මෙයට වසර දහස් ගණනකට පෙර ආදී ලංකාවේ වළගම්බා රජු සමයේදී සිදුවුණු ‘බැමිනිටියාසාය’ නම් මහා දුර්භික්‍ෂයේදී මිනිසුන් කුසට අහරක් නැතිව තැන, තැන මැරීවැටී ඇත. එසේම මිනිසුන් යක්‍ෂයන් බවට පත්වුණේ යැයිද ආදි ඉතිහාසය කරුණු කියා සිටියි. මෙසේ කුසට අහරක් නැතිවීම නිසා මිනිස්සු ඇවිදින මළමිනී බවට පත්වුණේ යැයිද කියති. අපගේ ආදී ලංකාවට අමතරව බොහෝ පසු කාලවලදී ලෝකයේ බොහෝ රටවලද දරුණු සාගතයන් රැසක් ඇති විය. බොහෝ විට අප්‍රිකාවේ රටවල් රැසකදී මිනිසුන් මෙසේ ආහාරපාන, ජලය නොමැතිව දරුණු මාරාන්තික තත්ත්වයන්ට මුහුණ දුන්නේය. එතැනින්ද පසුව මෙයට වසර 100ක පමණ කාලයකට පෙරදී බටහිර ජනවහරේ සඳහන් වන්නට ගත්තේ ‘සෝම්බි’ නැමැති අරුම, පුදුම මිනිසුන් කොට්ඨාසයක් ගැනය. එනම් මෙම මිනිස්සු ආහාරපාන නොමැති වීම සහ තවත් වෙනත් විවිධ හේතු නිසා සිදුවන මරණයන්හිදී ඇවිදින මළමිනී බවට පත්වුණේ යැයි කියති.
එනම් මෙම ‘සෝම්බිවරුන්’ යනු ශරීරයෙන් මියගිය එහෙත් ආත්මයෙන් ප්‍රාණය ඇති අත්භූත මිනිසුන් පිරිසකි. ඔවුහු ගතින් මියගොස් සිටියත් ආත්මයෙන් පැමිණ පොදු සමාජයේ කටයුතුවල නිරත වෙති. මෙය ජන පුරාණයෙන් හෝ දේව පුරාණයෙන් කියැවෙන මිථ්‍යා වගතුගක් පමණක් ලෙසට කරුණු හෙළිවිය. කෙසේ හෝ මිනිසෙකුට ආහාරපාන හෝ ජලය හෝ නොමැති නම් එම මිනිසාට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නැත.
1970 – 1979 රාජ්‍ය පාලන සමයෙන් පසුව, එනම් දැනට හරියටම වසර 45කට පසුව, මෙකල වත්මන් ශ්‍රී ලංකාව තුළ මහත් බියකරු වූ ආහාර අර්බුදයක් හටගෙන ඇත. මෙය රහසක් නොවේ. ආහාර පමණක් නොව, වෙනත් අත්‍යාවශ්‍ය ආහාර නොවන භාණ්ඩවලද අතිශය දරුණු හිඟයක් මේ වන විට උද්ගතව ඇත. මෙය පසුගිය මාස 08-09 කට පමණ පෙර සිටම ඇති වූ දරුණු අර්බුදයක් වන අතර, එය දිනෙන්, දින තව, තවත් උග්‍ර වී ඇත. මේ නිසා හෙට අනිද්දාට මෙරට මහා දුර්භික්‍ෂයක් ඇති වී මිනිසුන් ‘සෝම්බිවරුන්’ බවට පත්වෙයිද? කෙසේ හෝ මේ වන විටත් මෙම මහා අර්බුදයට වත්මන් රජයට කිසිදු විසඳුමක් නැත. ලබාගන්නට තිබෙන ආහාරපාන පවා අහස උසට ගිනි ගණන්ය. එසේ ගිනි ගණන් දීලාවත් නිසි අවශ්‍ය දේ ලබා ගැනීමටද නොහැක. ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මෙම වත්මන් ඛේදනීය අර්බුදය කොතැනකින් කෙළවර වේදැයි කිසිවෙකුටත් කිව නොහැක. මෙවැනි වටපිටාවක් යටතේ දැනට මෙරට තුළ උද්ධමනයද අතිශය දරුණු ලෙස ඉහළ නැඟ ඇත. මෙයට දින කිහිපයකට පෙර දැනගන්නට ලැබුණේ උද්ධමනය 14.2%ක් වැනි ඉතා ඉහළ අගයක් වෙත නැඟ ඇති බැව්ය. එවැනි අගයකට පැමිණ ඇත්තේ ප්‍රථම වතාවටය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘ආහාර හදිසි තත්ත්වයක්’ උද්ගතවී තිබේද? මෙහිදී ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකයන් දරන මතය සහ පිළිතුර වන්නේ ‘ඔව්’ යන්නය. එහෙත් සමහර රාජ්‍ය පාර්ශ්වික කණ්ඩායම් පවසා සිටින්නේ එවැන්නක් නොමැති බැව්ය. ගැති රාජ්‍ය කණ්ඩායම් එසේ ‘පට්ටපල් බේගල්’ දෙසා බාන විටදී රටේ සෑම තැනකින් මේ දිනවල අසන්නට සහ දකින්නට ලැබෙන්නේද, ආහාර හිඟයක පුවත් සහ දසුන්ය. ඕනෑම රටක් තුළදී ආහාර හදිසි තත්ත්වයක් ප්‍රකාශ වීම යනු එය ඉතාම දැඩි අවදානම් සහිත තත්ත්වයකි. එනම් එයින් පැහැදිලිවම කියා සිටින්නේ රට තුළ දරුණු ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමයි. මෙය දැන් රට තුළ ප්‍රායෝගිකවම පෙන්වා ඇත. හදිසි ආහාර අර්බුදයක් ගැන වෙනත් කිසිවෙකු විසින් අපට කරුණු කිව යුකු නැත. එසේ වන්නේ මෙරට ‘මහ මිනිසා’ විසින්ම පසුගියදා එය ප්‍රකාශ කළ හෙයිනි. එනම් 2021 අගෝස්තු 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙරට තුළ හදිසි ආර්ථික තත්ත්වයක් නිල වශයෙන්ම ප්‍රකාශයට පත්කළේය.
රටේ ජනතාව සඳහා අවශ්‍ය වන ආහාර සැපැයුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා නිසි ලෙස සැපැයීම සහතික කිරීම සඳහා මෙම හදිසි නීති පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශ කර සිටියේය. එහෙත් මෙය මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමක් බැව් දැන් පැහැදිලිව පෙනී යයි. යටකී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රකාශයට පත්කරන ලද ගැසෙට් නිවේදනය මගින් පෙනී යන්නේ, මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවැනි කොටස ක්‍රියාත්මක කිරීම බැව් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. තවද රෙගුලාසියක් නීතියක් බවට පත්වීමට පෙර එහි ඇත්තා වූ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය සහ අවස්ථාවද මෙම හදිසි නීති ප්‍රකාශය මගින් අහෝසි වෙයි. රජය මෙහිදී ප්‍රකාශ කරමින් කියා සිටින්නේ, අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඇතිවන හිඟයත්, මිල ඉහළ යෑමත් නැති කිරීම උදෙසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බැව්ය. එහෙත් මෙම ක්‍රියාවලිය දැනට ‘ගඟට ඉනි කැපුවා’ මෙන් එකක් වී ඇත.
