ආදරණීය සහෝදරවරුනි, මම මේ විදියට ආමන්ත්‍රණය කරන්නේ අපේ රටේ ඉන්න මුස්ලිම් සහෝදර සහෝදරියන්ට. ඇත්තටම මේ විදියට ජන වර්ගයකට වෙන් කරලා ඔබට ආමන්ත්‍රණය කරන්න අපි කවදාවත් හිතුවේ නෑ. මේ මොහොතේ අපි එහෙම කතා කරන්න එකම එක හේතුවක් තියෙනවා. ඒ තමයි ඔබ හිතනවා නම් ඔබේ ජන වර්ගය, ඔබේ උප්පැන්න සහතිකය මත පිහිටලා ශ්‍රී ලාංකිකයෝ ඔබට වෙනස්කමක් කරනවා කියලා එහෙම හිතන්න එපා ආදරණීය සහෝදරවරුනි. අපියි ඔයාලයි එකයි. කිසිසේත්ම මේ වෙනස අපට දැනෙන්නෙ නෑ.(Sri Lanka Latest News)
මුහුණෙන් පෙනුමෙන් ආභරණවලින් ඇඳුම්වලින් යම් වෙනසක් තියෙන බව ඇත්ත. ඒත් අපිට එක තැනකදී එක මේසෙකදී එක වේදිකාවකදී එකට කන්න එකට බොන්න එකට කයිවාරු ගහන්න බැරිද? අපිට එක රටක එකට ඉන්න බැරිද? අපිට ඔයාලව දැක්කම, ඔයාලට අපිව දැක්කම ගහගන්න, මරාගන්න හිතෙනවද? එක බත්පත එකට බෙදාගෙන කාපු උඹලා අපි. මේ රටේ උඹලගේ වේදනාව අපිට දැනෙනවා. අපේ වේදනාව උඹලට දැනෙනවා. අපිට රිඳුණම උඹලට ඇඬෙනවා. උඹලට රිදුණම අපිට ඇඬෙනවා. ඒකට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, ජාද, හින්දුද, කතෝලිකද, ඉස්ලාම්ද අරවද මේවද අදාළ නෑ.
ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙ තියෙන්නේ දේශපාලකයෝ ගාව. ඇත්තටම දේශපාලකයොත් එහෙම බෙදිලා නෑ, ඒගොල්ලොත් හරිම සමගියි. ඒගොල්ලොත් එකෙකුට එකෙක් බොකු බඩවැල්වල ඉඳන්ම සම්බන්ධයි. මුස්ලිම් දේශපාලකයා, දෙමළ දේශපාලකයා, සිංහල දේශපාලකයා කියලා බෙදිලා නෑ. ඒගොල්ලොත් එකයි. ඒගොල්ලො දේශපාලනයක් කරනවා.
අන්න ඒ දේශපාලනයේදී ඒගොල්ලන්ට අවශ්‍යයි අපි මුස්ලිම්වරු නියෝජනය කරනවා, අනිත් අය මුස්ලිම්වරුන්ට රිදවනවා කියන තර්කය, අපි දෙමළ අය නියෝජනය කරනවා, අනිත් මුළු රටම දෙමළ අයට රිදවනවා කියන තර්කය, සිංහල බෞද්ධයන්ට අවශ්‍යයි අපි සිංහල බෞද්ධ ප්‍රජාව නියෝජනය කරනවා, මුළු රටේම අනිත් අය සිංහල බෞද්ධයන්ට තර්ජනය කරනවා. මෙන්න මේක තමයි තර්කය. මේ තර්කය දේශපාලනිකයි. මේ දේශපාලනය තියෙන තුරු තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය රඳාපවතින්නේ. දේශපාලනයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ.
ඔය විදියට පටන් ගත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පුංචි පැටියාව බිලිගත්ත මාරයා ගැන කතා කරන්න. මේක දීර්ඝ විස්තර සහිත පැහැදිලි කිරීමක් වෙන්නේ නෑ. මේකට හේතුව මේ විස්තර සහිත කතන්දරය බොහෝ දෙනෙක් දන්නවා. ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා හරිම පහසුවෙන් මේ මරණයට හේතුව කිව්වා. ඔහු පැහැදිලි කරන්න උත්සාහ කරන කාරණාව වෙන්නේ මේ විදියට වකුගඩු දෙකක් එක ළඟ පිහිටපුවාම අඳුනාගන්න බැරිවෙනවාය කියන එක.
