ගිහි ගෙදර හිටියත්, පැවිදි වෙලා හිටියත් ලෙඩ රෝග කියන දේ අපි කාටත් පොදු ධර්මතාවක්. ලෙඩක් හැදුණොත් ප්‍රතිකාර ගන්න ඕනේ. රෝගයේ බරපතළකම අනුව නිසි ප්‍රතිකාරයක් නොලැබුණොත් මරණය පවා සිදුවෙන්න ඒ රෝගයම හේතු වෙන්න පුළුවන්. අද රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ලෙඩකට බෙහෙත් ගන්නවා තබා, එදිනෙදා ආහාර ටික සපයාගැනීම පවා හැම කෙනකුටම දුෂ්කර කාර්යයක් වෙලා. බොහෝ දෙනෙක් තමන්ට තියෙන බරපතළ රෝගවලට බෙහෙත් ගන්න එක අමතක කරලා, ඒ මුදල්වලින් දරුවන්ට කන්න බොන්න දෙන තත්ත්වයකුත් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ගිහි ගෙදර ඉන්න ජනතාව ඒ ප්‍රශ්නයට එහෙම මුහුණ දෙද්දී, මහ සඟරුවනටත් ලෙඩක් දුකක් හැදුණාම ප්‍රතිකාර ලබාගන්න එක ඉතාම දුෂ්කර කටයුත්තක්. දායකයෙක් හෝ දායක සභාවකින් එම ගිලන් ස්වාමින්වහන්සේට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒත් එසේ නොවන අවස්ථාවක උන්වහන්සේ පත්වන්නේ වචනයෙන් කිව නොහැකි අපහසුතාවකටයි. එවැනි දුෂ්කරතාවට පත්වෙන භික්ෂුන්වහන්සේලා වෙනුවෙන්ම නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩනැගුණු භික්ෂු ගිලන් මධ්‍යස්ථානයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ. මේ මාහැඟි සමාජ සත්කාරය ගැන කියැවෙන එම වැඩසටහන ‘මව්රට’ පුවත්පත වෙනුවෙන් අපි උපුටා ගත්තේ Naifm යූටියුබ් නාලිකාවෙන්. (Sri Lanka Latest News)
අපි අද ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටා තියෙන ගිරිබාව කියන සුන්දර ගම්මානයේ ඉතා වටිනා නිර්මාණයක් බිහිවුණු තැනකට. මේ කතාව ඔබට වෙනස්ම අත්දැකීමක් වේවි. මේ නිර්මාණය ලංකාවේ සිටින සියලු භික්ෂුන්වහන්සේලාට තමන්ගේ රෝග සුවපත් කරගන්න පිහිටක් ලබාගත හැකි ස්ථානයක්. ඒ තමයි ගිරිබාව ‘සීලසුව හේරත් භික්ෂු අරණ’. මේ ගැන අපට තොරතුරු කියන්න මා සමග සිටිනවා සීලසුව හේරත් භික්ෂු අරණේ නිර්මාතෘ, රාජකීය පණ්ඩිත පූජ්‍ය සෝලේවැව චන්දසිරි ස්වාමින්වහන්සේ. අවසරයි ස්වාමින්වහන්ස. මෙවැනි කර්තව්‍යයක් කරන්න ඔබවහන්සේට මුලින්ම අදහසක් පහළ වුණේ කොහොමද?
