මේ ලිපිය පටන් ගන්නේ කොතැනින්ද කියලා හිතමින් අන්තර්ජාල තොරතුරු හොයන්න පටන් ගත්තම දැක්කෙ. 26 වැනිදා පොලිසිය ආයෙත් නාඩගමක් නටලා. ඒ තමයි උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති භූමියෙ සාමකාමීව උද්ඝෝෂණ කරමින් ඉන්න ගුරු විදුහල්පති අරගලකරුවන්ට ඔවුන් ඇවිල්ලා පහර දෙනවා. අට්ටාල කඩලා බිඳලා දානවා. ට්‍රැෆික් හෝ වෙනත් ආකාරයේ හෙල්මට් එකක් පැලඳගත්ත පොලිස් නිලධාරියෙක් පුද්ගලයන්ට පහර දෙන්න උත්සාහ කරන ආකාරය ඒ වීඩියෝවල පැහැදිලිව සඳන්ව තිබුණා. ඔවුන් පරුෂ වචනයෙන් කෑගහනවා. එහෙන් මෙහෙන් අදිනවා. අට්ටාල තල්ලු කරලා දානවා. මේ විදියට පොලිසිය හැසිරෙන්නෙ මොකක් හින්දද කියලා හිතාගන්න බැරි නිසයි මේ ලිපිය ලියන්නේ. පොලිසියේ මහත්වරුනි, අපි ඔබට සැලියුට් කරලා ලිපි ලියපු මිනිස්සු. එහෙම කිව්වේ ඔබ කොවිඩ් එක්ක මාරාන්තික සටනක නියැලෙච්ච නිසා. යුද්ධයෙදි ඔබ කරපු රාජකාරිය අගයලා අපට පුළුවන් හැම වෙලාවෙම ඔබ ගැන ලිව්වා. ඒත් දැන් පොලිසියේ රාලහාමිලා මේ හැසිරෙන විදිය දැක්කම ලැජ්ජයි. ඒ වගේම මේක නොලියා බෑ මහත්තයො. සමහර විට හිත රිදුණොත් කරන්න දෙයක් නෑ.
පහුගිය දවසක එරාවුර්වලදි පොලිස් නිලධාරියෙක් නටපු නාඩගම අපි දැක්කා. ඒ කොල්ලො දෙන්නා කරපු වැරැද්ද මොකක්ද කියන එක ගැන අපි දන්නෙ නෑ. හැබැයි ඒ කොල්ලො දෙන්නා කරපු වරද මොකක් වුණත්, ඒ වරදට දඬුවම් කරන්න නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. පොලිසියට පුළුවන් මිනිසුන්ව අත්අඩංගුවට ගන්න විතරයි. පොලිසියෙ අළුගෝසුවො නෑ. පොලිසියේ වධකයො නෑ. පොලිසිය ඉන්නේ නීතිය හා සාමය කඩවන තැන්වලදි ඒක ආරක්ෂා කරන්න මිසක් දඬුවම් කරන්න නෙවෙයි. පොලිසියට දඬුවම් කරන්න ඕනෙ නම් ඒ සඳහා උසාවියට ගිහින්, කරුණු පැහැදිලි කරලා, අධිකරණ ලබාදෙන තීන්දුවක් අනුව ඒ අයට සිර දඬුවම් හෝ වෙනත් එවැනි දඬුවමක් දෙන්න පුළුවන්. හැබැයි අපි දන්න තරමින් තාම ලංකාවෙ කස පහර දීම වගේ අමානුෂික දඬුවම් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා පොලිසියෙ මහත්තරු ඒක දන්නෙ නැත්නම්, ඔබට අපි කියලා දෙන්නම් මේ දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ මොකක්ද කියලා.
