2015 වසර වනතුරු මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව යනු සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දුර වූ ක්‍රියාදාමයක් විය. ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් ජනතාව තුළ පැවතියේද නැත. නමුත් 2015 වසරෙන් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර බැඳුම්කර යන වචනය ජනතාව එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය වදනක් බවට පත් විය.
ඒ සඳහා හේතු වූයේ 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ දින 100 ආණ්ඩුව යටතේ සිදු වුණේ යැයි කියන බැඳුම්කර වංචාවය. ඒ වන විට ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා වූයේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. මහබැංකු බැඳුම්කර නිකුතුවේදී තම බෑණා වන අර්ජුන් ඇලෝසියස් මහතාට වාසි සිදුවන ආකාරයෙන් හිතා මතා කටයුතු කළේ යැයි මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල විය. ඒ හරහා රජයට අති විශාල පාඩුවක් සිදු වූ බවටද චෝදනා එල්ල විය.
එතැන් පටන් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවන ආකාරය දැක ගත හැකි විය. එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේද බැඳුම්කර වංචාවය. මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත් මහතා බැඳුම්කර වංචාව යනු කුමක්දැයි පැහැදිලි කළේ මෙසේය.
“මෙතැන මොකක්ද වෙලා තියෙන්නේ කියලා මිනිත්තු පහකින් විස්තර කරන්න පුළුවන්. 2015 මාර්තු -02 වැනිදාට රජයට ඕනෑ කළා රුපියල් බිලියන 13.55ක්. ඒක භාණ්ඩාගාරයට දැනුම් දුන් බවට ලිඛිත සාක්ෂි තියෙනවා. පෙබරවාරි මාසේ 26 වැනිදා මහා භාණ්ඩාගාරය තීරණය කළා බිලියන 13.55ක් ඕනෑ තැනට බිලියන 1ක් වෙන්දේසි කරන්න. මේ නිකුතුව 26 වැනිදා පටන් ගත්තා.
හැබැයි මේ සඳහා එකතු වෙන්න පුළුවන් ලියාපදිංචි තැරැව්කරුවන් 16ක් ලංකාවේ තියෙනවා. ඒ 16 දෙනා බිලියන 1 ගන්න වෙන්දේසියට ඉදිරිපත් වුණා. ඔහොම යද්දි මේක බිලියන 20.78ක් වුණා. මෙතැනට පර්පචුවල් ටේරෂරීස් සමාගම ලංකා බැංකුව හරහාත් ඉදිරිපත් වුණා. ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි එහෙම දෙයක් වුණේ. ඒ හරහා බිලියන 16කට වැඩි ප්‍රමාණයක් වෙන්දේසියෙන් ඉල්ලුම් කරන්න පර්පචුවල් ටේරෂරීස් සමාගම කටයුතු කර තිබුණා.
ඒ අවස්ථාවට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා දෙපාරක් ආවා. පළමු සැරේ මොකුත් කිව්වේ නැහැ. දෙවැනි සැරේ ආවම වෙන්දේසියට අදාළ ලේඛනය එතුමාට ලැබුණා. ඒ ලේඛනය බැලුව මහේන්ද්‍රන් මහත්තයා බැඳුම්කර නිකුත් කරන්න කියලා කිව්වා. ඒත් ඒකට මහ බැංකු නිලධාරීන් දෙන්නෙක් විරුද්ධ වුණා. බිලියන 01ට බිලියන 20ක් දෙන්න කියලා තමයි මහබැංකු අධිපති කිව්වේ. නිලධාරීන් විරුද්ධ වුණාම බිලියන 20ක් වෙනුවට බිලියන 10ක් දෙන්න කියලා මහේන්ද්‍රන් මහත්තයා කිව්වා. ඊට පස්සේ සටහනක් ගැහුවා. මහබැංකු අධිපතිවරයාගේ නියෝගය පරිදි බිලියන 1, බිලියන 10දක්වා වැඩි කළා කියලා. ඒ සටහන් තියෙනවා ඒ ලිපි ගොනුවල. ඒ බිලියන 10න් 05ක්ම අයිති පර්පචුවෙල් ටේරෂරීස් සමාගමට. අර්ජුන් ඇලෝසියස් තමයි ඒකේ සභාපති. එතකොටම එතුමා කවුද. අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුවගේ මහත්තයා නැත්නම් බෑණා. මේක තමයි වෙලා තියෙන දේ.”