වසර ගණනාවක ඉඳන් මගේ දකුණු කකුලේ දණහිසේ ආබාධයක් තිබුණා. ලංකාවේ තියෙන ඉතා ප්‍රසිද්ධ රෝහල්වලින් විශාල මුදලක් වියදම් කරමින් මම ප්‍රතිකාර ලබාගත්තා. නමුත් මගේ රෝගය සුව වුණේ නැහැ. මම කල්පනා කළා රෝගී ස්වාමින්වහන්සේලාට මගේ අතින්ම උපස්ථාන කිරීමමයි මේ සඳහා කළ යුත්තේ කියලා. මම ඒ සඳහා මාර්ගයක් කල්පනා කරමින් ඉන්නකොට මට මුණගැහුණා ගිරිබාව ප්‍රදේශයේ අනුරාධ වාසල මහත්මා සහ නිමානි නයනා මහත්මිය. ඒ පින්වතුන් මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන් අරණක් හදන්න මේ භූමිය පූජා කළා. ඒ හරහා තමයි ගිලන් ස්වාමින්වහන්සේලාට සුව සේ වැඩඉන්න පුළුවන් පුණ්‍ය භූමියක් මෙහි ඉදිකරන්න මම කටයුතු කළේ. ඒ අනුව ඉදිවෙච්ච සීලසුව හේරත් ගිලන් අරණ හරහා රෝගී ස්වාමින්වහන්සේලාට මම මගේ අත් දෙකෙන් අද උපස්ථාන කරනවා. ඒ උපස්ථානයේ දිට්ඨධම්මවේදනීය ආනිසංසය විදියට මේ වෙද්දී මගේ ඒ අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා තියෙන්නේ.
ඒ විතරක් නෙවෙයි, ලංකාවේ කොයි ප්‍රදේශයක ස්වාමින්වහන්සේ නමක් අසනීප වෙලා හිටියත් අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් මේ ස්ථානයට වැඩම කරවලා, පසුගිය වසර පුරාම අපි උපස්ථාන සිදුකළා. ඒ පින්කමේ ආනිසංසයක් විදියට මෙහි මුලින් තිබුණු ගිලන් කුටිවලට අමතරව තවත් කුටි 15ක වැඩ මේ වෙද්දී අවසන් කරලා ගිලන් ස්වාමින්වහන්සේලා 40 නමකට නේවාසික ප්‍රතිකාර ලබාදෙන්න කටයුතු කරන්න අපට අවස්ථාව සැලසුනේ.

වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි විශාල භික්ෂු මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඔබවහන්සේට ශක්තියක් වුණේ කවුද?
මම මේ ගිලන් අරණ ආරම්භ කරපු දවසේ ඉඳලා මට විවිධ අය සම්බන්ධ වුණා. ඇතැම් අය මම ජීවිතේටවත් දැකලා කතාබහ කරලා නැහැ. මම නොහඳුනන අය තමයි වැඩි වශයෙන් මේ වටා එකතු වෙමින් ආධාර උපකාර කළේ. විදෙස්ගත පින්වතුන් විශාල පිරිසකුත් ආධාර කළා. ඒ අයට ලොකු විශ්වාසයක් තිබුණා මම මේ කරන කටයුත්ත ගැන. දුරු රටවලට වෙලා දුක් මහන්සියෙන් හරි හම්බ කරන යම් මුදලක් මේ ගිලන් අරණ වෙනුවෙන් පරිත්‍යාග කළාම ඒක ඒ ගිලන් ස්වාමින්වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිසම යොදාගන්නවා කියන විශ්වාසය ඔවුන් තුළ නිරන්තරයෙන්ම තිබුණා. ඒ නිසාමයි අද වෙද්දී මේ වගේ විශාල ගිලන් අරණක් ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් ගොඩනගන්න මට පුළුවන්කම ලැබුණේ. ඒ විදියට මේ වෙනුවෙන් දායක වුණු හැම දෙනාගේම බලාපොරොත්තුව අද ඉෂ්ට වෙලා තියෙනවා.
ස්වාමින්වහන්ස, මේ ගොඩනැගිල්ලේ මහල් තුනක් තියෙනවා. ඒ එක් එක් මහල්වල තියෙන්නේ මොනවද කියන එකත් අපි කතා කරමු?
