2023 සැප්තැම්බර් 06 වැනිදා…(Sri Lanka Latest News)

විශ්වාසභංගය පැරදුණොත් පරදින්නේ රටේ ජනතාව – පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයා කියනවා, මේ රටේ බාල ඖෂධ නැහැ කියලා. ලෝකයේ බාල ඖෂධ නැහැ කියලා. මම එතුමාට සිදුවීමක් මතක් කරලා දෙන්න ඕනෑ. ඉන්දුනීසියාව, ගැම්බියාව ඇතුළු ලෝකයේ අනිකුත් රටවල අවුරුදු 5ට අඩු දරුවන් 300 දෙනෙක් ඖෂධයක් contaminate වෙලා මරණයට පත්වුණා. ගරු කතානායකතුමනි, ඒ වාගේ ඖෂධයක් අපේ රටට ඇවිල්ලා අපේ අහිංසක දරුවන් මැරුණොත් ඒකට වගකියන්නේ කවුද? ඒ නිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, මේ විශ්වාසභංග යෝජනාවේදී හෘදය සාක්ෂියට එකඟව ඡන්දය දෙන්න කියලා. අද මේ විශ්වාසභංග යෝජනාව ඔබතුමන්ලා සමහර විට පරාජය කරයි.
සමහර විට ඔබතුමන්ලා ඡන්දය දීලා අංක ගණිතයෙන් මේ යෝජනාව පරාජයට ලක්කරයි. හැබැයි, මතක තියාගන්න ඔබතුමන්ලා පරාජය කරන්නේ මේ රටේ ජනතාවයි කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් මේ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට ආරාධනා කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් තිබෙනවා කියලා පිළිගෙන එම ක්ෂේත්‍රය ගොඩනගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.’

කෙහෙළිය විතරක් නෙමෙයි ආණ්ඩුවම වගකියන්න ඕනෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
‘ගරු කතානායකතුමනි, ගරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව මම ස්ථිර කරනවා. මම මුලින්ම පැහැදිලිව එක කාරණයක් කියන්න ඕනෑ. මාධ්‍යවලට හොඳට වියදම් කරලා මේ රට තුළ බාල බෙහෙත් නැහැ කියලා හොඳ සංදර්ශන ටිකක් දමනවා. බාල බෙහෙත් නැහැ කියන්නේ කොහොමද? NMRA එකේ සභාපතිම පිළිගන්නවා අද වෙනකොට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය 120ක් ඇතුළුව බෙහෙත් වර්ග 320ක් මේ රටේ නැහැ කියලා. Cephalexin කියන බෙහෙත් අපේ රටට ගෙනෙන කොට ඒ බෙහෙත් තත්ත්වයෙන් බාල නිසා ජනාධිපතිතුමා මැදිහත් වෙලා එය නැවැත්තුවා.
නමුත් හදිසි මිලදී ගැනීම් කියලා එම බෙහෙත රුපියල් මිලියන 1,200කට ගෙනාවා. එම ගනුදෙනුවෙන් මිලියන 500ක් විතර පාඩුයි කියලා ගණන් හදලා තිබෙනවා. මා ළඟ එම විස්තර ඇතුළත් ෆයිල් එකක් තිබෙනවා. ඉතින් මේ විදියට කියනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වෙන මේ හොරකම්, වංචා, දූෂණ සිද්ධ වෙන විදිය ඔක්කොම ගැන පැය තුනක් විතර කියන්න පුළුවන්. NMRA එකට සුදුසුකම් ලත් අයව පත්කරන්නේ නැතිව මේ අය ගේම් ගහපු විදියත් මට කියන්න පුළුවන්. Bupivacaine එකෙන් මිලියන 320ක් කොමිස් ගියේ කොහොමද කියලාත් කියන්න පුළුවන්.
හරි නම් මේ ඇමැතිවරයාට විරුද්ධව නෙවෙයි විශ්වාසභංග යෝජනාව ගෙනෙන්න ඕනෑ. එය ගෙනෙන්න ඕනෑ මුළු ආණ්ඩුවටම විරුද්ධවයි. මොකද, මේ තරම් හොරකම් කරන, වංචා කරන, නාස්ති කරන, පගා ගහන ආණ්ඩුවක් ඉතිහාසය පුරාවටම තිබිලා නැහැ. අර්බුදයක් හමුවේ කොමින් ගහනවා. මම එකින් එක කියලා දෙන්නම්. ගරු කතානායකතුමනි, මම ඉතාම පැහැදිලිව කියන්නම්, අපි ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ ඇයි කියලා. ඒ වෙන මුකුත් නිසා නොවෙයි, ඒක ගෙනාවාම ‘ආණ්ඩුව බේරාගන්න ඕනෑ’ කියලා හොරු ඔක්කොම එකට සෙට් වෙනවා.’

