පුදුම කනේ පාරවල් ටිකක් තමයි කෑවේ…
පත්තුවෙලා යන්න වැඩේ කරනවා…
සන්ජු රොද්ද්‍රිගෝ
ගුවන්විදුලි නිවේදිකාවක ලෙස හඬක් මුසු කළ ඇය පසුකාලීනව ටෙලිනාට්‍ය තුළත්, සිනමාව තුළත් විවිධ චරිත නිරූපණය කළා. ඒ නිරූපණය කළ චරිත තුළින් ඇයව බොහෝ දෙනෙක් දැනහඳුනා ගත්තේ සංජු රුද්‍රිගෝ ලෙසට. කාලය ගෙවී යෑමත් එක්ක ඇයත් ඒ ගෙවී යන කාලයත් එක්ක පැත්තකට වෙලාද කියලා අපට හිතුණා. ඇත්තටම කටකාර ඒ සංජු දැන් කෝ කියා ඔබටත් හිතෙනවා ඇති. මේ තමයි ඇය. කාලෙකට පස්සේ සියල්ලට අමතක වුණු ඒ ඇය සමඟ අප කතා කළේ මේ විදියට.

සංජු මොකද සද්දබද්දයක් නැතුව ඉන්නේ?
එහෙම ඉන්න එක හොඳයි කියලා හිතුණා.
හැබැයි ඉතින් සද්දබද්ද දාන්න වැඩක් ආවොත් ඉතින් පත්තුවෙලාමයි නේද නතර වෙන්නේ?
ඔව් ඉතින්, ඉඳලා ඉඳලා වැඩක් කරන කොට ඒකේ වටිනාකමක් තියෙනවා. එතකොට ඉතින් පත්තුවෙලා යන්නම කරන වැඬේ හරියට කරනවා.
සංජු ඉන්න තැන කාටවත් පාළුවක් නැහැ කියන්නේ ඇත්තද?
ඔව් ඉතින්, විහිළුවෙන්, තහළුවෙන් දවසම හිනාවෙලා ඉන්නවා.
සංජුට ඉක්මනින් තරහා එන නිසා අනුන්ගේ ප්‍රශ්නවලට අතදාලා අමාරුවේ වැටුණු අවස්ථාත් ඇති නේද?
මම එහෙම අනුන්ගේ ප්‍රශ්න මගේ කරගෙන වැඩ කරන කෙනෙක් නෙවේ. මම කෙළින් කතා කරන කෙනෙක්. කියන්න ඕනෑ දේ මූණටම කතා කරනවා. මට අසාධාරණය කියන දේ පෙන්වන්න බැහැ. ඒ වෙලාව ඉතින් ඔවුන් වෙනුවෙන් මම කතා කරනවා. මම ඉතින් ටිකක් දඟයි, කටකාරයි. හැබැයි හිත හොඳයි.
ඔබට ලැබෙන නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්න විශේෂ හේතුවක් තියෙනවද සංජු?
එහෙම විශේෂ හේතුවක් නැහැ. බජට් ප්‍රශ්න තමයි. දුර ප්‍රශ්න, චරිත ගැන, වැඩ කරන අය ගැන සලකා බලලා මට දෙයක් කරන්න පුළුවන්නම් එයට සාධාරණයක් මට ලැබෙනවා නම් මම කරනවා. නිකරුණේ වැඩකරන්න මම කැමැති නැහැ.
පසුගිය කාලේ නිර්මාණ කිහිපයකින් මට ආරාධනා කළා. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඒ සියල්ල පොඞ්ඩක් කල්ගියා.
ඔබේ මේ ක්‍ෂේත්‍රයට මුලින් පැමිණෙන්නේ ගුවන්විදුලි නිවේදිකාවක් විදියට. ඒත් පසුකාලීනව ඔබේ ඒ ගමන්මඟ වෙනස් වුණා?