පළමු සහ දෙවැනි මහල්වල ගිලන් කුටි 30ක් ඉදිකරලා තියෙනවා. අද වෙද්දී ගිලන් ස්වාමින්වහන්සේලා 20 නමක් එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ ප්‍රතිකාර සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. අපි කිසිදු මුදලක් අයකරන්නේ නැහැ මේ සඳහා. තුන්වැනි මහල අපි වෙන්කරලා තියෙන්නේ බුද්ධ මන්දිරයක් විදියට. මෙහි වැඩසිටින ගිලන් ස්වාමින්වහන්සේලාට වගේම බැහැරින් වැඩමකරන ස්වාමින්වහන්සේලාටත් බුද්ධ වන්දනාවන් සිදුකරන්න අපි තුන්වැනි මහල වෙන්කර දීලා තියෙනවා. ඒ වගේම තුන්වැනි මහල මත සුවිශේෂ ඉදිකිරීමක් සිදුකරගෙන යනවා. ඒ තමයි සම්බුද්ධ ශාසනයේ නිරෝගීම රහතන්වහන්සේ යන විරුදාවලිය ලැබූ බක්කුල මහරහතන්වහන්සේ සිහිපත් කරමින් ගොඩනැගෙන ‘බක්කුල මහා සෑය’. බක්කුල මහරහතන්වහන්සේගේ ධාතුන් නිධන් කරලා, ඒ මහා සෑය ඉදිකිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මෙහි වැඩසිටින ගිලන් ස්වාමින්වහන්සේලාටත් ඒ චෛත්‍යය වන්දනා කරලා, පින් රැස්කර ගන්නට අවස්ථාව උදාකර දීමයි මගේ බලාපොරොත්තුව.
අපි දැන් ගිලන් අරණ තුළට ගිහින් බලමු කොහොමද මේ ඉදිකිරීම සිදුකරලා තියෙන්නේ, මොන විදියටද කුටි වෙන්කරලා තියෙන්නේ කියන දේ. මුලින්ම අපි ආවේ කාර්යාලයට. මේ ගැනත් අපට කියන්න ස්වාමින්වහන්ස?
මේ කාර්යාල කාමරය. මෙතැනදී තමයි අලුතෙන් ගිලන් අරණට වැඩම කරන ස්වාමින්වහන්සේලාව ලියාපදිංචි කරන්නේ. අපේ මේ ස්ථානයට ස්වාමින්වහන්සේ නමක් භාරගන්න විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. උපසම්පදා වෙලා අවම වශයෙන් වස් දහයක් සම්පූර්ණ වුණු ස්වාමින්වහන්සේලා තමයි අපි භාරගන්නේ. ඒකට හේතුව තමයි වර්තමානයේ භික්ෂුන්වහන්සේලා ලෙස පෙනීසිටිමින් ඇතැම් පුද්ගලයන් සිදුකරන විපරීත ක්‍රියාවන්. ඇතැමුන් සිවුරක් දරාගෙන විවිධ දුෂ්චරිත කරනවා. ඒවා දකින බොහෝ දෙනා සමස්ත භික්ෂු ප්‍රජාව ගැනම කලකිරෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයන් ඇතුළු කරගැනීම වැළැක්වීම පිණිස උපසම්පදාවෙන් වසර 10ක්වත් ගතකරපු ගෞරවනීය ස්වාමින්වහන්සේලාව තමයි අපි මේ ගිලන් අරණයට ඇතුළත් කරගන්නේ. එතකොට උන්වහන්සේලා වෙනුවෙන් ප්‍රත්‍ය පහසුකම් පූජා කරන අයටත් සතුටු වෙන්න පුළුවන් තමන්ගේ දානය පරිහරණය කරන්නේ සිල්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේලා කියලා. එවැනි ස්වාමින්වහන්සේලා 20 නමක් මේ මොහොතෙත් මෙහි වැඩසිටිමින් ප්‍රතිකාර ලබනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේලාට අපවත් වන තුරුම මෙහි රැඳී සිටීමට වුණත් පුළුවන්. පහුගිය කාලයේ එවැනි ගිලන් ස්වාමින්වහන්සේලා තුන්නමක් අවස්ථා තුනකදී අපවත් වුණා. ඒ අවස්ථාවල උන්වහන්සේලා වෙනුවෙන් සියලු වතාවත් සිදුකරලා තමයි අවසන් කටයුතු ගිලන් අරණ මගින් සිදුකරන්නට යෙදුණේ.
