‘මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්… කැලණිය රජමහා විහාරයෙන් සුවිශේෂ නාග රාජයෙක් මතුවෙයි. රනින් තැනූ කරඬුවක් හිසින් ගත් මෙම සුවිශේෂ නාග රාජයාගේ දර්ශනය රටේ හෙට දවස ගැන ඉතා සුබදායක නිමිත්තක් කියාපාන වාසනාවේ සහ සෞභාග්‍යයේ සංකේතයක් බව එහි වැඩවසන නායක ස්වාමින්වහන්සේ සඳහන් කළහ.’
‘ජනාධිපතිවරයාට තව තියෙන්නේ දින කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට අනිද්දාට කැලණියට පැමිණීමට නියමිතයි. ඒ සියලු සිදුවීම් අතර රත්තරන් කරඬුවක් හිසින් ගත් සුදු නාගයකු ස්වප්නයකින් මෙන් මෙලෙස හදිසියේ මතුව ඒම දේශයට පහළවන නව ජනාධිපතිවරයා ගැන සුබ පණිවුඩයක් ගෙන එන නිමිත්තක් බව නායක හාමුදුරුවෝ සඳහන් කළහ.’
අප කොයි කාටත් රත්තරන් කරඬුවක් හිසින් ගෙන කැලණි විහාරයට සම්ප්‍රාප්ත වූ සුදු නාගයා ගැන කියැවෙන ඒ විශේෂ ප්‍රවෘත්තිය සහ සංසිද්ධිය අමතක නැතැයි නිසැකය. එක අතකට ප්‍රවෘත්තියක් විදියට නොව ඇතැම් විට සුරංගනා කතාවක් හෝ ටෙලි කතන්දරයක් ලෙසින්ද එකී නාග රාජයා ගැන කතා පුවත මාධ්‍ය පුරා පැතිර ගියේය. මාධ්‍ය පුරා යැයි කිව්වාට සුදු නාග රාජයාගේ සුරංගනා කතාවට තටු දුන්නේ රජයට අයත් මාධ්‍ය සහ රාජපක්ෂලාට කිලෝ ගානට කඩේ යන මාධ්‍ය පමණය.
එම කතා පුවත හරහා එයට අදාළ වූවන් මතුකර පෙන්වීමට උත්සාහ දැරුවේ ගෝඨාභය රටට සෞභාග්‍යය සහ වාසනාව ගෙන එන නායකයකු වන බව සුදු නාග රාජයා විසින් වාසනාවන්ත නිමිත්තක් කොට පෙන්වා වදාළ බවය.
ඉතින් එය ජනතාව පිළිගත්තාද?
ඔව්, බොහෝ විට මිථ්‍යා මත හිසින් ගත්තන්ට රත්තරන් කරඬුවක් හිසින් ගත් සුදු නාග රාජයාගේ සිදුවීම හරි අපූරු අනුහසක්ම විය. නාගයා සුදෝසුදුය. කරඬුවද රත්තරන්ය. අනෙක කතා පුවත හෙළිකරන්නට මූලික වූයේද මහාචාර්ය පට්ටමක්ද ඇති දැනමුත් බවින් අනූන හිමිනමකි.
ඉතින් තව මොන කතාද? ගෝඨාභයගේ මැජික් ෆැෂන් එකේ ක්‍රියාකලාපය ඇක්ෂන් සහ ආරූඪ කරගත් මහිමාන්විත තේජස හරහා ජනතාවට එහෙම නොහිතුණා නම් පුදුමය. සමස්ථයක් ලෙස ගත් කල පාට පාට හීන දකින්නට කැමැති ශ්‍රී ලාංකේය ඡන්දදායකයන්ට සුදු නාග රාජයා සහ රන් කරඬුවේ කතාව ‘හෙනරාජ තෛලයටත් වඩා ගැම්මක් දුන්’ මන්තරයක් විය.
ඒ, 2019 ජනාධිපතිවරණ සමයේය. මේ, 2022 අවුරුද්දය. අද සුදු නාගයා නැත. රන් කරඬුවද නැත. එදා නායක හාමුදුරුවන් දෙසා වදාළ සෞභාග්‍යය හෝ සුබ පණිවුඩද නැත. කොටින්ම කියනවා නම් මොන කෙහෙල්මලක්වත් නැත.
තියෙන්නේ මොනවාද?
පීඩිත පන්තියේ මිනිසුන් සහ ගින්දරේ නගන යාදිනි අසන්නට ඇත. මධ්‍යම පාන්තිකයන් වීදියක් වීදියක් ගානේ හිස් පෙට්‍රල් කෑන් අතින් ගෙන පෙට්‍රල් ෂෙඩ් ගානේ දුවන කටුක දසුන් උදේ හවා දකින්නට ඇත.
