කොවිඩ් කියලා කියන්නේ ටික කාලයක් ඔබට සහ මට තිබිච්ච ජීවිතේ ලොකුම ප්‍රශ්නය. ඒ කාලෙ ගෑස් කරදර, තෙල් කරදර, අරවා මේවා මොනවත්ම තිබුණේ නෑ. ඒත් කොවිඩ් තිබුණා. පාරට බැහැගන්න බැරුව, ගේ දොරවල් අගුලු දාගෙන, සමහර වෙලාවට නගර පිටින් අගුළු දාලා, ගම්මාන පිටින් අගුළු දාලා. එක මොහොතක් තිබුණා ලංකාව ඇතුළු බොහෝ රටවල් සම්පූර්ණයෙන්ම තමන්ගෙ රටම වහලා දාපු. එක කාලයක් තිබුණා මුළු ලෝකෙටම අගුළු දාපු. එහෙම කාලයක් පහුකරලා දැන් නිදහසේ හුස්ම ගන්න පටන්ගත්තු, නිදහසේ ඇවිදින්න පටන් අරගත්තු, නිදහසේ ජීවත් වෙන්න පටන් අරගත්තු අපට කොවිඩ් ඉක්මනට අමතක වුණා. අපේ මිනිස්සු කතාවට කියනවා ‘සිංහලයා කියලා කියන්නේ ඕනෙම දෙයක් ඉක්මනටම අමතක කරලා දාන කෙනෙක්’ කියලා. දැන් ඔබට ඔබේ මාස්ක් එකවත් මතක නෑ නේද? අපිට මාස්ක් එක අමතක කරන්න සමහර මෝඩ නිලධාරීන් කියන අනුවණ කතන්දර අපේ ජීවිතවලට අපි එකතු කරගන්නවා. ඇත්තටම මුල ඉඳලම මේ කොවිඩ් මර්දනය සහ කොවිඩ් වර්ධනය කියන දෙකටම හවුල් වුණේ ලංකාවේ හිටපු නිලධාරීන්. ඒගොල්ලො තමන්ට හිතෙන හිතෙන විදියට තීන්දු අරගෙන, හිතෙන හිතෙන විදියට තීරණ අරගෙන මේක අවුල් ජාලයක් බවට පත් කළා. ඒ අවුල් ජාලෙන් වැඩිපුර පීඩා වින්දේ ඔබ සහ මම. දැන් ඇයි මේ ආයෙත් කොවිඩ් ගැන කතා කරන්නේ? ඔව්. ආයෙත් කොවිඩ් ගැන කතා කරන්න ඕනෙ. ඒ, ඔබට හැම දේම අමතක වෙලා හින්දා.
වාහනවල යනකොට ඔබට මාස්ක් එක දාන්න අමතක වෙනවා. අතේ දුර, මීටරේ දුර, මීටර් එකහමාරෙ දුර, මේවා හොඳටම අමතක වෙලා ගිහින්. අත හෝදන එක නම් වෙන්නෙම නැති තරම්. සැනිටයිසර් එකක් ඔබ පාවිච්චි කරන්නෙම නැති බව අපි දන්නවා. ඒකට හේතු තියෙනවා. සැනිටයිසර් කියලා කියන්නේ දැන් ඉතා මිල අධික දෙයක් බවට පත්වෙලා. සාමාන්‍ය මනුස්සයෙක් ගාව සැනිටයිසර් එකක් තියාගන්න බැරි තරමටම ඒවායෙ මිල අධිකයි. බොහෝ ආයතන ඉදිරියේ ඉස්සර තිබුණු සබන් දියර, ජල කරාමය හෝ කුමක් හෝ අත සේදීමේ මෙවලම දැන් යල් පැනගිහින්. කැඩිච්ච බිඳිච්ච ටැප් එක ගාව, හිස් වෙච්ච සබන් දියර බෝතලේ විතරයි දැන් තියෙන්නේ. ඒක අපිට ‘ඉස්සර අපි අත හේදුව කාලයක් තිබුණා, මතකයි නේද?’ කියලා මතක් කරන සිහිවටනයක් පමණක් බවට පත්වෙලා. ඒ සිහිවටන ටිකත් එක්ක අපි දැන් ගතකරමින් යන්නේ කොවිඩ් නැති ඉතා සුන්දර රමණීය කාල පරිච්ඡේදයක් නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් අවාසනාවකට මම මේ ලිපිය ලියන දවසේ ඉඳලා දවස් 04ක් ආපස්සට යන්නම්.
05 වැනිදා මරණ 05යි. රෝගීන් 167යි.
06 වැනිදා මරණ 03යි. රෝගීන් 184යි.
07 වැනිදා මරණ 02යි. රෝගීන් 180යි.
08 වැනිදා මරණ 06යි. රෝගීන් 214යි.