ස්වාමින්වහන්ස, දුරබැහැර ප්‍රදේශයකින් වැඩමකරපු ඒ වගේ ගිලන් ස්වාමින්වහන්සේ නමක් අපවත් වුණාම ඒ අවසන් කටයුතු සඳහා මුදල් සොයාගන්නේ කොහොමද?
අපි උන්වහන්සේලා කලින් වැඩසිටි විහාරස්ථානවලින් හෝ ඥාතීන්ගෙන් හෝ කිසිදු මුදලක් අයකරන්නේ නැහැ. ගිලන් හිමිනමක් මේ ස්ථානයට ඇතුළත් වුණ මොහොතේ පටන් උන්වහන්සේගේ දානය, බෙහෙත්, නේවාසික පහසුකම් ඇතුළු සිවුපසය සියල්ලම ලබාදෙන්නේ ගිලන් අරණ විසිනුයි.
අපි ළමා නිවාසවල දකිනවා ‘කැපකරු මාපිය’ ක්‍රමය. මේ ගිලන් අරණේ දායකයන්ටත් ඒ විදියට ගිලන් ස්වාමින්වහන්සේ නමකගේ අවශ්‍යතා සොයාබලමින් ඒ සඳහා බරපැන දැරීමේ අවස්ථාව සලසා දීලා තියෙනවද?
ඔව්. එවැනි පින්කමකට දායක වෙන්න යම් කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ඊට අවස්ථාව තියෙනවා. ඒ අනුව ඔහුට පුළුවන් අපේ ගිලන් අරණේ වැඩසිටින ගිලන් ස්වාමින්වහන්සේ නමක් තෝරාගෙන උන්වහන්සේට අවශ්‍ය ඖෂධ ලබාදෙන්න, දානය සහ උපස්ථායකයාගේ වැටුප් යනාදිය සඳහා මාසිකව දායක වෙමින් උන්වහන්සේ අපවත් වන තුරුම ඒ ගිලානෝපස්ථානය සිදුකරගන්න.

අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගිලන් ස්වාමින්වහන්සේලාගේ නාන කාමරය තියෙන ස්ථානයට. මේ ගැන විස්තර කරන්න ස්වාමින්වහන්ස?
මේ තමයි ඔත්පළ වෙලා ඉන්න ස්වාමින්වහන්සේලා පැන් පහසු වෙන තැන. උන්වහන්සේලා රෝද පුටුවෙන් මෙතැනට එක්කරගෙන ඇවිල්ලා උණු පැන්වලින් හෝ ඇල් පැන්වලින් පිරිසිදු කිරීම අපේ කාර්යමණ්ඩලය විසින් සිදුකරනවා. මේ නාන කාමරය පොදුවේ භාවිත කරන එකක්. ඊට අමතරව සෑම ගිලන් කුටියකටම වෙන්වූ නාන කාමරයක් බැගිනුත් ඉදිකරලා තියෙනවා.
කාර්යමණ්ඩලය ගැනත් යමක් සඳහන් කළොත්?
අපේ ගිලන් අරණේ පළමු අදියරේ කාර්යමණ්ඩලය හය දෙනෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් මෙතැන කටයුතු බලාගන්න පත්කරලා ඉන්නවා. ඒ නිසා මම මේ ස්ථානයේ නැතත්, සියලු කටයුතු ක්‍රමවත්ව සිදුවෙනවා.
ස්වාමින්වහන්සේලාට දානය පිළියෙල කරන ස්ථානයටයි දැන් අපි ඇවිත් ඉන්නේ. මෙහි කටයුතු සිදුවෙන්නේ කොහොමද?
විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මෙහි වැඩඉන්නේ ගිලන් ස්වාමින්වහන්සේලා. ඉතින් උන්වහන්සේලාට අවශ්‍ය විදියට, උන්වහන්සේලාගේ රෝගී තත්ත්වයන්ට ගැළපෙන විදියටයි දානය පිළියෙල කරන්නේ. ඒ නිසා යම් කෙනකුට පුළුවන් මෙතැන වැඩඉන්න ස්වාමින්වහන්සේලා වෙනුවෙන් දානයකට දායක වෙන්න. විදෙස්ගතව ඉන්න අයට සහ දුරබැහැර ඉන්න දායකයන්ට, දානයට අමුද්‍රව්‍ය එවන්න හැකියාවක් නැහැ බොහෝ වෙලාවට. එවැනි අයට පුළුවන් දෛනික දාන වාරයකට දායක වෙන්න අපේ කාර්යාලය හරහා. ඒ අනුව අදාළ දිනයට ඒ දානය පිළියෙල කරලා ස්වාමින්වහන්සේලාට පූජා කරන්න අපි කටයුතු කරනවා. ඊට අමතරව ඒ දායක වුණු කෙනා වෙනුවෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් දානය පූජා කළාට පසුව අනිවාර්යයෙන් සිදුකරනවා. ඒ වගේම ඒ සෑම පුණ්‍යානුමෝදනාවක්ම අපේ යූටියුබ් නාලිකාවට එදිනම එක්කරනවා. ඕනෑම කෙනකුට ඒවා බලන්න පුළුවන්.

අපි දැන් ඉන්නේ ගිලන් කුටියක් ළඟ. මේ කුටිවල තියෙන ඇඳන්වලත් විශේෂත්වයක් තියෙනවා. මේවා රෝගීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු ඇඳන්. කොහොමද මේ ඇඳන් සපයාගත්තේ?
බොහොම ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් අපට ඇඳන් කිහිපයක් පූජා කළා. ඊට අමතරව විදෙස්ගත දායක මහත්මයෙක් මැදිහත් වෙලා පළමු අදියරේදී අපට ඇඳන් 15ක් පූජා කළා. මේ වෙද්දී අලුත්ම ගිලන් ඇඳන් 35ක් මෙහි තියෙනවා.
ඒ වගේම සියලු දෙනාටම මතක් කරන්න කාරණාවක් තියෙනවා. අපේ ගිලන් අරණේ දෙවැනි මහලේ ගිලන් කුටි කිහිපයක් ඉදිකෙරෙමින් තියෙනවා. ඒ කුටියක් සම්පූර්ණයෙන්ම ඉදිකරන්නට හෝ කොටස් වශයෙන් ඉදිකරන්නට දායක වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. කුටිවලට අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඇඳන් ඇතුළු අවශ්‍ය දේ පූජා කරන්නත් ඔබට පුළුවන්. ගිරිබාව සීලසුව හේරත් ගිලන් අරණට ඇවිල්ලා, ගිලන් ස්වාමින්වහන්සේලා ගැන සොයා බලලා, මෙහි ඉදිකිරීම් නිරීක්ෂණය කරලා ඔබේ දායකත්වය මේ වෙනුවෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම ගිලන් ස්වාමින්වහන්සේලාගේ දෛනික දාන වාරයක් වෙනුවෙන් දායක වෙන්නත්, දිනපතාම සිදුකෙරෙන ඖෂධීය පාන වර්ග 108කින් යුත් උතුම් සම්බුද්ධ පූජාවක් සඳහා දායක වෙන්නත් ඔබට අවස්ථාව විවෘතව තිබෙනවා.
ගිලානෝපස්ථානය කියන්නේ සසරේ සැරිසරන සත්වයාට නිරෝගී බව ලබාදෙන මහා පින්කමක්. ඉතින් ඒ පින්කම කරගන්න හැම දෙනාටම හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සීලසුව හේරත් ගිලන් අරණේ දාන වාරයන්ට, සම්බුද්ධ පූජාවන්ට, ඖෂධ වියදම්, ප්‍රවාහන වියදම්, සේවක වැටුප්, විදුලි ගාස්තු සහ නඩත්තු කටයුතු වෙනුවෙන් ඔබටත් දායක වෙන්න පුළුවන්. පහත සඳහන් දුරකතන අංකවලින් අනුශාසක පූජ්‍ය සෝලේවැව චන්දසිරි ස්වාමින්වහන්සේ අමතා ඔබේ දායකත්වයන් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ගිලන් අරණ නිර්මාතෘ පූජ්‍ය සෝලේවැව චන්දසිරි ස්වාමින්වහන්සේ – 0714 367 734 / 0775 269 530










