‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි දූෂණයන්ට සහ අක්‍රමිකතාවලට එරෙහිව ඉතා ක්‍රමවත් එමෙන්ම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නට ඕනෑ. දූෂණය සහ වංචාව කියන්නේ ඉතා උග්‍ර අර්බුදකාරී ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේද දූෂණය සහ වංචාව ගැන බොහෝ අවධාරණයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා. එහෙයින් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදීත් අප ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ අධීක්ෂණයකින් කටයුතු කරනු ලබනවා. ඒ සඳහා පැහැදිලි විනිවිදභාවයක් තිබිය යුතුයි. සමාජයේ අවදානමට ලක්විය හැකි පිරිස් ගැන අපි නිතර අවධානයෙන් ඉන්න ඕනෑ. ඒ වගේම එම පිරිස් අප විසින් ආරක්ෂා කරන්නට ඕනෑ. මෙම ණය වැඩසටහන සඳහා තවත් පියවර රැසක් ගැනීමට තිබෙනවා. මෙය සත්‍ය ලෙසම ආරම්භයක් පමණයි. මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා දිගු මාවතක යා යුතුයි. ඒ මාවතේ පටන් ගන්නා තැන පමණයි තවමත් අපි ඉන්නේ. ප්‍රථමයෙන් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. චීනය ඇතුළු ණය හිමියන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ සඳහා අයත් වෙනවා. චීනයේ කැමැත්තද මෙහිදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. නිල ණය හිමියන්ගේ මූල්‍ය විශ්වාසයක් තහවුරු කරගැනීම මෙන්ම, ඔවුන් සමග සහයෝගී ගිවිසුම්වලට එළඹීමට සද්භාවයෙන් කටයුතු කළ යුතුයි. එසේම ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ පූර්ණ අනුමැතිය මත ගනුදෙනුව ආරම්භ වී අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. එලෙස විධායක මණ්ඩලයේ නිල අනුමැතිය ලැබීමෙන් පසුව තමයි ප්‍රථම ණය වාරිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කෙරෙන්නේ…’
කුමක්ද මේ බැරෑරුම් කතන්දරය? මෙම අතිශය වැදගත් වගතුග කියා සිටිනු ලබන්නේ සුවිශේෂ පුද්ගලයකු විසිනුයි. ඔහු නමින් ආචාර්ය පීටර් බෲවර්ය. පසුගිය දිනවල මෙම නාමය ශ්‍රී ලංකාව තුළින් බොහෝ සෙයින් ඇසෙන්නට වූ අතර ඔහුගේ රුවද බොහෝ මාධ්‍ය තුළින් දක්නට ලැබිණි. ආචාර්ය පීටර් බෲවර් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොහොත් IMF සංවිධානය (International Monetary Fund) නියෝජනය කරන උසස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ නිලධාරියෙකි. එනම් ඔහු ශ්‍රී ලංකාවට සංවිධානය විසින් ලබාදීමට නියමිත ණය ආධාර වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි. ඒ අනුව ඔහු පසුගියදා තම නියෝජිත පිරිසද සමග ශ්‍රී ලංකාවට පැමිණ මෙම ණය ආධාර වැඩපිළිවෙළ පිළිබඳ වූ කටයුතු සඳහා සහභාගි වූයේය. පීටර් බෲවර් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ දෙපාර්තමේන්තුවේ, ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අශයේ (Dr. Perer Breuer, Chief of the Debt Capital Markets Division, Monetary and Capital Market Department of International Monetary Fund) ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඒ අනුව ඔහු ස්වෛරී ණය, අවදානම් විශ්ලේෂණය කිරීම, ස්වෛරී ණය කළමනාකරණය සහ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය (Sovereign Debt Risks, Sovereign Debt Managment and Development of Local Capital Markets) පිළිබඳ උපදෙස් ලබාදීමේ කණ්ඩායම අධීක්ෂණය කරයි. ඔහු ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක දර්ශනවේදී උපාධිධරයකුද වෙයි. ඔබට මෙම සුවිශේෂ පුද්ගලයා ගැන යම් විස්තරයක් ලියා තැබුවේ ඔහුගේ පරිචය ගැන යම් අවබෝධයක් ලබාදීම සඳහාය. එම තොරතුරු කිසිදු මාධ්‍යයක සඳහන්ව නොතිබිණි. IMF සංවිධානය ශ්‍රී ලකාවට ලබාදීමට නියමිත ණය ආධාර වැඩපිළිවෙළ ගැන ඔහු පසුගියදා සුවිශේෂ කරුණු රැසක් බොහෝ නිර්ව්‍යාජව අවධාරණය කර සිටියේය. IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති, අගමැති, මහබැකු අධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීය. එහිදී දෙස් විදෙස් මාධ්‍ය විසින් නැඟූ ප්‍රශ්නවලට ආචාර්ය පීටර් බෲවර් ඇතුළු පිරිස පිළිතුරු ලබාදුන්හ.
