යාපනේ නගර සීමාවේ සිට 9 මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයට ළඟාවීමට ඇති කදිම කෙටි මාර්ගය නම් චෙම්මනී පාරයි. කෙළින්ම ඔය පාරෙන් ගියොත් චාවකච්චේරි නැත්නම් සාවකච්චේරි කියන නගර සීමාවට පහසුවෙන්ම ළඟාවිය හැකිය. චාවකච්චේරිය පිහිටා තිබෙන්නේ යාපනේ අර්ධද්වීපයේ දකුණු කොටස වෙන තේන්මරච්චිවලයි. යාපනය අර්ධද්වීපය නම් තේන්මරච්චි, වඩමාරච්චි, යාල්පානම්, වලිකාමම් යන ප්‍රදේශ, නයිනතිව්, කයිට්ස්, මන්ඩතිව්, කරෙයිනගර් යන දූපත් සමූහයකින් සැදුම්ලත් හුනුගල් පාෂාණ ස්ථරයක් මතවූ භූමි භාගයකි.
අර්ධද්වීපයේ උතුරට වන්නට වඩමාරච්චි පිහිටා ඇති අතර දකුණට වන්නට තේන්මරච්චි පිහිටා ඇත. යාල්දේවි දුම්රියෙන් යාපනේට සේන්දු වන කෙනෙක් නම් හොඳින් දන්නා කරුණක් වන්නේ චාවකච්චේරි නගරය ‘සංකේතානෙයි’ හා ‘කොඩිකාමම්’ කියන දුම්රියපොළ දෙක අතරමැද්දේ පිහිටා ඇති ප්‍රධාන නගරයක් බවයි.

චාවකච්චේරිය උතුරු අර්ධද්වීපයේ පිහිටි විශාලම සුළු නගරයකි. ‘චාව+කච්චේරි’ යන වචනයේ තේරුම නම් ජාවානු ජනාවාසයක් වීම යන්නයි. කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මුල්කරගත් ජන කොට්ඨාසයක් ජීවත්වන චාවකච්චේරිය විටෙක නොසන්සුන් නගරයක් වන්නේ මේ නගරය ් 9 පාරට නුදුරින් පිහිටා තිබීම නිසා විය හැකිය.
යාපනයේ සිට චාවකච්චේරි දක්වා චෙම්මනී පාර ඔස්සේ ගමන් කරන යාල් ආගන්තුකයා, පේදුරුතුඩුව පාර ඔස්සේ ගමන් කරන විට පසෙක දකින මනරම් වූත් පූජනීය වූත් දර්ශනය නම් රතු සුදු තීරුවලින් වර්ණ ගැන්වූ බිත්තිවලින් වටවූ තේජස් බවින් යුතු නල්ලුර් කන්දසාමි කෝවිලයි. පසුව පාරේ දකුණු පසට වන්නට චෙම්මනී සංධිය අසල ඇත්තේ අසිපතක් සුරතෙහි හොවාගෙන ගාම්භීර හා රණකාමී ලීලාවෙන් සිටින රන්වන් පැහැයෙන් වර්ණ ගැන්වූ සංකිලි රජතුමාගේ පිළිමයයි. සංකිලි රජු නම් යාපනය කියන රාජ්‍යයේ පාලන තන්ත්‍රය හෙබවූ උඩරට රාජධානිය සමග බොහෝ ගනුදෙනු කළ රාජ්‍ය පාලකයෙකි.
චෙම්මනී පාර ආරම්භ වන්නේද එම සංධියෙනි. වසර ගානක් ආපස්සට හැරිලා බැලුවොත් නම් ඉතින් මේ චෙම්මනී පාර ගැන රස කතා නැත. වැළලී ගිය අඳුරු අතීතයේ බිහිසුණු හැම කතාවක්ම දරාගෙන චෙම්මනී පාර දෙපස පේළියට මුරකාවල් තනාගෙන තල් ගස් අදත් නිසොල්මන්ව සිටී.
