ශ්‍රී ලංකාවේ වාර්ගික, සිවිල් යුද්ධය නිමවී පසුගිය සතියට අවුරුදු 14ක් සම්පූර්ණ විය. එම මහා විනාශය වසර 30ක් පුරා මෙරට තුළ උද්ගතව තිබුණු මහා අර්බුදයකි. සිවිල් යුද්ධය එසේ නිමවුවත් ඉන් පසුව මෙරට තුළ ඇතිවුණු වෙනත් අනේක ආකාරයේ යුද්ධයන්ද බොහෝය.(Sri Lanka Latest News)
ජනතා අරගල, දේශපාලන අරගල ඉන් ප්‍රධාන තැනක් ගත්තේය. අද ඔබට මේ ලිපිය ලියා තබන දිනයේදීද උදය වරුවේ එක්තරා අමුතුම ආකාරයේ යුද්ධයක් මෙරට තුළ ඇරැඹීමට නියමිතය. මෙය සැබැවින්ම අපූරු ආකාරයක යුද්ධයකි. එනම් එය මහා සේනාවකට එරෙහි යුද්ධයක් නොව මහා සේනාවක් විසින් එක් පුද්ගලයකුට එරෙහිව සිදුකරනු ලබන මහා සංග්‍රාමයකි. කුමක්ද මේ අරුම පුදුම කතාව? මෙය සැබැවින්ම සෝබර වගතුගක්ද වන්නේ එහි පැතිකඩ බලන විටදීය. එනම් එක් මිනිසකුට තවත් මිනිසුන් සේනාවක් බියගැන්වී තිබෙන ආකාරය මෙම අපූරු යුද්ධය තුළින් දැකිය හැකිය.
අපගේ එදිනෙදා සමාජ රටාව තුළ සිටින සාමාන්‍ය මිනිසකුට මෙසේ මහත් සේ බියවී සිටින්නේ මහා බලගතු මිනිසුන් කණ්ඩායමකි. අද මේ දිනවල සමාජයේදී අපට උදේ හවස අසන්නට ලැබෙන්නේ එක්තරා සුවිශේෂ වචන දෙකකි. එය කුමක්ද? මහජන උපයෝගිතා කොමිසම එම ප්‍රධාන වදනයි. එයත් සමගම එකට ඇදී බැඳී තිබෙන අනෙක් වදන නම් ජනක රත්නායක නම් නාමයයි. ජනක රත්නායක යනු සමාජයේ සිටින සාමාන්‍ය මිනිසෙකි.
ඔහුගේ යම් විශේෂත්වයක් වන්නේ ඔහු මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් සභාපතිවරයා වීමය. මහජන උපයෝගිතා කොමිසම යනු රාජ්‍ය ආයතනයක් වන අතර එහි සභාපතිත්වය දරන පුද්ගලයා එසේ නම් රාජ්‍ය සේවකයෙකි. ජනක රත්නායකද එවැන්නෙකි. අද මෙම සුවිශේෂ මිනිසා ගැන අසන්නට ලැබෙන බොහෝ වගතුග අතිශයින්ම ආන්දෝලනාත්මකය. එම වගතුග ගැන කතාකරන්නට ප්‍රථම මෙම මිනිසා කවුරුන්දැයි යම් අයුරකින් හඳුනා ගනිමු.
58 වැනි වියෙහි පසුවන ජනක රත්නායක යනු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. මෙරට තුළ තිබෙන ප්‍රධාන පෙළේ දේපළ වෙළෙඳාම් සමාගමක සභාපතිවරයා වන ඔහු කාලයක් පුරා විවිධ රාජ්‍ය තනතුරුද දැරීය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. එසේම ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි.
ජනක රත්නායක මහතා 2009-2011 දක්වා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එසේම ඔහු රාජපක්ෂ රජය සමයේදී 2011 සිට 2013 දක්වා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය. එතැනින් පසුව ඔහු 2021 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ජනක රත්නායක මහතා බොහෝ අවස්ථාවලදී බොහෝ අසාධාරණ අවස්ථාවන්ට එරෙහිව කටයුතු කරන සහ තම අදහස් ප්‍රකාශ කරන පුද්ගලයකු ලෙස ප්‍රකටය. ඒ ආකාරයට පසුගිය කාලයේදී ඔහු ආශ්‍රිත කරගෙන බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිවුණේය.