බාල බෙහෙත් ගෙනා එක පුළුවන්නම් ඔප්පු කරන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
ඔබතුමන්ලා කිව්වා බාල ඖෂධ ගෙන්වීමක් ගැන, ටෙන්ඩර් ගැන, ඖෂධවල අධික මිල ගැන. කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා මැදිහත් වෙලා බාල ඖෂධ ගෙන්වා තිබෙනවා නම් ඔප්පු කරන්න.
මෙන්න ටෙන්ඩරය, මෙන්න ඩොකියුමන්ට් එක, මෙන්න ඇමැතිතුමාගේ නියෝගය, මෙන්න ඇමැතිතුමා අනුමැතිය දුන්නු ආකාරය, මෙන්න ටෙන්ඩර් පටිපාටියෙන් හැබැරව ඇමැතිවරයා කටයුතු කරලා තිබෙන ආකාරය, මෙන්න කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට ඕනෑ විදියට අධික මිලට ඖෂධ අරගෙන තිබෙන ආකාරය කියලා ඔප්පු කරන්න ඔබතුමන්ලාට පුළුවන් නම්, ඔබතුමන්ලා විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නේ නැතිව අපට කියන්න, අපි අස්සන් කරලා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නම්.
එහෙම නම්, ඔබතුමන්ලා ගෙනෙන්න ඕනෑ නැහැ. විශ්වාසභංග යෝජනා. තමුන්නාන්සේලාට ඔප්පු කරන්න කාරණා තිබෙනවා නම් අපට කියන්න, අපි එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නම්.
තමුන්නාන්සේලා සෞඛ්‍ය ඇමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා අද මොනවද කතා කළේ?

පරිපාලන ව්‍යුහය ඩිජිටල් විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
‘අවසාන වශයෙන් මම මේ කාරණය සඳහන් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ රටේ ජනතාවට ගැටලු තිබෙනවා. ඒක ඇත්ත. ඒවා විසඳන්න ඕනෑ. ඒවා විසඳන්න නම් පාරම්පරික විදියට, නැත්නම් දේශපාලන කෝණයකින් ආමන්ත්‍රණය කරලා ඵලක් වෙන්නේ නැහැ. Holistic approach එකක්, නැත්නම් සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිස්ටම් එක වෙනස් වීම පිළිබඳ මම කතා කරන්න යන්නේ නැහැ. හැබැයි පරිපාලන ව්‍යුහය තුළ යම් වෙනසක් සිද්ධ වෙන්න ඕනෑ කියන කාරණයත්, එය තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ඩිජිටල්කරණය කළ යුතුයි කියන කාරණයත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.’

බාල බෙහෙත් ගෙනාවා කියා විපක්ෂයට ඔප්පු කරන්න බැරි වුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත
‘ගරු අමාත්‍යතුමා මේ වෙනකොට කටයුතු කර තිබෙන ආකාරය බලන්න. එතුමා අමාත්‍ය ධුරය භාරගත්ත ගමන් ඉතාම දෘඪ තීරණ ගණනාවක් ගත්තා. මේ ක්ෂේත්‍රය තුළ හිටපු නිලධාරීන් 20ක් 29ක් පමණ අයින් කළා. මම හිතන විදියට ඇමැතිතුමා වැඩ භාරගත් ගමන්ම තරහකාරයෝ පිරිසක් බිහිකරගත් ස්වරූපයක් තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. හැබැයි ගත යුතු තීරණ මෙතුමා ගත්තා.
දැන් මේ කතා කරන්නේ ඖෂධ පහක් ගැන. ඖෂධ පහක් ගැන කතාකරන ගමන් අවාසනාවන්ත ලෙස දවස් තුනක කාලයක් ගතකරනවා. අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා වැරැද්දක් කර තිබෙනවා කියලා ඔප්පු කරන්න. සාමාන්‍යයෙන් මහාධිකරණයේ විභාග වෙන නඩුවක සාක්ෂි විභාගයට තිබෙන කාල වේලාව බැලුවාම ඔය කියන පැය ගණනවත් ලැබෙන්නේ නැහැ. හැබැයි අද දවස පුරා මේ වෙනකල් සමස්ත විපක්ෂයම ඒ අයගේ නොහැකියාව සහ බොරුව පෙන්නුම් කරලා තිබෙනවා.
විපක්ෂයේ අය ඔය කියන විදියට මේ රටේ ජනතාවට බාල බෙහෙත් හෝ වැරැදි බෙහෙත් ගෙනැල්ලා තිබෙනවා කියන කාරණය, ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය නියමිත ක්‍රම සම්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහිල්ලා මේ කියන ආකාරයට බෙහෙත් ගෙනැවිත් තිබෙනවා කියන කාරණය අද ඒ අයට ඔප්පු කරන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා ඵලදායී ලෙස මේ සාකච්ඡාව මෙහෙයවන ස්වරූපයක් අපට පෙනෙන්නේ නැහැ. සමහර කථිකයෝ කතා කරන්නේ වෙන වෙන කාරණා.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව අපට ඒක දකින්න පුළුවන් මේ විවාදයේ තුන්වැනි දවසේ සවස වෙනකොට. මොකද කියපු කාරණාම කියන්න ඕනෑ නැහැ කියලා සමහර විට කථිකයෝ වෙනත් කාරණා කියන්න පුළුවන්. හැබැයි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ එය ස්තිර කරන කථිකයා පවා කතා කරන්නේ වෙන වෙන කාරණා. අඩුම තරමේ මේ චෝදනාවට ලක්කරන බාල බෙහෙත් මොනවද කියලාවත් තවම හරියට කිව්වේ නැහැ.
2023 සැප්තැම්බර් 07 වැනිදා…