එරාවුර්වලදි ඒ තරුණයො දෙන්නට පොලිස් නිලධාරියා පයින් ගහනවා ඇස්පනාපිට මුළු ලෝකෙම දැන් දැකලා ඉවරයි. ඒ වගේ හෙල්මට් එක දාගෙන හිටපු තරුණයගෙ හෙල්මට් එක ගලවලා කනට ගහනවා. ඒ කොල්ලා අඬනවා අපි දැකලා ඉවරයි. මුළු ලෝකෙම දැකලා ඉවරයි. ලංකාවෙ පොලිසිය හැසිරෙන්නෙ පහත් විදියට. නැත්නම් මානව හිමිකම් ආරක්ෂා නොකරන විදියට කියන එක දැන් මුළු ලෝකෙම දැනගෙන ඉවරයි. ලැජ්ජා බය දෙක කියන එකවත් පොලිසියට නැද්ද කියලා අපට හිතුණේ මේ උණුසුම යන්නත් කලින් රත්නපුරේ පැත්තේ රන්මල් කියන නිලධාරියා පාරේ නටපු නාඩගම දැකලා. ඔහු පාරෙදි පිස්සු නටනවා කියන එක අපි හැමෝම දන්නවා. අද වෙනකොට ලෝකෙ වෙනස්. ඉස්සර අපි හිතාගෙන හිටියෙ ඕනෙ ජවුසමක් නැටුවට පස්සේ ‘අපි ලයිසන් චණ්ඩි’ කියලා පාට් එකක් දැම්මාම ඒ කතාව යට ගහන්න පුළුවන් කියලා. පොලිසිය ඕනෙ තරම් එහෙම ඒවා යටගහලා ඇති කියලා දැන් අපට හිතෙනවා. මොකද මිනිසුන්ගෙ ජංගම දුරකතන නොතිබිච්ච කාලෙ, සී.සී.ටී.වී.වලින් හැම තැනම ආවරණය නොවිච්ච කාලෙ ඕනෙ තරම් ඔය මහත්තරු ඔයිට වඩා සෙල්ලම් දාන්න ඇති. අඟුලාන පොලිසියෙ එහෙම සිද්ධි වෙලා ඒ අයට දඬුවම් ලැබුණා කියලත් අපි දන්නවා.
මේ වතාවෙ මේ රන්මල් කියන පොලිස් නිලධාරියාට ඉහළ තාන්න මාන්න එහෙමත් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඉහළ තාන්න මාන්න තිබුණට වැඩක් නෑ, මනුස්සයෙක්ගෙ ඉහළකම මනින්නෙ තාන්න මාන්නවලින්, තරුවලින්, රාජ්‍ය ලාංඡනවලින් නෙවෙයි හැසිරීමෙන්. මේ විදියට පාර මැද්දේ පුද්ගලයෙක්ට පහර දීලා, ඔහුගෙ මොබයිල් එක උදුරලා පාරේ ජවුසම් නටපු නිලධාරියාව වෙනත් පොලිසියකට මාරුකරපු දඬුවම ගැන අපට හරි පුදුමයි. මොකද ලංකාවෙ මාර්ගයක කලාකාරී ලෙස හැසිරෙනවා නම්, මනුස්සයෙකුට පහර දෙනවා නම්, තමන්ගෙ නිලය පාවිච්චි කරලා මනුස්සයෙකුට කරදර කරනවා නම් ඔහුට දෙන්න ඕනෙ දඬුවම ඔහුව ඒ මට්ටමේම තවත් තැනකට මාරු කරලා යවන එක නෙවෙයි. රාජකාරි මට්ටමෙන් ආයතනික මට්ටමෙන් කරපු වරදක් නම් ඒ ආයතනයේ තියන්නෙ නැතිව වෙනත් ආයතනයකට දාන එක සාධාරණයි. හැබැයි මේ විදියට පිස්සෙක් වගේ පාරෙ හැසිරෙච්ච මනුස්සයෙක්ව වෛද්‍ය සේවා හා සුබසාධන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යැව්වා කියන්නේ ඒක අතීසාරෙට අමුඩ ගහනවා වගේ වැඩක්.