එහි අලුත්ම සහ මෑතකදීම ඇතිවූ සිදුවීම නම් විදුලි ගාස්තු ඉහළ දැමීමේ සිදුවීමයි. මෙය කාලයක් පුරා මෙරටට බලපෑ විශාල අර්බුදයක්ද විය. මෙම ප්‍රශ්නයේදී පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ 27%කින් විදුලි ගාස්තු පහළ හෙළිය හැකි බවය. මෙයට වසරකට පෙරදී රජය විදුලිබල ගාස්තු 70%කින් පමණ ඉහළ දැමූ අතර, ඉන් පසුව පසුගිය 2023 පෙබරවාරි මාසයේදී නැවත විදුලි ගාස්තු 66%ක ප්‍රමාණයකින් ඉහළ දැමුවේය.
වත්මන් රජය මෙම නින්දිත අසාධාරණ ක්‍රියාවලිය සිදුකළේ බලවත් විරෝධතා රාශියක් මධ්‍යයේය. මේ අනුව මේ වනවිට මෙරට ජනතාව කබලෙන් ළිපට වැටී දැවෙමින් සිටින තත්ත්වයට පත්ව ඇත. කෙතරම් විරෝධතා තිබුණද මෙරට ප්‍රධාන රාජ්‍ය පාලකයාගේ නියෝගයන් මතද වත්මන් විදුලිබල ඇමැතිවරයා මෙලෙස විදුලිබල ගාස්තු අතිශය දරුණු ලෙස ඉහළ දැමීමට කටයුතු කළේ යැයි විවිධ පාර්ශ්ව චෝදනා කර තිබිණි.
මෙම විදුලිබල ගාස්තු අර්බුදය පසුගිය කාලය තුළ අතිශය උත්සන්න වීමත් සමග පසුගියදා රජය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරි ජුනි මාසය වන විටදී විදුලි ගාස්තු 3%කින් පමණ අඩුකිරීමට කටයුතු කරන බවයි. එහෙත් එහිදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක දැඩි ලෙස අවධාරණය කර සිටියේ 3%කින් නොව, විදුලි ගාස්තු 27%කින් අඩුකිරීමට හැකියාව ඇති බවය. එහෙයින් අඩුම තරමින් 20%කින්වත් විදුලි ගාස්තු අඩුකිරීමට රජය වහා කටයුතු කළ යුතු යැයි ඔහු කියා සිටියේය. ඔහු එම ප්‍රකාශය නිල නිවේදනයක් මගින්ද ඉදිරිපත් කර තිබුණේය. ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ විදුලි ඉල්ලුම සත්‍ය ඉල්ලුමට වඩා අධිතක්සේරු කර පසුගිය පෙබරවාරි මාසයේදී 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බව සභාපතිවරයා තම නිවේදනය මගින් හෙළිකර තිබිණි.
එම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි 35%කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බවද සඳහන් කර ඇත. මෙය සම්පූර්ණයෙන්ම රජය ගත් අසාධාරණ, වැරැදි තීන්දුවක් යැයි ඔහු කියා සිටියේය. ඒ අතරම ඉදිරියේදී නිවැරැදි වියදම් දත්ත වසං කරමින් 3%කින් පමණක් ගාස්තු අඩුකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩුකිරීම සඳහා නිවැරැදි දත්ත ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා යවා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දැන් මෙම කතාවේ අප එන්නේ හැරවුම් ලක්ෂ්‍යයටය. එසේනම් එය කුමක්ද? මෙම ලිපිය ඔබට ලියා තබන විටදී මුලින්ම ලියා තැබූ තනි පුද්ගලයකුට එරෙහි ජන සේනාවක යුද්ධය ඔබට මතකද? එම යුද්ධය දැන් මේ කියන මොහොතේ ආරම්භ වී තිබෙයි. යුද්ධය නම් ඉහත අප පවසා සිටි ජනතාවගේ පැත්ත ගත් මිනිසාට එරෙහිව යුද වදින දේශපාලනික වන්දිභට්ටයන්ගේ කතාවකි. මෙම නිගණ්ඨ දේශපාලකයන් මෙම කියන මොහොතේදී පාර්ලිමේන්තුව තුළදී අර මිනිසාට එරෙහිව ඡන්දයක් පවත්වන්නේ ඔහු මහජන උපයෝගිතා කොමිසමෙන් සහ එහි සභාපතිත්වයෙන් පලවා හරින්නටය.