ප්‍රේමජයන්ත් මහතා අදහස් දැක්වූයේ එසේය.
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව පර්පචුවෙල් ටේරෂරීස් සමාගමට දිගින් දිගටම චෝදනා එල්ල වූයේ ඉන් අනතුරුවය. එහි හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් මහතා දේශපාලනඥයන් සමඟ පවත්වන සබඳතා පිළිබඳවද, දේශපාලනඥයන්ට ලබා දුන් මුදල් සහ වෙනත් දේ පිළිබඳවද විවිධාකාරයේ චෝදනා එල්ල විය.
ඒ දිනවල මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත වූයේද බැඳුම්කර වංචාවය. බැඳුම්කර වංචාව පිළිබඳව කතා නොකළ මාධ්‍යයක් මෙරට නොවීය. පර්පචුවෙල් ටේරෂරීස් සමාගම ඒ සමඟම මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම හේතුවෙන් එම විවේචන දෙගුණ තෙගුණ වූ බව බොහෝ දෙනාගේ අදහස විය. පළමුව මුද්‍රිත මාධ්‍යයට පිවිසි පර්පචුවෙල් ටේරෂරීස් සමාගම ඉන් අනතුරුව විද්‍යුත් මාධ්‍යයටද අවතීර්ණවන බවට ආරංචි පැතිර යන්නට විය.
මෙරට සියලුම මාධ්‍ය හිමිකරුවන්ගේ ඉහ මොළ රත්වන්නට වූයේ ඒ අනුවය. එය වළක්වන්නට ඔවුනට හැකි සෑම දේම සිදු කරන්නට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය විය. එමෙන්ම එය වැළැක්වීමට ඔවුන් තමන්ට හැකි සෑම දෙයක්ම කරන ආකාරයද දැක ගත හැකි විය. බැඳුම්කර වංචාව මෙරට පැය 24 පුරා මාධ්‍ය ඔස්සේ කතා කරන මාතෘකාවක් බවට පත් වූයේ ඒ අනුවය.
මෙරට සියලුම මාධ්‍ය ආයතනවලින් ගෙන ගිය මතය වූයේ පර්පචුවෙල් ටේරෂරීස් සමාගම මාධ්‍ය ලෝකයට අවතීර්ණවන්නේ බැඳුම්කර වංචාව වසා ගැනීමට යැයි කියාය. එමෙන්ම ඒ සඳහා යොදවන්නේ බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල් බවටද මතයක් ගොඩ නැඟීම ඔවුනගේ අරමණු විය. එබැවින් එම මාධ්‍ය පිළිනොගන්නා ලෙසට රටේ ජනමතයක් ඇති කිරීමටද අනෙකුත් මාධ්‍ය ආයතන පියවර ගනු ලැබිණි.
කෙසේ වෙතත් පර්පචුවෙල් ටේරෂරීස් සමාගම මෙරට ආරම්භ කළ එකම මාධ්‍ය ආයතනය වූයේ “ජනයුගය” පුවත්පතය. එම පුවත්පත ආරම්භ කර නොබෝ කලකින්ම එය ශ්‍රී ලංකාවේ සියලුම පුවත්පත්වලට දැඩි තර්ජනයක් එල්ල කරමින් ජනතා ආකර්ෂණය දිනා ගන්නා ආකාරය දැක ගත හැකි විය. ජනයුගය හරහා බැඳුම්කර හොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කළේද, නැද්ද ගැන ජනයුගයට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් සාක්ෂි සපයනු ඇත. ජනයුගය කර්තෘ මණ්ඩලයට අවශ්‍ය වූයේ මෙරට මුද්‍රිත මාධ්‍ය කලාව වෙනස් කිරීමටය. පුවත්පත මුද්‍රණය වූ කෙටි කාලය ඇතුළත එය බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් පුවත්පතක් බවට පත් වූයේ ඒ හේතුවෙනි.
