රුපියලේ අගය ශක්තිමත් වන විට එයින් ඇතිවන වාසිය පාරිභෝගිකයන් අතට නොයා අතළොස්සක් වන ව්‍යාපාරික පිරිස් විසින් ලබාගන්නා බව මහ බැංකු වාර්තා සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අකුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
2022 මාර්තු මාසයේ සාමාන්‍ය විනිමය අනුපාතිකය ගත් විට ඩොලරයක වටිනාකම රුපියල් 255.8ක් ලෙස පැවැති බව සඳහන්ය.
2023 පෙබරවාරි අවසන් වන විට ඩොලරයක වටිනාකම රුපියල් 361.6ක් වූ අතර, අදාළ කාල පරිච්ඡේදය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 42%කින් පහළ යෑමක් පෙන්නුම් කර ඇත.
මේ කාල සීමාව තුළ උද්ධමනය 46%කින් පමණ ඉහළ ගොස් ඇති බවද වාර්තා වූ බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව පැහැදිලි වන්නේ රුපියලේ අගය දුර්වල වන විට එහි අවාසිය භාණ්ඩ මිල ඉහළ යෑම මගින් පාරිභෝගිකයන් වෙත බලපා ඇති බවයි.
එහෙත් 2023 පෙබරවාරි මාසයෙන් පසුව රුපියලේ අගය ක්‍රමයෙන් ශක්තිමත් වීමක් දැකගත හැකි වන අතර, 2024 පෙබරවාරි මාසය වන විට ඩොලරයක අගය රුපියල් 307 මට්ටම දක්වා වෙනස් වී ඇති බව සඳහන්ය. ඒ අනුව රුපියලේ අගය 15%කින් ශක්තිමත් වීමක් පෙන්නුම් කෙරේ.
අදාළ කාලය තුළ රටේ ආනයනික භාණ්ඩ සහ සේවාවල මිල ගණන් පහළ යෑමක් දැකගත නොහැකි වී ඇති බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
2023 ජුනි මාසයේ ඩොලරයේ වටිනාකම රුපියල් 290 දක්වා පහළයෑමක්ද පෙන්නුම් කෙරේ.
රුපියලේ අගය දුර්වල වන විට එහි අවාසිය පාරිභෝගිකයන් වෙත පටවන නමුත් රුපියලේ අගය ශක්තිමත් වීම තුළ ලැබෙන වාසිය පාරිභෝගිකයන්ට බෙදී යෑමක් සිදු නොවන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය නිසා තවමත් මිල ඉහළ ගොස් ඇති අත්‍යාවශ්‍ය ඖෂධවල මිලද, අක්ෂි රෝග සඳහා භාවිත වන ඖෂධවල මිලද තවමත් පහත දැමීමට නොහැකි වීමෙන් රෝගීන් දහස් ගණනක් පීඩා විඳින බවද ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න