මෙහිදී එම ජනතාවාදී මිනිසාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දේශපාලකයන් කණ්ඩායමක් සිටින අතර ඔහුට පක්ෂවද තවත් කණ්ඩායමක් සිටිති. මෙය එක් අතකට ඓතිහාසික, වාර්තාගත වූ සටනක් වනු ඇත. පසුගිය සමයක් පුරා ජනතාවාදී ප්‍රශ්නය ගැන මහත් හඬක් නැගූ රාජ්‍ය නිලධාරියකු ලෙස ජනක රත්නායක මහතා මේ වන විට පොදු ජනතාව අතර මහත් ගරුත්වයකට පත්ව ඇත. ඔහු රාජ්‍ය බලධාරීන්ට සහ නායකයන්ට කිසිදු බියක් හෝ පක්ෂපාතීත්වයක් නොදක්වා නිසි අසාධාරණයේදී සටන් වැදුණේය. අද රාජ්‍ය නායකයන් ඔහු ඉවත් කිරීමට සැරසෙන්නේ ඉදිරියටත් ඔහු මෙම කපටි කූට බලධාරීන්ට තර්ජනයක් වන හෙයිනි. එසේම බියක්ද ඇති හෙයිනි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම යනු කුමක්ද? ඒ ගැන යමක් සොයා බලමු. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් (Public Utility Commission of Sri Lanka – PUCSL) සභාව යනු 2002 වසරේ අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලිබල කර්මාන්තය සහ තවත් විවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවන ලද රාජ්‍ය ආයතනයකි.
තවද මෙරට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් මෙම සභාව ක්‍රියාත්මක වෙයි. එසේම තවත් අත්‍යාවශ්‍ය සේවාවන් දෙකක් වන ජල සේවා කර්මාන්තය සහ ඛනිජ තෙල් කර්මාන්තයද නියාමනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම නම්කර ඇත. ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙසටද එම සභාව කටයුතු කරයි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව යම් තීරණ ගැනීමේදී පාරදෘශ්‍ය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන බව පැවසෙයි. එනම් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ ප්‍රධානතම අරමුණයි. තීරණ ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍යභාවයකින් අවසාන තීරණවලට පැමිණීම කොමිසමේ කාර්යභාරයකි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2002 වසරේදී පිහිටුවන ලද්දේ එකල එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එවක අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා යටතේදීය. එවිට වෙළෙඳ ඇමැති ධුරය දැරූ රවී කරුණානායක මහතාගේ වෙළෙඳ අමාත්‍යාංශයට අදාළව එය ස්ථාපිත කරන ලදී. මෙහි අපූරු වගතුග නම් දැනට වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති මෙම රාජ්‍ය කොමිෂන් සභාව තුළ මේ වන විට අර්බුදය ඇතිවී තිබෙන්නේද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේදී වීමය.
මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වත්මන් රාජ්‍ය පාලකයන් උත්සාහ කරන්නේ මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර වෙනත් නව කොමිසමක් ස්ථාපිත කිරීමටය. එසේම මෙම වත්මන් රාජ්‍ය පාලකයන් යටතේ මහජන උපයෝගිතා කොමිෂන් පනත ඉවත් කර වෙනත් නව පනතක් හරහා නව කොමිසම ස්ථාපිත කිරීමට වත්මන් රජය සැරසෙයි.
මෙය ‘ඌරන්ගේ මාළු ඌරන් පිටම තබා කපනවා’ වැනි උපමාවක් සිහිගන්වයි. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවල මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමේ යෝජනාවක්ද තිබෙන බව වත්මන් විදුලිබල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
දැන් කතාවේ කූටප්‍රාප්තියට පැමිණ තිබේ. එනම් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 46කින් සම්මත වීමය. එහිදී ඡන්ද 123ක් යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද 77ක් ලැබී ඇත. මෙය නීච නිගණ්ඨයන්ගේ ජයග්‍රහණයකි.
ප්‍රියන්ත හෙට්ටිගේ