නෙත ගැටෙන හැම ඉසව්වකම උසට යායට වැවුණු තල් ගස් අහස දිහා බලාගෙන සුසුම් හෙළන්නේ වැහිලිහිණියෙක් ඒවීදෝ කියන බලාපොරොත්තු ඇතිවය. චෙම්මනි පාර දෙපස කිරි වැදුණු කුඹුරු අක්කර ගණනාවකි. කවදත් ඉතින් යාපනේට හොඳටම කාෂ්ටක අව්වක් තිබුණත් වැටෙන වැහි පොදත් එක්ක අර ඉරි තැළුණු මහ පොළව එක් තැන් කරන්න අපේ ගොවි රජවරුන් කරන මෙහෙයක තරම ගම්‍ය වන්නේ චෙම්මනී පාර දෙපස වූ කුඹුරු ඉඩම් දෙස බලන කලය. තවද රස්තියාදුවේ ඔබ මොබ හැසිරෙන ගව රංචුද තණ උලා බුදින තැන මේ චෙම්මනී දෙපස වූ විවෘත භූමි භාගයයි. වැහි කාලෙට නම් බලන්න අපූරුව පාර දෙපැත්තේ වූ පිරී ඇති දිය අගල් බොහෝමය. තවත් දෙයක් නම් බටහිර අහසේ ගිළෙන ඉර බලන්න කියාපු තැනක් නම් චෙම්මනී පාරයි. රතු කහ තැඹිලි වර්ණ මිශ්‍රණයකි.

කලින් කිව්වා වගේ උතුරු අර්ධද්වීපයට නම් මේ දිනවල සුර්යයාගේ සැර පරුෂගතිය හොඳින්ම තේරී අවසන්ය. මහපොළව ගිනිබත් කරන්න තරම් කාෂ්ටක අව්වක්. අව්වේ තරම කියනවා නම් ඉතින් මේ දවස්වල යන්නම ඕනේ පාරක් දිගේ ඈතට මෝටර් සයිකලයක් පැදගෙන දකින මිරිඟුව පසුපස ලූහුබැඳගෙනය.
හිරු පොළොවට ළං වී ගමන් කරන කාලසීමාව ‘යල කන්නය’ ලෙස හැඳින්විණි. ඉතිරි කාල සීමාව ‘මහ කන්නයට’ අයත් වෙයි. ඊසාන දිග මෝසම් වර්ෂාව මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාලසීමාවේ ලැබේ. නිරිත දිග මෝසම් වර්ෂාව නම් අප්‍රේල් සිට අගෝස්තු කාලසීමාවේ ලැබේ. දෙසැම්බර් ඇරඹෙන මේ අධික වර්ෂාව නිසා කුඹුරු ඉඩම් අස්වද්දා ලබාගන්නා අග්‍රඵලය යොදාගෙන ජනවාරි මාසයේ හින්දුන් ‘තෛපෝන්ගල්’ සමරයි.
‘ටීක්……….. ටීක්………..’
දන්නෙම නැතුව බයික් එකේ සිග්නල් එකත් දාලා ඔන්න පාර අයිනෙම නවත්වා මේ සූදානම නම් නොන්ගුවල රස විඳින්නයි.
‘එවලව්?’ ඔය අහන්නේ ගාන කීයද යන්නයි.
‘අම්පතු’ එකක් පනහයි.
ගෙන්දගම් පොළවේ ඕන මළ කුණක් විකිණෙන සමයක මේ තල් අරණේ තල් ගෙඩියට පවා මිලක් නියම වීම කවර කතාවක්ද?
යාපනය අර්ධද්වීපය නම් තල්ගස්වල නිජ භූමියයි. මේ බිමේ අස්සක් මුල්ලක් නෑරම කඨෝර මහ පොළව දරාගෙන ඉන්න තල් ගස්වලින් ලැබෙන නොන්ගු කුරුම්බා හා සමානයි. කොටින්ම නොන්ගු ‘තල් කුරුම්බා’ ලෙස හැඳින්විය හැකියි. යාපනේ පැත්තේ ළඟදි දවසක ආව කෙනෙක් නම් දැකලා ඇති පාර අයිනේ මේ තල් කුරුම්බා ඉති තියාගෙන ඉන්න උදවිය. මේකත් අවුරුද්දේ හැම කාලෙකම හැදෙන්නේ නැති අවුරුද්දටම දින කීපයක් ඵල දරන බොහෝ විට අප්‍රේල් අග මැයි මාසේ මුල වගේ දැකිය හැකි අපූරු පානයකි.

