ත්‍රිරෝද රථ රියැදුරකුට කිරි පැකට්ටුවක් බීමටදී සිහිසුන් වූ පසු ඔහුගේ ලක්ෂ එකොළහකට අධික රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ සිද්ධියක් පිළිබඳ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.Sri Lanka Latest News
කුලී ගමනක් යාමේ මුවාවෙන් මෝදර ප්‍රදේශයේ සිට පිටකොටුවටත් පසුව වැල්ලවත්ත ප්‍රදේශයටත්, මුහුදු වෙරළටත් යනාදී වශයෙන් ගමන්කර ඇති එක්තරා පවුලක අය ලෙස හඳුන්වාගත් පිරිසක් මෙම සැලසුම්සහගත රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සිදුකර ඇති බව පොලිසියේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
මේ ආකාරයටම මෙයට මාස කිහිපයකට පෙර හැටන් මූලස්ථාන පොලිස් බලප්‍රදේශයට අයත් වතුයායකදීද මෙවැනිම රන් භාණ්ඩ සොරකමක් සිදුකර ඇති බවද, එහිදී ත්‍රීවීල් රියැදුරුට බීම බෝතලයක් බීමටදී සිහිසුන් කර රියැදුරුගේ ගෙල පැලඳි රන් මාලය සහ මුදල් කොල්ලකා පලාගිය පුවතක් වාර්තා වී ඇති බවද පොලිසිය කියයි.
මේ ආකාරයේ සැලසුම්සහගත ලෙස ත්‍රීවීල් රියැදුරන් කුලී ගමන් යන මුවාවෙන් කැඳවාගෙන ගොස් රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සිදුකරනුයේ සංවිධානාත්මක පිරිසක්ද යන්න පිළිබඳ විමර්ශනය කෙරෙන බව පොලිසිය කියයි.
කුලී ගමන් යන ත්‍රීවීල් රියැදුරන් මෙවැනි සිද්ධි පිළිබඳ දැඩි කල්පනාවෙන් කටයුතු කළ යුතු බවද පොලිසිය අවධාරණය කරයි
නන්දන ශ්‍රී දොරකුඹුර










