‘ඔය කියන කාලයේ මේ ළමයාට වයස අවුරුදු 6-7ක් විතර ඇති. ඔහු එයාගෙ තාත්තා එක්ක ඒ කාලයේ ගුජරාටයේ වඩිනගර් දුම්රිය ස්ථානයේ තේ පැන් විකිණුවා. තාත්තගේ රැකියාවට ඔහු උදව් උපකාර කරමින් බොහෝ කඩිසරව කටයුතු කළා. වඩිනගර් දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණි විටදීම ඔවුන් ඉතා යුහුසුලුව මගීන්ට තේ පැන් විකිණීම සිදුකරනු ලැබුවා. මේ කාලය 1957 වැනි වසරක් යැයි සිතන්නට පුළුවන්. මේ පිරිමි ළමයා දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක තුන්වැන්නායි. කුඩා කාලයේදීම ඔහුගේ ජීවිතය වචනාර්ථයෙන්ම ඉතා අපූරු එකක්. මේ පවුල පහළ මධ්‍යමපාන්තික පවුලක්. ඔවුන්ගේ නිවාස පවා ඉතා දුප්පත් තත්ත්වයේ තිබුණේ. භූමිතෙල් ලාම්පු තමයි රිත්රියේදී දල්වනු ලැබුවේ. ඔහු බොහෝ දක් ගැහැට මැද නිසි පාසල් අධ්‍යාපනයක්ද නැතිව කාලය ගෙවී යද්දී වයසින් මුහුකුරා ගියා. වයස අවුරුදු 18 වන විටදී ඔහු හිතුවක්කාර ලෙස විවාහයක්ද සිදුකර ගත්තා. ඉන් පසුව ඉතා ඉක්මනින්ම එම විවාහය හැරදමා තම පවුලෙන්ද බැහැරව හිමාලයේ සැරිසරන්නට ගත්තා. ඔහුගේ ජීවිතය එක්තරා අයුරිකින් අද්භූත එකක් වුණා. සමහර කාලවලදී ඔහු එක දිගට මාස ගණන් අතුරුදන්ව සිටියා. ගිරි වනාන්තරවල තිබෙන පැරැණි ආශ්‍රම, පන්සල්වලට ගොස් ඔහු ජීවිතය ගතකළා. කෙසේ හෝ පසුකාලයකදී ඔහු උයන පිහන කෝකි රස්සාවල්ද කළා. ඒ වුණත් පසුකාලීනව ඔහු අධ්‍යාපනයට නැඹුරු වුණා. පාසල් ගියා. අවසානයේදී ඔහු විශ්වවිද්‍යාල උපාධියක්ද ලබාගත්තා. ඔහු පසුව දේශපාලනයටත් සම්බන්ධ වුණා.’
තේ විකිණූ කොලු ගැටයකු ගැන කියැවෙන මෙම අපූරු කතාන්දරය කුමක්ද? මෙම වගතුග කියා සිටින්නේ ප්‍රකට ඉන්දීය ලේඛකයකු වන නිලන්ජන් මුකේපාධ්ය (Nilanjan Mukhopadhyay) විසිනි. ඔහු විසින් රචිත ලොව ප්‍රකට ග්රන්ථයක් වන ‘ද ඇනටමි ඔෆ් නරේන්ද්‍ර මෝදි’ The anatomy of Narendra Modi – the man and his politics නොහොත් ‘නරේන්ද්‍ර මෝදිගේ කාය විද්‍යාව’ නමැති ග්රන්ථයෙහි එක් තැනක එසේ සඳහන් වෙයි. මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතාපදානය ඇසුරිනි. එහි දුම්රියපළෙහි තේ පැන් විකුණන කොලු ගැටයා වන්නේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. අද ලොව සිටින ප්‍රකට සහ ජනප්‍රිය රාජ්‍ය නායකයකු වන නරේන්ද්‍ර මෝදිගේ අතීත ජීවිතයේ අපූරු කතාන්දර රැසක් මෙම ග්රන්ථයට ඇතුළත්ය. නරේන්ද්‍ර මෝදි යනු ඉතා දුක් ගැහැට ගෙවමින් තම ජීවිතයේ මුදුන් පෙත්ත වෙත පැමිණි ජනනායකයෙකි. ඔහු පසුගිය කාලයක් පුරා දේශපාලනය තුළදී හරඹ කළේ සුප්‍රකට ඉන්දියානු රාජ වංශයක් වන ඓතිහාසික නේරු-ගාන්ධි පවුල සමගය. එම කතාන්දරය ඉතා දීර්ඝ එකකි. එහෙත් කෙසේ හෝ එම රාජවංශය පරදවමින් නරේන්ද්‍ර මෝදි නමැති ‘තේ විකිණූ කොලු ගැටයා’ අද ආසියාවේ මහා බලවතාවූ ඉන්දියාවේ අගමැති ධුරයට පත්වී සිටියි. මෙය වදනින් විස්තර කළ නොහැකි සුවිශාල ජයග්‍රහණයකි. ඉහත ග්‍රන්ථය එම ජයග්‍රාහී ගමන ගැන අපූරු රසවත් සටහන් තබයි. දැනට පිටපත් ලක්ෂ ගණනක් විකිණී ඇති මෙම ප්‍රකට ග්‍රන්ථයේ වගතුග ගැනත්, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ රසවත් ජීවන පුවත ගැනත් අද ඔබට මුලින්ම ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙර ඉන්දියාවෙන් අසන්නට ලැබුණු තවත් අපූරු කතාන්දරයක් හේතුවෙනි.
මෙයද භාරතයෙන්ම ඇසෙන ඉතා දුර්ලභ පුවතකි. එනම් මෙම සුවිශේෂ ඉන්දියානු මිනිසාගේ නම ආචාර්ය ශෂී තරූර් (Dr. Shashi Tharoor)ය. ශ්‍රී ලංකාවේ අපට මෙම නාමය ආගන්තුක වුවද ඉන්දියාව තුළ ඔහු යම් අයුරකින් ප්‍රකට වූ පුද්ගලයෙකි. ඔහුට අදාළ සිදුවීම කුමක්දැයි ප්‍රකාශ කරන්නට පෙර ඔහුගේ වගතුග කුමක්දැයි සොයා බලමු.
ශෂී තරූර් යනු ඉන්දීය රජයේ හිටපු ඇමැතිවරයෙකි. එනම් ඔහු ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සින්ග්ගේ රජය යටතේ වරක් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ධුරයද, තවත් වරක් මානව සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයද දැරීය. දැනට 66 වැනි වියෙහි පසුවන ශෂී තරූර් උපත ලබා ඇත්ත් මහා බි්රතාන්යයේ (එංගලන්තයේ) ලන්ඩන් නුවරය. එසේ වන්නේ එකල ඔහුගේ මවුපියන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට එංගලන්තයට සංක්‍රමණය වී සිටි හෙයිනි. කෙසේ හෝ පසුකාලීනව ඔහු ඉන්දියවේ ජීවත් වූ අතර දැනට ඔහු ඉන්දියානු ජාතිකයකු වෙයි. ශෂී තරූර් යනු ඉන්දියානු ජාතික කොංග්රස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වන අතර, ඔහු එම පක්ෂය නියෝජනය කරමින් දැනට ඉන්දියානු ලෝක් සභාවේ (පාර්ලිමේන්තුවේ) මන්ත්‍රී ධුරයක් වසර 13ක් පුරා නොකඩවා දරමින් සිටියි. එනම් ඔහුට එම මන්ත්‍රී ධුරය මැතිවරණ ජයග්රහණයන් හරහා හිමි වන්නේ 2009 වසරේදීය. මේ අනුව පෙනී යන්නේ ඔහු ජනතාව අතර ඉතා ප්‍රකට, එමෙන්ම අතිශය ජනප්‍රියතාවක් සහ විශ්වාසයක් හිමිකරගත් දේශපාලකයකු ලෙසිනි. මෙම ඉන්දියානු මිනිසාගේ අනෙක් සුවිශේෂ කතාන්දරය වන්නේ ඔහු විදේශ තානාපති ධුරයන්ද හෙබවීමය. එනම් ඔහු වසර 05ක් පුරා එක්සත් ජාතීන්ගේ සන්නිවේදන සහ මහජන තොරතුරු පිළිබඳ ලේකම් ධුරයද දැරීය. ශෂී තරූර් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක සහ ඉන්දියාවේ නවදිල්ලි විශ්වවිද්‍යාලයේද උපාධිධරයකු වෙයි. එමෙන්ම ඔහු ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමිකරගෙන සිටියි.
