කොළඹ ජාතික රෝහලට අනුබද්ධ (පුංචි බොරැල්ල ආසන්නයේ පිහිටි) හෘද රෝහලෙන් බාහිර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දහසකට ආසන්න බාහිර රෝගීන්ට වෛද්‍යවරුන් මාස දෙකකට ප්‍රමාණවත් ඖෂධ නියම කරන නමුදු අදාළ ඖෂධ මාස එකහමාරකටවත් ප්‍රමාණවත් නොවන බවයි රෝගීන් පවසන්නේ. (Sri Lanka Latest News)
එම තත්ත්වය මත හෘද රෝගීන්ට ඉතිරි දින කිහිපය සඳහා මුදල් ගෙවා පිටතින් ඖෂධ ලබාගැනීමට සිදුව ඇති බවත්, ඇතැම් රෝගීන්ට ආර්ථික අපහසුතා නිසා ලබාදී ඇති ඖෂධ ප්‍රමාණය පමණක් භාවිත කිරීමට සිදුව ඇති බව බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් කිහිප දෙනකු ‘මව්රට’ට පැවැසීය.
වෛද්‍යවරුන් මාස දෙකකට නිකුත් කරනු ලබන ඖෂධ නියමිත ප්‍රමිතියකින් තොරව පැකට්වලට දමා ලබාදීමෙන්ද ඒවායේ ගුණාත්මක බව අඩුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදාළ ඖෂධ නිකුත් කරනු ලබන කවුළුවල සිටින ඇතැම් ඖෂධවේදීන්ගෙන් විමසූ විට ඔවුන් සඳහන් කළේ මාස දෙකකට ප්‍රමාණවත් බෙහෙත් නියම ලෙස තිබේද යන්න රෝහලෙන් පිටවීමට පෙර ගණනය කර බලන ලෙසත්, අඩුවක් ඇත්නම් යළි ලබාගන්නා ලෙසත්ය.
මේ අතර අදාළ අංශයෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි හදවත් රෝගියකුට ලබාදෙන ඖෂධයක් වෙනුවට අත්වැරැද්දකින් වෙනත් ඖෂධයක් ලබාදීම නිසා ඔහුට ආසාදන තත්ත්වයක් ඇතිවීමෙන් පසුගිය සතියේ හෘද රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට සිදුවූ බවද හෙළිව තිබේ.
රෝහලේ බාහිර රෝගීන්ට බලපා ඇති මම ප්‍රශ්න පිළිබඳ සහ ඖෂධයක් වැරැදී ඇතැයි කියන සිද්ධිය ගැන දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ස්ථානීය පරීක්ෂණද පවත්වන බව හෘද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ‘මව්රට’ට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ඖෂධවේදීන් භාරව සිටින උසස් නිලධාරිනියක පැවැසුවේ දිනෙකට බාහිර රෝගී අංශය වෙත රෝගීන් 1,200ක් පමණ පැමිණෙන බැවින් ඖෂධ පැකට් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමිතියකින් යුතුව සිදුකිරීමට විවිධ අපහසුතා බලපා ඇති බවයි.
ප්‍රේමලාල් විජේරත්න