උතුරු අර්ධද්වීපයේ බැලූ බැලූ අත තල් රුක් ගොමුය. යාල් වැසියන්ගේ ශක්තියද එයමය. මන්ද ඔවුන් තල් ගසේ ශීර්ෂයේ සිට මූලාග්‍රය දක්වාම ප්‍රයෝජන බොහෝ ලබාගන්නා බැවිනි. තල් මල කපාගෙන එහි වූ යුෂයෙන් තල් හකුරු, තල් පැණි, සූකිරි, විනාකිරි නිපදවීමට ග්‍රාමීය වැසියන් රුසියන්ය.
තල් ගසේ හැදෙන කළු පැහැ කුරුම්බා ගෙඩියක් හා සමාන වූ තල් ගෙඩිය පැහීමට මත්තෙන් නොන්ගුය. ග්‍රීස්මයේ විඩාව නිවාගැනීමට කදිම පානය මේ නොන්ගුය. මේ නොන්ගු පානයේ ලවණ සංයුතිය ඉහළය. ඉදුණු කල්හී තල් ගෙඩිය ලෙලි ගසා මධ්‍යයේ වූ පල්පය වෙන්කරගත් කල්හී හුදෙක්ම තල් පලතුරු බීම පානය, ජෑම්, පාම් ක්‍රෂ්, පල්පය හා යෝගට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකිය. ගස්වල පැහී බිමට වැටෙන මේ පැසුණු තල් ගෙඩි ගවයන්ගේ ප්‍රියතම ආහාරයකි. මේ පල්පය/ලාටු පැදුරක තට්ටු පරිදි ගල්වා අව්වේ වේලා තල් පිනාටු සකසා ගනියි. මෙය නම් පාල් කන්ජි සමග කදිමය. තවද සිංහල කැවුමට දෙවැනි නොවන තල් කැවුම් (පනම්කායි පනියාර්) ඉදුණු තල් ගෙඩිය ලෙලිගසා එහි වූ කහපාට පල්පය වෙන්කරගෙන එය පෙනහරයක් භාවිතයෙන් පෙරා, දියරමය සාරය වෙන් කරගෙන උකුවන සේ හොඳින් පැසවා/රත්කර පසුව සහල් පිටි එක්කර සීනි හෝ තල් හකුරු මිශ්‍ර කර ගැඹුරු තෙලේ බැදගයි. තල් කැවුම්, තල් පිටි, තල් හකුරු සමග මිශ්‍රකර සකසා ගන්නා අග්ගලාද, තට්ටු වඩේ හෙවත් තල් පිටි, කව්පි, මිරිස්, කරපිංචා එක්කළ වඩයක් නම් හවසකට හොඳ තේ කහට කෝප්පයක් සමග රසවිඳිය යුතුමය.
තල් අල නම් ශුෂ්ක බිමේ රන් කහවණුය. වියළා සකසාගත් අල නම් පනම් කිලන්ගුය. පිටිකළ තල් අල පිට්ටුවකට නම් කියාපු ඒවාය. සහල් පිටි පිට්ටු වෙනුවට යාපනේ ඇත්තේ නම් බොහෝ විට කුරක්කන් පිට්ටු හෝ ඕඩියල් පිට්ටුය. මුහුදු මාළු, දැල්ලන්, කකුළුවන් එක්කල සූපයකට තල් පිටි එක්කළ කල ඒ නම් ඕඩියල් කූල්‍ය. ජූලි මාසයේ ධාන්‍ය වර්ග එක්කර ආඩි පිරප්පු වෙනුවෙන් තනන්නේ ‘ආඩි කූල්’ය. ඕඩියල් කූල් නම් පිළිගන්වන්නේද තල් කොළයක් නමා සකස්කළ ‘තඩ්ඩුවොම්’ හෝ ‘පුලා’ නම් ගොටුවකය. ළමා ළපටින්ගේ පෝෂණ අතිරේකයක් ලෙස ත්‍රිපෝෂවලට සමානව පාම්පෝෂ උතුරුකරේ දරුවන්ට පෝෂණය එක්කරයි. මේ තල් පිටි මුසු කළ කේක්, කුකීස්, මාෂ්මෙලෝස් හා චොක්ලට් පවා මේ වන විට ජනප්‍රියය.