රජය පසුගියදා කබලෙහි දැවෙමින් සිටි ජනතාව ළිපටම ඇද දැමුවේය. එසේ වූයේ පාලන මිලට තිබුණු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රාශියක මිල පාලනය ඉවත් කර දැැමුවේය. මෙසේ සිදුකළේ, වෙළෙන්දන් ආහාර ද්‍රව්‍ය සැඟවීමත් සහ ආහාර හිඟය නැති කිරීමත් උදෙසා යැයි රජය කරුණු ප්‍රකාශ කළේය. අවසානයේදී වෙළෙන්දන් සහ භාණ්ඩ නිෂ්පාදකයන් තමන්ට රිසි ගණන්වලට ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ විකුණන්නට විය. පාලන මිලට හාල් කිලෝ දෙක තුනක් මිලදී ගන්නට පාරිභෝගිකයන්ට සතොස වෙළෙඳසල් පෝලිම්වල වරු ගණන් කාලය ගතකරන්නට විය. කිරිපිටි පැකට්ටුවක් ඇසකට හෝ දකින්නට නැති විය. ගෑස් බැරලයක් ලබා ගැනීමට තවම පෝලිම්වල සිටිය යුතුය. එසේ නැතිනම් ගෑස් පැමිණෙන වේලාව මඟ රැකගෙන සැඟවී බලා සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන සහල් සඳහා උදාවී ඇත්තේ අතිශය බියකරු තත්ත්වයකි. සහල්වල මිල ගණන් අසන විට ‘හීන්දාදිය’ දමන්නට ගනියි. සහල්, කිරිපිටි, පරිප්පු, සීනි, අල, ලූනු, තිරිඟු පිටි සහ තවත් ආහාර ද්‍රව්‍ය රැසක්ම මේ කියන මොහොතේදීත් උග්‍ර හිඟයකට පත්ව තිබෙයි. ඉන්ධන හිඟය ඊටත් වඩා භයානකය.
මෙලෙස පසුගිය වසරක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවට උද්ගතව ඇති මෙම ඛේදනීය තත්ත්වය දිනෙන්, දිනම උග්‍ර වෙමින් පවතින බැව් නොරහසකි. එමෙන්ම මෙම අර්බුදකාරී තත්ත්වය ගැන මේ වන විට දේශීය මාධ්‍ය පමණක් නොව විදේශීය මාධ්‍ය රැසක්ද තම අදහස් ප්‍රකාශනයන් ඉදිරිපත් කරයි. එසේම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවී ඇති තවත් බැරෑරුම් ක්‍රියාවලියක් වන්නේ ලෝකයේ විවිධ ප්‍රකට ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණ සංවිධාන විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලට ලක්කිරීමය. මෙලෙස අද ලෝකයම කතා කරන විෂයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබීම ගැන සොයා බලමු. ඔවුන් අප ගැන කියන්නේ කුමක්ද?
ලොව ප්‍රකට ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන ඇමෙරිකාවේ පිහිටා තිබෙන ‘ටේ්‍රඩින් ඉකොනොමික්ස්’ ආයතනය පසුගියදා ශ්‍රී ලංකාව ගැන සුවිශේෂී වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේය. මේ වන විට ලෝකයේ ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 12ක් ඔවුන් නම් කර තිබුණු අතර, එයට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබිණි. මෙම වාර්තාවට අනුව දැනට ලෝකයේ රටවල් අතරින් ඉතාමත්ම උච්ච ලෙස උද්ධමනය ඇති රටවල් 12 මෙසේ පෙළගස්වා ඇත. මෙහිදී ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තවත් රටවල් 11ක් ඇති අතර, එනම් එම රටවල උද්ධමනය අප රටට වඩා වැඩිය. කෙසේ හෝ එම ලැයිස්තුවේ 12 වැනි ස්ථානය ශ්‍රී ලංකාව විසින් ලබා තිබීම ඉතාම අවදානම්කාරී තත්ත්වයකි. එම නිල ලැයිස්තුවට අනුව එම රටවල් 12 මෙසේ පෙළ ගැස්විය හැකිය. මෙය පසුගිය 2021 දෙසැම්බර් මාසය අවසානයේදී සකස් කරන ලද දත්ත වෙයි.