දැන් ඔබට මෙම සුවිශේෂ මිනිසා ගැන කරුණු හොඳින්ම පැහැදිලි වනු ඇත. එසේනම් අද අප එහු ගැන කියන්නට යන්නේ කුමක්ද? ආචාර්ය ශෂී තරූර් මේ වන විට ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ලෙස කටයුතු කරමින් සිටියි. පසුගියදා ඉන්දියාවෙන් අසන්නට ලැබුණේ එක්තරා ආකාරයකින් කිසිදු කලක අසන්නට නොලැබෙන ආකාරයේ අපූරු පුවතකි. එනම් මෙම 2022 වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ සභාපතිත්වය සඳහා වන මැතිවරණයට (ඡන්දයට) මෙවර වසර 20කට පසුව ඉන්දීය ගාන්ධි පවුලේ සාමාජිකයකු පත් නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබීමය. ඒ අනුව මෙවර එම පක්ෂ මැතිවරණය සඳහා ප්‍රථම වතාවට ගාන්ධි පවුලේ නොවන සාමාජිකයකු පත්කිරීමට තීරණය කර ඇත. එම තීරණයට අනුව පක්ෂයේ සභාපතිත්වය සඳහා තරග වැදීමට නියමිතව සිටින්නේ ඉහත අප කතා කළ ආචාර්ය ශෂී තරූර්ය. මෙම පක්ෂ සභාපතිත්වය සඳහා ඔහු හා තරග කිරීමට තවත් ඉන්දීය කොංග්රස් පක්ෂ නායකයකු වන මල්ලිකාර්ජුන් කාර්ජ් (Mallik arjun Kharge) ද ඉදිරිපත්ව සිටී. ඔහු දැනට 80 වැනි වියෙහි පසුවන හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සින්ග්ගේ රජය යටතේ වරක් කම්කරු සහ රැකියා කටයුතු අමාත්‍ය ධුරයද, තවත් වරක දුම්රිය සේවා කටයුතු අමාත්‍ය ධුරයද දැරීය. ඔහු වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්ද දරනු ලබන අතර පසුගිය 2022 ඔක්තෝබර් 01 වැනිදා දක්වා ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක ධුරයද දැරීය. එසේම ඔහු පසුගිය වසර 05ක් පුරා ඉන්දීය ලෝක් සභාව නියෝජනය කරන ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වයද දැරීය. මේ ආකාරයට ඔහුද සුවිශේෂ දේශපාලන නායකයෙකි.