ඊට අමතර වෙනත් න්‍යාය පත්‍රයක් ජනයුගය හරහා ක්‍රියාත්මක වූයේ නැත. නමුත් ජනයුගය දිනෙන් දින අත්කර ගන්නා දියුණුව අනෙකුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ඇසට වැලි ගසන්නාක් බඳු විය. පුවත්පතට පහර ගැසීම වෙනුවට ඔවුන් සිදු කළේ පුවත්පත අයිති ආයතනය වට්ටවා දැමීමය. කෙසේ හෝ ජනයුගය වසා දැමීමටය. ජනයුගයට වෙළඳ දැන්වීම් ලබා නොදෙන මෙන් ඔවුන් දැන්වීම ආයතනවලට බලපෑම් කර තිබිණි. බැඳුම්කර වංචාවෙන් ඉපයූ මුදලෙන් වැටුප් ලබන ආයතනයක සේවය නොකරන ලෙස එවකට ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පවා මාධ්‍යවේදීන්ට බලපෑම් කර තිබිණි.
ජනයුගයට දිනෙන් දින ජනතා ආදරය වැඩි වූ වේගයෙන්ම එය වැසී යන වේගයද වැඩි විය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල ටේරෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවටද පත් විය. ඒ සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත් අතර එහි වාර්තාවද නිකුත් විය.
බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම නිකුත් වූ කාලයේදීද එවකට විපක්ෂය නියෝජනය කළ වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ වර්තමාන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ බැඳුම්කර වංචාව යනු වසා ගැනීමට නොහැකි තරම් ලොකු අලියෙකු බවය.
“ඇමැතිවරු කොමිස් විදියට ගෙවල් ගත්ත හැටි, ඇමැතිවරු නිලධාරීන්ට බලපෑම් කරපු හැටි, මහ බැංකු අධිපතිවරයා බැඳුම්කර වංචාවට අවශ්‍ය පසුබිම හදන්න නිලධාරීන් මාරු කෙරුව හැටි, නිලධාරීන්ට බලපෑම් කෙරුව හැටි, ඇමැතිවරු සොරකම සාධාරණීකරණය කිරීමට පොත් ලිව්ව හැටි, මැති ඇමැතිවරු සොරකම සැඟවීමට උත්සාහ දැරුව හැටි, මේ සාක්ෂිවල තිබෙනවා.
අල්ලස් කොමිසමට හෝ නීතිපතිට නඩු පැවරිය හැක්කේ මෙම තොරතුරු නිල වශයෙන් ඔවුන්ට ලැබුණොත් පමණයි. ඒ නිසා මෙම කොමිෂන් වාර්තාවේ උප ලේඛනයක් විදියට සමස්ත සාක්ෂි සටහන් ලබා දුන්නොත් පමණමයි කොමිසමේ රාජකාරිය සාර්ථකව, සම්පූර්ණව අවසන් කළා වෙන්නේ. ඔය අතරේ ඊයේ කඩිමුඩියෙම බරපතළ වංචා සහ දූෂණ විමර්ශන කොමිසමට තවත් වාර්තාවක් එනවා. කවුරුහරි රාජපක්ෂ කෙනෙක් වැරැද්දක් කරලා තියෙනවා නම් ඊට අදාළව උපරිම දඬුවම් දෙන්න. හැබැයි අහක යන කොමිෂන් වාර්තාවක් ගෙනැල්ලා ලංකා ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම, බරපතළම වංචාව යටපත් කරන්න, ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධයි. කඩුවෙන් වහන්න බැරි තරමට අලියා ලොකුයි කියන එක අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.”
ගම්මන්පිල මහතා අදහස් දැක්වූයේ එසේය.
මේ පිළිබඳව වර්තමාන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ දිනවල අදහස් දැක්වූයේ මෙසේය.
