පින්තූරයක් දැක්කම ඒක ෂෙයාර් කරලා හෙන ආතල් එකක් ගන්න ගොබ්බ හැත්‍ත එක්ක මේක බේරගන්න ඕනෙ කොහොමද කියලා තේරෙන්නෙ නෑ. ඒ නිසා මේක ලියලා හිත නිදහස් කරගන්න එක හැර වෙන ක්‍රමයක් නෑ. ඇත්තටම මේ පින්තූරයෙ ඇත්ත කතාව මම දන්නෙ නෑ. අපිට ඒක දැනගන්න ඕනෙත් නෑ.
මේ පින්තූරය ගැන විවිධ කතා කියවෙමින් තිබ්බා. ඒත් බැලූ බැල්මට මේ ඉන්නෙ භික්ෂුවක්. ඒක අපි අනුමාන කරගන්නෙ මේ පින්තූරයෙ එක් අයෙක් ඇඳගෙන ඉන්න ඇඳුමෙන්. ඒක බැලූ බැල්මට පේන්නෙ චීවරයක් වගේ. සමහර විට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඇයි අපි මිනිස්සු මනින්න කලබල වෙන්නෙ?මේ කවුද කින්ද මන්ද කියන එක වැඩක් නෑ. මේ කවුරු වුණත් නීති විරෝධී දෙයක් කරනවද? අපි දන්න තරමින් නම් බස් නැවතුමක ඉන්න තහනමක් නෑ. එහෙම වරදක් කරනවා නම් කවුද කියලා බලන්න එපා, කටු ඉඹුලෙ එල්ලන්න.
ඒත් නිකන් මිනිස්සු අල්ලගෙන ඇරියස් කවර් කරන්න ගන්න එපා. අල්ලනවා නම් අල්ලගන්න ඕනෑ තරම් වැරැදිකාරයො ඉන්නවා. ගෑනියෙක්ට සහ පිරිමියෙක්ට මේ රටේ එකට හිටගෙන ඉන්න තහනමක් නෑ. ඒක තහනම් වෙන තැන් තියෙනවා. තහනම් වෙන විධි තියෙනවා. ඒ තහනම් විදියක් නොවෙන විදියකට මිනිස්සු පාරෙ යන්න ඕනෙ. ඒ සීමාව වාරණය කරන්න කලබල වෙන්න එපා.
හරි දැන් අපි කෙළින්ම කතා කරමු. මේ ඉන්නෙ හාමුදුරු කෙනෙක්ම බව අපිට විශ්වාසයි කියන තැන ඉඳලා තේරුම් ගනිමු. මේ හාමුදුරුවන්ට මොකක්ද කෙල්ලෙක් එක්ක මේ අඩ අඳුරෙ ඉන්න තියෙන වුවමනාව? ඒ වුවමනාව මොකක් වුණත් ඒකෙ සරලව පේන්නෙ නෑ. අපිට අවුලක්. ඔය අවුල හදාගන්නෙ අපි. අපේ ඔළුව ඇතුළෙන් වෙන වෙනම රෙදි ගලවනවා. ඒ රෙදි ගලවන අවුල තියෙන්නෙ අපේ ඇතුළෙ. මේ පින්තූරෙ එහෙම මොනවත් පේන්න නෑ. මේක සෙල්ලමක් කරගත්තෙ පේජ්කාරයො. එයාලා මේක මාකට් කරගන්නෙ එයාලට සල්ලි හොයාගන්න.
ඒක ආගම රකින්න කරන යුද්ධයක් නෙවෙයි. ඒ නිසා ආගමට ආදරේ කරන අය මේ වෙලාවෙ වෙන කොනකට එන්න. ඕක වෙනමම ආතල් එකක්.
මේ ගැන කියැවුණු සරල කතාව මොකක් වුණත්, ගල් ගහන්න කලින් නිවැරැදි එකෙක් මුලින්ම එන්න කියන එක. ලංකාවේ සමාජ ජාල භාවිත කරන බොහෝ දෙනෙක් නිවැරැදියිලු. ඒ නිසා ගල් ගහන්න පෝලිමේ ආවා. ඒ අස්සෙ මේක නිරවුල් කරන්න ආපු පිරිසක් හිටියා. එයාලට ස්තුතියි. ඒත් මේක අස්සෙ සටනට ආපු එවුන් හාමුදුරුවන්ගෙ සිවුර ගලවන්න කලින් ගලවගත්තෙ උන්ගෙ කලිසම් යට කලිසම්. මොකද මේ වෙලාවෙ හුඟ දෙනෙක් ඉන්නෙ හෙලුවෙන්.
මේක ඇත්ත කතාවද නැත්නම් පේජ්කාරයො ටිකක් ගන්න වෙනමම ආතල් එකක්ද කියන්න අපි දන්නෙ නෑ. ඒත් ඒක ඇත්තම නං…
‘මේ ඉන්නෙ අයියයි නංගියි. මේ දෙන්න පාරට එන්නෙ ඉස්පිරිතාලෙ යන්න. ඒ ඉස්පිරිතාලෙ ඉන්න අම්මව බලන්න. ඒ අම්මා ඉන්නෙ ලෙඩ වෙලා. ඇත්තටම කියනවා නම් ඒ අම්මට පිළිකාවක් හැදිලා. චීවරේ දාගත්තත් පුතා පුතෙක්මයි. වෙන කතාවක් නෑ. ඒ වගේම චීවරේ දාගත්තත් මේ සහෝදරකම් එහෙමමයි. එහෙම නම් මේ ගමන යන්ඩ මේ කරදර කාලෙ ඒ අම්මගෙ දරුවො දෙන්න පාරට ඇවිත් බස් එකක් එනකල් බලා නොඉඳ වෙන මොනවා කරන්නද?
වේදනාවෙන් රෝහලේ බලා ඉන්න ඒ අම්මගෙ ඇස් දෙක මිසක් මේ දරුවන්ට වෙන මොනවත් මතක් වෙයිද? අකුලකට මුවාවෙලා පින්තූරයක් ගන්නවා වෙනුවට, ‘හාමුදුරුවනේ මොකක්ද මෙතැන වෙන්නෙ?’ කියලා අහන්න කොන්දක් තිබ්බ නම් මේක මීට වඩා ලස්සනට විසඳේවි. ඒත් අවාසනාවකට අපි ඉපදිලා තියෙන්නෙ එහෙම රටක නෙවෙයි, වෙනමම රටක.
දැන් අපි එක එකාගෙ රෙදි හෝදමින්, අනුන්ගෙ මඟුල් හොයමින්, ජරාව එකතු කරමින් පුදුම ලස්සන ජීවිත ගතකරනවා. ඒත් ඔබ කවදාවත් හිතුවද මේ අප්‍රසන්න දුගඳ හමන සමාජයේ හැමදාම එකම චීවරේ ඇඳගෙන ඉන්න මනුස්සයගෙ බර ගැන? පාන්සකූලෙට දානෙට මානෙට එන එක ගැන විතරක් නොහොයා, අපි හොයමු අපිට ජීවිතේ ගැන පාඩමක් උගන්නන කෙනෙක්, එහෙම නැතිව අරූගෙ මූගෙ ඕපාදූප හොයන එක නවත්තමු. මේ ගතවෙමින් යන්නෙ අපේ ජීවිතවල දරුණු ඉඩෝරයක්. කන්න බොන්න නැති රටක් මේක. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් ඔය තරම් අනුන්ගෙ ඕපාදූප හොයනවා නම්, තිබ්බ නම් කොහොම වෙයි ද?

ජීවන පහන් තිළිණ