තල් කොළය නම් විසිතුරු කූඩ, වට්ටි, පෙට්ටි සෑදීමට අපූරු අමුද්‍රව්‍යයි. අර්ධද්වීපයේ බොහෝ නිවාස පවා වටකර ඇත්තේ මේ අපූරු තල් කොළවලින්‍ය. තල් ගසේ මුලද ඉවත හෙළිය නොහැක. එයින් කොසු, බුරුසු, පාපිස්නා, බුමුතුරුණු නිෂ්පාදනය කෙරේ. එනම් යාල් වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා සේම සෞඛ්‍යවත් ආහාර රටාවකටද තල් ගස ශක්තිය ලබාදේ.
චෙම්මනී පාර පසුකරන කල්හි නාවට්කුලි පාලම හමුවේ. පසුව නාවට්කුලි දුම්රියපොළට හා පාලම අතර ‘සිවභූමි යාපනය කෞතුකාගාරය’ දැකිය හැකිය. හුදෙක්ම යාපනයේ යටගිය ඉතිහාසය එක් තැනකට එක්කාසු කළ නටබුන්, චිත්‍ර, පැරණි වාහන ආදිය සහිත කෞතුකාගාරයකි. A 9 පාරේ යාපනයේ සිට නුවර බලා යන කල පාරෙන් දකුණු පසට වන්නට පිහිටා ඇත. යාපනේ සංචාරය කරන්නේ නම් මෙම ස්ථානය නැරඹීමට මතකයේ තබාගත යුතුමය. පසුව නාවට්කුලි දුම්රියපොළ අසලින් මන්නාරම පැත්තට ධාවනය කළොත් ‘නෙයිතල් බීච් සිටි/වෙරළ උද්‍යානය’ හම්වෙයි. මේ බීච් සිටි ජලජ ක්‍රීඩාවල නිරත වීමට කදිම නවාතැනයි.
නාවට්කුලි සංධියේ පසෙකින් පේන්නේ තල් ගස් අලුතින් හුනු පිරියම් කළ නාවට්කුලි විහාරය ඇස ගැටේ. යාපනය නම් හින්දු බැතුමතුන්ගේ හදවතයි. බැලූ බැලූ අත කෝවිල් පෙනෙන මේ පළාතේ සුදෝ සුදුවන් චෛත්‍යයක් දකින යාල් ආගන්තුකයාට දැනෙන්නේ අදටත් යාපනේ කියන්නේ සිංහල මිනිසුන්, දමිළ අපේ සගයන් සමග සහජීවනයෙන් ජීවත් වන ප්‍රදේශයක් ලෙසය. උවමනාවක් නැතිකමින් යාපනයේ සිංහල මහා විද්‍යාලය වැසී ගියද අදටත් නාවට්කුලි වගේ ගම්වල සිංහල මිනිස්සු පදිංචි සිටීමෙන් ගම්‍ය වන්නේ උත්තර නැති ප්‍රශ්න දහස් ගානක් තාමත් මේ බිම්වල ශේෂ වී ඇතත් ඒවාට විසඳුම් නැති බවකි.

යාපනේ අර්ධද්වීපය ඉන්දියන් සාගරෙන් වට කරන් හිටියත් චාවකච්චේරියට තියෙන්නේ රට ඇතුළට ආපූ මුහුදෙන් හැදුණු පොඩි කළපුවක්. ඒ කළපුවත් බලන්න හරි ලස්සනයි. චාවකච්චේරියේ ලකජ්ජාන් මුහුදු තීරයට යන්නකුට නම් ඈතින් පේනවා සුළං කුලුනු පෙළක් සහිත සුළං විදුලි බලාගාරයක්. මේ මන්නාරම ් 32 පාරට නුදුරින් පිහිටි සුළං විදුලි බලාගාරයයි. ඊට මත්තෙන් ඇත්තේ ‘සංගුපිටි පාලම’යි.