ඒක අපි දන්නේ නෑ. අපිට වෛද්‍ය විද්‍යාව තේරෙන්නේ නෑ. වෛද්‍ය විද්‍යාත්මකව අපි විසින් කරන ලද සොයාබැලීම්වලට අනුව අපට දැනගන්න ලැබුණා ඇත්තටම එහෙම දේවල් ලෝකෙ වෙලා තියෙනවා කියන එක. මේ විදියට වකුගඩු දෙකක් එක ළඟ පිහිටනකොට ඒ සම්බන්ධයෙන් ඇතිවන හොයාගන්න බැරිවෙන කාරණය තමයි මේ ගැටලුව නිර්මාණය කරන්නේ.
මේ මරණයට වගකිව යුත්තන් කවුද, ඒ මරණය වැරැදිද, හරිද, වෛද්‍යවරු අතින් වෙච්ච අතපසුවීමක්ද කියන මේ දේවල් ගැන තර්කානුකූලව සොයාබැලිය යුතුයි, පරීක්ෂණ සිදුවිය යුතුයි. මෙවැනි මරණ මීට පෙර ලෝකයේ සිදුවෙලා තියෙනවාද කියලා සොයාබැලිය යුතුයි. වෛද්‍ය විද්‍යාත්මකව මෙවැනි වකුගඩු දෙකක් එකට පිහිටීම හරහා හඳුනාගන්න බැරි වෙන අවස්ථා තිබෙන බව සඳහන් වෙලා තිබුණා. ඉතින් මේ දරුවාගේ වකුගඩු දෙක එක ළඟ පිහිටා ඇති බව වෛද්‍යවරු දැනගත්තේ ශරීරය විවෘත කළාට පසුවද, ස්කෑන් හෝ වෙනත් පරීක්ෂණ මගින් මේ දේවල් තහවුරු කරගන්නේ නැද්ද? එහෙම නැත්නම් මෙය සම්පූර්ණ වංචාවක්, සොරකමක්ද? දැනට චෝදනාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන්.
මේ දරුවාගේ වකුගඩුව හොරකම් කළා කියලා. මේවායේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ. කොහොම නමුත් පසුතැවිලි විය යුතු තත්ත්වයක්. රටක් විදියට පසුතැවිලි විය යුතු තත්ත්වයක්. නමුත් අවාසනාවකට අපට පේන්නේ නෑ කිසිවෙක් මේ සම්බන්ධයෙන් පසුතැවිලි වෙන ආකාරයක්. දුක් වෙන ආකාරයක්වත් පේන්නෙ නෑ. රෝහල් පාර්ශ්වයෙන් කිසිදු වේදනාත්මක ප්‍රකාශයක්වත් අපි දැක්කෙ නෑ. ඔවුන් දුක් වෙන බවත් ඔවුන් කියන්නේ නෑ. ඔවුන් කියන්නේ මෙහෙම දේවල් වෙනවා කියන එක. ඉතින් මේ දරුවාගේ මෘත ශරීරය රෝහලෙන් නිදහස් කරන්න දින කිහිපයක්ම ගන්නවා.
අපි දන්නවා මුස්ලිම් සහෝදරවරුන්ගේ ආගමානුකූලව යම් නීතියක් තියෙනවා මෘත ශරීරය පැය කිහිපයක් ඇතුළත අවසන් ගෞරව දක්වා නිමා කළ යුතුයි කියලා. නමුත් ඒ අවස්ථාව මේ දරුවට ලැබෙන්නේ නෑ. මේ විදියටම අපි දැක්කා තවත් වතාවක කොවිඩ් සමයේදී ඉතා පුංචි දරුවෙක්ගේ මෘත ශරීරයකට අවසන් ගෞරවය නිවැරැදිව දක්වන්න බැරිවෙච්ච අවස්ථාවක්. ඔවුන් කොච්චර කිව්වත් මේ මෘත ශරීර අපි පුලුස්සන්නේ නෑ කියලා.
