මුදල් විශුද්ධිකරණ චෝදනාවට ඉන්දියාවේ කාර්යාලයටත් පොලීසියෙන් පැන්නා… මුදල් විශුද්ධිකරණයට ප්‍රංශ අධිකරණයෙන් ලයිකා සමාගමට යුරෝ මිලියන ගණන් දඩ ගැහුවා…
‘ලයිකාමොබයිල් :ඛහජ්පදඉසකැ* හි ප්‍රංශ සමාගමේ ප්‍රධානීන්ට මුදල් විශුද්ධිකරණය සඳහා දඩ මුදල් සහ සිර දඬුවම් නියම කරයි…’(Sri Lanka Latest News)
මෙයට දින කිහිපයකට ඉහතදී ප්‍රංශය තුළින් ලොව පුරා ඇසෙන්නට ගත් මෙම ආන්දෝලනාත්මක කතාව කුමක්ද? එම සුවිශේෂ පුවත තවදුරටත් මෙසේ කියා සිටියි.
‘ලයිකාමොබයිල් ප්‍රංශ සමාගම තුළ සිදුව ඇති මුදල් විශුද්ධිකරණය සහ අගය එකතු කළ බදු (වැට්) මුදල් වංචාව සම්බන්ධයෙන් පැරිස් අධිකරණයක් විසින් පසුගිය බ්‍රහස්පතින්දා යුරෝ මිලියන 10ක දඩයක් සහ එම ප්‍රධානීන්ට එරෙහිව සිර දඬුවම්ද නියම කරන ලදී. මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝපර් ටූලි (Christopher Tooley) මෙම වැට් බදු වංචාවට මුදල් විශුද්ධිකරණයට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වීම හේතුවෙන් ඔහුට සිර දඬුවමක් සහ විශාල මුදල් දඩයක්ද නියමව ඇත.
මේ අනුව ක්‍රිස්ටෝපර් ටූලිට වසර 03ක සිර දඬුවමක් සහ යුරෝ 2,50,000ක දඩ මුදලක් නියම කර ඇත. එසේම ඔහුට ව්‍යාපාර කළමනාකරණය උදෙසා වසර 05ක ‘ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමේ’ තහනමක්ද අධිකරණය විසින් පනවා ඇත. මේ අතර ප්‍රංශයේ ලයිකාමොබයිල් සමාගමේ සාමාන්‍යාධිකාරී ඇලන් ජෝචිමෙක් (Alain Jochimek) හටද වසර 03ක සිර දඬුවමක් හා යුරෝ 1,20,000ක මුදල් දඩයක්ද නියම කරන ලදී. ඔහුටද වසර 05ක ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමේ තහනමක් පැරිස් අධිකරණය විසින් පනවා ඇත. මේ අතරම මෙම චූදිතයාට එරෙහිව පනවා ඇති තවත් අපූරු තහනමක්ද ඇත.
එනම් ඔහු මාස 18ක කාලයක් පුරා ඉලෙක්ට්‍රොනික අධීක්ෂණ අත් පලඳනාවක්ද පැලඳිය යුතුය. මෙය ඉංග්‍රීසි බසින් Electronic Monitoring Bracelet ලෙසින් හඳුන්වා දී ඇත. මෙය විවිධ චූදිතයන්ගේ එදිනෙදා කටයුතු අධීක්ෂණය කරන නවීන තාක්ෂණික උපකරණයකි. අනෙක් චූදිත පුද්ගලයා වන ඇන්ඩෲ ඉන්ග්ලන්ඩ් (Andrew England) නමැත්තා අධිකරණය විසින් නිදහස් කර ඇත. ප්‍රංශය තුළ ඇති නෛතික පාලන තන්ත්‍රයක් තුළදී මෙසේ රාජ්‍ය බදු අධිකාරීන් රැවැටීම මෙම චූදිතයන්ට එරෙහිව නැඟුණු ප්‍රබල චෝදනාව වෙයි.