කෙසේ හෝ මෙහිදී IMF ණය ආධාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේද ප්‍රධානියා වන ආචාර්ය පීටර් බෲවර් විසින් ප්‍රකාශිත පිළිතුරු මෙම ලිපිය සඳහා මූලික කරගන්නා ලදී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ලබාදීමට එකඟවී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබාදීමට පෙර ෂඵත් සංවිධානය නොයෙකුත් කොන්දේසි රාශියක් පනවා තිබෙනවා. මෙම නීතිමය වටපිටාව කුමක්ද?
මෙම ණය සහනාධාරය ලබාදීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශපාලනීකරණය කර ස්වාධීනත්වය ස්ථාපනය කළ යුතුයි. එසේම ශ්‍රී ලංකාවේ මිල ස්ථායිතාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා නව මහ බැංකු පනත හැකිතාක් ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ මොහොතේ අතිවිශාල උද්ධමනයක් ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය වෙත විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කටයුතු ගැන IMF සංවිධානය සෑහීමකට පත්වී සිටිනවාද?
ඔව්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ගණනාවක්ම තිබෙනවා. එහිදී ප්‍රධාන කටයුත්තක් වන්නේ රජයේ 2023 අයවැයේදී ශ්‍රී ලංකා රජය අප සමග එකඟවී ඇති සාර්ව ආර්ථික රාමුවට සහ වැඩසටහනට අනුකූල වන ආකාරයට ඉදිරිපත් කිරීමයි. ඒ ආකාරයට ශ්‍රී ලංකා බලධාරීන් ගනු ලැබිය යුතු එවැනි ක්‍රියාමාර්ග ගණනාවක්ම තිබෙනවා.
සම්පූර්ණ කළ යුතු අනෙක් ප්‍රධාන කාර්යයන් මොනවාද?
අනෙක් ප්‍රධානතම සාධකය තමයි ශ්‍රී ලංකාව ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීමේ මාවතකට ගමන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒත්තු ගැන්වීම. ඒ සඳහා ලංකාවේ ණය හිමියන්ගේ සහතිකය ලබාදීම අත්‍යාවශ්‍ය වෙනවා. මෙම මූල්‍ය සහතික කිරීම් ශ්‍රී ලංකාව සහ එහි ණය හිමියන් අතර ඇතිකර ගන්නා එකඟතාවක ප්‍රතිඵලයක් වනු ඇත. මෙම ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේදැයි අපට කියන්න බැහැ. මෙම ක්‍රියාවලියේ කාලය අවම කිරීම සඳහා සහයෝගයෙන් සහ විනිවිදභාවයෙන් වැඩකිරීමට අපි සියලු දෙනා දිරිමත් විය යුතුයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හැකි ඉක්මනින් ආරම්භ කිරීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජය ඉදිරියට ගෙන යෑමටත් හැකි වෙනවා.