අපි නීතිය බල්ලට දාලා ලෝකෙ තියෙන සම්මුතීන් වීසිකරලා දාලා හිතුවක්කාර විදියට ඒ මෘත ශරීරය පුච්චනවා. ඒ ගැන අපි කනගාටු විය යුතුයි. ඒ දරුවාගේ අවසාන ගෞරවය ඒ දරුවට ලබාදෙන්න බැරිවීම ගැන. ආගම්වල විවිධ මතිමතාන්තර තියෙනවා. ඒවා තර්කානුකූලව පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. මියගියාට පස්සේ ඔවුන්ට නිසි ගෞරවය ලබාදිය යුතුයි.
යම් කිසිවෙක්ට තර්ක කරන්න පුළුවන් ඒවා ආගම්වල තියෙන මෝඩ අදහස් කියලා. ඔව්, සමහර විට එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒවා මෝඩ අදහස්ද හරි අදහස්ද කියන එක ගැන තර්ක කිරීමට නෙවෙයි අවසන් ගෞරවය තියෙන්නේ. මනුෂ්‍යයකුට අවසන් ගෞරව දැක්වීම කියලා කියන්නේ ඉතා සංවේදී අවස්ථාවක්. අපි දන්නවා පහුගිය දවසක පිට රටකදී එල්ලා මරාදමන ලද ශ්‍රී ලාංකිකයාගේ අවසාන ඉල්ලීම වුණු ඔහුගේ මෘත ශරීරය ලංකාවට යවන්න කියන එක ඉතා කාර්යක්ෂමව සිදුකරන්න කටයුතු යොදපු බව.
එහෙම තමයි ලෝකය මරණයකදී සලකන්නෙ. මරණකරුවා, මියගිය පුද්ගලයා කියලා කියන්නේ ගෞරවයට පාත්‍ර වන්නා. අවසන් ගෞරව දක්වනවා කියලා කියන්නේ ඒකයි. අපි මෘත ශරීරයක් ගාවට ගිහිල්ලා දෑත් එකතු කරලා වැඳලා එන්නේ ඒකයි. මෘත ශරීරයක් අරගෙන යනකොට විවිධ චාරිත්‍රානුකූලව ඒ මෘත දේහයට ගෞරව දක්වන්නේ ඒකයි. ඒ නිසා අවසාන ගෞරවයවවත් මෘත ශරීරයකට දක්වන්න අපේ රෝහල් බලධාරීන් කටයුතු කරනවා නම් හොඳයි.
අපි දැක්කා නීතිඥ මොහොමඩ් මුස්ලි සජීවී වීඩියෝවක් සමාජගත කරලා තිබුණා. එයින් ඔහු කියන්නේ ‘අපි මේක ලොකු අරගලයක් කරලා මේ පුංචි මල් කැකුල අරගෙන ආවේ මරණ පරීක්ෂණය තියෙන තැනට’ කියලා. ඇයි එහෙම අරගල කරන්න වෙන්නේ. මේ මෘත ශරීරයට අවසන් ගෞරව දැක්වීමට නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා නම් ඇයි ඒකට කාලය ගතකරන්නේ? මොනවද මේ හංගන්න හදන්නේ? වරදක් වෙලා නැත්නම්, ඒ වගේ දේවල් හරිම සාමාන්‍යයි කලබල වෙන්න කාරණාවක් නෑ. පහසුවෙන් අවබෝධ කරගෙන මේ කාරණය අපිට පුළුවන් මේ මෘත ශරීරය නිදහස් කරන්න නමුත් ඒක කළේ නෑ.
