මෙයට හරියටම වසර 03කට පෙර එනම් 2019 නොවැම්බර් මාසයේදී චීනයේ වූහාන් නුවරින් නැගිටගත් මාරාවේශ කොරෝනා යක්ෂයා එතැනින් නොනැවතී තම රටේත්, ලෝකය වටාත් සිටි අහිංසක මිනිසුන් ලක්ෂ 67ක් (මිලියන 6.7) තම මාර මුඛයට ඇදගෙන ගියේය. එනම් ලක්ෂ 67ක ජනතාවට මියපරලොව යන්නට කොරෝනා යක්ෂයා මාර්ගය හදමින් කටයුතු කළේය. වසර 03ක් පුරා අති බිහිසුණු ලෙස ලෝකය වෙළාගත් කොවිඩ් වසංගතය යම් අයුරකින් සමථයකට පත්වෙමින් තිබුණෙ 2021 වසරේ අවසානයේදී පමණය. එහෙත් එය මේ තාක් නිමක් නොවී තවද පැතිරෙමින් පවතී. කෙසේ fාහ් මෙයට ටික දිනෙකට පෙර නැවතත් චීනයෙන් ආරංචි වූයේ මුළු මහත් ලෝවම භීතියට පත්කරවන අලුත්ම පුවතකි. මෙම සුවිශේෂ පුවතින් කියැවුණේ නැවතත් කොරෝනා යක්ෂයා චීනය තුළින්ම මාරාවේශ වීමේ කතා පුවතකි. එනම් මෙයට මාස දෙකකට පමණ පෙරදී විටින් විට චීනයෙන් ආරංචි වූයේ නැවතත් කොරෝනා වසංගතය (කොවිඩ් 19) චීනය තුළින්ම හිස ඔසවන බවය. එම තත්ත්වයට සාධක දක්වන පුවත් රාශියක් පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී විදෙස් මාධ්‍ය හරහා ප්‍රකාශ වූ අතර ඒවායින් කියැවුණේ එම කාලය තුළදී චීනය තුළ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ ගිය බවය. එහෙත් චීනයේ රාජ්‍ය මාධ්‍ය මේ වගතුග වසං කරමින් සිටියි.
දැන් එම මාස දෙක ගතවී 2022 දෙසැම්බර් අන්තිම සතිය දක්වාම පැමිණ ඇත. එසේ නම් දැන් සිදුව ඇති අලුත්ම වගතුග කුමක්ද? එය සැබැවින්ම අපගේ ගතසිත සලිතවී යන බියකරු කතාවකි. එනම් දැන් චීනය තුළ නැවත කොවිඩ් 19 රෝගීන් පැතිරීම ඉතා උච්ච තත්ත්වයකට පැමිණ ඇති අතර මේ වන විට චීනය තුළින් කොවිඩ් රෝගීන් මිලියන 37ක් වාර්තා වී ඇතැයි පැවසෙයි. එනම් එය පසුගිය මාස දෙකක් වැනි කෙටි කාලයකට යැයිද පැවසෙයි. චීනයේ මුළුමහත් ජනගහනය වන්නේ මිලියන 248ක් වන අතර එයින් එනම් මිලියන 37ක් නව රෝගීන් යනු විශාල ප්‍රතිශතයකි. චීනයේ අගනුවර වන බෙයිජින් නගරයෙන් මෙවර කොවිඩ් රෝග ව්‍යාප්තිය ආරම්භ වී ඇති අතර දැනට චීනයේ ප්‍රධාන නගර රාශියකට එය ව්‍යාප්තව ඇත. සමහර විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර ඇත්තේ 2022 දෙසැම්බර් මාසයේ මුල් දින 20 ඇතුළතදී පමණක් ඉහත මිලියන 37ක රෝගීන් වාර්තා වී ඇති බවය. කෙසේ හෝ එක් දිනෙකට 50,000කට ආසන්න නව රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවද පැවසෙයි. මෙම තත්ත්වය මේ වන විට ලෝකයේ කිසිදු රටකින් වාර්තා නොවන තත්ත්වයක් වන අතර ලෝකය පුරාම මේ වන විට කොවිඩ් රෝගය ඇත්තේ බොහෝ සමනය වූ තත්ත්වයකය. සෑම රටකින් පාහේම වාර්තා වන්නේ ඉතා අවම රෝගීන් සංඛ්‍යාවක් බව ලෝක දත්ත පෙන්වා දෙයි. එසේ නම් චීනය හරහා නැවත මෙලෙස සිදුවන්නට යන මහා විනාශය කුමක්ද? එසේම මෙම රෝගීන් විශාල ප්‍රමාණය අතරින් අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් මෙන්ම මරණද දහස් ගණනක් වාර්තා වෙමින් පවතී.