මරණ 16ක් දවස් 04කට වාර්තා වෙලා තියෙනවා. රෝගීන් සංඛ්‍යාව 745ක්. ඒ කියන්නේ මේ වෙනකොට තත්ත්වය එච්චර හොඳ නෑ. ඔබට මතකද දන්නෙ නෑ එක රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙනකොට මේ රට වහල දාපු කාලයක් තිබුණා. එක රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙනකොට ගෙදරින් එළියට නොබැහැපු කාලයක් තිබුණා. එක රෝගියාට දෙන්නට අපි එදා බය වුණාට දැන් මරණ 06ක් වාර්තා වෙලත් ඒ ගැන අපට මතකවත් නෑ. මේ ගතවෙමින් යන්නේ අපට ඉතා අමාරු කාලයක්. රටේ ඖෂධ හිඟයක් තියෙන බවට සෞඛ්‍ය අංශ විසින් විවිධ අවස්ථාවලදී පැහැදිලි කිරීම් කරනවා. ඒකෙ ඇත්ත නැත්ත සහ සංඛ්‍යා ලේඛන සම්බන්ධව බොහෝ විට ප්‍රශ්න තියෙන බව ඇත්ත. කොහොම නමුත් අර්බුදයක් නම් මේ රටේ තියෙනවා. අපි ගාව දැන් ඩොලර් නෑ. බොහෝ දේ ගෙන්වන්න අපට පුළුවන්කමක් නෑ. තෙල් නැවට සල්ලි ගෙවාගන්නේ අමාරුවෙන් නම්, ආයෙ අමතර දේවල් ගෙනල්ලා ඒවට මුදල් ගෙවාගන්න බැරි බව අපි ඉතාම හොඳින් දන්නවා. ඒවා නොදැන මෝඩයෝ වගේ අපි හැසිරිලා හරියන්නෙ නෑ.
දැන් මේ වෙනකොට රෝහල්වලට තියෙන්නේ පිරිස් බලය විතරයි. පුද්ගල බලය විතරයි. ඒත් බොහෝ විට රෝහල්වලින් වාර්තා වන ප්‍රවෘත්තිය වෙන්නේ දොස්තර මහත්තයට තෙල් නෑ, කාර්යමණ්ඩලයට තෙල් නෑ වගේ කතන්දර. මේ ලියන මොහොත වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් මේ තත්ත්වයෙ හැඩය ඒකයි. එහෙම තත්ත්වයක් යටතේ ආයෙත් කොවිඩ් ආවොත් කියන භයානක කතාව මට ඔබට කියන්න සිද්ධ වෙන්නේ ඔබව තිගස්සවන්න නෙවෙයි. ඔබව බය කරලා, විනෝද වෙන්න නෙවෙයි. අපි වගකිව යුතු මාධ්‍යවේදියෝ විදියට කොවිඩ් සම්බන්ධව හැමදාම ප්‍රවෘත්ති වාර්තා කළා. ඒ, කිසිදු සතුටකින් නෙවෙයි. මේ රටේ සිද්ධ වෙන ඉතා භයානක, ඉතා නරක ව්‍යසනවලදී අපිට අපේ මාධ්‍ය රාජකාරිය ඉටුකරන්න සිද්ධ වුණා. ඒ කිසිම වෙලාවක අපි හිටියේ සතුටින් කියලා ඔබ හිතනවා නම්, ඔබ වැරැදියි. අපි ඉතාම දුක් වෙනවා. බොහෝ විට ඔබ හා සමානවම අපි දුක් වෙනවා. කරකියා ගන්න දෙයක් නැතුව අපි අසරණ වෙනවා. අපිටත්, ඔබටත් මේ රට ඇතුළේ විශාල වගකීමක් තියෙන බව විතරක් අපි ඔබට මතක් කරනවා.
රටක් විදියට අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න දහස් ගණනක් අතරින් ආයෙත් අලුත් ප්‍රශ්නයක් අපේ ඇඟට දාගෙන, ඒක විසඳගන්න බැරුව අපි අසරණ වෙනකොට, රට අසරණ වෙනකොට අපි හැමෝටම ඒ ප්‍රශ්නෙට මුහුණ දීගන්න බැරි වෙනකොට ඒකෙන් සතුටක් ලබන්න අපිට අවශ්‍යතාවක් නෑ. මේ රට මගේ රට. මේ රට ඔබේ රට. මේ රටට ප්‍රශ්නයක් නම්, මේ රටට කරදරයක් නම්, මේ රටේ ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් නම්, මේ රටේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නම්, ඒ ප්‍රශ්නය ඔබේත්, මගේත් ප්‍රශ්නයක් කරගන්නවා මිසක, ඒක ආණ්ඩුවෙ ප්‍රශ්නයක්, නැත්නම් රාජ්‍යයේ ප්‍රශ්නයක්, යම්කිසි නිලධාරියෙක්ගෙ ප්‍රශ්නයක් කියලා අත පිහදාගන්න අපට අවශ්‍යතාවක් නෑ. ඒක නිසා අපි එකතු වෙලා ආයෙත් ගොඩ එමු. මේ ප්‍රශ්නය ආයෙත් මතක තියාගනිමු. කොවිඩ් ආයෙත් ඔළුව උස්සලයි තියෙන්නේ. අපි කොවිඩ්වලට ඔළුව උස්සන්න දෙනවාද? නැත්නම් කොවිඩ් පරද්දලා අපි ඔළුව උස්සනවද? මේ ගැටුමෙන් කොවිඩ් කියන පුංචි සතා පරාජය කරන්න අපට පුළුවන්ද බැරිද කියන එක මතයි සියල්ල තීරණය වෙන්නේ. ඒක නිසා අපි මේකෙ ඇත්ත නැත්ත හරියට අවබෝධ කරගෙන මුහුණ දෙමු මේ ප්‍රශ්නයට. කොවිඩ් පරද්දමු. ටිකක් පරිස්සම් වෙමු. ඉස්සර වගේම ආයෙත් පරිස්සම් වෙන්න බැරිකමක් නෑ. පරිස්සමට යන වියදම ජීවිතේ වෙනුවෙන් කරන ආයෝජනයක් කියලා හිතලා මේ ටික දවසෙත් ඔහොමම ඉමු. අපි අපිව බේරගමු. අපිව පරිස්සම් කරගමු.

ජීවන පහන් තිළිණ