මෙම නඩු තීන්දුව හරහා ලයිකාමොබයිල් සමාගමට ඍජුව පනවනු ලැබූ යුරෝ මිලියන 10ක සුවිශාල දඩ මුදල කොටස් දෙකකට බෙදී යයි. එනම් Lycamobile Services නමැති සමාගමට යුරෝ මිලියන 03ක්ද, Lycamobile France නමැති සමාගමට යුරෝ මිලියන 07ක්ද දඩ නියම කර ඇත. 2014න් පසුව වසර කිහිපයක් පුරා මෙම මුදල් විශුද්ධිකරණ සහ වැට් බදු වංචා එම සමාගම තුළ සිදුව ඇතැයි පැවැසෙයි. වසර කිහිපයක් පුරා ඉතා සියුම්ව සිදුකරන ලද ආරක්ෂක සහ නෛතික අංශ විමර්ශනයන් හරහා මෙම නඩුව ගොනුකර තිබූ අතර, එහි අවසන් තීන්දුව ලබාදී තිබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. දැන් එසේ නම් ප්‍රංශයේ සිදුවූ මෙම සිදුවීම අප රටට වැදගත් වන්නේ කෙසේද?
ලයිකාමොබයිල් යනු බි්‍රතාන්‍යයේ ප්‍රධාන මූලස්ථානය පිහිටුවා ඇති ජංගම අථත්‍ය ජාල ක්‍රියාකරුවකු (Mobile Virtual Network Operator) ලෙස හැඳින්විය හැකිය. එනම් සරලව කිවහොත් අන්තර්ජාල ජංගම දුරකතන සන්නිවේදන සමාගමකි. මෙයට වසර 17කට පෙර එනම් 2006 වසරේදී මෙම සමාගම මූලික වශයෙන් බි්‍රතාන්‍යය තුළ ආරම්භ කරන ලදී. මෙය වර්තමානයේ කෙතරම් විශාල සමාගමක්ද යත්, දැනට එහි කටයුතු ලෝකයේ රටවල් 60ක් පුරා ව්‍යාප්තව පවතී.
දැන් මෙම සුවිශාල සමාගමේ අයිතිකරුවා වන්නේ කවරෙක්ද? ඔහු නම් ලෝකය පුරා බොහෝ දෙනකු අසා ඇති බි්‍රතාන්‍ය පුරවැසිභාවය උසුලන සුබාස්කරන් අලිරාජා (Subaskaran Allirajah)ය. මෙම සමාගම් සමූහයෙහිම තනි අයිතිය ඇත්තේ ඔහු සතුවය. මෙම මහා ධනකුවේරයාගේ ශ්‍රී ලංකා සම්බන්ධය කුමක්ද? එය දැනට වසර ගණනාවක් පුරා දිවෙන එකකි. එනම් සුබාස්කරන් අලිරාජා යනු මෙරට ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහ ඊ.ඒ.පී. ව්‍යාපාරික ජාලයේද හිමිකරුවාය. දැනට 51ක් වැනි වියෙහි පසුවන ඔහුගේ මූලික නිජබිම වන්නේ ශ්‍රී ලංකාව වන අතර, ඔහු ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති පුද්ගලයකු වෙයි.
මෙම සුබාස්කරන් අලිරාජා ගැන මෙයට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් අසන්නට ලැබුණු ආන්දෝලනාත්මක පුවත කුමක්ද? එනම් මෙරට තිබෙන ප්‍රධානතම ව්‍යාපාර දෙකක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් නමැති ආයතන දෙක මිලදී ගන්නට සැරසෙන ප්‍රකෝටිපතියා මොහු බවට හෙළිව තිබෙයි. වත්මන් ශ්‍රී ලංකා රජය තමන් සතු ඇතැම් රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශය වෙත විකුණා දැමීමට සැලසුම් කර ඇති පසුබිමකදී මෙම වගතුග හෙළිව ඇත. මේ හෙයින් මෙම ධනකුවේරයාගේ භූමිකාව මෙරටට ඉතා වැදගත්ය.
සුබාස්කරන් අලිරාජා මෙයට මාසයකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔහුගේ නව ව්‍යාපාරවලට අදාළව එම කටයුතු හඳුන්වාදීමේ උත්සවයක්ද කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත්විණි. මොහුගේ මෙම ලයිකාමොබයිල් සමාගමට එරෙහිව පසුගියදා ප්‍රංශයේ අධිකරණය විසින් ගත් ප්‍රබල තීන්දු ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. මෙලෙස මොහුගේ සමාගම්වලට එරෙහිව පැනනැගුණු දූෂණ වංචා චෝදනාවන් බොහෝ විය. එනම් වසර කිහිපයක් පුරා විටින් විට එම චෝදනාවන් එල්ලවී තිබුණු අතර විමර්ශනයන්ද සිදුවෙමින් තිබිණි.