දැන් ඔබට මෙම අපූරු දුර්ලභ කතාන්දරයේ වගතුග බොහෝ දුරට පැහැදිලි වනු ඇත. ඉන්දියාවේ නේරු-ගාන්ධි රාජ වංශය (Neru – Ghandhi Dyn asty) යනු ඉන්දියාවේ රාජ්‍ය පාලන බලය දශක 05ක් පුරා (වසර 50ක් පුරා) දීර්ඝව පවත්වාගෙන පැමිණි අතිශය ප්‍රබල රාජ්‍ය පාලනයකි. එසේම එම රාජ්‍ය බලය පසුගිය වසර 20 පුරාද නොකඩවා පවත්වාගෙන යෑමටද සමත් විය. ඉන්දීය කොංග්රස් පක්ෂය යනු මෙම නේරු – ගාන්ධි රාජ වංශයේ ආරම්භක පක්ෂය වූ අතර එය තුළද ඉතා ප්රබලව එම පවුල් බය පසුගිය වසර 20 පුරාම පැවැතිණි. මෙම බලය පසුගිය කාලයේ බිඳදැමීමට සමත් වූයේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ප්‍රබල දේශපාලනික නායකත්වය යටතේය. එසේ වුවද ඉන්දීය කොංග්රස් පක්ෂය තුළ එම පවුල් බලය දිගින් දිගටම පවත්වාගෙන පැමිණියේය. ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි යන නාමයන් මෙම පක්ෂය තුළ මුල් බැසගෙන තිබුණේය. එහෙත් පසුගියදා මුල් ගලවා දැමීමට එම පක්ෂයේ ගාන්ධි සාමාජිකයන් තීරණය කළේය. ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණය ඉලක්ක කරගෙන ඔවුන්ගේ දේශපාලන ගමන් මඟ උඩු යටිකුරු වුණේය. මෙහිදී දැනට පක්ෂ නායකත්වයේ සහ සභාපතිත්වයේ සිටින සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි මව සහ පුතා තරණය කළේ ඉදිරි පක්ෂ නායකත්වය නේරු – ගාන්ධි පවුලේ නොවන අයකුට භාරකිරීමටය. ඒ අනුව ඔවුන් ඉහත ශෂී තරූර් වෙත සභාපතිත්වය සඳහා තරග කිරීමට සිය කැමැත්ත ලබාදුන්නේය. එසේම පක්ෂයේ තවත් ඕනෑම සාමාජිකයකුට මෙම තනතුර සඳහා තරග වැදීමට අවකාශ ඇති බවද ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව දැන් ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපතිත්වය සඳහා අපේක්ෂකයන් තිදෙනකු තරග වදියි. එයින් ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ශෂී තරූර් සහ මල්ලිකාර්ජුන් කාර්ජ්ය. ඊට අමතරව එතරම් ප්‍රකටත්වයක් නැති ප්‍රාන්ත ඇමැතිවරයකු වන කේ.එන්. ත්‍රීපති නමැත්තාද තරග වදියි.
මෙම සිදුවීම දැන් ඉන්දීය දේශපාලන උඩු යටිකුරු කරන තත්ත්වයට පත්ව ඇත. මේ අනුව 2022 ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපතිත්වය උදෙසා වන මැතිවරණය සඳහා ගාන්ධි පවුලේ කිසිදු සාමාජිකයකු ඉදිරිපත් වන්නේ නැත. එහෙත් කෙසේ හෝ එම ගාන්ධි සාමාජිකයන් යටතේ ඉදිරිපත් වන්නේ ඉහත ප්‍රකාශ කළ ආචාර්ය ශෂී තරූර් වන අතර ඔහුට එරෙහිව ප්‍රබල සටනක් දීමට බලාපොරොත්තුව සිටින්නේ පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයකු වන මල්ලිකාර්ජුන් කර්ජ්ය. කෙසේ හෝ මෙම දෙදෙනා අතර ඇතිවන ඡන්ද සටන ඉතා ප්‍රබල තීරණාත්මක එකක් වනු ඇතැයි පැවසෙයි. මේ අනුව මෙම අපේක්ෂකයන් පසුගිය 2022 සැප්තැම්බර් 30දා නවදිල්ලි නගරයේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී තම නාමයෝජනා පත්‍ර භාරදීම සිදුකළේය. එසේම ඉන්දීය දේශපාලනය ඉතා වෙනස් මඟකට යොමු කරවනු ලබන මෙම ආන්දෝලනාත්මක මැතිවරණය (ඡන්ද විමසීම) පවත්වනු ලබන්නේ මෙම 2022 ඔක්තෝබර් 17 වැනිදාය. මේ අනුව ඒ සඳහා ඡන්දය ලබාදීමට පක්ෂ නියෝජිතයන් 9,000ක පමණ පිරිසක් දැනට සුදුසුකම් ලබා සිටියි. ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඔක්තෝබර් 19 වැනිදා වන අතර එදින ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරෙයි. කෙසේ හෝ මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කෙනකුට එම ජයග්‍රහණය හිමිවනු ඇතිය. යම් අපේක්ෂකයකු නාමයෝජනා පත්‍ර ඉල්ලා අස්කර ගනු ලබන්නේ නම් ඒ සඳහා ඔක්තෝබර් 08 වැනිදා දක්වාද කාලය ලබාදී ඇත. කෙසේ හෝ මෙම තීරණාත්මක කාරණය සඳහා ඉදිරිපත්ව ඇත්තේ තිදෙනකු පමණි. මේ වන විට මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්රහණයන් උදෙසා ප්‍රබල ඡන්ද සහයෝගිතා ව්‍යාපාරයකද නිරතව සිටිති. එම දෙදෙනාට වෙන් වෙන් වශයෙන් ආධාරකරුවන් විශාල පිරිසක්ද සිටින අතර මෙම පිරිස පක්ෂයේ ප්‍රධාන නියෝජිතයන් පිරිස වෙයි. එම කණ්ඩායම් දෙක මේ වන විට බොහෝ යුහුසුලුව තම ප්‍රචාරණ කටයුතු සිදුකරති.
