කොටි අත්අඩංගුවේ පසුවූ හමුදා සාමාජිකයන් දෙදෙනකු නිදහස් කරගැනීමේ අදහසින් එල්.ටී.ටී.ඊ. නායකයන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා විජය කුමාරතුංග මහතා 1986 වසරේදී සිදුකළ යාපනයේ සංචාරය පිළිබඳ ඇතැම් විට ඔබ අසා ඇති. එල්.ටී.ටී.ඊ. නායකයන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය කපිතාන් ජයන්ත කොතලාවල ගැනද ඒ සමයේ දැඩි කතාබහක් ඇතිවිය.(Sri Lanka Latest News)
සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු වූ ඔහු, හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ ශ්‍රීකුමාර් කනගරත්නම් නොහොත් රහීම් සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය අතර, ආචාර්ය රොහාන් ගුණරත්න සහ මහාචාර්ය රාජන් හූල් වැනි අය ලියූ පොත්පත්වලද මේ ගැන සඳහන්ව තිබෙනවා. සුප්‍රකට මනෝවෛද්‍යවරයකු වන රුවන් එන්. ජයතුංග මහතා විසින් ශ්‍රීකුමාර් කනගරත්නම් සමග මෑතකදී සිදුකළ සංවාදයකදී මෙම සම්බන්ධතාව ගැන කතාබහට ලක්ව තිබූ අතර, ඒ පිළිබඳ ගොඩනැගී තිබූ බොහෝ උභතෝකෝටිකයන්ට පිළිතුරු දෙන්නටද රහීම් මැළිවුණේ නැහැ. හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පමණක් නොව, දේශපාලන බලාධිකාරියේ පවා කන් රත්කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පවා ගෞරවයට පාත්‍ර වූ කපිතාන් ජයන්ත කොතලාවල සහ රහීම් අතර සිදුවූ අප්‍රකට ගනුදෙනුව පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද වූ ජයන්ත කොතලාවල ආරෝහ පරිණාහ දේහ ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෙකි. 1976දී යුද හමුදාවට බැඳණු ඔහු, අනතුරුව සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු වශයෙන් අධිකාරිය ලැබුවා. තමන්ටම ආවේණික වූ ආකල්ප සහ ක්‍රියාකාරීත්වයක් ප්‍රදර්ශනය කළ ඔහු, කා අතරත් ප්‍රසිද්ධ වූයේ නුරුස්නාසහගත ගති පැවැතුම් ඇති හිතුවක්කාර පුද්ගලයකු ලෙසයි.
1986 වසරේ ඔක්තෝබර් 12 වැනිදා අඩම්පන්හිදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සහ යුද හමුදා භට පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එවක එල්.ටී.ටී.ඊ. මන්නාරම් දිස්ත්‍රික් නායකයා වූ වික්ටර් ඇතුළු පිරිසක් මියගියා. එම සටනේදී යුද හමුදා සෙබළුන් 08 දෙනකුද දිවිපිදූ අතර, දෙවැනි ලුතිනන් අජිත් චන්ද්‍රසිරි සහ සාමාන්‍ය සෙබළ බණ්ඩාර යන අය එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූ හමුදා සාමාජිකයන්ගේ සිරුරුවල වගකීම පැවරුණේ එවක යාපනයේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ නායකයා වූ කිට්ටුගේ දෙවැනියා සහ භාෂා පරිවර්තක වශයෙන් කටයුතු කළ ශ්‍රීකුමාර් කනගරත්නම් නොහොත් රහීම් වෙතයි.
සටනක් අතරතුර සතුරා අතට පත්වන මළ සිරුරු අදාළ පාර්ශ්වය වෙත භාරදීම සඳහා පසුකාලීනව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මැදිහත් වීම සිදුවුවත් එම වකවානුවේදී රතුකුරුස සංවිධානය ලංකාව තුළ සක්‍රීයව පැවැතුණේදැයි කීමට සාක්ෂි නැහැ. ඒ අනුව යුද හමුදාවේ සෙබළුන් අටදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම රහීම් වෙතම පැවරුණා. මෙම අවස්ථාවේදී මින් පෙර කිසිවකු විසින් සිදු නොකළා වූ පියවරක් වෙත අවතීර්ණ වූ රහීම් එවක යාපනය කොටුව තුළ ස්ථානගතව තිබූ තුන්වැනි සිංහ බළඇණි කඳවුර දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන සටනක් අතරතුර මියගිය සෙබළුන් අටදෙනකුගේ සිරුරු රැගෙන එන බව දන්වා සිටියා.