කෙසේ හෝ මෙම තත්ත්වය දැන් අතිශය බියකරු තත්ත්වයක් වී හමාරය. එහෙත් මේ වන විටත් මෙම ආන්දෝලනාත්මක තොරතුරු ලෝකයේ බොහෝ රටවල් සහ එහි ජනතාව දන්නේ නැත. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඉහත ප්‍රකාශ කළ චීනයේ බලධාරීන්ගේ මාධ්‍ය තහංචි ක්‍රියාදාමයයි. එහෙත් චීනය තුළ සිටින සමහර විදෙස් මාධ්‍යවේදීන් මෙම සත්‍ය තත්ත්වය වාර්තා කිරීමට යම් අයුරකින් කටයුතු කරනු ලබයි. එහෙත් ඔවුන්ටද එරෙහිව පසුගිය කාලයේ චීන බලධාරීන් වාරණ පැනවූ ආකාරය දක්නට හැකි විය. පසුගිය කොවිඩ් උච්ච සමයේදී මෙසේ සමහර විදෙස් මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර පවා තහනම් කළ අතර විදෙස් මාධ්‍යවේදීන් කිහිප දෙනකු චීනයෙන් පිටුවහල් කිරීමද සිදුකරනු ලැබුවේය. එසේම අනෙක් අතිශය බියකරු සිදුවීම වූයේ කොවිඩ් මුල් සමයේදී එම තොරතුරු ලොවට හෙළිකළ චීන මාධ්‍යවේදීන් දෙදෙනකු මේතාක් අතුරුදන්ව සිටීමයි. ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි මේ දක්වා වාර්තා වී නැත. චීන බලධාරීන් එකල සිදුකළ අනෙක් නිහීන අධම ක්‍රියාවලිය වූයේ ප්‍රථම කොරෝනා රෝගියා සොයාගත් චීනයේ තරුණ දක්ෂ වෛද්‍යවරයකු වූ ලී වැන්ග්ලින්ග් වෙත සිදුකරනු ලැබූ දැඩි මර්දන ක්‍රියාවලියයි. මෙම වෛද්‍යවරයා මුලින්ම මෙම මාරක වසංගත රෝගය හඳුනාගෙන, විවිධ ප්‍රචාරක ක්‍රම සහ නූතන අන්තර්ජාල මාධ්‍ය ක්‍රම භාවිත කරමින් රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරන්නට ගත්තේය. එය සිදුකරමින් දින දෙකක් යන්නට මත්තෙන්ම චීනයේ කොමියුනිස්ට් පාලක පක්ෂයේ ප්‍රබලයන්ගේ නියෝගය මත මෙම තරුණ වෛද්‍යවරයා වහා ආරක්ෂක අංශ භාරයට ගත්තේය. ඉන් පසු පොලිස් බලධාරීන් වෙත රැගෙන ගොස් ඔහුට දැඩි ලෙස අවවාද කොට තහංචි මාලාවක් පමුණුවමින් නිල ලේඛනයකට (පොරොන්දු පත්‍රයකට) අස්සන් ලබාගත්තේය. කෙසේ හෝ මෙම දක්ෂ වෛද්‍යවරයා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන අතරවාරයේදී ඔහුටද කොවිඩ් රෝගය වැලඳුණු අතර, ඔහු ඉතා ශෝචනීය ලෙස මියගියේය. කෙසේ හෝ ඔහුගේ මරණයද සැක සහිත යැයි එකල පුවත් ප්‍රචාරය විය.