මෙම ආන්දෝලනාත්මක තීරණය සහ ක්‍රමවේදය හරහා ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය මෙවර උත්සාහ කරන්නේ නේරු – ගාන්ධි රාජවංශ පාලන ප්‍රතිරූපය නැති කිරීමට යැයි දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර සිටියි. එහෙත් කෙසේ හෝ පක්ෂයේ සභාපතිත්වය සඳහා ගාන්ධි සාමාජිකයකු පත් නොවුණත් ගාන්ධි පවුලේ සාමාජිකයන් පක්ෂයේ කටයුතු කෙරෙහි ඉදිරියේදීත් තම අතපෙවීම් සිදුකරනු ලබන බවද මෙම විචාරකයෝ අවාධාරණය කර සිටිති. ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය මෙම පෙරළිකාර තීරණයට පැමිණ සිටින්නේ ඉදිරි 2024 ඉන්දීය මහ මැතිවරණයට මුහුණ දීම උදෙසාය. එනම් එහිදී දැනට ඉන්දියාවේ පාලන බලයේ සිටින අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ප්‍රබල සටනක් දියත් කිරීමට බලාපොරොත්තුවෙන් මෙම තීරණයන් ගෙන ඇත. එහෙත් දේශපාලන විචාරකයන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එය හිතන තරම් ලෙහෙසි පහසු සටනක් නොවන බවය. එසේම පසුගිය වසර කිහිපයක් තුළදී පැවැති ජාතික සහ ප්‍රාන්ත මැතිවරණ ගණනාවකින්ම ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂය අන්ත පරාජයන්ට පත්විය. එසේම පසුගියදා පක්ෂය තුළ පැවැති තනතුරු සඳහා වන ඡන්ද විමසීම්වලින්ද ගාන්ධි සාමාජිකයන් පරාජයට පත්විය. ඒ අනුව පසුගිය කාලයම ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයට අභියෝගාත්මක කාලයක් විය. මේ නිසා පක්ෂයට නව මුහුණුවරක් ගෙන ඒමට සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි තීරණය කර සිටියේය. කෙසේ හෝ මෙම අවස්ථාවේදී පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ ගාන්ධි සාමාජිකයන් මෙම තරගයෙන් බැහැර නොවිය යුතු බවය. එහෙත් සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි එම මතයන් ඉතා ප්‍රබල ලෙස බැහැර කර ඇති අතර ගාන්ධි සාමාජිකයන් කිසිවකුත් මෙවර ඡන්ද සටන සඳහා ඉදිරිපත් නොවන බවට දැඩි ලෙස තම මතය ප්‍රකාශ කර ඇත. මේ අනුව මෙම තීරණය වසර 20කට පසු ගත් ඉතා පෙරළිකාර ආන්දෝලනාත්මක තීරණයක් වෙයි.
