ශ්‍රී ලංකාව සහමුලින්ම කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොමුකරවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති ප්‍රධාන පොරොන්දුවකි. එහි දක්වා ඇත්තේ නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ එම සැලැස්ම වසර දහයක් තුළ ක්‍රියාත්මක කරන බවය.
නමුත් වසර දහයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩපිළිවෙළක් මාස කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ කිරීම දැන් බොහෝ ගැටලු රැසකට මුල් වී ඇත. රජය එක්වරම රසායනික පොහොර සහ කෘමිනාශක ආනයනය තහනම් කළේ කාබනික වගාව සඳහා යොමුවන ලෙස ගොවීන්ට දැනුම් දෙමිනි. එහෙත් ගොවීන් පවසන්නේ එම තීරණය හේතුවෙන් තමන් අන්ත අසරණ වී ඇති බවය. ඒ හේතුවෙන් රට පුරා විවිධාකාරයේ ගොවි උද්ඝෝෂණ මාලාවක් මේ වන විට පැවැත්වෙමින් ඇත.
රජය ගත් තීන්දුව තමන්ට අහිතකර බව ගොවීන් තේරුම් ගත්තේ ටික කලකින් අනතුරුවය. ඒ සමඟම පොහොර ඉල්ලා ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ උද්ඝෝෂණ සංවිධානය කිරීමට ගොවීන් කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය. වී ගොවීන් මෙන්ම තේ සහ කුරුඳු ගොවීන්ද ඒ ආකාරයෙන් උද්ඝෝෂණ කරන ආකාරය දැකගත හැකි විය.

කෙසේ නමුත් කොවිඩි වසංගතය හමුවේ රට වරින් වර වසා දැමීම හේතුවෙන් ගොවි උද්ඝෝෂණවලටද යම් විරාමයක් ලැබිණි. නමුත් ඒ කාලයේදී තම ගොවි බිම්වල කටයුතු කළ ගොවීන්ට තේරුම් ගියේ තම ගැටලු තවත් උත්සන්න වී ඇති බවය. ඒ සමඟම රට විවෘත කළ සැණින් ගොවීන් සිදුකළ මුල්ම කර්තව්‍ය වූයේ තම විරෝධය පිටකිරීමය.
සුළු පරිමාණයෙන් ක්‍රියාත්මක වූ ගොවි විරෝධතා රැල්ල මහ පාරට පැමිණියේ පසුගිය ජුනි මාසයේදී රට නැවත විවෘත කිරීමත් සමඟය. එතැන් පටන් සැප්තැම්බර් මාසයේදී නැවත රට වසා දමන තුරුම රට වටා බොහෝ ස්ථානවල ගොවි උද්ඝෝෂණ රාශියක් ක්‍රියාත්මක විය.
ගමට ගොස් ගොවීන්ගෙන් ගුටි කා ගෙන හෝ කාබනික වගාව සඳහා ගොවීන් යොමුකරවන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ඒ අතරතුරේදීය. ඒ සමඟම ගොවි උද්ඝෝෂණවලට නව පණක් ලැබුණු ආකාරයක්ද දැක ගත හැකි විය. රටපුරා විවිධ ප්‍රදේශවල මහාමාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වුණු අතර එම උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් අත්අඩංගුවට පත් වූ බවද වාර්තා විය.
අනතුරුව නැවත වරක් ගොවි උද්ඝෝෂණවලට විරාමයක් ලැබුණේ නැවත රට වසා දැමීමත් සමඟිනි. ඉන් අනතුරුව පසුගිය මාසයේදී නැවත රට විවෘත වීමත් සමඟ එම උද්ඝෝෂණ රැල්ල ආරම්භ වී ඇත්තේ වෙන කවරදාටත් වඩා දැඩි ආකාරයකිනි.