සංගුපිටි පාලම (චැංකුපිඩි පාලම) යනු උතුරු ශ්‍රී ලංකාවේ යාපනය කළපුව හරහා ඇති මාර්ග පාලමක්ය. දශක තුනක අමිහිරි මතක ඒකරාශි කරගෙන යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම සිහිනයේ නගරය වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපනයේ දිස්ත්‍රික්කයේ කරයිටිව් හා සම්බන්ධ කරයි. සංගුපිටි නම් ජනාකීර්ණ යාපනය අර්ධද්වීපය, ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරන මාර්ග පාලම් දෙකෙන් එකකි. මේ පාලම A32 යාපනය-මන්නාරම් අධිවේගී මාර්ගයේ කොටසක් වන අතර පාලම ඉදිකිරීමට පෙර යාපනය අර්ධද්වීපය සහ ප්‍රධාන භූමිය අතර පැවැති එකම මාර්ග සම්බන්ධතාව වූයේ අලිමංකඩයි. සංගුපිඩි පාලම දකුණු ශ්‍රී ලංකාවේ සිට යාපනයට යන ගමන කිලෝමීටර් 110 (සැතපුම් 68) හෝ පැය තුනකින් අඩු කරන කෙටිම මාර්ගයයි.
ඈතට විහිදෙන මුහුදත්, තැන තැන වීසිදැල් උස්සාගෙන සිටින ධීවරයනුත්, වේගෙයෙන් දියඹට ඇදෙන ධීවර යාත්‍රාත්, ඉස්සන් කොටුත්, පාර දෙපස වූ උස් ලයිට් කනු මත ඊළඟ ගොදුර වෙනුවෙන් බලා සිටින උකුස්සන්ද මේ ගමනේ සුලබ දසුන්ය.
මෙම පාලමේ ව්‍යුහාත්මක සැලසුම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අප සාමාන්‍යයෙන් දකින පාලම්වලට වඩා බෙහෙවින් වෙනස්ය. මෙම වක්‍ර හැඩය හේතුවෙන් ධීවර බෝට්ටුවලට බාධාවකින් තොරව පාලම යටින් දෙපසට ගමන් කළ හැකිය.
A 32 මාර්ගය හරහා සංගුපිටි පාලම පසුකර මිනිත්තු පහළොවකට පමණ පසුව පූනාකරී නැත්නම් පුනරින්‍ය. මේ යාල් අර්ධද්වීපයේ මල් පිපෙන භූමියයි. ‘පූ’ නම් මල්ය. ‘නාගරී’ නම් නගරය යන්නයි. අප්‍රේල් මාසයට ළංව පිපෙන බිම් සවාන් මල් නැරඹීමට කදිම නවාතැන පුනාකරීය. විල්පත්තු අභයභූමියේද බිම් සවාන් බහුලව දැකබලාගත හැකිය.
ඌදා පූ නම් දම් පාට මල්‍ය. මේ දම් පාට මල් යාය දකින යාපනයේ ආගන්තුකයාගේ දෙතොල් අතර මිමිණෙන ජනප්‍රිය දමිළ ගීතය නම් ඌදා ඌදා ඌදා පූ……..ය.

නල්ල මීන්………උඩන් මීන්………
වාන්ගෝ…….වාන්ගෝ……………
චාවකච්චේරි මතස්‍ය වෙළෙඳ සංකීර්ණයි. හොඳ අලුත් මාළු පරයි සාලයෝ කුම්බලයෝ වර්ග මිලදී ගැනීමට චාවකච්චේරි වැසියෝ බොහොමයක් දිනපතා පැමිණෙන ස්ථානය මෙයයි. මොවුහු බොහෝ සෙයින් මුහුදු ආහාරවලට ප්‍රිය කරති. ඒවා යොදා රසවත් ආහාරද පිසිති. උතුරේ සංචාරයේදී යාල් වැසියන් අතර ඉතා ජනප්‍රිය මුහුදු ආහාර ස්ටූවක් වන ඕඩියල් කූල් නම් රසබැලිය යුතුමය.
