පේරාදෙණිය සරසවියට පැමිණි මුත් දෙමළ යාළුවෙක් සොයාගැනීමේ පිපාසය හිතේ හැටියට සංසිඳවා ගැනීමට පිනක් නොවුණි. අපි එකම විශ්වවිද්‍යාලයේ හිටියද, අපි අතරේ වූයේ දුරස් බවකි. සරසවියට එන්නට පෙර මා හීන දුටු කොණ්ඩයේ මල් ගසා, පොට්ටු තියා අත්වැල් බැඳ දෙමළ මිතුරියන් සමග කෝවිල් යන එකමුතුවක් දර්ශනයක් දකින්නට නොහැකි විය.
ඉතා කෙටියෙන්ම කියන්නේ නම් අපි රැග් වූයේද වෙනමය. සෝෂල් ගත්තේද වෙනමය. එකට හන්තාන නැග්ගේද නැත. ඉංග්‍රීසි පන්තියේ පමණක් අපි එකට පැය ගණනක් ගතකළද නොයා බැරිකමට ගිය නිසා අපි යාළු මිත්‍රකම් හැදීමට තරම් යහපත් මනසක ඒ දේශනවලදී අපි නොහිටියා හෝ එසේ නැත්නම් අපි කොහොමත් ලොකු ඇයි හොඳයියක් නැති උන් ලෙස හිටියා වන්නට ඇත. අපේ මහා ශිෂ්‍ය සංගම්වල වූ මහා තැන්වලටත් අපි දෙගොල්ලන්ගේ සමගිය මේ රටට කොපමණ අවශ්‍යදැයි අමතක වී තිබුණු වග මතක් වන්නේ දැන්ය. ඉතා හදිසි අවස්ථාවක හැරුණුකොට අපි නෙවාසිකාගාරවලදීද උන්නේ සිංහල දෙමළ ළමුන් වෙනමය. ඉතා සුළුතරයක් උදේ හවා හිනා වුවද කතා කළද ඒ හදිසියේ බස් නැවතුමේ සිදුවන අන්දමේ කෙටිම කතාය. කතා පෙට්ටියක් වූ මට පවා ලොකු කතාවලට යන්නට නොහැකි විය. ඊට භාෂා ප්‍රශ්නයද හරස් වන්නට ඇත. එහෙත් ඒ පුංචි කතාවලින් ඉතිරි වුණු අපේ මතක මා සතුව නැත්තේම නොවේ.
අපි රාමනාදන් ශාලාවේ නේවාසිකව උන්නෙමු. පළමු වසර අප හිටි කාමරයට අල්ලපු කාමරයේ වූවේ වලස්මුල්ලේ සහ හෙට්ටිමුල්ලේ සිට පැමිණි සිංහල මිතුරියන් දෙදෙනා හැරුණු කල එහි අයිතිය තිබූ අනෙක් සගයා වූවේ ‘සින්ධුජාය’ය. හොඳ උස මහතකින් යුතු ‘සින්ධුජා’ බොහොම අහිංසක චරිතයක් වූවාය. ඇයගේ නිශ්ශබ්දකමට හේතුව ඇයගේ කාන්තා ලාලිත්‍ය මුසු තැන්පත් ගතියද? එසේ නැත්නම් අපේ ජාති ප්‍රශ්නයද යන්න මට හිතා ගන්නට අදටත් නොහැකිය. එහෙත් ඒ කිසිවක් නොව ඇය සැබැවින්ම අහිංසකය යන්න අදටත් මට හිතීම වෙනස් වන්නේ නැත.
කෙසේ වුවද ‘සින්ධුජා’ යනු යාපනයේ සිට පේරාදෙණිය සරසවියට පැමිණි, ඒ අවුරුදු හතරටම තමන්ගේ යාපනයේ ගෙදරට යාගත හැකි නොවූ තරුණියකි. සතියක් දෙකක් ගෙදර නොගිහින් ඉන්නට බැරි සාංකාවක් තිබුණු අපි ගෙදර දුවද්දී ඇය කොළඹ නෑදෑ ගෙදරකට ගොස් ආවාය. ඒ පිළිබඳ කිසිදු බරක් පතලක් නොමැතිව විමසූ විටද ඇය කීවේ ගෙදර යන්නට ඇය නැවකින් යායුතු බවකි. එදා උතුරේ වූ තත්ත්වය නොදැන හිටියද අද ඒ තොරතුරු දැනගන්නා කල මට ‘සින්ධුජා’ ගෙවූ ජීවිතයේ කටුක දුක්ඛිත බව නැවත නැවත මාව පසුතැවීමකට හිරකරයි. එකල අපිට ඇය ඇතුළු දෙමළ මුස්ලිම් මිතුරියන්ට තවත් ළංවිය හැකිව තිබුණා නම් ඔවුන්ගේ දුක බෙදාගන්නට යම් තරමකින් හෝ හැකිවන්නට තිබුණා මෙන්ම අපි අතර වූ අපිත් නොදන්නා විරසකය යම් දුරකට අකා මකා යන්නට ද ඉඩ තිබිණි. එසේනම් අද යාපනේ යද්දී ‘සින්ධුජා’ ඇතුළු යහළු මිත්‍රයන් පේරාදෙණි පවුලේ නෑදෑකම තුරුළුකොට මුණගැහෙන්නට තිබිණි. අවාසනාවට A 05 කණ්ඩායමේ සින්ධුජාගේ හෝ අන් යාපනේ දෙමළ මිතුරියන්ගේ සම්බන්ධතාවන් නැති විය. ඒ මතකය අදටද මගේ හිතට ලැජ්ජාවක් මෝදු කරවයි.