යාපනය කොටුවට අනුබද්ධව පිහිටි සුබ්‍රමනියම් ක්‍රීඩාංගණයේදී මෙම මළ සිරුරු භාරදීම සහ භාරගැනීමට දෙපාර්ශ්වයම එකඟ වුණා. සිංහ බළඇණිය වෙනුවෙන් මෙම සිරුරු භාරගැනීම පැවරුණේ කපිතාන් ජයන්ත කොතලාවලටයි. මළ සැරුරු අට ලොරියක මාර්ගයෙන් යාපනය නගරය දක්වා ප්‍රවාහනය කරන්නට රහීම් කටයුතු කළ අතර, ඔහු එහි ගියේ නිරායුධව බවත් රහීම් සඳහන් කරනවා.
සුබ්‍රමනියම් ක්‍රීඩාංගණයේදී රහීම් මුණගැසුණු කපිතාන් කොතලාවල විමසා සිටියේ යුද හමුදා සෙබළුන්ගේ මළ සිරුරු යළි භාරදීමට සිත්වූයේ මන්ද යන්නයි. යම් හෙයකින් සටනක් අතරතුර ඔහුද මියගියහොත් ආගමික චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඔහුගේ මවට සිය දේහය අවශ්‍ය වන බවත්, ඒ අයුරින්ම මේ සොල්දාදුවන්ගේ සිරුරුද ඔවුන්ගේ මෑණිවරුන්ට අවශ්‍ය වන බවත් රහීම් පවසා තිබෙනවා. එකණෙහිම පෙරට පැමිණි කපිතාන් කොතලාවල රහීම් වැලඳගෙන ඔහුට ස්තුති කොට සෙබළුන්ගේ සිරුරු භාරගත් බව සඳහන්. ඒ, කොතලාවල සහ රහීම් අතර සිදුවූ පළමු හමුවයි.
ඉන් අනතුරුව විජය කුමාරතුංග මහතා යාපනයේ සිදුකළ සංචාරය අතරතුරද කපිතාන් කොතලාවලට රහීම් මුණගැසුණා. එම අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ.යේ දෙවැනි පෙළ නායකයන් ගණනාවක් කපිතාන් කොතලාවලට හඳුන්වා දෙන්නට රහීම් කටයුතු කළා. ඔවුන් දෙදෙනා අතර යම්කිසි සුහදතාවක් ගොඩනැගී තිබුණු අතර, දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කරගන්නටද ඔවුන් අවස්ථාව උදාකරගෙන තිබුණා. ඉන් අනතුරුව 1987දී ශ්‍රී ලංකා රජයට එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේදී කපිතාන් කොතලාවලට එල්.ටී.ටී.ඊ. නායකයන් සමග තිබූ සම්බන්ධතාව භාවිත කරන්නටද රජය කටයුතු කළා.
එම අවස්ථාවේදී කොටි පාලන ප්‍රදේශයේ සංචාරය කළ කපිතාන් කොතලාවලට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද මුණගැසුණු අතර, එල්.ටී.ටී.ඊ.ය විසින් ඔහුට දිවා භෝජනයද පිළිගන්වා තිබුණා. වරෙක විදේශීය සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ප්‍රභාකරන් පවසා තිබුණේ කපිතාන් ජයන්ත කොතලාවල සුවිශේෂ සටන්කරුවකු බැවින්, කොටි සංවිධානය ඔහුට ගරු කරන බවයි. සැබැවින්ම තිස් වසරක ඊළාම් යුද්ධය තුළ ප්‍රභාකරන්ගේ සම්භාවනාවට පාත්‍ර එකම හමුදා නිලධාරියා කපිතාන් ජයන්ත කොතලාවල පමණක්ම විය හැකියි.
