ස්ථානය දිවයිනේ සුප්‍රසිද්ධ සිද්ධස්ථානයකි. වේලාව රාත්‍රි දොළහට ආසන්න වෙමින් තිබිණි. එතෙක් වේලා විහාර භූමිය පුරා විසිරී පැතිරී සිටි බැතිමතුන් ක්‍රමයෙන් අඩුවෙමින් තිබිණි. විහාර මළුවේත් බෝමළුවේත් තැන තැන වාඩිවී වන්දනාමාන කටයුතුවල යෙදුණු බැතිමතුන් අඩුවෙද්දී කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනකු පන්සල් භූමියට ඇතුළු වීමට ඇති ප්‍රධාන ගේට්ටුව අසල ගැවසෙමින් සිටියේ තමන්ට පැවරී ඇති දෛනික රාජකාරි අවසන් කිරීමේ අදහසිනි. ඒ විහාර භූමිය බැතිමතුන්ගෙන් හිස්වූ විගස ගේට්ටුව වසාදමා දොර ජනෙල් වසා දැමීමටය. ඒ සාමණේර හිමිවරුන්ට පැවරී තිබූ දිනයේ අවසන් රාජකාරියය.
‘කට්ටියම ගියා වහමු වහමු…’
කුඩා සාමණේර හිමිනමක් පැවසුවේ තරමක් කලබලයෙනි.
‘එපා එපා සමිත හාමුදුරුවෝ, ගිහින් බෝමළුවයි, චෛත්‍ය ළඟයි බලලා එන්න…’
‘හොඳමයි…’
කතිකා කරගත් ආකාරයට සාමණේර හිමියන් ගල් පඩිපෙළ දිගේ දිවගියේ කලබලයෙනි. උන්වහන්සේ ගියාට වඩා වේගයෙන් ආපසු වඩිනු දැක අනෙක් හිමිවරුන් ඉදිරියට ආවේ කලබලයෙනි.
‘ඇයි සමිත හාමුදුරුවනේ…’
‘බෝමළුවේ උපාසිකාවෝ ගොඩක් ඉන්නවා…’
‘උපාසිකාවො ගොඩක්…?’
‘ඔව්… ලස්සන කට්ටියක්. පස්හය දෙනෙක් විතර ලොකු මල් වට්ටිත් ගෙනල්ලා…’
සමිත හිමියන්ගේ විස්තර ඇසූ අනෙක් පිරිසද එතැනට ගියේ කලබලයෙනි. එහෙත් උපාසිකාවන් පිරිසක් එතැන නොසිටියද මල් ආසන මත විශාල මල් ගොඩක් තිබිණි. එතැන වෙනදාට එතරම් මල් එකතු නොවන බව සාමණේර හිමිවරුන් දැන සිටි හෙයින් මේ පුවත නායක හිමියන්ට පැවැසීමටද උන්වහන්සේලා කටයුතු කළහ. උපාසිකාවන් අතුරුදන් වීම ගැන කුතුහලයෙන් සිටි සාමණේර හිමිවරු සී.සී.ටී.වී. පරීක්ෂා කරමුයි යෝජනා කළද නායක හිමියන් එම අදහස ප්‍රතික්ෂේප කළේ කවුරු වුණත් උපාසිකාවන් බව කියමිනි.
එම විහාරස්ථානයේ සාමණේ හිමිවරු මේ අත්දැකීම දින කිහිපයක්ම අත්විඳ තිබුණු අතර, මෙවැනිම පුවතක් එම ප්‍රදේශයේම පිහිටි තවත් රජමහා විහාරයකද රාත්‍රී 12 ආසන්න වෙද්දී මෙවැනිම රුවැත්තියන් පිරිසක් වන්දනාමාන කරනු එම විහාරයේ වැඩවිසූ හිමිනමකගේ නෙත ගැටී තිබිණි. එහෙත් එම දසුන සී.සී.ටී.වී. දසුන්වලට හසු නොවී තිබුණු අතර හිමියන් එම උපාසිකාවන් දුටු මොහොතේ සුදු පැහැ වලාකුළකට සමාන යමක් කැමරාව ඉදිරියෙන් ගමන් කරන්නා සේ දර්ශනය වූ බවයි පැවැසෙන්නේ.