පසුගිය කාලයේ චීනයේ බලධාරීන් අණබෙර ගසමින් කෑකෝ ගසන්නට වූයේ චීනය තුළ කිසිදු කොවිඩ් රෝගියකු නැති බව කියමිනි. එනම් එය ‘සීරෝ කොවිඩ්’ (Zero Covid) යන අර්ථකථනය ඔස්සේද ප්‍රකාශ කෙරිණි. කෙසේ හෝ චීනය තුළ යම් අයුරකින් සාර්ථකව කොවිඩ් රෝගය මෙල්ල කර තිබුණද ඉහත ආකාරයට කිසිදු රෝගියකු නැතැයි ප්‍රකාශ වූයේ අමූලික මිථ්‍යාවකි. එයට හේතුව වන්නේ චීනයේ බලධාරීන් දීර්ඝකාලීනව සිදුකරනු ලබන යට කී මාධ්‍ය මර්දනයයි. එසේම අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයයි. එනම් බොහෝ ප්‍රකට සිදුවීම් අවස්ථාවලදී චීනයේ බලධාරීන් විසින් එම පුවත් රාජ්‍ය ප්‍රචාරණය සඳහා වාසි වන ආකාරයෙන් සකසා ප්‍රචාරණය කරනු ලබයි. එහිදී බොහෝ විට නිසි සත්‍ය සංඛ්‍යාලේඛන සහ අනෙකුත් දත්ත වසං කරනු ලබයි. එනම් කෝටි 24කට අධික ජනතාවක් සිටින රටෙහි මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මියගොස් ඇත්තේ 5,000ක පමණ පිරිසක් යැයි පැවැසීම අමූලික අසත්‍ය තොරතුරක් යැයි ලෝකයේ විවිධ පාර්ශ්ව චීනයට චෝදනා කර තිබිණි. කොරෝනා වසංගතය පටන්ගත් දා සිටම මෙම අසත්‍ය පුවත් ප්‍රචාරණය ඉතා උච්ච අයුරින් සිදුකරන්නට ගත්තේය. කෙටියෙන් කිවහොත් කොරෝනා වසංගතය ආරම්භ වී මාසයකට වඩා කාලයක් ගතවන තෙක්ම එම වගතුග නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා සිටීම සිතාමතාම ප්‍රමාද කළේය. එහෙයින් චීනය පුරා කොරෝනා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වී එතැනින් වෙනත් විදෙස් රටවලටද එම රෝගය පැතිර ගියේය. එකල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම තත්ත්වයට චීනයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. කෙසේ හෝ චීන බලධාරීන් එසේ සිදුකළ අධම නීති විරෝධී ක්‍රියාදාමය හේතුවෙන් මුළුමහත් ලොවටම අතිවිශාල විනාශයක් සිදුවුණේය. එම මහා අපරාධයට චීනය ලෝකයට වන්දි ගෙවිය යුතු යැයි බොහෝ පාර්ශ්ව අවධාරණය කළේ එහෙයිනි.
කෙසේ හෝ වසර 03ක් ගතවී ගොස් ඇතත් මෙතෙක් චීනය ලෝකයට සහ එහි රටවලට ගෙවූ වන්දියක් නැත. දැන් එසේ නම් මෙම මොහොතේ චීනය තුළ ගතවන්නේ කුමන තත්ත්වයක්ද? පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති ආකාරයට චීනය තුළ නැවත උද්ගතවී ඇති කොවිඩ් 19 රෝග තත්ත්වය දැනට වසංගතයක් ලෙස මුළුමහත් චීනය පුරාම පැතිරෙමින් තිබෙන බවත්, ඉදිරියේදී මෙම තත්ත්වය නැවත වාරයක් ලෝකය පුරා පැතිරෙන්නටද ඇති ඉඩ බොහෝ වැඩි බවත් අවධාරණය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අංශයේ ප්‍රධානියා වන වෛද්‍ය මයිකල් රයන් මෙම තත්ත්වය ගැන මෙසේ පවසා ඇත.