බත් පොඩ්ඩක් රත් කරගෙන කන පුංචි මිනිස්සු උයාගන්න ගෑස් ටික නැතිව පෝලිම්වල කෑගසන ආකාරය දකින්නට ඇත.
ඒ සියල්ල අතර කළුවරේ ජරමරේ කරන සටනට වේලාවක් අවේලාවක් නැත. පළමුව පැය 3ක් වූ ඒ කළුවර යුද්ධය පසුව පැය 5, 6 වී දැන් දැන් පැය 12ට 13ට ළඟාවී ඇත.
තව මොනවද? තව කියන්නට බොහෝ දේ ඇත.
ගෑස් නැතිව නැවත ගල් ළිප් බඳින, ගෙදර උන්දැලාට දර ටිකට ගිනිකූර ගසා දල්වන්න භූමිතෙල් ටිකද නැත. භූමිතෙල් ළිපද දැන් ජනතාවට මහ ජාතියෙන් ගෑස් පෙන්නයි. එයා ගෑස් පෙන්නනකොට ඉලෙක්ටි්‍රක් ළිපද ගණන් උස්සයි. ගෑස් ටික ගණන් දාන නිසා භූමිතෙල් ළිප ගත්ත අයට දැන් උයන්නට භූමිතෙල්ද නැත. ඕනෑ කුජීතයක් වෙද්දෙන් කියා ඉලෙක්ටි්‍රක් කුකර් කනකර උකස් තියා හෝ ගත්ත අයට දැන් දැන් පාන්දරට උයන්න කරන්ට් එකද නැත. හැම දේම හිතට අරගෙන වද විඳිනකොට ඔළුව කැක්කුම එද්දී බොන්න පැනඩෝල් එකක්වත් දැන් දැන් නැති ගානය. පැනඩෝල් විතරක් නෙමේය. බොහොමයක් වූ බෙහෙත් වර්ග නැත.
හූල්ලන තරම පපුව දන්න නිසා කිරි දෙන අම්මලාගේ කිරි ටික වියැකී ගියාම දරු පැටියාට දෙන්න පිටි කිරිද නැත. තිබුණත් එහි ගාන කියන කොට ලේ ටිකද පිච්චී යන්නේය.
නාගයා පැමිණ පෙන්වා වදාළ අනුහස සෞභාග්‍යය කෝ…? මහා පුදුමය දනවන අරුම පුදුම වැඩ කරන විරුවාගේ බලසම්පන්න බව කෝ…? නාගයාගේ හිස මතින් රන් කරඬුව ගෙනාවැයි කීවාට අද මිනිසුන්ගේ අතේ රත්තරන් තියා තඹ කාසියක්වත් නැති තරම්ය.
එදා නායක හාමුදුරුවන් පැවසූ සෞභාග්‍යය කොහිද?
නයා පෙන්වා නයා ඇරිය තාලෙටම රාජපක්ෂලාගේ බොරු සෝබනය අද රටටම හෙළිවී හමාරය. පැයක් දෙකක් කරන්ට් කපන කාලේ, ‘අපි ආවාම විනාඩි පහක්වත් තමුන්නාන්සේලාව කළුවරේ තියන්නේ නැහැ’ යැයි කී මහින්ද රාජපක්ෂ, පෙට්‍රල් මිල රුපියල් පහකින් වැඩි කරපු දාට පසුවදා තම බැටෑලියන් එක සමග බයිසිකල් කටුවක නැග පාර්ලිමේන්තු ආ මහින්ද රාජපක්ෂ දැන් සැපදැයි ඇසූ කටින් අද නුඹලා හොඳින්දැයි අසන්නටවත් පාරකට බහින්නේ නැත.
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙනවා යැයි පැරැන්නෝ එදා කීවේ කට කහනවාට නොවේය. අද රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ සගයන් නිහඬය. ගෙවල්වලට වී ඔවුන් බොහෝ විට දොරගුළු ලාගෙන සිටිනවා වන්න ඇත.
හැබැයි අද පීඩාවට පත් ජනතාව පාරට බැහැලාය. ඔවුන්ගේ හඬටද පණ ලැබී ඇත. ‘ගෝඨා ගෝ හෝම්’ කියන්නට තරම් අද ඔවුන් නිර්භයව ඇත.
‘උදේ පාන්දර තුනටයි තෙල් ටික ගහගන්න ආවෙ මහත්තයෝ… දැනට පැය අටක් ගිහිල්ලා. තවම පෝලිමේ… ආටා එකේ රවුම් පහක් හයක් ගියේ නැත්තං දරුවොයි ගෑනියි බඩගින්නේ. මුන්ට හෙණ හත ගහන්න ඕනෑ…’ ඒ ත්‍රීවීල් රියැදුරකුගේ අඳෝනාවය.
‘රත්තරං මල්ලි කයිය ගැහුවා හෙට ඉඳං තෙල්වලින් කෑන් පුරවනවා කියලා. කෝ ඒ තෙල්? ඒවා එයා ගිල්ලද? එන්න කියන්න පෝලිමට ඇවිදින් බලන්න කියන්න අපේ දුක…’
ඒ ප්‍රයිවට් බස් හිමියෙකි.
‘කෝ යකෝ අර කියපු සුදු නයා…? එකයි වුණේ. උන් හැමෝම එකතුවෙලා අපට නයි ඇරියා. කාලකණ්ණි හැතිකරේ උන්ට වැහි නැති හෙණ වැදියන්…’
‘සැපද කියලා හැම වෙලේම මතුරපු අපේ මහරජා කෝ…? අද අපි එයාට කියනවා සැපද කියලා අහන්නෙ නැති නිසා අපි කියනවා හරි සැපයි මහත්තයෝ. ලැබෙන සැප තියලා ඉඳගන්න පුටුවක්වත් නැති ගානට අද අසරණ අපි දවසම පෝලිම්වල හිටගෙන…’
පෝලිම්වල හිටං වුණත් කියනවා අද. ‘හිටං’ හිටිය කාලෙකවත් අපට මෙහෙම වුණේ නැහැ. හිටං හිටං කියලා ජෝක් එකට කිව්වට මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණු කාලෙ අපිව පෝලිම්වල හිටෙව්වෙ නෑ. ඇත්තටම කියනව නම් ‘හිටං’ හිටිය නම් අපට මෙහෙම හිටං ඉන්න වෙන්නෙ නෑ…’
‘වැඩ කරන අපේ විරුවා’ කියලා එකෙක් ආවා. බලනකොට එයා වැඩක් කරන්නෙත් නැහැ. අපට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. ගෙදර ඉන්නකොට කරන්ට එක නැහැ. පාරට බැස්සම තෙල් ටික නැහැ…’
‘අනුහසයි සෞභාග්‍යයයි අරගෙන නාග රාජයෙක් ආවා කිව්වා. දැන් නයාත් නැහැ. අනුහසත් නැහැ. සෞභාග්‍යයත් නැහැ. තියෙන්නේ එකම එක දෙයයි. එයාලා අපට ඇරපු නයින්ට වැඩිය දිග පෝලිම් නම් අතන මෙතන හැම තැනකම තියෙනවා….’
‘හිතේ කේන්තිය නිවාගෙන ආතල් එකක් ගන්න හිතං රාජපක්ෂලාට නෝන්ඩි කරන්න ඕනෑවට වැඩ කරන අපේ විරුවා සින්දුව පෝලිම්වලදි දැම්මා. ඒකත් මුං තහනම් කළානෙ යකෝ…’
ඒ පෙළගැසුණේ කැලණිය රජමහා විහාරයට වැඩිය නාග රාජයා එදා පෙන්වූ අනුහසින් ඔදවැඩුණු මිනිසුන් අද කියන සෞභාග්‍යයේ කතාය. නිවුස් බලන සමහර දෙනකුට ඒ කතා රජයට විරුද්ධව ඇසෙන ආතල් වුණාට ඒ ඇහෙන්නේ පීඩිත පන්තියේ දුකය. වීදි මිනිසුන්ගේ වේදනාවය. අර කිව්වා වගේ එදා, ‘දැන් සැපද?’ කියා ඇසූ වගකිවයුත්තන් අද නිහඬය. නාග රාජයාගේ අනුහස ගැන කී නායක හාමුදුරුවෝද නිහඬය. නාග රාජයා සේම කරඬුවද අතුරුදන්ය. ඇසෙන්නේ අසරණ ඡන්දදායකයාගේ කටුක හඬය. පෙනෙන්නේ පෝලිම්වල රස්තියාදු වන වෙහෙසට පත් ඔවුන්ගේ විඩාබර මුහුණුය.
ඉතිං මෙහෙම අහමු අපි,
‘දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් ස්වාමිනේ
ලංකාවට මොකද මේ වුණේ…?’
ජීවන පහන් තිළිණ