බාල බෙහෙත් කතාව මම පිළිගන්නේ නැහැ – අමාත්‍ය කංචන විජේසේකර
කොවිඩ් වසංගතය නිසා රට වහලා එහි බලපෑම අපේ රටටත් එල්ල වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගය බවට පත්වුණේ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා මූල්‍ය ප්‍රසම්පාදනය කරගැනීමයි. අමාත්‍යවරුන් ඉන්නේ ප්‍රතිපත්ති තීන්දු ගන්න. විපක්ෂය නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු කතා කරනකොට හිතෙනවා ඇත්තටම අමාත්‍යවරයාගෙ කාර්යභාරයවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරයවත් ඔවුන් තේරුම් අරගෙන තිබෙනවාද කියලා.
සමහරු හිතනවා ඇමැතිවරයා තමයි ගිහිල්ලා ටෙන්ඩර් කැඳවන්නේ, ඇමැතිවරයා තමයි ගිහිල්ලා ස්ටොක් එක ගන්නේ, ඇමැතිවරයා ගිහිල්ලා තමයි ඇණවුම් කරන්නේ, ඇමැතිවරයා ගිහිල්ලා තමයි ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ කියලා. ඒක නොවෙයි අමාත්‍යවරයාගේ කාර්යභාරය වෙන්නේ. ඒවා සඳහා තමයි විවිධ නිලධාරීන්, විවිධ ප්‍රවීණයන් ඒ ඒ ක්ෂේත්‍රවලට පත්කරලා තිබෙන්නේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, කොවිඩ් වසංගතයේ පස්සේ පමණක් නෙවෙයි, කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා මේ අමාත්‍ය ධුරය භාගත් අවස්ථාව අඩුම තරමින් අවශ්‍ය ඖෂධ ටික ආනයනය කරන්න ණයවර ලිපියක් විවෘත කරන්න බැරි අවස්ථාවක්.
බැංකුවකින් මූල්‍ය පහසුකම් ලබාගන්න බැරි අවස්ථාවක්. එතකොට ණය ගන්න බැහැ. ණය දෙන්න කවුරුවත් නැහැ. ආධාර දෙන්න කවුරුවත් නැහැ. අපට මුදල් තිබුණත් ඒ මුදල්වලට ණයවර ලිපියක් විවෘත කරන්න බැහැ. මේවා තමයි තිබුණු ගැටලු. සමහරු හිතනවා මේක එක රැයෙන්, එක පැයෙන් ඇමැතිවරයා නිසා සිදුවෙච්ච කාරණයක් කියලා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම විශ්වාස කරනවා පසුගිය අවුරුද්දක, අවුරුදු තුනක කාලය තුළ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අභියෝගවලට මුහුණ දීලා තමන්ට ලැබිව්ච වගකීම තුළ වපසරිය තුළ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාත්, පවිත්‍රාදේවි වන්නිආරච්චි හිටපු සෞඛ්‍ය ඇමැතිතුමිය ඇතුළු ඒ සියලු දෙනාත් කටයුතු කර තිබෙනවා කියා. මා කිසිසේත් පිළිගන්නේ නැහැ ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, කවුරු ඇමැතිකම් කළත් බාල බෙහෙත් ගෙනැල්ලා මිනිස්සු මරන්න ඕනෑ කියන චේතනාවෙන් කවුරුවත් කටයුතු කරනවා කියලා.
නිලධාරීන් හෝ එහෙම කටයුතු කරනවා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මේ රටට ගෙනෙන හැම දෙයක් පිළිබඳවම එහෙමයි. අන්න අසවල් කාලයේ මේ ඇමැතිවරයා බාල බෙහෙත් ගෙනාවා, අසවල් ආණ්ඩුව කාලයේ බාල බෙහෙත් ගෙනාවා, මේ කාලයේ මෙහෙම ගෙනාවා කියලා කවුරු හරි හිතනවා නම්, කියනවා නම්, මම ඒක පිළිගන්නේ නැහැ. එහෙම බාල දේවල් ගේන්න කවුරුවත් මැදිහත් වන්නේ නැහැ. ඖෂධ ගේනකොට ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ඇගැයීම් කරන්න ආයතන තිබෙනවා.
ඒ පිළිබඳ තත්ත්ව සහතික අරගෙන තමයි ඒවා ආනයනය කරන්නේ. නමුත් ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ හැම රටකම අපි දැකලා තිබෙනවා ඒ ඖෂධවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු තිබෙන සමහර අවස්ථාවලදී ඒවා ඉවත් කරන්න කටයුතු කර තිබෙන බව. ඒවාට විකල්ප හොයාගෙන තිබෙනවා. ඒක ලෝක වෛද්‍ය විද්‍යාවේ විවිධ අවස්ථාවලදී අපි දැකලා තිබෙනවා. ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි ඒක දැකලා තිබෙනවා.