මෙම ශ්‍රී ලංකා ණය හිමියන් කවුරුන් හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුණහොත් සිදුවන්නේ කුමක්ද? එවිට ණය ආධාර වැඩසටහන අත්හිටුවනවාද? විශේෂයෙන්ම චීනය වැනි රටක් විරුද්ධ වුවහොත් මොකද වෙන්නේ? චීනය දැනටමත් යම් යම් විරෝධතා පෙන්වා තිබෙනවා?
ඔව්, ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. චීනය හෝ ඉන්දියාව හෝ වෙන යම් රාජ්‍යයක් හෝ එසේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවුණහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය සහන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙනවා. එවිට වැඩසටහන ප්‍රමාද වීමට හෝ නවත්වා දැමීමට හෝ ඉඩ තිබෙනවා. සමහර රටවලදී මෙවැනි තත්ත්වයන් සිදුව තිබෙනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදේශීය ණය පමණක් නොව දේශීය රුපියල් ණයද ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට නිර්දේශ කරනවාද?
ඕනෑම ණය වර්ගයක් ප්‍රතිව්‍යුහගත කිරීමක් මගින් බලාපොරොත්තු වන්නේ දේශීය ආර්ථිකය ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීමට මිස දේශීය ආර්ථිකයට හානියක් සිදුකිරීම නොවෙයි. ඒ මගින් අප ණය තිරසාරභාවය සාක්ෂාත් කරගන්නට ඕනෑ. එවැනි නිර්දේශ වුවත් අප විසින් ලබාදෙනවා.
IMF සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ පළමු වාරිකය ලැබීමට කොපමණ කාලයක් ගතවෙනවාද?
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට අප මාණ්ඩලික මට්ටමේ තිබෙන එකඟතාවකට පැමිණ තිබෙනවා. එසේම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට යෝජනා කිරීම සහ එහි අනුමැතිය ලබාගැනීම යන කාරණා අතර තවත් කාරණා ගණනාවක්ම සිදුවිය යුතුයි. ණය හිමියන්ගේ සහතිකය ඉන් ප්‍රධාන එකක්. ඒ කටයුතු හරියාකාරව සාර්ථක වූ පසු ණය මුදලේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලබාදිය හැකියි.
ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වීම ගැන ඔබ පවා දැඩි මතයක් දක්වා තිබෙනවා. දැනට වසර දෙකකට අධික කාලයක සිට ශ්‍රී ලංකා මහ බැංකුව අසීමිත ලෙස රුපියල් නෝට්ටු මුද්‍රණය කරනවා. මේ ක්‍රියාවලිය නිසා රට තුළ උද්ධමනය ඉහළ ගියා යැයි මත ප්‍රකාශ වෙනවා. මේ තත්ත්වය ගැන ඔබ දරන මතය කුමක්ද?
ඔව්, පැහැදිලිවම එය සත්‍යයක්. මහ බැංකුව විසින් මෙලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා රටේ උද්ධමනය වැඩිවෙනවා. එසේම එම ක්‍රියාවලිය උද්ධමනය වැඩිවීමට ප්‍රධානතම හේතුවක් ලෙසද සැලකිය හැකියි. ඒ නිසා රාජ්‍ය පරිපාලනය විසින් එසේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය නොකිරීමට වගබලාගත යුතුයි. මේ මුදල් මුද්‍රණ ක්‍රමවේදය පාලනය කිරීම සඳහා නව මහ බැංකු පනත ඉතා වැදගත් වෙනවා. ඒ මගින් අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම නැවැත්විය හැකියි. එහෙයින් නව මහ බැංකු පනත ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්.
මෙලෙස අසීමිත ලෙස රජය මුදල් මුද්‍රණය කිරීම නිසා ඇතිවී තිබෙන උද්ධමනය ප්‍රධාන ලෙස බලපා තිබෙන්නේ මධ්‍යම පන්තියේ සහ පහළ පන්තියේ ජනතාවටයි. ඔවුන් අද ඉතා දරුණු ලෙස මුදල් සහ ආහාර ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. මේ පිරිස මෙම තත්ත්වයෙන් ගැළවෙන්නේ කවදාද?