මේ වගේ මිනිසුන්ට දෙන්න තියෙන දඬුවම මොකක්ද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි මතක තියාගන්න. ලංකාවෙ එතෙක් මෙතෙක් හැමදාම අපි වරද්දගත්තෙ පිස්සො වගේ හැසිරිලා. අවුරුදු 33ක යුද්ධෙකින් අපි හොඳටම බැටකාපු මිනිස්සු. ඒ යුද්ධෙ මුල හොයාගෙන ගියාමත් අපට හම්බවෙන්නේ මේ වගේ පිස්සු කෙළපු නිලධාරීන්. එහෙම මිනිස්සු පිස්සො වගේ හැසිරුණාට පස්සේ අපි රටක් විදියට ජාතියක් විදියට වන්දි ගෙවනවා. මේ කිසි දෙයක් නොදන්න මිනිස්සු දහස් ගණන් නිරපරාදෙ මැරිලා යනවා. යුද්ධෙ මුලදි හම්බවෙන මිල්ලර්ගෙ අම්මා අපිත් එක්ක කිව්වේ මිල්ලර්ව වැරැදීමක් නිසා අරගෙන ගිහිල්ලා හොඳටම පහර දීලා ගෙදරට ගෙනැල්ලා දැම්මා කියලයි. හැබැයි එදා ඒ සිදුවීමෙන් පස්සේ මිල්ලර් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. මිල්ලර්ව එල්.ටී.ටී.ඊ.ය විසින් පහසුවෙන් බිලීබාගන්නවා. එල්.ටී.ටී.ඊ.යෙ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා විදියට මිල්ලර් පත්වෙනවා. හැබැයි එදා මිල්ලර්ට රිදවලා තිබුණේ අපි. මිල්ලර්ට රිදවීමට හෝ ත්‍රස්තවාදය නිර්මාණය වීමට අපි වගකිව යුතුයි කියලා මම කියනවා නෙවෙයි. හැබැයි අපි සාධාරණ මිනිස්සු, අසාධාරණ මිනිස්සු බවට පත්කරන්න තරම් පහත් තත්ත්වෙට වැටෙන්න හොඳ නෑ. පොලිසිය කියලා කියන්නේ ඉතාම ඉහළ රාජ්‍ය වගකීමක් සහිත නිලධාරීන් පිරිසකට. ඔවුන්ට පිස්තෝලයක් දීලා තියෙන්නේ, ආයුධයක් දීලා තියෙන්නේ, බැටන් පොල්ලක් දීලා තියෙන්නේ තමන්ට අවශ්‍ය අවශ්‍ය තැනදි වෙඩි තියන්න නෙවෙයි. දිවුලපිටියෙ පොලිසියෙ නිලධාරී දෙන්නෙක් පිහියක් අතින් අරන් එන මනුස්සයකුට වෙඩි තියලා ඝාතනය කරන සී.සී.ටී.වී. කැමරා දර්ශන තිබුණා. ඒ පුද්ගලයා වෙඩි තියන්න කලින් අත්දෙක උස්සනවා හොඳටම පේනවා. ඔහුට වෙඩි තියලා මැරුවට පස්සේ මොන නීතිමය පියවර ගත්තත් වැඩක් වෙන්නේ නෑ.
පස්යාලෙදිත් බයිසිකලේකින් ආපු පුද්ගලයකුට පාරේ ට්‍රැෆික් රාජකාරි කරපු නිලධාරි දෙන්නගෙන් එක්කෙනෙක් වෙඩි තියනවා. ඒ වෙඩිතැබීම ගැටලුසහගතයි. ඔවුන් කියන්නේ නවත්තන්නෙ නැතිව ධාවනය කළ නිසා වෙඩිතිබ්බා කියලයි. හැබැයි ඉදිරියෙන් එන වාහනයට වෙඩි තියන්න කොහොමද ඔවුන් කලින් අනුමාන කළේ මේ වාහනය නවත්වන්නෙ නැතිව ධාවනය කරයි කියලා. ඒ වගේම පහුගිය දවසක කවුදෝ නොදන්නා නිලධාරියෙක් පාරේ යමින් තිබුණු බයිසිකලයකට, පාරේ යමින් ගමන්ම පයින් ගහනවා, අහල පහළ හිටපු මිනිස්සු දැකලා ඒ මිනිස්සු ඒ නිලධාරියාව වට කරගන්නවා. එතකොට ඔහු එක එක බහුබූත කතන්දර කියනවා. හැබැයි නීතියක් හෝ සාමයක් නැති රටක, නීතියක් හෝ සාමයක් ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන් විසින් නීතිය හා සාමය කඩකරනවා නම් මේක කියන්නේ කාටද, මේක විසඳන්නෙ කවුද කියලා අපි දන්නේ නෑ. හැබැයි මේ ලිපිය ලිව්වට පස්සේ, සමහර වෙලාවට මේ ලිපිය කියෙව්වට පස්සේ පොලිසිය අපිත් එක්ක අමනාප වෙයි. මහත්තයො අපි පොලිසියට විරුද්ධ නෑ. අපි පොලිසියට හරි කැමැතියි.