රඟපාන්න මගේ හිතේ කිසිම ආශාවක් තිබුණේ නැහැ. මට හොඳ කථිකත්වයක් තිබුණු නිසා මම උත්සාහ කළේ නිවේදිකාවක් විදියට කටයුතු කරන්න. ඉතින් මම විවිධ ගුවන්විදුලි රූපවාහිනි නාළිකාවල නිවේදන කටයුතු කළා සෑහෙන කාලයක්. ඔය අතර තමයි ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට මට ආරාධානවක් ලැබුණේ මගේ සහෝදර හිතවතකුගේ ඉල්ලීම මත. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක වෙනසකටත් එක්ක මම රඟපෑමට යොමුවුණා.
දැන් වෘත්තීය මට්ටමේ නිවේදිකාවක් ලෙසට කටයුතු කරන්නේ නැද්ද?
මම නිවේදන වෘත්තියෙන් සමුගෙන නැහැ. දැනටත් විවිධ වැඩසටහන් මම කරනවා. නමුත් ආයතනයකට බැඳිලා මම වැඩ කරන්නේ නැහැ. මොකද මගේ අනෙකුත් වැඩකටයුතුවලට ප්‍රශ්න මතු වෙන නිසා. මෙහෙම වැඩ කරන එක මනසට වගේම හිතට ලොකු සැහැල්ලුවක්.
ඒ දවස්වල සාරංගගෙන් කාපු කනේ පාරවල් තවම අමතක නැතුව ඇති නේද?
අම්මෝ.., පුදුම කනේ පාරවල් ටිකක් තමයි කෑවේ. ඒ දවස්වල ඇඬූ කඳුළින්ම තමයි. අදටත් ගොඩදෙනෙක් කතාබහ කරන්නේ ‘මුතු පළස’ ටෙලිනාට්‍යයේ මිනිසුන්ට හොඳට මතකයි මාව.
නිළියක් වෙන්න බැහැ කියපු සංජු අවසානයේදී සුවිශේෂී ටෙලිනාට්‍ය රැසක සුවිශේෂී චරිත නිරූපණය කළා. එහෙත් ඔබට කිසි ඇගැයීමක් නැහැ නේද?
සම්මාන ගැන තියෙන්නේ කලකිරීමක්. එය ගැන කතා කරන්න කැමැති නැහැ. නමුත් මෙවර ‘රයිගම්’ සම්මාන උළෙලේ සුදුස්සාට සුදුසු සම්මාන ලැබුණා. අනිවාර්යයෙන් ශලනි තාරකාට ඒ සම්මානය හිමිවිය යුතුමයි. ඇය ඒ නිර්මාණ සියල්ලගේම විශිෂ්ට ලෙස රඟපානවා.
පසුගියදා පැවැති මහා මැතිවරණයේදී එක්තරා දේශපාලන වැඩසටහනකදී සුවිශේෂීම දේශපාලනඥයෙක් සමඟ මතවාදයක පැටළුණා නේද?
ඔව්… ඔහු ප්‍රශ්නත්, උත්තරයත් දෙකම හදාගෙන ඇවිත් මම එක්ක වැඩසටහනට. අවසානයේ ඔහු කිව්වා මම එක්ක වැඩසටහන කරන්න බැහැ. වෙන කෙනෙක් සම්බන්ධ කරගන්නම් කියලා. වැරැදි කරන්න හොඳයි. ඒවා එළිවෙන කොට බයයි.
ඉතින් මම කරන්නේ මගේ වෘත්තිය. මම එය හෑල්ලුවට පත්කරන්න කැමැති නැහැ. මට වගේම රටට ජනතාවට දැනෙන ප්‍රශ්න තමයි මම අහන්නේ. නැතුව එයාලගේ වැරැදි වහන්න මම උත්තර සපයන්නේ නැහැ. ඔය වගේ විවිධ ප්‍රශ්න මතු වෙනවා වැඩසටහන් තුළදී.
වසන්ත විතාරණගේ