- වෙනිසුවේලාව – 1037%
- ලෙබනන් – 439%
- සුරිනාම් – 68.3%
- සිම්බාබ්වේ – 64.9%
- ආර්ජන්ටිනාව – 50.3%
- තුර්කිය – 42.8%
- ඉරාකය – 41.6%
- සිරියාව – 39.1%
- ඉතියෝපියාව – 38.9%
- ඇන්ගෝලාව – 36.5%
- හයිටිය – 29.5%
- ශ්‍රී ලංකාව – 22.1%
මෙම සංවිධානය මෙහිදී දක්වා සිටින්නේ එම රටවල පවතින ආහාර උද්ධමනයයි. කෙසේ හෝ මහ බැංකුවේ වාර්තාවලට අනුව මෙම ජනවාරි මාසය වන විටදී ශ්‍රී ලංකාවේ පොදු සමස්ත උද්ධමනය 14.2% දක්වා ඉහළ නැඟ ඇත. මෙරට මාස 02කට පමණ පෙර මෙරට උද්ධමනය තිබුණේ 9.2%ක් වැනි ප්‍රමාණයකට වන අතර, එය ඉතාමත් කෙටි කාලයක් ඇතුළත රොකට්ටුවක වේගයෙන් ඉහළ නැඟ ඇත. මෙයට හේතුව වී ඇත්තේ මෙම කෙටි කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ අත්‍යාවශ්‍ය ආහාරවල මිල 40%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නැඟීමය. කෙසේ හෝ ඉහත ජාත්‍යන්තර සමීක්‍ෂණ වාර්තාවට අනුව උද්ධමනය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ අප්‍රිකාවේ අතිශය දුගී රටවල් කිහිපයක් ආසන්නයේය. ඒ අතර පසුගිය කාලයේදී ලෝකයේ තිබෙන ප්‍රධානතම මූල්‍ය සහ ආර්ථික විශ්ලේෂණ ආයතන තුන වන ෆිච් රේටින්, මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සහ විදේශ විනිමය සංචිත තත්ත්වය තක්සේරු කර වාර්තා ඉදිරිපත් කරන විටදීත්, ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ඉතාමත් දුගී අප්‍රිකානු රටවල් ආසන්න ස්ථානයක්ය.
ලෝකයේ අතිශය ඉපැරැණි සහ ප්‍රකට, පිළිගත් පුවත්පතක් වන ‘ද නිව්යෝර්ක් ටයිමිස්’ පුවත්පත ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ගැන මෙසේ කියා සිටියි.
‘ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ආහාර සියල්ලකම පාහේ මිල ගණන් ඉතාමත්ම ඉහළ ගියේ පසුගිය 2021 සැප්තැම්බර් මාසයේ සිටයි. විදේශ මුදල් සංචිත හීනවී යෑම නිසා විදෙස් රටවලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සීමා කළා. එසේම රට තුළ සිදුකෙරෙන ආහාර නිෂ්පාදනයටත් රජය දියත් කළ පොහොර වැඩපිළිවෙළ ඉතාමත්ම දරුණු ලෙස බලපෑවා. කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා රටේ ආහාර අස්වැන්න විශාල ලෙස අඩුවුණා. මේ නිසා එළවළු මිල ගණන් තුන්, හතර ගුණයකින් ඉහළ ගියා. මෙවැනි වටපිටාවක් යටතේ ශ්‍රී ලංකාවට දරුණු ආහාර හිඟයක් බලපා හැම තැනම පෝලිම් යුගයක් පවා ඇති වුණා. වර්තමානයේ ශ්‍රී ලංකාව පාලනය කරන්නේ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් විසිනුයි. ඔවුන් රටේ සියලුම ඉහළ නායක තනතුරු දරා සිටිනවා. මේ නිසා වර්තමාන ශ්‍රී ලංකා රජය පෙනෙන්නේ පවුලේ සමාගමක් හැටියටයි. ප්‍රධානතම රාජපක්‍ෂ සහෝදරයන් 04 දෙනා සහ තවත් රාජපක්‍ෂ ඥාතීන් රැසක් මෙලෙස තනතුරු දරා සිටිනවා.’