කපිතාන් කොතලාව එල්.ටී.ටී.ඊ. නායකයන් සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ දේශපාලන බලාධිකාරියේ සැකමුසු ප්‍රශ්න කිරීම්වලට ලක් නොවුණාම නොවේ. එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් මේ පිළිබඳ කපිතාන් කොතලාවලගෙන් විමසූ අවස්ථාවේදී ලෝක යුද ඉතිහාසයේ සිදුවීම් පවා උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඔවුන් සතුරන් බවට පත්වන්නේ සටන් අතරතුර පමණක් බවයි. දෙවැනි ලෝක යුද්ධය අතරතුර ප්‍රති පක්ෂයන් ලෙස සටන් වැදුණු බි්‍රතාන්‍ය සහ ජර්මානු හමුදාවන් එක් නත්තන් දින සැඳෑවක පාපන්දු තරගයක නියැළුණු සිදුවීමක් ඔහු උපුටා දක්වනු ලැබුවා.
කෙසේ නමුත් මෙම සිදුවීම නිසාම නොවුණත් ඔහුගේ පැවැති චරිත ලක්ෂණ නිසා යුද හමුදාව තුළ ලැබිය යුතු උසස්වීම් පවා කපිතාන් කොතලාවලට ලැබුණේ ප්‍රමාදවීමෙන් බව සඳහන් කළ යුතුයි. මීට අමතරව කපිතාන් කොතලාවල සහ රහීම් අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ තවත් බොහෝ කටකතා පැතිරෙන්නට වුණා. සටන් භූමියේදී එකිනෙකා වෙත වෙඩිතබා නොගන්නට එකඟතාවක් ඔවුන් තුළ වූ බව මෙන්ම වරෙක එල්.ටී.ටී.ඊ. ස්නයිපර්කරුවකුගේ ඉලක්කයකට හසුවූ කපිතාන් කොතලාවලගේ ජීවිතය බේරාගනු ලැබුවේ රහීම්ගේ මැදිහත්වීමෙන් බවද කියැවුණා.
කෙසේ නමුත් ඒ සියලු කතා හුදු ප්‍රබන්ධ සහ ප්‍රලාපයන් පමණක් බව රහීම් පවසා සිටි අතර, ඔවුන් දෙදෙනා අතර පැවැති මානුෂීය සම්බන්ධතාව සංවිධාන අතර ගැටුමක් ඇතිවන තත්ත්වයට ගෙන යන්නට හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා අවභාවිත කරන්නට කිසිදු අවශ්‍යතාවක් ඔවුන් දෙදෙනාටම නොතිබූ බවද රහීම් පවසා තිබෙනවා. එමෙන්ම මෙකී සම්බන්ධතාවට හේතුව ඔවුන් දෙදෙනා පාසල් මිතුරන් වීම බවද තවත් එක් කටකතාවක කියැවුණා. කෙසේ නමුත් කපිතාන් කොතලාවල කොළඹ ආනන්ද විද්‍යාලයේ අදි ශිෂ්‍යයකු වූ අතර, රහීම් අධ්‍යාපනය ලබා තිබුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනුයි.
එසේ වුවත් රහීම්ගේ පියා සහ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත රවී ජයවර්ධන එකම පාසලේ සගයන් බවද සඳහන් කළ යුතුයි. රහීම්ට අමතරව එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායකයකුව සිටි යෝගරත්නම් යෝගී සමගද කපිතාන් කොතලාවල සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි බව මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ නමැති කෘතියේ සඳහන් වන නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් වාර්තා වන්නේ නැහැ. එසේ නමුත් 1990දී එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ ඇතිවූ අභ්‍යන්තර මතගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් රහීම් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත් වන අතර, ජීවිතාරක්ෂාව පතා ඔහු කැනඩාවට පැනගන්නට සමත් වුණා. මේ දක්වාම ඔහු ජීවත් වන්නේ කැනඩාවේය.