‘චීනය තුළ දැනට ඇතිවී තිබෙන මෙම තත්ත්වය ඉතා භයානකයි. මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී මිලියන ගණනාවක රෝගීන් අලුතින් ඇතිවෙලා. දැන් චීනයේ රෝහල් පිරිලා ඉතිරිලා ගිහින්. දැඩි සත්කාර ඒකකවල කිසිම ඉඩක් නැහැ. දවසකට රෝගීන් 45,000-50,000ක් විතර හමුවෙනවා. අසාධ්‍ය වන රෝගීන් ඉතා වැඩියි. ඒ අතර දිනකට 20 දෙනකුට ආසන්න පිරිසක් මියයනවා. චීනයේ බලධාරීන් හැම විටම ඉදිරිපත් කරන්නේ අවම දත්ත සහ සංඛ්‍යාලේඛනයි. එහෙත් එම තොරතුරුවල එතරම් සත්‍යතාවක් නැහැ. චීන බලධාරීන් කියනවා සමහර දිනවල එකම මරණයක්වත් සිදුවුණේ නැහැ කියලා. ඒත් සත්‍ය තොරතුරු නම් මරණ සිදුවෙලා තිබෙනවා. බොහෝ විට මියගොස් තිබෙන්නේ වැඩිහිටි ජනතාවයි. මේ දිනල චීනයේ අතිවිශාල පිරිසක් උණ රෝගයෙන් පෙළෙනවා. ඒ කියන්නේ කොවිඩ් රෝගයයි. කොවිඩ් රෝගයට එකම ප්‍රතිකාරය එන්නත් කිරීම පමණයි. චීනය තමන්ගේ එන්නත් නිෂ්පාදනය කර තිබුණත් ඒවා ප්‍රබල ප්‍රතිශක්තිකරණයක් ඇතිකිරීමට සමත් නැති බව දැන් මේ තත්ත්වයෙන් පේනවා. ඒවා අනෙක් බටහිර රටවල එන්නත් තරම් ක්‍රියාශීලී වෙලා නැහැ. මේ අතර මම චීනයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා නිතර සත්‍ය තොරතුරු වාර්තා කරන්න කියලා…’
මෙම වගකිවයුතු වෛද්‍ය විශේෂඥයාගේ ප්‍රකාශය අතිශයින්ම බරපතළය. චීනයේ වත්මන් රාජ්‍ය බලධාරීන්ට ඔහු ප්‍රසිද්ධියේම නිල වශයෙන් චෝදනා කරයි. මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇති එක්තරා බැරෑරුම් කරුණක් නම් කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කරනු ලබන විවිධ එන්නත්වල වගතුගයි. මෙම වසංගත රෝගය සඳහා චීනය නිෂ්පාදනය කළ ප්‍රකට එන්නතක් වූයේ ‘සයිනොෆාම්’ එන්නතයි. පසුගිය සමයේ චීනයේ මිලියන ගණනාවක ජනතාවට ලබාදුන්නේද මෙම එන්නතයි. එසේම චීනය විසින් ලෝකයේ රටවල් රාශියකටද මෙම එන්නත ලබාදුන්නේය. එහිදී චීනය එම එන්නත යම් ප්‍රමාණයක් නොමිලයේ ලබාදුන් අතර බහුතර ප්‍රමාණය ලෝකයේ රටවල් රාශියකට අලෙවි කරනු ලැබුවේය. ශ්‍රී ලංකාවද ඉන් එක් ප්‍රධාන රටකි. කෙසේ හෝ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේම ප්‍රධානීන් ප්‍රකාශ කරන ආකාරයට මෙම ‘සයිනොෆාම්’ එන්නතෙහි ඇති අකර්මණ්‍යභාවය ලොවට අවබෝධ වී ඇත. එනම් මේ වන විට චීනයේ මිලියන 37ක පමණ සුවිශාල ජනතාවකට නැවත කොවිඩ් 19 රෝගය වැලඳී ඇත්තේ මෙම එන්නතෙහි