ලයිකාමොබයිල් සමාගමේ අයිතිකරුවා වන සුබාස්කරන් අලිරාජා යනු එංගලන්තයේ රාජ්‍ය පාලක පක්ෂයට බොහෝ සෙයින් මූල්‍ය ආධාර සැපයූ අයකු ලෙස ප්‍රකටය. එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයන්ට මෙන්ම බි්‍රතාන්‍ය රජ පවුලේ සාමාජිකයන්ට පවා ඔහු විවිධ ආකාරයේ ආධාර උපකාර ලබාදුන් අයකු බවට ප්‍රකටය. පසුගිය දශකයක පමණ කාලයක් පුරා ඔහු කොන්සර්වේටිව් පක්ෂයට පවුම් මිලියන 1.5කට අධික මුදලක් ලබාදී ඇත. මෙලෙස මුදල් ලබාදීමට අදාළව ලයිකාමොබයිල් සමාගම නිසි බදු ක්‍රමවේදයන් පිළිපදින ලද්දේ දැයි සොයා බැලීමට විමර්ශනයන්ද පවත්වන ලදී.
එංගලන්තය තුළදී එසේ වංචාවක් සිදුවී තිබුණද එම තොරතුරු යම් පාර්ශ්ව විසින් වසන් කරන ආකාරයක්ද දක්නට හැකි විය. එහෙත් පසුගිය කාලයේ ප්‍රංශය තුළ සිදුව තිබුණු යම් අක්‍රමිකතා ගැන එසේ ගැලවී සිටීමට ලයිකාමොබයිල් සමාගමට නොහැකි විය. ප්‍රංශය තුළ සිදුව ඇති එම දූෂණ වංචා ගැන තොරතුරු සෙවීමට එකල ප්‍රංශ බලධාරීන් විසින් එංගලන්තයේ ප්‍රධාන ලයිකාමොබයිල් සමාගමෙන් ඉල්ලා තිබුණේ එංගලන්තයට පැමිණ එම විමර්ශන සිදුකිරීමට ඉඩ දෙන ලෙසය. එහෙත් කිසි විටෙකවත් බි්‍රතාන්‍ය රජය එයට ඉඩ දුන්නේ නැත.
එංගලන්තය සහ ප්‍රංශය යනු යුරෝපයේ ඉතා ප්‍රබල එමෙන්ම ඉතා මිත්‍ර රටවල් දෙකකි. එහෙත් එහිදී ඉහත විමර්ශනය සිදුකිරීම සඳහා ප්‍රංශ බලධාරීන්ට එංගලන්තයට ඇතුළු වීමට අවසර ලබාදුන්නේ නැත. අවසානයේදී ප්‍රංශයේ බලධාරීන් මෙම සිදුවීම අත්හැරියේ නැත. ලයිකාමොබයිල් සමාගමට එරෙහිව ඇති මූල්‍ය විශුද්ධිකරණ සහ වැට් බදු පැහැර හැරීමේ චෝදනා ප්‍රංශය තුළදීම විමර්ශනයට ගැනිණි.
අවසානයේදී පැහැදිලිවම පෙනීගොස් තිබුණේ යුරෝ මිලියන ගණනාවක සුවිශාල වංචාවක් සිදුව ඇති බවය. ඒ අනුව විමර්ශන බලධාරීන් ලයිකාමොබයිල් සමාගමට එරෙහිව නඩු පවරනු ලැබුවේය. අද යුරෝ මිලියන 10ක සුවිශාල දඩයක් සහ චූදිතයන්ට දීර්ඝකාලීන සිර දඬුවම් පවා පමුණුවා ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එම දඬුවම් සියල්ල පසුගියදා සිට ක්‍රියාත්මක විය.
ලෝකයේ රටවල් 60ක පමණ ව්‍යාපාර කටයුතු සිදුකරන ලයිකාමොබයිල් සමාගම සතුව මේ වන විට මිලියන 25කට අධික පාරිභෝගිකයන් පිරිසක් සිටින බව පැවැසෙයි. මෙලෙස මෙම සමාගම ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ඉතා අඩු මුදලට පාරිභෝගික සේවා සපයන ආයතනයක් ලෙසිනි. කෙසේ හෝ මෙම සමාගම උපයන ආදායම් පවුම් බිලියන ගණනින් වන බව පැවැසෙයි. එනම් සාමාන්‍යයෙන් පසුගිය එක් වසරකට අදාළව පවුම් බිලියන 03ක සුවිශාල ආදායමක් ඔවුන් උපයා ඇත. අද ලෝකයේ සිටින ප්‍රකට ධනකුවේරයන්ගේ ලැයිස්තුවටද සුබාස්කරන් අලිරාජා ඇතුළුවී තිබෙන්නේද එහෙයිනි.
ඔහුට අද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවා පහසුවෙන් මිලදීගත හැක්කේ එහෙයිනි. පසුගියදා මෙරට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් යන ව්‍යාපාර දෙක මිලදී ගැනීම සඳහා ඔහු අප රටේ බලධාරීන් සමග කිහිප වතාවක් සාකච්ඡා පවත්වා ඇත. එහි අලුත්ම පුවත ලෙස වාර්තා වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා එංගලන්තයේදී සුබාස්කරන් අලිරාජා හමුවී සාකච්ඡා පැවැත්වූ බවය.
සුබාස්කරන් අලිරාජා යනු ඉන්දියාව තුළද ඉතා දැවැන්ත ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රකෝටිපතියෙකි. මේ අනුව එම ප්‍රධාතම ව්‍යාපාරයක් වන්නේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ‘ලයිකා ප්‍රඩක්ෂන්ස්’ය. මේ මගින් ඉන්දියානු සිනමාව තුළ දැවැන්ත සිනමා නිර්මාණ නිෂ්පාදනය කරයි. එනම් පසුගිය වසර 10කට ආසන්න කාලයක් තුළදී මෙම සමාගම දැවැන්ත සිනමා නිර්මාණ 20කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.
ඉන්දියානු රුපියල් කෝටි සිය ගණනක් මෙම එක් නිෂ්පාදනයක් වෙනුවෙන් වැයවෙයි. ඔහුගේ සමාගම නිෂ්පාදනය කළ අති දැවැන්ත දෙමළ ඉතිහාස සිනමා නිර්මාණයක් වන ‘පොන්නියන් සෙල්වන්’ (Ponniyin Selvan) නමැති චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500ක් වැය කළේය. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,500ක් පමණ වෙයි. මොහු මෙම චිත්‍රපට හරහා තමන් වැයකළ මුදල මෙන් හත්ගුණයකවත් ලාභයක් උපයා ඇත.
මේ වටපිටාවේ තවත් සුවිශේෂ පුවතක්ද හෙළිව ඇත. එනම් පසුගියදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විටදී පැවැත්වූ උත්සවයේදී ප්‍රකාශ කෙරුණේ ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් 07 දෙනකුටද අලුතින් චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා ඔහුගේ සමාගම වියදම් දරන බවය. එම කාර්යය සඳහා මේ වන විට අදාළ ගිවිසුම් අස්සන් කිරීමද සිදුකර ඇත. දැනට සුබාස්කරන් අලිරාජා සතුව මෙරට ස්වර්ණවාහිනී රූපවාහිනී සමාගම සහ එෆ්.එම්. ගුවන්විදුලි නාලිකා 03ක්ද ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ
මුදල් විශුද්ධිකරණ චෝදනාවට ඉන්දීය පොලීසිය සුබාස්කරන්ගේ සමාගමකට කඩා පනී…
මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැරහැරීම යන චෝදනා මත ඉන්දියාවේ මධ්‍යම විමර්ශන ආයතන චෙන්නායිහි ලයිකා නිෂ්පාදන සමාගම් කාර්යාලය වැටලූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ලයිකා මොබයිල් හිමිකරු වන සුබාස්කරන් 2014 දී ඉන්දියානු විනෝදාස්වාද සමාගමක් වන Lyca Productions ආරම්භ කරන ලදී. Lycamobile හි උප සමූහයක් වන නිෂ්පාදන චිත්‍රාගාරය, ඉන්දියාවේ නිෂ්පාදිත දෙමළ චිත්‍රපට නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී ඇත.
Lyca සතුව දැනට ශ්‍රී ලංකාවේ ස්වර්ණවාහිනී රූපවාහිනී විකාශන සමාගම මෙන්ම සමූහයේ අනෙකුත් සමූහ සමාගම්ද පවතී.
ඔවුන් PS 1 චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් චෙන්නායිවල ජනප්‍රියත්වයට පත්විය.