පොලිසියෙ උසස් නිලධාරින් ගැන අපි හොඳට වර්ණනා කරලා ලියලා තියෙනවා. යාපනයේ පලෙයි පොලිසියෙ ඉඳලා අයින්වෙලා ආපු ඕ.අයි.සී. ආනන්ද රාජපක්ෂ මහත්තයට අදත් ඒ මිනිස්සු කියන්නේ ‘ගාන්ධි’ කියලා. පලෙයිවල මිනිස්සු තාමත් තමන්ගෙ දානයක් මඟුලක් මළගෙයක් තිබුණාම ඕ.අයි.සී. මහත්තයට කතා කරලා කියනවා. ඒ වගේ ඉතාම උසස් නිලධාරින් ලංකාවේ ඉන්නවා. ඩී.අයි.ජී. පාලිත මහත්තයා, වවුනියාවෙ ඉන්න කාලෙ මිනිස්සුත් එක්ක ඉතාම ළඟින් ඇසුරු කරනවා අපි ඇස්වලින් දැකලා තියෙනවා. මේ වගේ නිලධාරීන් ගොඩක් අපි ඇසුරු කරලා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා. නිලධාරීන් කියලා කියන්නේ තමන්ට නිලය, බලයා ලැබුණට පස්සේ පිස්සො වගේ හැසිරෙන අය නෙවෙයි.
පසුගිය දවසක ලියුම්කරු දිවුලපිටියෙ පොලිසියට යනවා තමන්ගෙ ජංගම දුරකතනය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. රාත්‍රී 10.45ට පොලිසියට ගියපු වෙලාවෙ එතැන හිටපු එක්තරා නිලධාරියෙක් ඔහු කවුද කියලා නොදන්නා කවදාවත් නාඳුනන ඒ මනුස්සයා විශාල වශයෙන් ඒ වැඩේට උදව් කරලා, ෆෝම් කොළ ටික හොයලා දීලා රස්තියාදු වෙන්න එපා කියලා ඒ කරුණු ටික පැහැදිලි කරලා දීපු ආකාරය ලියුම්කරු ඇහින් දැක්කා. ඒ නිසා නිලධාරීන් නරක නැහැ. නිලධාරීන් හොඳයි. පොලිසිය නරක නෑ. පොලිසිය හොඳයි. මේ නිල ඇඳුමෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු ඉන්නව නිල ඇඳුම් ඇඳගෙන පිස්සො වගේ දෙඟා නටන. මේ වගේම සිද්ධියක් ඉතාම මෑතකදි සිදුවුණා. ඒ තමයි මහරගම පොලිසියෙ ට්‍රැෆික් අංශයෙදි සිදුවුණු සිදුවීම. ඒ පුද්ගලයට මහ මඟදි පහරදීලා, ඔහුගෙ රෙස්ලින් ගහන්න වගේ ඔහුගෙ ඇඟට පැනලා මොකක්ද පිස්සුවක් නටනවා. අවාසනාවකට මේ කාරණාවෙ තියෙන බරපතළකම තමයි එක වරදක් කරලා පැය කිහිපයක් ගතවෙද්දි තවත් කෙනෙක් වරදක් කරනවා. තවත් දවසක් යද්දි ආයෙත් වරදක් කරනවා. මෙහෙම වැරැදි කරන්න තරම් පොලිසියට නිදහස දුන්නෙ කවුද, නීතිය සෙල්ලමක් කරගත්තෙ කවුද කියන එක ගැන අපි පොලිසිය භාර ඇමැතුමනි, ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. නීතිය හා සාමය පොලිසිය රකින්නෙ නැත්නම් අපට කියන්න තියෙන්නේ ‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසමි ඒ අමාරුව’ කියලයි.