එමෙන්ම මෙවර උද්ඝෝෂණ සංවිධානය කිරීමට අමතරව වෙනත් ආකාරවලින්ද තම විරෝධය පෙන්වීමට ගොවීන් කටයුතු කිරීම විශේෂත්වයකි. ඒ ආකාරයෙන් තම විරෝධය පෙන්වීමට ගොවීන් ප්‍රධාන වශයෙන් කටයුතු කළේ මහ කන්නය සඳහා දියවර මුදාහැරීම වෙනුවෙන් පැවැත් වූ කන්න රැස්වීම්වලදීය. ගොවිබිම් සඳහා පොහොර නොමැතිව ජලය ලබා දීමෙන් ඵලක් නොමැති බව ගොවි සංගම්වල ඒකායන මතය විය. ඒ හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් සහ ගොවීන් අතර දැඩි ආවේගශීලී අදහස් හුවමාරු වීම්ද දැක ගත හැකි විය. පොළොන්නරුව, දඹුල්ල, කන්තලේ ඇතුළු මහ කන්නයට අදාළ ප්‍රදේශ රාශියකදී මේ ආකාරයෙන් ජලය ප්‍රතික්ෂේප කිරීමට ගොවීන් කටයුතු කර තිබිණි. එමෙන්ම එම කන්න රැස්වීම් අතරමඟදී සභාවෙන් පිටව ඒමට ගොවීන් කටයුතු කරන ආකාරයද පෙනෙන්නට තිබිණි. ඒ හේතුවෙන් ඇතැම් කන්න රැස්වීම්වලට මාධ්‍යවේදීන්ට ඇතුළු වීමේ අවස්ථාව ලබා නොදීමටද බලධාරීන් පියවර ගෙන තිබිණි. මේ අතර ඇතැම් වාරි ව්‍යාපෘති සඳහා දියවර නිකුත් කිරීමෙන් පසු ගොවි විරෝධය හමුවේ වාරිමාර්ග නිලධාරීන්ට යළි එම සොරොව් වසා දැමීමට සිදු වූ අවස්ථා කිහිපයක්ද වාර්තා විය.
පසුගිය මාසයේ රට යළි විවෘත වීමෙන් පසුව පැවැති ගොවි උද්ඝෝෂණ සියල්ල ඉතාම උද්වේගකර සහ සංවිධානාත්මක ඒවා විය. එම උද්ඝෝෂණ සෑම එකකදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැඩි දෝෂදර්ශනයට ලක්වන ආකාරයද විශේෂත්වයක් විය. අළුත්ගමගේ මහතාගේ ඡායාරූප සහිත පඹයන්ට වේවැල්වලින් පහර දීම, එම පඹයන් ගිනි තැබීම සහ ඡායාරූපය සහිත පඹයන්ට දැඩිව බැන වැදීම එම සෑම උද්ඝෝෂණයකදීම දැකගත හැකි විය. ඇතැම් උද්ඝෝෂණවලදී හරකුන්ගේ මුහුණට කෘෂිකර්ම ඇමැතිවරයාගේ වෙස් මුහුණක් පැලඳ තිබූ ආකාරයද දැකගත හැකි විය. මේ අතර පසුගියදා රඹෑව ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් අතරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෙස් මුහුණක් පැලඳ ගත් පුද්ගලයෙකු ප්‍රාඩෝ රථයකින් පැමිණීමත්, ජනතාව ඔහුට බැන වදිමින් පහර දීමට උත්සාහ කිරීමත් කැපී පෙනෙන සිදුවීමක් විය. එම වෙස් මුහුණ පැලඳි පුද්ගලයා නැවත රථයට නැඟී එම ස්ථානයෙන් පිටව ගිය අතර අනතුරුව ගොවීන් සිදු කළේ කෘෂිකර්ම ඇමැතිවරයාගේ වෙස් මුහුණ පැලඳි පඹයෙකුට ගිනි තැබීමය.
මේ සෑම අවස්ථාවකදීම ජනතාව අදහස් දැක්වූයේ දැඩි ආවේගයකින් යුතුවය. එහිදී බොහෝ ගොවි ජනතාව පවසා සිටියේ වර්තමාන රජය තමන්ව රැවටූ බවය. නොමිලේ පොහොර ලබාදෙන බවට ප්‍රකාශ කරමින් බලයට පැමිණි රජය යටතේ වැඩි මුදලට හෝ ලබා ගැනීමට පොහොර නොමැති බව ජනතාවගේ අදහස විය. එමෙන්ම පොහොර නොමැතිකමින් ඵලදාව අඩු වී ඇති එළවළු, කෙසෙල් වැනි භෝග විනාශ කරමින් තම විරෝධය දැක්වීමටද ගොවීන් පෙලඹී තිබිණි.
අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් ආරම්භ වූ ගොවි විරෝධය මේ වන විට උතුරු පළාත දක්වාම විකාශනය වී ඇත. දකුණේ ජනතාව සමඟ එක්ව උතුරේ ජනතාවද එකම ගැටලුවක් සඳහා සටන් වදින තත්ත්වයට පොහොර ගැටලුව බරපතළ වී ඇත. පසුගිය සතිය වන විට එම සටන් වතුකරය දක්වා පැතිරී තිබිණි. මේ වන විට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් රැසක්ද පොහොර ගැටලුවට එරෙහිව පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ සමඟ එක් වී ඇත. එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇතැම් මැති ඇමැතිවරුන්ද පොහොර ගැටලුව සම්බන්ධයෙන් රජය විවේචනය කරන තැනට පත්ව තිබීමද විශේෂත්වයකි. ඔවුන් බොහෝ දෙනකු පවසන්නේ පොහොර ගැටලුව හේතුවෙන් තමන්ට ගමට යා නොහැකි බවය.

පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මාධ්‍ය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ගොවි ගැටලුව හේතුවෙන් තමන්ට ගමට යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය. එමෙන්ම පසුගියදා මඩකලපුව- හබරණ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැවැති ගොවි උද්ඝෝෂණයට 5000කට අධික ගොවීන් පිරිසක් සහභාගි වී තිබිණි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාද පසුගියදා ප්‍රකාශ කළේ ගොවි උද්ඝෝෂණ පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවට කනගාටුවෙන් හෝ ප්‍රකාශ කළ යුතුය. එමෙන්ම ගොවීන්ගෙන් බැණුම් ඇසීමට සිදුවන නිසා රජයේ ඇමැතිවරුන් ගොවීන් හමුවට නොයන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ගොවි උද්ඝෝෂණ හමුවේ රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට රජය මේ වන තෙක් කටයුතු කර නැතත්, එම තීරණයේ යම් යම් වෙනස්කම් රැසක් සිදුකිරීමට රජය කටයුතු කර ඇත. තේ වගාව සඳහා සුදුසු පොහොරක් ආනයනය කිරීමට රජය අවසර ලබා දුන්නේ ඒ අනුවය. ඒ හේතුවෙන් මේ වන විට තේ වගාකරුවන්ගේ උද්ඝෝෂණ යම් තරමකට සමනය වී ඇත.
එසේ වුවද, වී ගොවීන්ගේ පොහොර ගැටලුවට තවමත් විසඳුම් ලැබී නැත. රජය පොරොන්දු වූ පරිදි මහ කන්නය සඳහා පොහොර ලබාගැනීමට පසුගිය 15 වැනිදා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගිය ගොවීන් ආපසු ගියේ හිස් අතින් මෙන්ම රජයට බැණ වදිමිනි. තවමත් රජය පවසන්නේ ගොවීන්ට අවශ්‍ය පොහොරක් මහ කන්නය සඳහා ලබාදෙන බවය. ඉන්දියාවෙන් නැනෝ දියර පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. එමෙන්ම තමන් ලබාදෙන පොහොරෙන් වගා කටයුතු සිදු කොට, ගොවීන්ගේ අස්වැන්නේ අඩුවීමක් සිදුවුවහොත් ඊට වන්දි ලබාදීමට සූදානම් බවද කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් ගොවීන් පවසන්නේ එම ප්‍රකාශ තමන්ට පිළිගත නොහැකි බවය. වන්දි ලබාදීම සිදුකරන ආකාරය නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කරන්නේ නම් තමන් වගා කටයුතු සිදුකරන බවද ඇතැම් ගොවීන්ගේ මතය වී ඇත. එහෙත් තවමත් බහුතර ගොවීන් පසුවන්නේ මහ කන්නයේදී වගා නොකරන බවට ගත් තීන්දුවේමය.
ප්‍රාදේශීය වශයෙන් ආරම්භ වූ ගොවි උද්ඝෝෂණ රැල්ල මේ වන විට දිස්ත්‍රික්ක වශයෙන් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දැනගන්නට ඇත. එසේ වුවහොත් එම උද්ඝෝෂණ මීටත් වඩා උද්වේගකර ස්වභාවයක් ගනු ඇත. එමෙන්ම ඉදිරියේදී ලංකාවේ සියලුම ගොවීන් එක්ව කොළඹ වැටලීමට සූදානම් බවද බොහෝ ගොවීන් ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයේම දැවැන්ත ගොවි රැල්ලක් මේ වසර මුලදී ඉන්දියාවේද පැතිර ගිය අතර එය එරට කොවිඩ් වෛරසයේ පැතිර යෑමටද ප්‍රධාන හේතුවක් විය. එබැවින් මේ මොහොතේ උද්ඝෝෂණ නොපවත්වන තැනට ජනතාව පත් කිරීම රජයේ වගකීමය. තම ගැටලුවලට විසඳුම් ඉල්ලා ගොවීන් මහා මාර්ගයට අවතීර්ණ වන්නේ වෙන කළ හැකි කිසිවක් නොවන නිසාය. එබැවින් එම ගොවීන් මහා මාර්ගයෙන් නැවත ගොවි බිම්වලට යන තැනට රජය කටයුතු කළ යුතුය. ඒ සඳහා පෙර ගත් තීරණයක් වෙනස් කිරීමට සිදු වූවද, එය රජයේ පසුබෑමක් ලෙස ජනතාව තේරුම් නොගනු ඇත.
චන්දන පොන්නම්පෙරුම