එකල යාපනේ සිට පැමිණි බොහෝ දෙනෙක් අවුරුදු හතරටම ගෙදර නොගිය වග මට දැනගැනීමට ලැබිණි. එක දවසක මගේ අතින් මෙලෙස කවියක් ලියැවුණි. එහි ඇත්තේ බොහෝ ප්‍රාථමික කාව්‍ය ලක්ෂණ වුවද ඒ ප්‍රස්තුතයට මගේ හදවතින්ම ආදරය කරමි. එදාට වඩා මට සින්ධුජාලගේ ආදරය ලබන්නට ලොබ බඳිමි. වයසින් මුහුකුරායත්ම තේරෙන අවබෝධ වන සත්‍යය කටුකය. එදා සරසවිවල වූ ශිෂ්‍ය ව්‍යාපාරවලට බලෙන් රැග් සීසන් තියා එකිනෙකා හඳුන්වා දෙමින්, එකිනෙකාගේ දුක තේරුම් ගන්නට, සහජීවනයෙන් ඉන්නට මෙන්ම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය අපිට දියකර පොවන්නට උත්සාහ ගනිද්දී මෙරට උගත් පරම්පරාව ලෙස මේ රටට අවශ්‍යම වූ සමගියේ අරුණලු සරසවි ලෝගුව අතරින් බෙදාහරින්නට නොහැකි වූ කාරණාව තේරුම් ගනිමින් සිටිමි. අපි තුන්ගොල්ලෝම එකට රැග් කළා නම් අදටත් අපිට අපි ඉතිරි වන්නට තිබිණි. දේශපාලකයන්ට කිසිදු විටක මෙරට සමගිය අවශ්‍ය නොවූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ අහිංසක සිසුන් පාවිච්චි කරමින් හෝ බලය ලැබීමය. උපාධි පිට උපාධි ලැබුණද ඒ යුගයේදී අපි හිටිය තැන, අපි හිතපු හැටි ගැන අමුතුවෙන් කීමට යමක් නැත්තේය. අදටත් අපි අපේ ගෙට් ටු ගෙදර් තියන්නේ සිංහල ළමුන් වෙනමය, දෙමළ ළමුන් වෙනමය. ඉතින් අපි කොයි තරම් දුප්පත්ද තාමත්. එහෙයින් එදා අපිට නොලැබුණු, අපිත් නොදැන නිහඬවම ගෙවීගිය අපේ සිවු අවුරුදු මතකයන් වෙනස් කරන්නට ආපස්සට යන්නට නොහැකි වුවත් අද සරසවිවල සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සහෝදරත්වයට කියන්නට ඇත්තේ ඔබේ එක මිතුරු හිනාවකට හුස්මකට මහා යුද දුම් ක්ෂණයකින් නිවාලිය හැකි වගය. එදාට දේශපාලන ගිනි දෙන්නන්ට ඒ ගිනි තමන් වෙතම තබාගැනීමට සිදුවනු ඇත.
කිවිය යුතු තවත් කතා මගේ හිත මත පෝලිම් ගැසී බලාහිඳී. එතෙක් මම මගේ යාපන ප්‍රේමය A-9 පාරේ කෙළවරක රඳවමි.
යාපනයේ සිටින අම්මාට,
ලංකාවේ උතුරු කොනේ
යුද දුම් අතරින් රිංගා
ආවෙමි මා ශිල්ප ගන්න
රට මැද්දේ සරසවියට
වසර ගණනකින් නොදිටිමි
ආදර අම්මේ ඔබේ මුව
වෙනද වගේ පොට්ටු තියන්
අම්මා කෝවිල් යනවද ?
සිවනාදන් චූටි මල්ලි
මාව මතක් කරනවාද?
අප්පා ගේන තල් ගෙඩිවල
කිරි තාමත් රසයි නේද?
මගෙ යාළුවා තංගමනී
බැඳලා ගිහින් හුඟක් කල්ද?
සඳ මැදියම කාමරයේදී
මතකෙට එනවා අම්මව
දමා එනු හිතයි විගහට
සරසවියද උපාධියද
මම ආවොත් හෙට උදේම
අම්ම තරහ ගන්නෙ නැද්ද ?
ඊට වඩා සිය ගුණයක්
ඔබට මාව වටී නේද?
මම යාපනේ පෙම්වතිය සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්…