ලෝක ප්‍රකට ‘බීබීසී’ පුවත් සේවය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන මෙසේ කියයි.
‘2019 වසරේදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම්් ලබන රටක් ලෙසට උසස් ශ්‍රේණිගත කිරීමකට ලක්කළා. එහෙත් 2020 වසරේ මැදදී එය පහත හෙළුවා. රජය විසින්ම පසුගිය වසරේ රට තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කළා. ණය ප්‍රශ්නය සහ විදේශ විනිමය ප්‍රශ්නය දැන් ශ්‍රී ලංකාවට දරුණු විදියට බලපාලා රටේ ආර්ථිකය දිනෙන්, දින කඩාවැටෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකයත් අවප්‍රමාණ වෙලා. අද රටේ පවතින උද්ධමනය 14.3%ක් දක්වා වැඩිවෙලා. මෙය ඉදිරි කාලයේදී තව, තවත් දරුණු ලෙස වැඩි වන බවයි ආර්ථික, මූල්‍ය විශ්ලේෂකයන් කියන්නේ. රට තුළ විදේශ සංචිත හිඟය නිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒම ලෙහෙසි නොවන බවයි මේ අය කියා සිටින්නේ.’
ජාත්‍යන්තර මාධ්‍යකරණයේ ඉදිරියෙන් සිටින ලොව ප්‍රකට, පිළිගත් මාධ්‍ය ආයතනයක් වන ‘අල් ජසීරා’ ආයතනය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ගැන නිරන්තරයෙන්ම කතා කරයි. ඔවුන් මෑතකදී දැක්වූ වාර්තාවක මෙසේ සඳහන් වෙයි.
‘ශ්‍රී ලංකා රජයට මෙම 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 7.3ක විදේශ ණය ගෙවීමට තිබෙනවා. මෙම මුදලින් ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500ක විදෙස් ණය වාරිකය මහ බැංකුව විසින් ගෙවා තිබෙනවා. ඒ මුදල ගෙවා ඇත්තේද ශ්‍රී ලංකාව සතු රන් සංචිතවලින් කොටසක් විකිණීම මගින්. කෙසේ හෝ මෙම විදෙස් මුදල් සංචිත හීන වී යෑම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෙහෙසියෙන් ගොඩ ගැනීමට බැරි තත්ත්වයකට පතවෙලා තිබෙනවා. කනගාටුදායක තත්ත්වය තමයි මිනිසුන්ට එදිනෙදා ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවීම.’
ලොව ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන ‘ද ගාර්ඩියන්’ ආයතනය ශ්‍රී ලංකාව ගැන මෙවැනි ප්‍රකාශයක් සිදුකරයි.
‘ලෝක බැංකුව ප්‍රකාශ කරන ලෙසට ශ්‍රී ලංකාව තුළ තිබෙන දරුණු ආර්ථික උද්ධමනය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් ලක්‍ෂ 7ක් පමණ අන්ත දුගී තත්ත්වයට පත්ව ඇතැයි පැවසෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම පිරිස මෙයට පෙර අඩු ආදායම්ලාභී පිරිස් ලෙස සිටි අතර, දැන් ඔවුන් දරිද්‍රතාවයේ පහළ රේඛාවටම ඇදවැටී ඇති බැව්ය.’
මෙය කෙතරම් බියකරු, ‘ශෝකජනක තත්ත්වයක්ද? වත්මන් පාලකයන්ට දෙනෙත් නැතිද?
ප්‍රියන්ත හෙට්ටිගේ