‘පිරාල් සට්ටි’ නම් මස් මාළු පමණක් පිසීමට යොදාගන්නා සට්ටියකට ඇඹුල් රස ගන්වමින් සියඹලා, තල් පිටි, කුළු බඩු වර්ග, කණවායි (දැල්ලෝ), රාල් (ඉස්සෝ), නන්ඩු (කකුළුවෝ) හා විවිධ මාළුන් වර්ග කිහිපයක් යොදා ඕඩියල් කූල් පිසියි. ස්නායු ආවේග වේගවත් කරන ඛේට ග්‍රන්ථි උත්තේජනය කරන මුඛයට ඛේටය ස්‍රාවය කරන මේ සූපය නම් රස ගණනාවක සම්මිශ්‍රණයකි. ඒකටම ආවේණික සුවඳකි. පිළිගන්වන්නේද සම්ප්‍රදායික විදියටම ඔන්න තල් කොළේකින් හදපු ගොට්ටෙකය. විටෙක පොල් කටුවක දමා පොල් කොළයකින් කපා ගත් හැන්දක් සමගය.
ඒ නම් ඕඩියල් කූල්……….
පරිසරයටත් සංවේදී යාපනයේ ආගන්තුකයාගේ මීළඟ ගමනාන්තය නම් චාවකච්චේරියේ සරුසාලෙයි. මන්ද සරුසාලෙයි කඩොලාන රක්ෂිතයකි. සංක්‍රමණ පක්ෂීන් විශේෂයක් වන ෆ්ලැමින්ගෝ (Greater flamingo) (Phoenicopterus roseus), සිංහලෙන් රජ සියක්කාරයා, දෙමළෙන් පෙරුම් පූනාරේ පක්ෂීන්ගේ ගමනාන්තයකි. වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝ විට යාපනය අර්ධද්වීපයේ තැන් තැන්වල ඒ නම් අලිමංකඩ, සරසාලේ, කුරුවික්කාඩු, තොන්ඩමන්නාරු, කයිට්ස් වගේ ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙයි. කුරුවික්කාඩු නම් ‘කුරුවි’ නම් පක්ෂීන්‍ය. ‘කාඩු’ නම් රක්ෂිතයක්‍ය. දමිළ නම් බොහෝමයක සිංහල තේරුම මෙසේ අදහස් කරගත හැකිය.
අසා ඇති අන්දමට නම් යාපන අර්ධද්වීපය ‘නයිනතිව්’ ලෙස එකල හඳුන්වා ඇත. ලක්දිව එකල යක්ෂ නාග ගෝත්‍රිකයන් ජීවත් වී ඇත. නයිනතිව් නම් නාගයන්ගේ දිවයිනයි. ජනප්‍රවාදයකට අනුව නම් නිලවරායිහි ඇති පතුල නැති ළිද, දැන් නම් පතුලක් ඇති ළිඳ එකල්හි නාගයන් නාග ලොවට යාමට භාවිත කළ පියගැටපෙළක්ය.
පෝදුම්……..පෝදුම්………
මේ හොඳටම ඇතිය. කතාව ආයෙත් යන්නේ වෙන පැත්තකටය. ඔන්න ආයෙත් සරසාලෙයි කියන කඩොලාන රක්ෂිතය බලන්න යන්න හේතුව වුණේ අර ෆැලැමින්ගෝ කුරුල්ලෝය.