කෙහෙළිය ඇමැතිතුමා වගකීම ඉටු කළා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
‘කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා මේ වගකීම හරියට ඉටුකරන ඇමැතිවරයෙක්. ගරු ඇමැතිතුමනි, ඒ නිසා අපි ඔබතුමාට එක කාරණයක් කියනවා. ඔබතුමා දැන් කෙවිට අතට ගන්න. නැත්නම් මේක කරන්න බැහැ. විශ්වාසභංගයකුත් ගෙනැල්ලා දැන් ඔබතුමා ජනප්‍රිය කරලානේ තිබෙන්නේ. ඒ නිසා දැන් කෙවිට අතට ගන්න. කෙවිට අතට අරගෙන වැරැද්ද කොතැනද කියලා බලන්න. හැබැයි කැලෑ නීතියට නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණේ නීතියට නොවෙයි.
කැලෑ නීතියට අනුව නැතිව රටේ නීතිය අනුව බලන්න කවුද වැරැදි කරන්නේ කියලා. නැත්නම් ඒ කරන වැරැදිවලට අපි ඔක්කෝටම වගකියන්න සිද්ධ වෙනවා. ඒ වැරැද්ද වෙන්න බැරිවෙන්න ඔබතුමා තීන්දු ගන්න. ඔබතුමා වැඩකරන ඇමැතිවරයෙක්. ඔබතුමා මේ රටේ අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවා තිබෙනවා. ඒ අමාත්‍යාංශ ගණනාවකම වගකීම් ටික ඔබතුමා හරියට ඉටුකළා. ඒ වගකීම ඉටුකළ ආකාරය ගැන අපට ඔබතුමා ගැන අත්දැකීම් තිබෙනවා. අපි ඒ විශ්වාසය තියලා තිබෙනවා. ඒ විශ්වාසය පවත්වාගෙන යන්න ඔබතුමාට පුළුවන්.
ගරු කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමනි, තව පැය කිහිපයයි තිබෙන්නේ. තමුන්නාන්සේ භය නැතිව ඉන්න. මගේ සහෝදර කවින්ද හේෂාන් ජයවර්ධන මන්ත්‍රීතුමා තමුන්නාන්සේට මේ දුන්නේ තෑග්ගක්. අද සවස 5.30 වෙනකොට මේ විශ්වාසභංග යෝජනාව පරාජය කරලා ඔබතුමා නිර්දෝෂී පුද්ගලයෙක් කියන එක රටට හෙළිකරන බව ප්‍රකාශ කරමින්, මේ වෙලාව ලබාදීම ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.
2023 සැප්තැම්බර් 08 වැනිදා…