පොලිසිය සම්බන්ධ සිද්ධි ගැන ලියල ඉවරයි කියලා හිතුවට පොලිසිය එහෙම සිද්ධිය ඉවර කරන්නෙ නෑ කියලා තේරුණේ ලිපිය ලියලා ඉවර කරලා ටික වෙලාවක් ගියාට පස්සේ.
ඊළඟට වනාතවිල්ලුවෙ පොලිසිය සම්බන්ධ කතාවක් එළියට එනවා. ඕ.අයි.සී. මහත්තයා ලිංගික අල්ලස් ගන්න ගිහිල්ලා කොටුවෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක මේ එළියට එන්නේ තවත් පොලිස් කේස් එකක්. පොලිසිය තමන්ගෙ රාජකාරිය කරන්නෙ නැතුව මේ විදියට ඇදගෙන නාගත්තු අවස්ථා ඉතිහාසය පුරාම බොහෝ තැන්වල තියෙනවා. පෑලියගොඩ අපරාධ අංශයෙ ඕ.අයි.සී.ගෙ පහරදීමත් මේ වගේ සිද්ධියක්. ඔවුන් නීතියෙන් කොහොම ගැලවුණත්, සිද්ධිය සම්බන්ධයෙන් අරගත්තට පස්සේ හරි හෝ වැරැදි තමන්ගෙ පොලිසියට ආපු තරුණයකුව තල්ලු කරලා හෝ පහරදීලා හෝ මොකක් හරි කරලා තියෙනවා. මේ විදියට අරගත්තම පොලිසිය දිගින් දිගටම හිතාගෙන ඉන්නේ තමන් ලයිසන් චණ්ඩි කියලා. ඒ නිසා මේ ලයිසන් චණ්ඩි කියන අභිමානය තමන්ගෙ අතේ තියෙන පිස්තෝලෙන් බැටන් පොල්ලෙන් තමන්ගෙ සපත්තුවෙන් නිල ඇඳුමෙන් වැහිච්ච මිනිස්සු විදියට නිකම් චණ්ඩි පාට් දාන එක කොහොමත් පොලිසියට දැන් පුරුද්දකට ගිහිල්ලා වගේ එකක් පේන්න තියෙනවා.
පහුගිය දවසක බයිසිකලයක් නතර කරලා ඒ බයිසිකලේ නතර කරපු පොලිස් නිලධාරියා අමුතු විදියට කෑගහනවා සද්ද දානවා මාංචු දාන්න කියනවා. මේවා නීතියද නැත්නම් නීතියට එහා ගියපු අනවශ්‍ය හැසිරීම්ද කියලා බලාගෙන ඉන්න අපට හිතෙනවා. මේ සිද්ධියෙදි ඔහු කියනවා, ‘මම එස්.ටී.එෆ්. හිටියේ. තාම දුවන්නේ ඒ හයිය. ඒ නිසා මම බය නෑ යකෙකුටවත්…’ කියලා.
පොලිසිය යක්කුන්ට බය වෙන්න ඕනෙ නෑ. හැබැයි පොලිසිය මිනිස්සු ඉස්සරහා මිනිස්සු විදියට හැසිරෙන්න ඕනේ. මොකද පොලිසිය දාලා තියෙන්නේ කට්ටඬිකම් කරන්න නෙවෙයි. පොලිසිය තියෙන්නේ රාජකාරි කරන්න. නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ ගැන සිහි කල්පනාවෙන් වැඩ නොකළොත් තවදුරටත් රටේ විශාල වශයෙන් අලුතින් සිද්ධි මතුවෙයි. ඒ නිසා අපට මේවා ලියලා ඉවර කරන්න බැරි වේවි.
ජීවන පහන් තිළිණ