කඩොලාන පරිසරයක් කියන්නේ ලෝකයේ වඩාත්ම ඵලදායී පරිසර පද්ධතියකි. යාපනය වගේ වියළි කලාපීය ප්‍රදේශයක තැන තැන නිර්මාණය වූ වගුරු බිම් ආශ්‍රිතව තියෙන මේ කඩොලාන පරිසර සංචරණ පක්ෂීන්ට කියාපු ස්ථානයක් යසොයා බැලූ පරිද්දෙන් මේ අතර වඩාත්ම ව්‍යාප්ත වූ කඩොලාන විශේෂය නම් අවිසීනියා මරීනා (Avicennia marina) වඩාත් සුලබ විශේෂයකි. දූපත් ප්‍රදේශ වන මන්ඩයිටතිව්, සිරුතිව්, කුරුසාඩිතිව්, කුරිකාඩ්ඩුවන් සහ පුන්ගුඩිතිව් (Mandaitivu, Sirudivu, Kurusaditivu, Kurikadduvan and Pungudutivu) ප්‍රදේශවල මේ කඩොලාන ව්‍යාප්ත වී ඇත. මීට අමතරව යාපනයේ උතුරු හා ඊසානදිග සමහර ප්‍රදේශ වන තොන්ඩමන්නාරු, අම්පන් සහ චෙම්පියන්පට්ටු ප්‍රදේශවල එය දුර්ලභය.
සරසාලේ සංචාරයට මත්තෙන් හමුවන තවත් එක් ගමනාන්තයක් නම් ‘ඉල්වාරෙයි’ දිය අගලයි. අක්කර ගණනාවකට විහිදී ඇති කුඹුරු යායවලට ජලය සපයන එක් මූලාශ්‍රයක් නම් මේ ඉල්වාරෙයි දිය අගල. මෙය වර්ෂා සමයේ ජලයෙන් පිරී පවතින අනෙක් කාලවලදී ජලය නොමැතිව පවතින බොහෝ සංචාරකයන්ගේ ඇස ගැටෙන ස්ථානයකි. චාවකච්චේරියේ අස්සක් මුල්ලක් නෑරම කරක්ගහන මේ ආගන්තුකයාගේ මීළඟ ඉසව්ව නම් වන්නියේ වරනියයි.
චාවකච්චේරියේ සිට මීසාලෙයි පහුකරගෙන ගොස් කොඩිකාමම්වලට නුදුරු කි.මී. 02ක් උතුරින් පිහිටි යාපනය අර්ධද්වීපයේ තෙන්මරාච්චිවල පිහිටි ආගමික ජීවිතය හා අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් කෙත්වතුවලින් සාරවත් වූ කෘෂිකාර්මික නගරයයි. පුරාණ කාලයේ ස්වාභාවික වාසස්ථාන නිසා මෙම ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශවලට වඩා යෝග්‍ය යැයි සලකා ඇති බැවින් මෙම ප්‍රදේශය වරනි ලෙස හඳුන්වා ඇත. වරානි නම් ගෝත්‍රික කණ්ඩායමක් වාසය කර ඇති නිසාත් වරනි ලෙසද හැඳින්වේ. පුරාණ කාලයේ බොහෝ බ්‍රාහ්මණ ජනාවාස බහුල ලෙස ජීවත් වූ නිසා වරනි යන නම ඇති වන්නට ඇති බව සැලකිල්ලට ගැනීමත් වැදගත්ය.
සංස්කෘතිය යනු සියල්ලන් විසින් බෙදාගන්නා ලද අදහස් සමූහයක් වන අතර ප්‍රජාවෙන් උරුම වූ විශ්වාසයන් හා භාවිතයන් සමූහයක එකතුවකි. ඒ නිසා සංස්කෘතික කරුණු පිළිබඳ ඉගැන්වීම සහ ඉගෙනීම අපගේ වගකීමක්. එය සංස්කෘතිය අනුගමනය කිරීම තුළින් ඊළඟ පරම්පරාවට ලබාදිය යුතු සංකල්පයක් යන්න යාල් ආගන්තුකයාගේ මතයයි.
වෙනත් ඉසව්වකට සුක්කානම මෙහෙයවීමේ බලාපොරොත්තුවෙන් චාවකච්චේරියේ සැරිසර මෙසේ නිමා කරමි.

විදුනි බස්නායක