දැන් අප මොහොතක් නැවතී ආපසු හැරී බලමු. මෙම ආන්දෝලනාත්මක තත්ත්වයෙන් කියැවෙන්නේ කුමක්ද? එම සිදුවීමෙන් පැහැදිලිවම පෙනීයන්නේ වත්මන් ඉන්දියානු පොදු ජනතාව ගාන්ධි පවුල බොහෝ ප්‍රබල අයුරින් ප්‍රතික්ෂේප කරන ආකාරයයි. ගාන්ධි පවුල වෙත ජනතාව තුළ තිබූ ජනප්‍රියතාව, ගරුත්වය සහ විශ්වාසය අතිශය දරුණු ලෙස පිරිහීමකට පත්ව ඇති ආකාරය මෙම වත්මන් තත්ත්වය හරහා පෙනීයයි. එසේම මෙම තත්ත්වය ඉතා තදබල ලෙස සෝනියා ගාන්ධි සහ දරුවන් දෙදෙනාට අවබෝධ වී ඇති ආකාරයද, එහෙයින් තමන් දේශපාලනයෙන් සමුගත යුතු බවද ඔවුන් අවබෝධ කරගෙන ඇත. මෙම තත්ත්වය ඉන්දියානු දේශපාලන විචාරකයන් සහ විශ්ලේෂකයන් විසින් හඳුන්වා දී ඇත්තේ ‘මහා ඉන්දියානු පුරාවෘත්තයක අවසානය’ ලෙසිනි. එනම් ඉන්දියාවේ බලවත්ම දේශපාලනික පවුලක අවසානය ලෙසිනි. ඉන්දයාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අතිශය ඉපැරැනි දේශපාලන පවුලක අවසානයද එය විය හැකියැයි ඔවුන් අවධාරණය කර ඇත. ලෝකයේ සියවසකට අධික කාලයක් දේශපාලනයේ සිටින පවුල් සිටින්නේ ඉතා අල්පයකි. එයින් ගාන්ධි පවුල සිටින්නේද ප්රමුඛස්ථානයේය.
මෙම ආන්දෝලනාත්මක තත්ත්වය සැබෑ ලෙසම ඉන්දියාවේ ‘නේරු-ගාන්ධි රාජවංශයේ’ නොහොත් ‘නේරු-ගාන්ධි පවුල් දේශපාලනයේ’ (End of India’s Neru – Ghandi Dynasty) අවසන් මොහොත ලෙස අර්ථකථනය කළ හැකිය. කෙසේ හෝ මෙම තත්ත්වය මගින් පැහැදිලිවම පෙනී යන්නේ අද පොදු ඉන්දීය ජනතාව භාරගන්නේ රදළ දේශපාලකයන් නොව කුඩා තැනකින් දේශපාලනයට පිවිසෙන ක්‍රියාකාරී දේශපාලකයන් බව මනාව පෙනෙයි. වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයට කදිම නිදසුනක් වන අතර ඔහු දැනට වසර 08ක් නොකඩවා තෙවතාවක්ම අගමැති ධුරයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයකු සහ ජනාධිපතිවරයකුද වූ ආර්. ප්‍රේමදාස මහතාද මේ ආකාරයේම චරිතයක් වෙයි. සමාජ දරිද්‍රතාවයේ පහත් අඩියක සිට ඔහු දේශපාලනයේ ඉහළ මුදුන්පෙත්තටම පැමිණියේය. ඒ ආකාරයට අද ඉන්දියානු ජනතාව රාජවංශ දේශපාලකයන් බැහැර කරමින්ද සිටියි. මේ මගින් ඉන්දියාවේ පවුල් දේශපාලනය අතුගෑවී යන ආකාරය පෙනෙයි. කෙසේ හෝ මෙලෙස ඉන්දියානු දේශපාලනය හරහා අපට ලබාගත හැකි පාඩම්ද බොහෝ වෙයි. මෙරට තිබෙන පවුල් දේශපාලනයද මේ වන විට ජනතාව අතිශය ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කරමින් සිටින බව රහසක් නොවේ.
ප්‍රියන්ත හෙට්ටිගේ