සනාථ කරන්න කිසිම තොරතුරක් නෑ – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පසුගිය දවස් දෙකේ සහ අද පවතින විවාදය දිහා බලනකොට, මෙම යෝජනාවේ සඳහන් කිසිම කරුණක් සනාථ කරන්න අවශ්‍ය තොරතුරු පාර්ලිමේන්ු සභා ගර්භයට ඉදිරි්පත් කළේ නැහැ.
ඒවා ගැන වාචිකව වචන සම්භාරයක් ප්‍රකාශ කළා. කිසිම චෝදනාවක් සනාථ කරන්න බැරිවුණු විශ්වාසභංගය යෝජනාවකින් විපක්ෂය අද යළිත් උත්සාහ දරන්නේ කාලය තමන්ට වාසි විදියට පරිවර්තනය කිරීමේ සුපුරුදු ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නයි. එම නිසා අපි මේ විශ්වාසභංගය යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් බොහෝ මන්ත්‍රීවරු යම් යම් ගැඹුරු කරුණු ඉදිරිපත් කළා. අද තිබෙන තත්ත්වය මත. එම කරුණු ගැන ගරු අමාත්‍යතුමාගේ අවධානය අනිවාර්යයෙන් යොමුකිරීම සිදුවෙනවා ඇති. සිදුවෙලා තිබෙනවා. සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විශ්වාසභංග යෝජනාවෙන් ඉදිරිපත් කර තිබෙන කරුණු කිසිවක් සනාථ කරන්න කාරණා නැහැ. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සඳහන් කරනවා. ඒ වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ විවිධ ව්‍යවස්ථා ගැන සඳහන් කරනවා. එසේ නොමැතිව සනාථ කරන්න කිසිදු කාරණාවක් හරියාකාරව ඉදිරිපත් නොකොට, එහෙන් මෙහෙන් තිබෙන කාරණා පිළිබඳ චෝදනා කිරීමක් පමණයි කර තිබෙන්නේ.’

අවේශ සහගත චෝදනාවක් – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
‘දොස්තරලා විතරක් නෙවෙයි, අපේ ගුවන් නියමුවෝත් විදේශ රටවල රැකියාවට යනවා. හැම ක්ෂේත්‍රයකම අය යනවා. වැඩි පඩි හොයාගෙන යනවා. ඒක ගෝලීය ප්‍රවණතාවක්. ඒ නිසා ඒකට ඇමැතිතුමාට හෝ ආණ්ඩුවට හෝ දොස් කියලා හරියන්නේ නැහැ. අපි ඒ සඳහා අලුත් ක්‍රම සකස් කරගත යුතුයි. මේ විශ්වාසභංග යෝජනාව මේ රජයට, ගරු ඇමැතිතුමාට, විරුද්ධව ද්වේෂසහගතව, පදනම් විරහිතව, වෘත්තීමය සාක්ෂියක් නොමැතිව ගෙන එන ලද චෝදනාවක්. ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා.’

අභූත චෝදනාවක් අමූලික බොරුවක් – පර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
‘මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ගරු කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට විරුද්ධව පදනම් විරහිත අභූත චෝදනා සහිත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කිසිම විදියකින් එතුමාට දොස් කියන්න බැරි, එතුමාගේ පාලනයෙන් තොරව සිද්ධ වෙච්ච මේ වාගේ දෙයකදී බාල බෙහෙත් ගෙනාවා, ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙනාවා කියා අමූලික අසත්‍ය කරුණු ඉදිරිපත් කර, සෞඛ්‍ය ක්ෂේත්‍රයටම මඩගසමින් මේ ගෙනයන ක්‍රියාදාමය වැළැක්වීමට අපි කටයුතු කරන්නේ බොහොම සතුටින්.
මම මේ දේ කියන්න ඕනෑ. මේ ගරු ඇමැතිතුමා කිසිම අයුරකින් බාල බෙහෙත් ගෙන්නුවා කියලාවත්, බාල බෙහෙත් ගෙන්වන්න අනුමැතියක් දුන්නා කියලාවත්, බාල බෙහෙත් ගෙනැල්ලා මේ රටේ එවැනි තත්ත්වයක් ඇතිකරන්න හැදුවා කියලාවත් කිසිම සාක්ෂියක් නැතුව එතුමාට නිකම් මඩ ගහනවා, දොස් පවරනවා. ඒක මඩ ගැසීමේ ව්‍යාපාරයක් හැටියට පටන් අරගෙන තිබෙනවා. එම නිසා මා කියා සිටිනවා මේ ගෙනැල්ලා තිබෙන විශ්වාසභංගය අපි සියලු දෙනාම එකතු වෙලා පරාජය කළ යුතුයි කියලා.’