අක්‍රීයභාවයක් ආශ්‍රිත කරගෙන යැයිද බොහෝ පාර්ශ්ව චෝදනා කරති. ඉහත සුවිශාල ප්‍රමාණයක ජනතාව සයිනොෆාම් එන්නතෙහි මාත්‍රා දෙකක් හෝ තුනක් ලබාගත් පිරිසද වෙති. චීනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව එකල කොවිඩ් රෝගය සඳහා කිසිදු විදෙස් රටක එන්නත් චීනයට ආනයනය කළේ නැත. එනම් ලෝකයේ ප්‍රධානතම ප්‍රබල ක්‍රියාකාරී කොවිඩ් එන්නත් වර්ගයක් වන ‘ෆයිසර් – බයෝඑන්ටෙක්’ නමැති එන්නත් වර්ගයද චීනයට ගෙන ආවේ නැත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අඩ්නන් විසින් ජිනීවා නුවරදී විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ චීනයේ වත්මන් තත්ත්වය ඉතා දැඩි අවධානයකට ගතයුතු අවදානම් තත්ත්වයක් බවය.
චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන පීකින් විශ්වවිද්‍යාලයේ සහ එයට අනුබද්ධිත පීකින් මහ රෝහලේ (University of Peking and General Hospital) ශ්වසන රෝග පිළිබඳ මහාචාර්යවරයකු වන විශේෂඥ වෛද්‍ය වැන්ග් ගුවන්ෆා (Professor Wang Guangfa) මෙම නවතම තත්ත්වය ගැන ප්‍රබල ප්‍රකාශයක් සිදුකර ඇත.
‘චීනයේ දැනට ඇතිවී තිබෙන මේ තත්ත්වයට වහාම පියවර ගත යුතුයි. නැතිනම් නැවතත් චීනයටත් ලෝකයටත් මහා විනාශයක් සිදුවෙන්නට පුළුවන්. දැනට මෙලෙස චීනය පුරා පැතිරෙන්නේ කොවිඩ් ඔමික්‍රෝන් වර්ගයේ ප්‍රභේද දෙකක් වන BA.5.2 සහ BF.7 වන අතර, මෙය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මේක හරියට ලැව් ගින්නක් වගේ පැතිරෙන්නේ. දවස් ගණනකින් ලෙඩුන් ලක්ෂ ගණනින් වැඩිවෙනවා. හැකි ඉක්මනින් රෝගීන්ට ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වැඩිහිටි ජනතාවට තත්ත්වය ඉතා නරක අතට හැරෙනවා. දැන් මරණ සංඛ්‍යාවත් ඉතා වැඩිවෙලා. බීජිං නගරයේ ආදාහනාගාර පවා ඉඩ නැති තත්ත්වයට පත්වෙලා. මේ අතර ඔමික්‍රෝන් ප්‍රධාන කරගෙන තවත් අලුත් කොවිඩ් ප්‍රභේද නිර්මාණය වෙනවා. මේ තත්ත්වය තවත් භයානකයි. මේ තත්ත්වය චීනයෙන් නතර වෙන්නේ නැහැ. ලෝකය පුරාත් පෙරදී වගේ පැතිරෙන්න පුළුවන්…’
මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ දැන් චීනය තුළත් ලෝකයේ රට රටවලත් මහත් කතාබහට ලක්ව ඇත්තේ චීනයේ නිෂ්පාදනය කෙරුණු සයිනොෆාම් එන්නත ගැනය. මම එන්නතෙහි ක්‍රියාකාරීත්වය ගැන දැනට විශාල අවතක්සේරුවක් විවිධ පාර්ශ්ව හරහා ප්‍රකාශ වී ඇත. එනම් එම එන්නතෙහි ඇති ක්‍රියාකාරීත්වය ගැන බොහෝ මතිමතාන්තර පැතිරෙමින් ඇත. චීනයේ ජනතාව සියල්ලටම පාහේ මෙම එන්නතෙහි මාත්‍රා 2, 3 ලබාදී තිබියදීත් මෙසේ කෙටි කාලයක් ඇතුළතදී නැවතත් ජනතාව මිලියන ගණනාවකට කොවිඩ් රෝගය වැලඳී තිබීම දැඩි අර්බුදයක් බවට පත්ව ඇත. මෙවැනි වටපිටාවක් යටතේ දැනට චීනයේ සෞඛ්‍ය බලධාරීන් විශාල අර්බුදයකට මුහුණපා ඇත. එනම් ඉදිරියේදී රෝගීන් නොවන පිරිස් රෝගයෙන් බේරාගැනීම සඳහා කුමන ප්‍රතිකාරයක් භාවිත කළ යුතුදැයි විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත. නැවත සයිනොෆාම් චීන එන්නත ලබාදීම කෙරෙහි බලධාරීන් මහත් ගැටලුවකට මැදිවී ඇත. මේ අනුව චීනයේ බලධාරීන් මේ වන විට යම් මතයකට පැමිණ ඇත්තේ විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද ප්‍රධානතම එන්නත් දෙකක් චීනයට ගෙන්වා ගැනීම කෙරෙහිය. ඒ අනුව ඇමෙරිකාවේ සහ ජර්මනියේ පුළුල් පර්යේෂණවලට පසුව නිෂ්පාදනය කෙරුණු Pfizer-BioNTech (ෆයිසර් – බයෝඑන්ටෙක්) එන්නත චීනයට ගෙන්වා ගැනීම කෙරෙහි චීනයේ සෞඛ්‍ය අංශ අවධානය යොමුකර ඇත. මේ අතර ඇමෙරිකාව සහ ජර්මනියද මෙම එන්නතෙහි යම් මාත්‍රා ප්‍රමාණයක් චීනයට නොමිලයේ ලබාදීමට කැමැත්ත පළකර ඇත. කෙසේ හෝ චීනයේ අති සුවිශාල ජනතාවකට එම එන්නත් ලබාදීම සඳහා චීනයට මහා ධනස්කන්ධයක්ද වැයවනු ඇත. එනම් නොමිලයේ ලබාදෙන මාත්‍රා ප්‍රමාණයට අමතරව ඉතිරි මාත්‍රා ප්‍රමාණය චීනය විසින් මුදල් ගෙවා ලබාගත යුතුය. චීනය යනු ඉතා ධනවත් රාජ්‍යයක් හෙයින් ඔවුන්ට මේ සඳහා මුදල් වැයකිරීමේ ප්‍රශ්නයක් උද්ගතවන්නේ නැත.
කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ කතාබහට ලක්වී ඇති සුවිශේෂ කරුණ නම් මෙතෙක් චීනයේ සයිනොෆාම් එන්නත් ලබාගත් ලෝකයේ අනෙක් රටවල (ශ්‍රී ලංකාවද ඇතුළු) ජනතාවටද මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයයි. එනම් චීනයෙන් පිටත නැවත මෙම වසංගතය පැතිරුණහොත් එම ජනතාවටද අනිවාර්යයෙන්ම කොවිඩ් රෝගය නැවත වැලඳෙනු ඇත. මෙය අතිශය බියකරු තත්ත්වයකි. ශ්‍රී ලංකාවද නිරන්තරයෙන් චීනය සමග ගනුදෙනු කරන රටකි. එනම් අප රටේ ජනතාවද නැවත අනතුරට පත්වනු ඇත. එකල ශ්‍රී ලංකා රාජ්‍ය බලධාරීන් සයිනොෆාම් එන්නත් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක් වංචා කළැයි ප්‍රකාශ විය. ඩොලර් 05ට ගන්නට පුළුවන් එන්නතට ඔවුන් ඩොලර් 15ක් ගෙවා තිබිණි.
ප්‍රියන්ත හෙට්ටිගේ