“බැඳුම්කර වංචාව වුණේ කොහොමද කියලා බැඳුම්කර මහහොරාව ගෙනල්ලා ආණ්ඩුව අහගත්තා. මම අද පැහැදිලිව කියනවා දේශපාලන අධිකාරියේ ඉහළ නිලධාරීන්ව බේරා ගෙන නිලධාරීන් තුන් හතර දෙනෙක්ගේ පිටේ වැරැද්ද පටවලා මේක අවසන් කරනවා කියලා. ඒ වගේම මේ වාර්තාව නීතිපතිට යොමු කරනවා කිව්වා. පසුගිය දවස්වල නීතිපතිව අරලිය ගහ මන්දිරයට ගෙනල්ලා මේ සම්බන්ධව කතා කළා. එතකොට නීතිපතිවරයාට බලපෑම් කරන ආණ්ඩුවකට වාර්තාව ගියහම ඒ සැකය අද ජනතාවට මතු වෙලා තියෙනවා. ඒ නිසා අධිකරණය ගැන අපේ විශ්වාසය තිබුණත්, මේ චෝදනා පත්‍ර ගොනුකරන ආකාරය ගැන අපේ විශ්වාසයක් නැහැ.”
ඒ රණතුංග මහතාගේ අදහස්ය.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේද මහබැංකු හොරුන්ට දඬුවම් ලබා දීමය. ඊට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගන්නා බවද මැති ඇමැතිවරු වේදිකාවේදී ප්‍රකාශ කළහ.
ජනතාවගේ බලාපොරොත්තුව වූයේද විපක්ෂයේ සිටියදී පට්ට ගැසූ මහබැංකු හොරු පිළිබඳව වර්තමාන ආණ්ඩුව පත් වූ සැණින් පියවර ගනු ඇති බවය. නමුත් පසුගිය සතියේදි වාර්තා වූයේ ඒ කිසිවෙකු බලාපොරොත්තු නොවූ පුවතකි. ඉන් කියැවුණේ මහබැංකු වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු යැයි කියන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් මෙන්ඩිස් සමාගමට නැවත අරක්කු නිෂ්පාදනයට අවසර ලබා දී ඇති බවය. එය මේ මොහොතේ කිසිවෙකු අපේක්ෂා නොකළ පුවතක් විය.
විශේෂත්වය වූයේ එම පුවත බැඳුම්කර වංචාව ගැන පැය 24 පුරා කතා කළ මාධ්‍ය ආයතනවලටද වාර්තා වී නොතිබීමය. බැඳුම්කර වංචාව පිළිබඳ එකල මුල්පිටු පිරවූ පුවත්පත් කිසිවක් මෙන්ඩිස් සමාගමට ලබා දුන් අවසරය පිළිබඳව වාර්තා කර තිබුණේ නැත. ඒ පිළිබඳව රටට දැනෙන අයුරින් වාර්තා කළ එකම පුවත්පත වූයේ මව්රට පමණි. පසුගිය සතියේ මව්රට පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූයේ ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට අරක්කු නිෂ්පාදනයට අවසර ලබා දීමය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයකටම ණය සහ රජයට බදු ගෙවා නැති ආයතනයකට එවැනි අවසරයක් දුන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කිරීමට මව්රට පියවර ගත්තේය.
බැඳුම්කර වංචාව පිළිබඳ නිරන්තරයෙන් කතා කළ මාධ්‍ය මෙන්ම, එවකට විපක්ෂය නියෝජනය කළ වර්තමාන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ද හැසිරුණේ ඒ ගැන කිසිත් නොදන්නා ගානටය. එය මුදල් අමාත්‍යාංශයේ තීරණයක් බැවින් තමන් ඒ ගැන නොදන්නා බවට ප්‍රසිද්ධියේ පැවසීමට ඇතැම් ප්‍රබල ඇමැතිවරු පවා කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
කෙසේ නමුත් මෙන්ඩිස් සමාගමට ලබාදුන් අවසරය නැවත අත්හිටුවීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද පසුව දැන ගත හැකි විය. මව්රට හරහා අප සිදු කළ හෙළිදරව්වද ඒ සඳහා හේතු වී තිබිණි. මෙන්ඩිස් සමාගමට නැවත අවසර ලබා දීම අනෙකුත් මාධ්‍යවල ඇස නොගැටුණේ පර්පචුවෙල් ටේරෂරීස් සමාගම නැවත මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීමේ සූදානමක් නොමැති නිසාදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් ඒ හරහා මෙරට මාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වී ඇත.
–චන්දන පොන්නම්පෙරුම










