිතනවා. අපි හිතනවා නම් එහෙම හිතන්නේ නෑ කියලා, ඒක අපට වෙච්ච වැරැදීමක්. ඒ වගේම මේ ආණ්ඩුව මේ සෙල්ලම කරන්නේ නිසි ප්‍රමිතියකට නොවීම හින්දා තවදුරටත් මිනිස්සුන්ට ලොතරැයි ගැනිල්ල එපාවෙනවා. හේතුව, කිසිම තැනකදී කිසිම කෙනකුට ලොතරැයි ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි. ලොතරැයි ගත්තාය කියලා බොහෝ විට ප්‍රධාන දිනුම් ඇදෙන්නේ නෑ. එහෙම ඇදිලා තියෙනවා නම් ඇදිලා තියෙන්නේ ඉතාම සීමිත පිරිසකට පමණයි.
මේ තත්ත්වය යටතේ ලොතරැයි මිල දෙගුණ කිරීමේ අපේක්ෂිත පරමාර්ථය ඉෂ්ට වෙයිද? මේ වැඩේ අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙයිද? ලෝකෙ එහෙම දේවල් ඕනෙ තරම් තිබුණා. මේ හරහා අපි හිතමු දවසකට ඔවුන් අලෙවි කරාය කියලා රුපියල් ලක්ෂ 10ක ලොතරැයි. ඒක නිශ්චිත ගානක් නෙවෙයි, අනුමානිත මුදලක් අපි නියම කරනවා. ඒකට හේතුව මේ කාරණයේදී අපට මිලක් අනුමාන කරලා ගණන් හදාගන්න ඕනෙ හින්දා.
අපි හිතමුකෝ ලක්ෂ 10ක් කියලා. එතකොට මේ හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 10කට විකුණපු ස්වීප්වලින් ලක්ෂ 20ක් ලබාගන්න. හැබැයි ඔවුන්ට අමතක වෙච්ච කාරණය තමයි ඔවුන් දවසකට ලොතරැයි වික්ක ගාන දෙගුණ කරගන්න බැරි වුණොත් මේ ව්‍යාපෘතිය අසාර්ථක වෙනවා කියන එක. අපි හිතමු දවසකට ලොතරැයි 50,000ක් විකුණුවාය කියලා.
මේ 50,000 විකුණලා ඔවුන් හම්බකරපු ගාන හරියටම දෙගුණයක් වෙන්න නම් ඒ 50,000ම විකුණගන්න ඕනේ. යම් හේතුවක් නිසා මේ වෙලාවේ මේ රුපියල් 20 වැඩිකිරීම හින්දා 50,000කි විකුණපු ලොතරැයි 25,000 දක්වා අඩු වුණොත් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට පත්වෙනවා. ඒ වගේම මේ මිල වැඩිකිරීම කියන කාරණය මිනිස්සුන්ගේ ඔළුවට ගියාට පස්සේ ඒ හරහා ඇඳෙන චිත්‍රය නිසා ලොතරැයි ගැනීමේ සම්භාවිතාව ඉතා අඩුවෙන බව අපට විශ්වාසයි.
එහෙම අඩු වුණොත් 50,000 සීමාව සමහර විට 10,000ට 15,000ට අඩු වෙන්නත් පුළුවන්. එහෙම 10,000ට 15,000 අඩු වුණොත් ඔවුන් නොහිතපු විදියට අල්ලපු අත්තත් නැති, පයගහපු අත්තත් නැති තැනට පත්වෙනවා.
ඇත්තටම අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට ආණ්ඩු ගන්න තීරණ, ඒ වගේ තීරණ කියලා. එහෙටත් නැති මෙහෙටත් නැති සතපහකට වැඩක් නැති ගොන් තීරණ. ඒවා දැන් අපට හොඳටම පුරුදුයි. ඒක නිසා අපි එච්චර ඒවා ගැන කනගාටු වෙන්නේ නෑ. ඒවා ගැන දුක් වෙන්නේ නෑ. හැබැයි මතක තියාගත යුතු වැදගත්ම කාරණය වෙන්නේ ලොතරැයියක් මිලට ගත්තේ සාමාන්‍ය මිනිහා. අහිංසක මිනිහා.
ඒ මිනිහට ලොතරැයියේ මිල දෙගුණ කරලා ඒ හරහා ඔහු අපහසුතාවට පත්වුණු එකටත් වඩා භයානක කාරණය වෙන්නේ ලොතරැයි මණ්ඩල හෝ වෙනත් ලොතරැයි ආයතන තමන්ට ලැබෙන ලාභය ගැන විතරක් හිතන එක. තමන් ලාභ උපයනවා නම් මේ ලාභ ඉපයීම ඇතුළේ ඔවුන්ට ඇයි බැරි ඔවුන්ට මේ ලාභය උපයාගැනීමට උදව් කරන ලොතරැයි නියෝජිතයාට ඒ වාසිය ලබාදෙන්න. ලොතරැයි කූඩුවෙ මනුස්සයාට ඒ වාසිය ලබාදෙන්න.
පාරේ ලොතරැයි විකුණන මිනිහට ඒ ලාභය ලබාදෙන්න. ඔබ කොච්චර සාර්ථක ආයතනයක් වුණත් වැඩක් නෑ පාරේ ලොතරැයිය විකුණන මිනිහා තමයි ඔබේ ලොතරැයිය සාමාන්‍ය මනුස්සයා ගාවට ගෙනල්ලා දෙන්නේ. ඒ මනුස්සයා ගැන විශ්වාසය තියලා තමයි බොහෝ දෙනෙක් ලොතරැයි ගන්නේ. ඒ නිසා ඒ විදියට මේ ලාභය ලබාගත්තා නම් ඇතැම් විට මේ ලොතරැයි ව්‍යාපෘතිය මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. ඒ වගේම ලොතරැයිය හරහා ඔවුන් විශාල මුදලක් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් ඇයි ඔවුන්ට බැරි ලොතරැයියේ දිනුම දෙගුණ කරන්න? එහෙම නැත්නම් යම් විදියකින් වැඩි කරන්න? එහෙම නැත්නම් මෙතෙක් තිබුණු මුදලට වඩා වැඩි කරලා පෙන්නන්න?
මේ විදියේ උපක්‍රමවත් නොදැන නම් ලොතරැයියේ මිල වැඩිකරන්න උත්සාහ කරන්නේ, අපි ඔබට කියන්නේ ඔබේ ව්‍යාපෘතිය සාර්ථක එකක් කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙයි කියලා. ඒකට හේතුව තමයි ලොතරැයි මණ්ඩලය හෝ වෙනත් ලොතරැයි ආයතනයකට සාමාන්‍ය මනුස්සයා ගැන හිතන්නෙ නැතිව තමන්ගේ ලාභය ගැන විතරක් හිතලා වැඩ කරන්න එච්චර ලේසි වෙන්නේ නැති නිසා.
ජීවන පහන් තිළිණ