අතීතයේ පටන් මෙවැනි සිදුවීම් වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව සිදුවීම සාමාන්‍ය සිදුවීමක් බවයි බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ. ඊට හේතුව ලෙස විද්වතුන් සහ තතු දත් ස්වාමින්වහන්සේලා පවසනුයේ එදාමෙදාතුර කාලයේ නා ලොව නාග කන්‍යාවන් බුද්ධ වන්දනාව ඉතා බැතියෙන් සිදුකරන බැවින් ඔවුන් ඉඩක් ලද විගස සුවඳ මලින් බුදු පුද සරසා බුදුන් වන්දනාවට කටයුතු කරන බවයි. ඒ අනුව බොහෝ සිද්ධස්ථාන නා ලොව නාගයින්ගේ පුද පූජාවන්ට ලක්වන අතර ඒ සඳහා නා රජුගේ අවසරය ඇති සිද්ධස්ථාන රාශියක් ලක් පොළොව මත ඇති බවද පැවැසෙයි. නා නොවින් බුදු පුදට පැමිණෙන නාග කන්‍යාවන් ඇතුළු නා ලොව අනෙකුත් පිරිස්වලට නා රජුගේ අවසර ඇති සිද්ධස්ථානවලට පමණක් යෑමට අවසර ඇති අතර එසේ අවසර නැති සිද්ධස්ථාන තුළට ඇතුළු වීමෙන් නා රජුගේ දඬුවම් විඳීමට සිදුවන බවද පැවසෙයි.
නා ලොව පිරිස් වන්දනාමාන කරන සිද්ධස්ථාන ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද ඇති අතර එවැනි පුද බිම්වලද රාත්‍රී කාලයට මෙවැනි රුවැත්තියන් වන්දනාමාන කරනු දක්නට ලැබෙන බවට ඇසින් දුටුවෝ සිටිති.
නා ලොව සිට පැමිණෙන්නන් අතර නාග කන්‍යාවන් ගැන පමණක් විශේෂ අවධානයක් යොමුවීමට හේතුව, නා ලොව නාගයන් පිරිමින් සේ වෙස්වළාගෙන පැමිණියද ඔවුන්ගේ සහ මිනිසුන්ගේ වෙනස එතරම් නොපෙනෙන බැවින්, ඔවුන් වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවුණත් නාග කන්‍යාවන් සතුව ඇති දිව්‍යාංගනාවන්ට සමාන රූපශ්‍රීය නිසාත්, ඔවුන් ගමන් කරද්දී අසීමිත සුවඳක් වහනය වන නිසාත් පහසුවෙන් අන් පිරිස් අතරින් කැපීපෙනීම සිදුවන බවයි පැවසෙන්නේ.
නා ලොව නාගයන්ගේ ජීවිත කාලය ඉතා දීර්ඝ බවද සඳහන් වෙයි. එය කොතරම් දීර්ඝද යන්න හඳුනාගත හැකි හොඳම සාධකය නම් ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර සුජාතාවට පිදූ කිරිපිඬු පූජාව වළඳා එම පාත්‍රය ගං දියේ තබා තමා බුද්ධත්වයට පත්වේ නම් පාත්‍රය උඩුගං බලා ගමන් කරත්වායි අදිටන් කළ මොහොතේ උඩුගං බලා ගිය කල නා රජුගේ විමනට වැටීමත් සමග එම පාත්‍රය දුටු කල නා රජු, ‘පෙරේදාත් බුදු කෙනකු පහළ වුණා, ඊයේත් බුදු කෙනකු පහළ වුණා, අදත් එලෙසම බුදු කෙනකු පහළ වෙන්නයි යන්නේ…’ යනුවෙන් පවසා ඇත. ඒ අනුව නා රජුගේ ආයුධ ගැන තවත් හැඳින්වීම් නැතිවම අවබෝධ කරගත හැකි වෙයි.
එදාමෙදාතුර කාලයේ බොහොමයක් වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කටයුත්ත නා ලොව නාගයන් විසින් සිදුකරන බවද පිළිගැනේ. ඊට සාක්ෂි සාධක බොහෝ විහාරස්ථාන ඇසුරෙන් හඳුනාගත හැකි වන අතර අදටත් විශාල නාගයන් පෙනීසිටින වෙහෙර විහාර ගැන පුවත් අපගේ සවනට වැටෙයි. එලෙස පෙනීසිටියද කිසි දිනයක කිසිදු බැතිමතකුට අංශු මාත්‍රයක හෝ හානියක් නොකරන මේ නාගයන් ඇතැම් විට වෙහෙර විහාර බිඳ, වස්තුව කොල්ලකන්නට පැමිණි පිරිස්වලට පන්න පන්නා පහරදුන් පුවත්ද අනන්තවත් අසන්නට ලැබෙයි.
මෙවැනි බොහොමයක් සිදුවීම් හා සම්බන්ධ වෙමින් එදාමෙදාතුර ඉතිහාසය පුරාත්, වර්තමානයේත්, අනාගතයේත් මේ නා ලොව නාගයන් හා බුදු සසුන අතර සබැඳියාව නොනැසී පවතින බව නම් නොරහසකි. එහෙයින් සුරූපී නාග කන්‍යාවන් හෙට දිනයේද දෙස් විදෙස් සිද්ධස්ථාන අසලදී කාගේ හෝ නෙත ගැටෙනු ඇත. එහෙත් එම පුවත් විශ්වාස නොකරන තරමට ගණන් නොගන්නා තරමට නාගයන් හා මිනිසුන් අතර ඇති සුහදත්වය ආරක්ෂා වනු නියතය. විය යුත්තේද එයමය.
කුමාර රත්නායක










