චීන ෂි යැන්ග් 6 නැව ජනවාරි 05 ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේය.(Sri Lanka Latest News) මේ නැව පැමිණීම පිළිබඳ ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවට සිය විරෝධය පළකොට ඇති බවත්, එම මාධ්‍ය වාර්තා කළේය. මෙම නැව ලංකාවට පැමිණීමට නියමිත බව ලංකාව දැන සිටියේ පසුගිය වසරේ ඔක්තෝබරයේ ලංකාවට පැමිණි ෂි යැන්ග් 6 චීන නැව චීනයෙන් පිටත් වීමටත් පෙරය.
නොවැම්බරයේ ෂි යැන්ග් 6 නැව ලංකාවට ඒමට පෙර එම නැවට අවසර නොදෙන ලෙස ඇමෙරිකාවෙන් ජනාධිපති රනිල්ට දැනුම් දුන්නේය. ඉන් පසු විදේශ ඇමැති අලි සබි්‍ර ප්‍රකාශ කළේ ඉන්දියාවේ ප්‍රශ්නය සලකා බලා ලංකා ආණ්ඩුව තවම එම නැවට එන්න අවසර දී නැති බවය. ලංකාවට එන ජාත්‍යන්තර නැව් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදන බවත්, එය හදන තෙක් චීන නැවට ලංකාවට එන්න අවසර නොදෙන බවත් ඔහු කීවේය.
පසුව ආණ්ඩුව විසින්ම මාධ්‍යවල නිවුස් ප්ලාන්ට් කළේ නැවට අවසර දීම නොවැම්බර් තෙක් කල්දමා ඇති බවය. චීනය ඔක්තෝබරයේ පැමිණීමට අවසර ඉල්ලා ඇතත් ඔක්තෝබරයේ අවසර නොදීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කළහ. මේ අතර ආණ්ඩුව නිල නොවන ලෙස ඇමෙරිකාවට දැනුම් දුන්නේ නොවැම්බරයේ මොන්සූන් නිසා චීන නැවට ඒමට හැකියාවක් නැති බවය. මේ කතා සියල්ල මැද චීන නැව ඔක්තෝබරයේ ආවේය. ඉන් පසු විදේශ ඇමැති අලි සබි්‍ර කීවේ ඉදිරියේ එන නැව්වලට ක්‍රමවේදයක් හදන බවය.
එම චීන නැව එන්න කලින් ආරක්ෂක අමාත්‍යාංශය කීවේ තමන් නැව පැමිණීමට අවසර දීමට විදේශ අමාත්‍යාංශ අවසරය ඉල්ලා ඇති බවය. විදේශ අමාත්‍යාංශය කීවේ තමන් ආරක්ෂක අමාත්‍යාංශ තීරණය දිහා බලා සිටින බවය. මේ ලෙසට අමාත්‍යාංශය එකිනෙකාට බෝලේ පාස් කර සිටියදී නැව ආවේය.
ඇත්ත කතාව නම් ලංකාවේ ආණ්ඩුවේ අවසරයකින් තොරව මේ නැව්වලට ලංකාවට එන්න බැරිය. චීන නැව් එන්නේ අවසර ලබාගෙනය. ලංකාවට පැමිණීමට චීන නැව්වලට අවසර දෙද්දීම ඉන්දියාව සහ ඇමෙරිකාව මෙයට විරෝධය පළකරන බව ලංකාවේ ආණ්ඩුව දනී. දැන දැන ඔවුන් අවසර දෙයි. ඇමෙරිකාව සහ ඉන්දියාව විරෝධය පළකළ විට ක්‍රමවේදයක් ගැන කියා මගහරියි. මෙයින් පැහැදිලි වන්නේ චීන නැව්වලින් ලංකා ආණ්ඩුව භූදේශපාලනික ගේම් එකක් ප්ලේ කරන බවය.
මේ ගේම් එක හොඳටම රහ වැටුණේ රනිල්ටය. 2014 ලංකාවට ආ චීන සබ්මැරීන් නිසා මහින්ද රාජපක්ෂට ගෙදර යන්න සිදුවූ බව රනිල් දනී. ඔහු ජනාධිපති වූ විගසම ලංකාවට ආ චීන නැව යුආන් වැන්ග් නිසා රනිල්ට ඇමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් විශාල බලපෑම් ආවේය. ඒ බලපෑම් නොතකා රනිල් මේ නැවට එන්න ඉඩ දුන්නේය. ජනාධිපති වූ විගස ආ යුආන් වැන්ග් නැවට ලංකාවට ඒමට ඉඩදී රනිල් චීනයේ හොඳ හිත දිනාගත්තේය. රනිල්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ලිපිය චීනය දුන්නේය. ඉන් පසු ආ චීන නැව්වලට අවසර දී රනිල් අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ගන්න අවශ්‍ය ණය ඩීල් එක චීනය සමග දමාගත්තේය.
ඔහු ජනවාරියේ එන්න නියමිත චීන නැව පෙන්නා චීන ණය ඩීල් එකට අමෙරිකාව, ඉන්දියාව, පැරිස් ක්ලබ් එකඟ කරවා ගෙන අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ගත්තාද දන්නේ නැත. එහෙම වුණා නම් ඔහු මේ නැවට ඒමට අවසර නොදිය යුතුය. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය කියන්නේ මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් නිසා ජාත්‍යන්තර නැව්වලට මොරටෝරියම් දමන්න යනවා කියලාය. ආණ්ඩුව චීනයෙන් ණය මොරටෝරියම් ඉල්ලා දැන් චීන නැව්වලට මොරටෝරියම් දමන්න යෑම අපූරු කතාවකි. කොහොම වුණත් චීනය මුලින්ම මේ නැව් ලංකාවට එවන්න පටන්ගත්තේ මුහුදු පතුලේ නිධන් සෙවීමටය. 1411 ලංකාවට ආ චීන අද්මිරාල්වරයකුගේ නිධන් සොයන්නටය. දැන් චීන නැව් රනිල්ට නිධානයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු