රජයේ ඇතැම් රෝහල්වල ඖෂධ හිඟය දැඩි ලෙස බලපෑම නිසා අහිංසක රෝගීන්ට පෞද්ගලික ඔසුසල් කරා යෑමට සිදුව ඇති බව රෝගීහු පවසති.
එම තත්ත්වය නිසා මුදල් නොමැති රෝගීන්ට ඖෂධ මිලදී ගැනීමට නොහැකිව වෛද්‍යවරුන්ගෙන් ඖෂධ නාමය පමණක් ලබාගෙන ආපසු නිවෙස්වලට යෑමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කළුබෝවිල රෝහලේද බාහිර ප්‍රතිකාර අංශ කීපයක ඖෂධ වර්ග තිබුණද ආතරයිටීස් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග ගණනාවක හිඟයක් බලපා ඇති බවයි රෝගීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් අදාළ රෝහලේ වගකිව යුතු වෛද්‍යවරියකගෙන් විමසූ විට ඇය ඖෂධ භාර නිලධාරිනිය ගෙන්වා කරුණු විමසුවද ඇය සඳහන් කළේ ආතරයිටීස් රෝගීන්ට අදාළ ඖෂධ තොග වෛද්‍ය සැපයුම් අංශවලින් නිසි පරිදි නොලැබෙන බවයි.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් චමිල් විජේසිංහ මහතාගෙන් විමසූ විට ඔහුද සඳහන් කළේ ඖෂධ බෙදැහැරීමේ සහ කළමනාකරණය කිරීමේ තදබල දුර්වලතා ඇති බවයි.
එය මැඩපැවැත්වීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කොට වසර එකහමාරක් ගතවුවද සෞඛ්‍ය අංශවල ඇතැම් නිලධාරීන් ගෙනයන කකුලෙන් ඇදීමේ ක්‍රියාදාමයන් නිසා එය ලත්තැනම ලොප් වී ඇති බවයි.
ඒ නිසා රෝහල්වල ඖෂධ බෙදාහැරීමද දුර්වල තත්ත්වයක පවතින බවයි ඔහු පැවැසුවේ.
මේ සම්බන්ධයෙන් දැනගැනීමට සැපයුම් අංශයේ නිලධාරියකුට කතාකිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
ප්‍රේමලාල් විජේරත්න