මේ ඇවිළෙන්න යන්නේ ගින්දරක්. අපි නිවා දැමිය යුතු ගින්දරක්. අපි අතර ඉරක් නෑ. අපි අතර සීමාවක් නෑ. අපට බදාගන්න බැරි නෑ. අපිට බෙදාගන්න බැරිත් නෑ. මං දන්නවා ලංකාවේ සිංහල සහෝදරවරුන්ගෙන් 99%ක් මුස්ලිම් සහෝදරයෙක්ව එක වතාවක් හරි ඊද් මුබාරක් කියලා බදාගෙන තියෙනවා. මුස්ලිම් සහෝදරවරුන්ටත් 100%ක්ම සිංහල මිත්‍රවරුන් ආශ්‍රිය කරලා ඒ සිංහලයන්ගේ උණුසුම දැනිලා තියෙනවා ශරීරයේ.
අපි ආදරෙන් වැලඳගෙන තියෙනවා සෙනෙහසින්. සිංහල අවුරුද්දට කිරිබත් උයනවා මුස්ලිම් ගෙවල්වල. එකක දෙකක ඇරුණාම. නත්තලට අපි පාටි දනවා, මුස්ලිම්, සිංහල කියලා වෙනසක් නැතුව. අපි මුස්ලිම් අවුරුද්දට කාගෙන් හරි බිරියානි කන්න බලාගෙන ඉන්නේ. කාගෙන් හරි වටලප්පම් කන්න බලාගෙන ඉන්නේ. මේ අපේ රට නිසා. අපි ඔක්කොම එක නිසා. අපේ මුස්ලිම් සහෝදරවරු අයිති වෙන්නේ සෞදි අරාබියට නෙවෙයි.
ඔවුන් අයිති ශ්‍රී ලංකාවට. අපේ ද්‍රවිඩ සහෝදරවරු අයිති දකුණු ඉන්දියාවට නෙවෙයි. උන් අයිති ශ්‍රී ලංකාවට. අපේ බර්ගර් සහෝදරවරු අයිති එංගලන්තෙට නෙවෙයි. ඔවුන් අයිති ශ්‍රී ලංකාවට. අපි ඔක්කොම එක රටක්. අපි එකට එකතු වෙලා දෑතින් දෑත අල්ලගෙන කොන්ද කෙළින් තියාගෙන නැගිටිනකල් අපට නැගිටින්න ලැබෙන්නේ නෑ. අපිව බෙදන එක, වෙන් කරන එක තමයි මේ රටේ මිනිස්සුන්ට තියෙන විශාලම බලාපොරොත්තුව.
මුස්ලි ඒ අවස්ථාවේ කියනවා අපි දැක්කා රෝහලක් ඉදිරිපිට වෛද්‍යවරු ඇවිල්ලා රෝහල ඉස්සරහා ඉඳගෙන එක වෙලාවක වෛද්‍ය නිර්දේශ දුන්නා. මේවා කළේ කාගෙ වුවමනාවටද, මේවා කළේ මොකටද කියන එක අපි හොයන්න ඕනෙ. අපි දැක්කා වෛද්‍ය ෂාෆිට මොන ගින්දරක් දුන්නද? ඒ පවුලට මොන තරම් අපහසුතා ඇති කළාද? මේවා සම්පූර්ණ සැලසුම්. මේවා සිංහලයාගේ සැලසුම් නෙවෙයි. සිංහලයා මුස්ලිම්වරයාට එරෙහිව කරන සැලසුම් නෙවෙයි.
මේවා දේශපාලකයාගේ සැලසුම්. දේශපාලකයා තමන්ගේ විපක්ෂයට එරෙහිව කරන සැලසුම්. තමන්ගේ පක්ෂයෙ එකා පරද්දන්න කරන සැලසුම්. දේශපාලන වශයෙන් ගොඩයන්න ගහන ගේම්. ඒවා හරිම පුද්ගලිකයි. අපේ රටේ දේශපාලනය පුද්ගලිකයි. නායකයා දිනවන අරමුණෙන් දේශපාලකයෝ තරග කරන්නේ. ජනාධිපතිවරයෙක් හදන අරමුණෙන් තමයි බොහෝ දෙනෙක් සටන් කරන්නේ. එහෙම නැතුව රට හදන්නවත්, රටේ මිනිස්සුන්ගේ ගින්දර නිවන්නවත්, ප්‍රශ්න විසඳන්නවත්, රටේ මිනිස්සුන්ට ආදරේ බෙදලා දෙන්නවත් මේ එකෙකුටවත් අවශ්‍යතාවක් නෑ.
