ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුර සහ ප්‍රබල සභාපති තනතුරු ලබාදිය හැකි බව දැනුම් දෙමින් මේ දිනවල තමන්ට ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් දිගින් දිගටම දුරකතන ඇමතුම් සහ පණිවුඩ ලැබෙන බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අවධාරණය කර සිටිති.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජබ මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක මහතාත්, එස්.එම්. මරික්කාර් මහතාත්, කින්ස් නෙල්සන් මහතාත් කියා සිටියේ විවිධ පාර්ශ්වයන් හරහා මෙවැනි පණිවුඩ ලැබෙනවාට අමතරව ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් සජබ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලටද පැමිණ මේ ආකාරයේ යෝජනා සිදුකරන බවකි.
එහිදී එක්තරා සජබ මන්ත්‍රීවරයකුගේ බිරිය සහ පුත්‍රයා මෙවැනි යෝජනාවක් රැගෙන ආ ආණ්ඩුවේ ප්‍රබලයකුට බැණවැදී එළවාගත් බවක්ද තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කින්ස් නෙල්සන් මහතාද සඳහන් කර සිටියේ මුලින් විපක්ෂයේ සිටින සියලු මන්ත්‍රීවරුන් හොරු යැයි කී ආණ්ඩුවම මේ වනවිට වැඳ වැඳ ඔවුන් පස්සේ වැටී ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කරන බවකි.
ඒ හරහා ආණ්ඩුවේ සිටින පුද්ගලයන් අදක්ෂ බවත්, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් දක්ෂයන් බවත් ආණ්ඩුවම පිළිගෙන ඇති බවද කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.