1991 වසරේදී කපිතාන් කොතලාවල එක්සත් ජනපදයේ සිදුකළ සංචාරයක් අතරතුර රහීම්ගේ දුරකතන අංකය සොයාගෙන ඔහු අමතා එකිනෙකා මුණගැසෙන්නට අවස්ථාවක් උදාකර ගත්තා. එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත්ව සිටි රහීම් සමග පෞද්ගලික මට්ටමේ සම්බන්ධතාවක් පැවැත්වීම කපිතාන් කොතලාවලට මේ වන විට කිසිදු ගැටලුවක් වුණේ නැහැ. ඉන් අනතුරුවද ඔවුන් දෙදෙනා කුලුපග මිතුරන් වශයෙන් ආශ්‍රය කළ අතර, කපිතාන් කොතලාවල ලුතින්න කර්නල් නිලය දක්වා යුද හමුදාව තුළ උසස්වීම් ලැබ විශ්‍රාම ගියා.
ඉතා අවාසනාවන්ත අන්දමින් වර්ෂ 2000දී සිදුවූ රිය අනතුරකින් ලුතිනන් කර්නල් ජයන්ත කොතලාවල ජීවිතක්ෂයට පත්වූ නමුත්, අද දක්වාම රහීම් පවුල සහ ඔස්ටේ්‍රලියාවේ වාසය කරන කොතලාවල පවුල සමීප සම්බන්ධතාවන් පවත්වාගෙන යනවා. එල්.ටී.ටී.ඊ.ය කෙතරම් ම්ලේච්ඡ සංවිධානයක් වුවද, ඒ තුළ මනුෂ්‍යත්වය අගය කළ පුද්ගලයන්ද සිටි බව රහීම් කදිම උදාහරණයක්.
එමෙන්ම එවන් මධ්‍යස්ථ මතධාරීන් පුද්ගලයන් හට එල්.ටී.ටී.ඊ.ය තුළ කිසිදු ඉඩක් නොවූ බවටද ඔහුගේ ඉරණම විසඳුණු ආකාරයෙන් අපටද ප්‍රත්‍යක්ෂ වනවා. අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ සටන් බිමෙන් පිටත සොල්දාදුවා යනු අතිශය මානුෂීය ගුණාංගවලින් හෙබි උතුම් මනුෂ්‍යයකු බවයි. මේ පිළිබඳ රහීම් නොහොත් ශ්‍රීකුමාර් කනගරත්නම් පවසන්නේ මෙවැන්නක්.
‘අද ජයන්ත කොතලාවල කියන හමුදා නිලධාරියා ජීවතුන් අතර නෑ. හිටපු අරගලකරුවකු වූ මම දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුළත් වෙලා. ප්‍රභාකරන්ගේ සටන පරාජයෙන් අවසන්. මේ ගතවූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාශ වුණාද, කොපමණ දේපළ විනාශ වුණාද කියායි. අවසානයේ අපි හැමෝම ලබාගත්තේ මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා.
යුද්ධය නම් අවලස්සන තරගයෙන් ඉතිරි වූයේ අපගේ මිත්‍රත්වය පමණයි. අප එකිනෙකා සමග සටන් කළත්, ගහ මරා ගත්තත්, අපට යම් අවස්ථාවක් එනවා සතුරා සමග මානවවාදී ලෙස ගනුදෙනු කරන්නට. එය මඟහැරීම නුසුදුසුයි. ඒ මානුෂික ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී අප එකිනෙකා වටහාගන්නවා. ඒ අවබෝධය ලැබුණු පසු අප කාකොටා ගන්නා තිරිසනුන් නොව, තවත් මිනිසකු දෙස මානුෂීය ඇසින් බැලිය හැකි මිනිසකු බවට පරිවර්තනය වනවා….’
යාපනයේ සන්නද්ධ නායකයාගේ අවවාද පවා නොසලකමින් යුද හමුදා සෙබළුන්ගේ මෘත දේහයන් යුද හමුදාවට භාරදෙන්නට එදා රහීම් නොගියේ නම් මනුෂ්‍යත්වය පිළිබඳ වූ මේ සටහන තබන්නට අපටද නොහැකි වනු නොඅනුමානයි.
NENASA LK යූටියුබ් නාලිකාවෙනි