ඒක හරියට දැනගෙන වැඩ නොකළොත් අපට තව දුරටත් මේ රටේ ඇතිවෙන ප්‍රශ්නවලින් ගැළවෙන්න ලැබෙන්නේ නෑ. ඒක හරියට තේරුම් ගිය දවසට අපට මේ දේශපාලන උප්පරවැට්ටිවලින් ගැළවෙන්න පුළුවන්.
ඒ නිසා මේ දරුවාගේ මෘත ශරීරයත්, දේශපාලන උප්පරවැට්ටි සඳහා භාවිත කරන්න එපා. අපි කිසිසේත්ම කියන්නේ නෑ රෝහල තුළ මේ දරුවා මියයෑම දේශපාලනිකයි කියලා. මේ දරුවා මියයෑම එක්කෝ අත්වැරැදීමක්, එක්කෝ සාමාන්‍ය තත්ත්වයක්, ඔවුන් චෝදනා කරන විදියට හොරකමක්, ඒ කුමක් වුණත් මේක දේශපාලනික නෑ. හැබැයි දැන් තමයි මේක දේශපාලනය තුළට හරවා ගන්න උත්සාහ කරන්නේ. මේකෙන් දේශපාලකයෝ වාසි ගන්න බලාගෙන ඉන්නවා.
තමන්ට නොතිබුණු බලයක් රැකගන්න උත්සාහ කරනවා. සිංහල දේශපාලකයා, මුස්ලිම් දේශපාලකයත් මේ දෙන්නම එහෙම තමයි. අපේ වර්ගය වෙනුවෙන් අපේ අය වෙනුවෙන් අපි සටන් කළ යුතුයි, අපේ මිනිස්සුන්ව අපි බේරාගත යුතුයි කියලා එළියට බහින සටන්කරුවා අන්තිමට නතර වෙන්නේ පාර්ලිමේන්තුවේ. වේදනාවෙන් කෑගහන සටන්කරුවා අන්තිමට හති අරින්නේ පාර්ලිමේන්තුව ඇතුළේ. ගොඩ වැඩිකරගෙන බඩ ලොකු කරගෙන සුදු කමිස නැෂනල් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කාගෙ හරි පැත්තට අත උස්සලා මොනවා හරි එකකට හා කියලා කියන කට්ට කපටි කෛරාටික දේශපාලකයෝ මේ දරුවාගේ මෘත ශරීරය කරේ තියාගෙන යන්න ලෑස්තියි.
අන්න ඒකට විතරක් ඉඩ දෙන්න එපා ආදරණීය සහෝදරවරුනි. මේ අපේ දරුවෙක් මියගියේ. අනේ ආදරණීය පුතේ… අපට සමාවෙයං. අපට උඹව රැකගන්න බැරි වුණාට සමාවෙයං. මේ වගේ දුප්පත් රටක උඹ ආයෙත් ඉපදෙන්න එපා. මේ වගේ දේශපාලනික මිනිස්සු ඉදිරියේ උඹ ආයෙ ඉපදෙන්න එපා. මේ වගේ වගකීමක් නැති මිනිස්සු ඉස්සරහා උඹ ආයෙ ඉපදෙන්න එපා. දරුවෙක් පරිස්සම් කරගන්න බැරි සෞඛ්‍ය පහසුකම් නම් මේ රටේ තියෙන්නේ, තව මොන කතාද කියලා අපි කෙළින්ම අහන්නේ බලධාරීන්ගෙන්. බලධාරීන් ඉන්නවා, සෞඛ්‍ය ඇමැතිවරු ඉන්නවා, සෞඛ්‍ය සම්බන්ධ නිලධාරීන් ඉන්නවා. ඔයාලා හිටියට වඩා හොඳයි ඔය ටික අයින් කරලා දාලා, පොල් පිතිවලින් ඔය නිලධාරීන් ටික කපාගත්තා නම්. මොකද එහෙම වුණා නම් පොල් පිති පෝෂණය කරන්න අපට සල්ලි වියදම් වෙන්නෙ නැති නිසා.
ජීවන පහන් තිළිණ