ඔව්, මූලික වශයෙන් උද්ධමනය කියන්නේ දුප්පත් සහ අවදානමකට ලක්විය හැකි සෑම කෙනකුටම පනවනු ලබන බද්දක් ලෙස සැලකිය හැකියි. එයට මුහුණ දෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ. අසීමිත මුදල් මුද්‍රණය මේ තත්ත්වය තවත් දරුණු කළා. මේ නිසා ආර්ථිකය අසමතුලිත තත්ත්වයට පත්වුණා. මම නැවත අවධාරණය කරන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය සහතික කරන නව මහ බැංකු පනත වහාම ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත් අංගයක් වෙනවා.
මෙම IMF ණය ආධාර වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වෙයිද?
ඔව්. ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීම නිසැකවම සිදුවෙනවා. එහෙත් ඒ සඳහා කාලයක් ගතවේවි. අප මෙම වැඩපිළිවෙළේදී බොහෝ මධ්‍යස්ථවයි කටයුතු කරන්නේ. අප කාටවත් පක්ෂග්‍රාහී වෙලා කටයුතු කරන්නේ නැහැ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති දැක්ම සහ ප්‍රතිපත්තියයි.
මේ වන විටත් ශ්‍රී ලංකාව 16 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ලබාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතත් ඉන් සාර්ථක වී ඇත්තේ අවස්ථා 06ක් පමණයි. ඒ බව අතීත වාර්තා මගින් පෙන්නුම් කෙරෙනවා. ඒ අනුව මෙවර වැඩසටහනත් කුමන සාර්ථකත්වයකට පත්වෙයිද?
එය දැන්ම නිගමනය කරන්න බැහැ. මෙවර වැඩසටහන යහපත් තිරසාරභාවයකට පත්වේවි යැයි අප විශ්වාස කරනවා. එහෙත් ඒ සඳහා අවශ්‍ය අනෙක් වටපිටාවත් හොඳින් සැකසිය යුතුයි.
දැන් ශ්‍රී ලංකාවේ රජය ජනතාව මත අධික බදු බරක් පටවමින් සිටිනවා. උද්ධමනය නිසා පීඩා විඳින ජනතාවට මේ බදු බර උසුලාගන්න බැහැ. වත්කම්වලට අදාළව බදු පනවන බවත් ප්‍රකාශ වෙනවා. මෙසේ ආදායම් බදු ඉහළ නැංවීම් සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් මතද?
දැනට කාලයක සිට ශ්‍රී ලංකාවේ බදු අයකිරීම් ආදායම ඉතා පහළ තත්ත්වයකයි තිබෙන්නේ. මේනිසා ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙයින් බදු මුදල් ඉහළ දැමීමේ පැහැදිලි අවශ්‍යතාවක් තිබෙනවා. මෙහිදී ඉතා ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩි ආදායම් බදු අයකිරීමටත් යෝජනා වී තිබෙනවා. එසේම වැට් බදු වැනි පොදු බදුද යම් ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශ්‍ය යම් නිර්දේශයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද ලබාදෙනවා.
ශ්‍රී ලංකාවේ ණය හිමියන් දිගින් දිගටම විරුද්ධ වුවහොත් මොකද වෙන්නේ? එවැනි ප්‍රශ්නයක් ඇති වුවහොත් එය විසඳීමට ඔබ සංවිධානය මැදිහත් වෙනවාද?
ණය හිමියන් විරුද්ධ වුණොත් නම් මෙම අර්බුදය තවත් උග්‍ර අතට පත්වේවි. යම් අවස්ථාවන්හිදී පමණක් අපට ණය හිමියන් සමග සාකච්ඡා කළ හැකියි. එහෙත් අපට ඔවුන්ට කිසි විටෙකවත් බලපෑම් කරන්න බැහැ.

ප්‍රියන්ත හෙට්ටිගේ










